අතීතයෙන් බිඳක්
දුෂ්කර කාලවලදීත් එයාලා යෙහෝවාට ළං වෙලා හිටියා
දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ මුළු යුරෝපයම නැති නාස්ති වෙලා ගිහින් තිබුණා. හැබැයි සතුටු වෙන්න හේතුවකුත් තිබුණා. ඒ තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නාට්සි ගාල් කඳවුරුවලින් නිදහස් වෙන්න ලැබුණු එක. එහෙම වුණා කියලා එයාලාගේ ජීවිතේ රෝස මල් යහනාවක් වුණේ නැහැ. අනිත් අයට වගේම එයාලටත් ගොඩක් අගහිඟකම්වලට මූණ දෙන්න වුණා. කෑම බීම, ඇඳුම් පැලඳුම්, ඉන්න තැනක් වගේ මූලික අවශ්‍යතාවන් එයාලට තිබුණේ නැහැ. සහෝදරි කැරන් හාර්ටූං මෙහෙම කියනවා. “ඉන්න හිටින්න හරිහමං තැන් තිබුණේ නැති නිසා හැමෝටම වගේ එයාලාගේ ගෙවල්වල නෑදෑයන්ව තියාගන්න වුණා. එහෙම නැත්නම් කාමර කුලියට දෙන්න වුණා.” අවුරුදු හතහමාරක් විතර ගාල් කඳවුරුවල හිටපු සහෝදරි ගර්ටෘඩ් පොඑට්සිඟර්ටත් කාලයක් ඉන්න වුණේ ගබඩාවක් විදිහට පාවිච්චි කරපු මඩුවක. එයා නිදාගත්තෙත් පුටුවක. a
යුද්දේ නිසා විපතට පත් වුණු ඒ සහෝදරයන්ට සංවිධානයෙන් උදව් කළේ කොහොමද? අමාරුකම්වලට මූණ දුන්න ඒ සහෝදරයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
සහෝදරයන්ගේ මූලික අවශ්‍යතා සපුරපු විදිහ
යුරෝපයේ හිටපු දෙවියන්ගේ සේවකයන්ට ඕන කරන දේවල් දෙන්න යෙහෝවාගේ සංවිධානය ඉක්මනින්ම පියවර ගත්තා. ලෝක මූලස්ථානයේ සේවය කරපු සහෝදර නේතන් නෝර් සහ සහෝදර මිල්ටන් හෙන්ෂල් ඒ සහෝදරයන්ව බලන්න ගිහින් එයාලට ඕනෙ මොනවාද කියලා හොයලා බැලුවා. 1945 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී එයාලා එංගලන්තය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය සහ නෝර්වේ කියන රටවල්වලට ගියා. “යුද්දේ නිසා මුළු යුරෝපයම නාස්ති වෙලා ගිහින් තිබුණු විදිහ මුල්ම වතාවට අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා” කියලා සහෝදර නෝර් කිව්වා.
ඒ කාලේ සහෝදර නෝර්ට ජර්මනියට යන්න අවසර ලැබුණේ නැහැ. ඒ නිසා ජර්මනියේ ශාඛා කාර්යාලයේ වැඩ බලාගත්ත සහෝදර එරික් ෆ්රොස්ට් ජර්මනියෙන් පිට වෙලා සහෝදර නෝර් හිටපු තැනට ගියා. b “සහෝදර නෝර් අපිට ගොඩක් හොඳ මඟ පෙන්වීම් දුන්නා. ඒ වගේම කෑම බීම, ඇඳුම් පැලඳුම් වගේ දේවල් අපිට දෙන්නම් කියලත් එයා පොරොන්දු වුණා. එයා කිව්වා වගේම වැඩි දවසක් යන්න කලින් පිටