Skip to content

පටුනට යන්න

එල්ෆ්‍රිඩේ උබාන් | ජීවිත කතාව

ආශීර්වාදවලින් හිඟයක් නැති ජීවිතයක්!

ආශීර්වාදවලින් හිඟයක් නැති ජීවිතයක්!

මං ඉපදුණේ 1939 දෙසැම්බර් 11වෙනිදා චෙකොස්ලෝවේකියාවේ. ඒ දෙවෙනි ලෝක මහා යුද්ධය පටන් අරන් මාස තුනකට විතර පස්සේ. මගේ ළමා කාලේ ගොඩක් අඳුරු එකක්. මාව හම්බ වෙද්දී අම්මාට ගොඩක් අමාරු වුණා. ඒ නිසා මං ඉපදිලා සති දෙකකට පස්සේ අම්මා නැති වුණා. අම්මා නැති වෙන්න කලින් තාත්තාත් රස්සාවක් කරන්න ජර්මනියට ගියා. හොඳ වෙලාවට මගේ ආච්චියි, සීයායි හිටියේ. එයාලා නැත්තං මං මේ ලෝකේ තනි වෙනවා. හැබැයි ආච්චිටයි, සීයාටයි බලාගන්න තිබුණේ මාව විතරක් නෙවෙයි. මොකද ඒ වෙද්දී මගේ අම්මාගේ නංගිලා තුන්දෙනා ඒ කියන්නේ මගේ පුංචිලා තුන්දෙනාත් ගොඩක් පොඩියි.

ආච්චියි, සීයායි එක්ක

 1945දී යුද්දේ ඉවර වුණා. හැබැයි එහෙමයි කියලා කරදරවලින් නං අඩුවක් තිබ්බේ නෑ. අපි ජර්මානු ජාතිකයන්. ඒ නිසා අපිව ජර්මනියට පිටුවහල් කළා. යුද්දේ නිසා ජර්මනියේ නගර විනාශ වෙලයි තිබ්බේ. මිනිස්සු සෑහෙන්න දුප්පත්. කන්නවත් දෙයක් තිබුණේ නෑ. මට මතකයි සමහර දවස්වලට පුංචිලා කෑම ටිකක් ගන්න මුළු රෑ පුරාම පෝළිමේ ඉන්නවා. තවත් දවස්වල අපි කැලේට ගිහිල්ලා බ්ලැක්බෙරි, හතු කඩන් ඇවිත් ඒවා දීලා තමයි පාන් ගත්තේ. ඒ කාලේ හුරතල් සතෙක්ට වුණත් නිදහසේ ඉන්න ලැබුණේ නෑ. සමහරු උන්ව හොරකම් කරලා මරාගෙන කෑවා. ඒ දවස්වල කන්නේ නැතුව නිදාගත්ත දවස් අනන්තයි.

අපිට සත්‍යය හම්බ වුණා

 අපේ සීයලා කතෝලික. හැබැයි අපි ගාව බයිබලයක් නං තිබ්බේ නෑ. සීයා බයිබලයක් ගන්න ඇහුවාම පල්ලියේ පූජකයා ඒකට ඉඩ දුන්නේ නෑ. එයා කිව්වා “බයිබලයක් ඕනෙ නෑ. පූජාවට ඇහුම්කන් දුන්නාම ඇති” කියලා. ඒ නිසා සීයාගේ හිතේ උත්තර නැති ප්‍රශ්න කෝටියක් තිබුණා.

 මට අවුරුදු හතේදී තමයි සාක්ෂිකාරයෝ පළවෙනි වතාවට අපේ ගෙදරට ආවේ. එයාලා ත්‍රිත්වය, නිරාගින්න, මැරුණට පස්සේ මොකද වෙන්නේ වගේ සීයාගේ හිතේ තිබුණ ප්‍රශ්නවලට බයිබලෙන්ම උත්තර පෙන්නුවා. ඒවාට උත්තර දැනගත්තාම සීයාට හරිම සතුටුයි. එයාට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඒකෙන් පස්සේ අපේ පවුලේ හැමෝම සාක්ෂිකාර යුවළක් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ඔන්න ඔහොම තමයි අපිට සත්‍යය හම්බ වුණේ.

මගේ ඉලක්කය

 මං පුංචි කෙල්ල කාලේ යෙහෝවා ගැන මගේ හිතේ ලොකු ආදරයක් ඇති වුණා. ඒ කාලේ මං හරි ආසයි එක එක තැන්වලට ගිහිල්ලා සේවේ කරන මිෂනාරිවරු ගැන තියෙන ලිපි කියවන්න. මං නිතරම වගේ කල්පනා කරනවා ‘කොහොමද එයාලාගේ ජීවිත ගෙවෙන්නේ? යෙහෝවා ගැන කවදාවත්ම අහපු නැති අයට ශුභාරංචිය කියද්දී කොහොම දැනෙනවා ඇද්ද’ කියලා.

මිෂනාරි සේවේට ඉලක්ක තියාගන්න ටික කාලෙකට කලින්

 මට අවුරුදු 12ක් වෙද්දී මාත් ඉලක්කයක් තියාගත්තා කවදා හරි දවසක මිෂනාරි සේවේ කරනවා කියලා. ඊටපස්සේ මං ඒ ඉලක්කේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. මුලින්ම මං කළේ උනන්දුවෙන් සේවේ යන එක. ඊටපස්සේ කොහොමහරි 1954 දෙසැම්බර් 12වෙනිදා මං බව්තීස්ම වුණා. ටික කාලෙකට පස්සේ පුරෝගාමිත් පටන්ගත්තා. මට තේරුණා මං දැන් ටික ටික මගේ ඉලක්කෙට ළං වෙනවා කියලා.

 මං දැනං හිටියා මිෂනාරිවරු වෙනුවෙන් පවත්වන ගිලියද් පාසැලට යන්න නං ඉංග්‍රීසි ඕනෙ කියලා. ඉතිං ඉංග්‍රීසි ඉගෙනගන්න මං සෑහෙන්න මහන්සි වුණා. ඒ කාලේ ජර්මනියේ හුඟක් ඇමරිකානු සොල්දාදුවෝ හිටියා. මං හිතුවා එයාලා එක්ක කතා කළොත් මගේ ඉංග්‍රීසි තව ටිකක් දියුණු කරගන්න පුළුවන් කියලා. ඉතිං දවසක් මං සොල්දාදුවෙක් ළඟට ගියා. මට එයාට කියන්න ඕන වුණේ “මං ක්‍රිස්තියානි කෙනෙක්” කියලා. හැබැයි බලද්දී මං කියලා තියෙන්නේ “මං ක්‍රිස්තුස්” කියලා. පස්සේ ඒ සොල්දාදුවා ඒක කියද්දී තමයි මට තේරුණේ මං හිතං හිටපු තරම්ම මට ඉංග්‍රීසි බෑ කියලා.

 මට 20ගණන්වලදී මං එංගලන්තෙට ගියා. එහේ උදේ වරුවේ මං සාක්ෂිකාර පවුලකගේ බබාලා බලාගත්තා. සේවේ ගියේ හවස් වරුවේ. ඒක මගේ ඉංග්‍රීසි දියුණු කරගන්න නියම අවස්ථාවක් වුණා. ඉතින් එංගලන්තෙට ගිහින් අවුරුද්දකට විතර පස්සේ මට දැනුණා මගේ ඉංග්‍රීසි දැන් ඉස්සරට වඩා ගොඩක් හොඳයි කියලා.

 පස්සේ මං ආයෙත් ජර්මනියට ආවා. ඒ 1966 ඔක්තෝබර්වල. මට පැවරුමක් ලැබුණා මැකනික්වල විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවේ කරන්න. එහේ හරිම සීතලයි. ඒ පැත්ත වගේමයි එහේ ඉන්න මිනිස්සුත්. හිතේ කිසිම උණුසුමක් නෑ. අපි එළියේ කොච්චර ගල් ගැහිගැහී හිටියත් එයාලා නෙවෙයි නිකමටවත් ගෙට එන්න කියන්නේ. ඉතිං මං යෙහෝවාට සෑහෙන්න යාච්ඤා කළා “අනේ යෙහෝවා ඔයා කවදා හරි මාව මිෂනාරිවරියක් කළොත් මේ වගේ සීත පැත්තකට නම් දාන්න එපා” කියලා.

ඉලක්කය ජය ගත්තා

 ඔය විදිහට මාස කීපයක්ම මං විශේෂ පුරෝගාමී කළා. ඊටපස්සේ පොඩි කාලේ ඉඳං මගේ හිතේ තිබුණ ආසාව යෙහෝවා දෙවියන් සැබෑ කළා. මට මිෂනාරිවරුන් සඳහා තිබුණ 44වෙනි ගිලියද් පාසැලට ආරාධනාවක් ලැබුණා. ඒකෙන් පැවරුම ලැබුණේ 1967 සැප්තැම්බර් 10වෙනිදා. ඔයාලා දන්නවාද මාව කොහෙටද යැව්වේ කියලා? ඒ මධ්‍යම ඇමරිකාවේ ලස්සනම ලස්සන රටක් වුණ නිකරගුවාවට. ඒක සීතල රටක් නං නෙවෙයි! එහේ ඒ වෙද්දීත් මිෂනාරිවරු කීපදෙනෙක් හිටියා. එයාලා මාවයි, මාත් එක්ක ගිය අනිත් සහෝදරියෝ තුන්දෙනාවයි හරිම ආදරෙන් පිළිගත්තා. එදා මට දැනුණේ පාවුල්ට දැනුණා වගේමයි. මොකද එයාටත් සහෝදරයන්ව දැක්කාම ලොකු ශක්තියක්, “ධෛර්යයක් ලැබුණා.”—ක්‍රියා 28:15.

ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් වන ෆ්‍රැන්සිස් සහ මාගරට් ශිප්ලේ එක්ක (වම් පැත්තේ ඉන්නේ මං)

 එහේ ලියොන්වල තමයි මං සේවේ කළේ. ඒ අය කතා කළේ ස්පාඤ්ඤ භාෂාව. ඉතිං මටත් ඉක්මනටම ස්පාඤ්ඤ ඉගෙනගන්න සිද්ධ වුණා. හැබැයි මාස දෙකක් තිස්සේ දවසට පැය 11 ගාණේ භාෂාව ඉගෙනගන්න වෙන් කළත් වචන ගැටගහගත්තේ හරිම අමාරුවෙන්.

 දවසක් සේවේ යද්දී එක ගෙදරක කාන්තාවක් මගෙන් ඇහුවා “පලතුරු බීම එකක් බොමුද” කියලා. එහේ අය ඒකට කිව්වේ ෆ්‍රෙස්කෝ කියලා. ඉතිං මං එයාට කිව්වා “නෑ, වතුර ටිකක් තිබ්බොත් ඇති” කියලා. හැබැයි ඒක කිව්ව හැටියේ ඒ කාන්තාවගේ මූණ ටිකක් වෙනස් වුණා. දවස් දෙක තුනක් ගියාට පස්සේ තමයි මං දැනගත්තේ මං ඉල්ලලා තියෙන්නේ වතුර නෙවෙයි “ශුද්ධ වතුර” කියලා. හැබැයි යෙහෝවාට ස්තුති වෙන්න කාලේ යද්දී මං කොහොමහරි භාෂාව ටික ටික අල්ලගත්තා.

අවුරුදු 17ක් තිස්සේ මාත් එක්ක සේවේ කරපු මාගුරිට්

 ලියොන්වල මට හිටපු පාඩම් ගොඩක් පවුල් පිටින්ම පාඩම් කරපු අය. එහේ මට සේවය කරන්න කිසිම බයක් තිබුණේ නෑ. සමහර දවස්වලට රෑ 10 විතර වෙන කල් මං බයිබල් පාඩම් කරනවා. මං එහේ අඳුරන්නේ නැති කිසි කෙනෙක් නැති තරම්. හැමෝගෙම වගේ නම් පවා දැනං හිටියා. එහේ අය හවස් වරුවට මිදුලේ හාන්සි පුටුවක් දාගෙන කතා කරකර ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඉතිං පාඩම් ඉවර වෙලා යද්දී මං කට්ටියට අත වනවන, කතා කරකර තමයි ගෙදර යන්නේ.

 ලියොන්වලදී මට පුළුවන් වුණා හුඟදෙනෙක්ට සත්‍යයට එන්න උදව් කරන්න. ඒ අයගෙන් එක් කෙනෙක් තමයි නූබියා. එයා දරුවෝ අටදෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ අටදෙනාම කොල්ලෝ. 1976දී මාව මනාගුවාවලට මාරු කරන කල්ම මං එයාගේ පාඩම කළා. ඊටපස්සේ මට එයාව හම්බ වුණේ ඊට අවුරුදු 18කට පස්සේ. ඒ, මං සමුළුවකට ආයෙත් ලියොන්වලට ගිය වෙලාවේ. ඒ සමුළුවේ කෑම වෙලාවේ එක පාරටම කොල්ලෝ රොත්තක් ඇවිල්ලා මාව වට කරගත්තා. බැලින්නං මේ නූබියාගේ ළමයි ටික! නූබියා කොහොමහරි එයාලා හැමෝවම සත්‍ය මාර්ගයේ එක්කං ඇවිත් තිබුණා. ඒක දැක්කාම මට දැනුණේ කියාගන්න බැරි සතුටක්.

කලබල මැද මිෂනාරි සේවය

 1970 අගභාගය වෙද්දී නිකරගුවාවේ සමාජීය සහ දේශපාලන විප්ලවයන් හුඟක් ඇති වෙන්න පටන්ගත්තා. ඒවා මැද අපිත් අපේ සේවේ කොහොම කොහොමහරි කළා. ඒ කාලේ මං පැවරුම කළේ නිකරගුවාවේ අගනුවරට දකුණට වෙන්න තිබුණ මසායාවල. එහේ සෑහෙන්න විරෝධතා රැලි, ආයුධ ගත්ත අයගේ පෙළපාළි තිබුණා. මට මතකයි දවසක් අපි රැස්වීම් ශාලාවේ ඉද්දී හදිස්සියේම ආපු සැන්ඩිනිස්ටා සටන්කරුවොයි, ආණ්ඩුවේ සෙබළුයි අතර වෙඩි හුවමාරුවක් ඇති වුණා. ඒ වෙලාවේ අපි හිටියේ ශාලාවේ බිම දිගා වෙලා. a

 තව දවසක් මං සේවේ යද්දී දැක්කා මූණ වහගත්ත සැන්ඩිනිස්ටා සටන්කරුවෙක් රජයේ සෙබළෙක්ට වෙඩි තියනවා. ඒත් එක්කම මූණ වහගත්ත තවත් කට්ටිය හුඟදෙනෙක් ආවා. මං බය වෙලා දිව්වා. දුවලා දුවලා මං පාරේ කෙළවරටම ආවා. එතනින් එහාට යාගන්න තැනක් තිබුණේ නෑ. මං කොටු වුණා. ඊටපස්සේ රජයේ හෙලිකොප්ටර් වගයක් ඇවිල්ලා වෙඩි වරුසාවක් තිබ්බා. එකපාරටම එක මනුස්සයෙක් එයාගේ ගෙදර දොර ඇරලා මාව ගේ ඇතුළට ඇදලා ගත්තා. එදා නං මාව බේරුවේ යෙහෝවා දෙවියන්ම තමයි.

පිටුවහල් කරයි

 මං මසායාවල 1982 වෙන කල් සේවේ කළා. මට ඒ දවස අද වගේ මතකයි. ඒ හරියටම 1982 මාර්තු 20වෙනිදා. එදා උදේ අනික් මිෂනාරිවරු පස්දෙනායි, මායි කෑම කන්න ලෑස්ති වෙලයි හිටියේ. එකපාරටම අපි දැක්කා මැෂින් තුවක්කු ගත්ත සැන්ඩිනිස්ටා කැරලිකරුවෝ කට්ටියක් ගේ පිටිපස්සෙන් වත්තට ඇතුල් වෙනවා. එයාලා එකපාරටම කෑම කාමරේට කඩා පැනලා කෑගහලා කිව්වා “බඩු ටිකත් බෑග් එකකට දාගෙන ඉක්මනටම අපිත් එක්ක එන්ඩ ලෑස්ති වෙනවලා. එක් කෙනෙක්ට ගන්න පුළුවන් එක බෑග් එකක් විතරයි” කියලා.

 ඒ සටන්කරුවෝ අපිව ගොවිපොළකට එක්කං ගියා. අපි ඒ ගොවිපොළේ පැය ගාණක් හිටියා. ඊටපස්සේ එයාලා අපි හතරදෙනාව පොඩි බස් එකකට දාගෙන දේශ සීමාවට එක්කං ගිහිං කොස්ටාරිකාවලට පිටුවහල් කළා. ඒ විදිහට එයාලා පිටුවහල් කරපු මිෂනාරිවරුන්ගේ ගාණ 21ක්.

 කොස්ටාරිකාවල සහෝදරයෝ අපිව ආදරෙන් පිළිගත්තා. ඊටපස්සේ එයාලා අපිව සැන් ජෝස්වල බෙතෙල් එකට එක්කං ගියා. හැබැයි අපිට වැඩි කාලයක් එහේ ඉන්න වුණේ නෑ. දවස් දහයකට පස්සේ අපි අටදෙනාට හොන්ඩ්‍යුරාස්වල මිෂනාරිවරුන් විදිහට අලුත් පැවරුමක් ලැබුණා.

හොන්ඩ්‍යුරාස්වල සේවය

 හොන්ඩ්‍යුරාස්වල මං සේවේ කළේ ටෙගුසිගල්පා කියන පැත්තේ. මං එහේ අවුරුදු 33ක් සේවේ කළා. මං එහෙට යද්දී තිබුණේ එක සභාවයි. හැබැයි ඒ අවුරුදු ගාණ පුරාම ඒක සභා අටක් දක්වා වර්ධනය වෙන විදිහ මං දැක්කා. ඒ වගේම තමයි ඔය කාලේ අතරතුර එහේ අපරාධත් වැඩි වුණා. එහේ හරියට හොරු හිටියා. කීප සැරයක්ම එයාලා මගේ බඩු මුට්ටුත් හොරකම් කරලා තියෙනවා. හොරු විතරක් නෙවෙයි එහේ එක එක කල්ලිත් හිටියා. ඒ කල්ලිවල අය මිනිස්සුන්ගෙන් බලෙන් සල්ලි ඉල්ලනවා. ඒගොල්ලෝ ඒකට කිව්වේ “යුද බදු” කියලා. එයාලා මගෙන් සල්ලි ඉල්ලන හැම වතාවකම මං එයාලට කිව්වා “සල්ලිවලට වඩා වටින දෙයක් මං ගාව තියෙනවා” කියලා. එහෙම කියලා මං එයාලට පත්‍රිකාවක් හරි සඟරාවක් හරි දෙනවා. ඒ හැම වතාවකම එයාලා මට යන්න දුන්නා.

 ටෙගුසිගල්පාවල අය කාටත් කරදරයක් නැති, හරිම හිත හොඳ මිනිස්සු. මට පුළුවන් වුණා එයාලාගෙන් කීපදෙනෙක් එක්කම බයිබලේ පාඩම් කරන්න. මාත් එක්ක පාඩම් කරපු එක් කෙනෙක් තමයි බෙටී. එයා කාලයක් තිස්සේ පාඩම හොඳට කරගෙන ගියා. හැබැයි එකපාරටම එයා කිව්වා එයා මොකක්ද පල්ලියකට බැඳෙනවා කියලා. ඒක අහලා මට ගොඩක් දුක හිතුණා. හැබැයි හිතපු නැති විදිහට අවුරුදු දෙකකට පස්සේ එයා ඒ පල්ලියෙන් අයින් වෙලා ආයෙත් මාත් එක්ක පාඩම කරන්න පටන්ගත්තා. දන්නවාද එයා ඒ පල්ලිය අත්හැරලා ආවේ ඇයි කියලා? ඒ සාක්ෂිකරුවන් අතර තිබ්බ ආදරේ ඒ පල්ලියේ අයගේ තිබ්බේ නැති නිසා. (යොහන් 13:34, 35) එයා මට කිව්වා “ඕගොල්ලන්ට දුප්පත්ද, පොහොසත්ද කියන එක වැඩක් නෑ. ඔයාලා ඔයාලාගේ රැස්වීම්වලට හැමෝවම ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම ඔයාලා වෙනස්” කියලා. කාලෙකට පස්සේ බෙටී බව්තීස්ම වුණා.

 2014දී මාව පැනමාවලට මාරු කළා. ඒත් එක්කම ටෙගුසිගල්පාවල අපි හිටපු මිෂනාරි නිවසත් වහලා දැම්මා. දැන් මං ඉන්නේ පැනමාවල මිෂනාරි නිවසේ. එහේ මාත් එක්ක තව මිෂනාරිවරු හතරදෙනෙක් ඉන්නවා.

නියම සතුට ලැබුණා

 දැන් මං මිෂනාරි සේවේ පටන් අරන් අවුරුදු 55ක් වෙනවා. හැබැයි පොඩි පොඩි අසනීප හින්දා දැන් ඉස්සර තරම්ම දේවල් කරගන්න බෑ. ඒත් අදටත් මං යෙහෝවාගේ උදව්වෙන් සත්‍යයට එන්න පුළුවන් උපරිමයෙන් අනිත් අයට උදව් කරනවා.

 ජීවිතේ ආපස්ස හැරිලා බලද්දී සමහර වෙලාවට මට හිතෙනවා මිෂනාරි සේවේ කරන්නේ නැතුව මට වෙන මොකක් හරි තෝරගන්න තිබ්බාද කියලා. ඔව්, ඕන නං තිබුණා. හැබැයි එහෙම වුණා නම් අද මං අද්දකින මේ ආශීර්වාද මොනවාද කියලවත් මං දන්නේ නෑ. මට පුළුවන් වෙලා තියෙනවා 50කට වඩා වැඩිදෙනෙක්ට සත්‍යයට එන්න උදව් කරන්න. ඇත්තටම එයාලා මගේ දුවලා, පුතාලා වගේ. මට තව හුඟක් යාළුවොත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඉතිං “මගේ පවුල.” එයාලා මට ගොඩක් උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි ස්ටෙෆී කියන මගේ පුංචිත් ඉන්නේ ජර්මනියේ. එයා අදටත් මං ගැන හොයලා බලනවා.

 මං කසාද බැන්දේ නැතුවාට මට කවදාවත් තනිකමක් කියලා නම් දැනිලා නෑ. මොකද ජීවිතේ හැම මොහොතකම යෙහෝවා මගේ ළඟින්ම ඉන්නවානේ. මට ගොඩක් හොඳ යාළුවොත් ඉන්නවා. ඒ අතරින් එක් කෙනෙක් තමයි මාගුරිට් ෆොස්ටර්. එයා මාත් එක්ක අවුරුදු 17ක්ම මිෂනාරි සේවේ කළා. ඒ කාලේ එකට සේවේ ගිහිල්ලා අපිට සෑහෙන රසබර අද්දැකීම් තියෙනවා. දැනටත් අපි අඹ යාළුවෝ.—හිතෝපදේශ 18:24.

 මගේ මුළු ජීවිත කාලේ පුරාම මං යෙහෝවාට උපරිමයෙන්ම සේවේ කළා. ඒ ගැන හිතද්දී මගේ හිතට දැනෙන්නේ පුදුම සතුටක්. පොඩි කාලේ ඉඳන් මං දැකපු හීනේ මං කොහොමහරි සැබෑ කරගත්තා. මිෂනාරි සේවෙන් අමතක නොවන අද්දැකීම් ගොඩක් මගේ ජීවිතේට එකතු වුණා. මෙච්චර කාලයක් යෙහෝවාට කරපු සේවේ ගැන මං පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නෑ. මං ඇත්තටම ඉන්නේ සතුටින්. මට ඕනෙ ඉස්සරහටත් සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවාට සේවේ කරන්නයි.

a අවුරුදු 40කට වඩා වැඩි කාලයක් නිකරගුවාව පාලනය කළේ එකම පවුල් පාලනයකින්. හැබැයි 1970ගණන්වල අගභාගයේදී සැන්ඩිනිස්ටා දේශපාලනික පක්ෂය ඒ පවුල් පාලනය පෙරළලා නිකරගුවාව යටත් කරගත්තා.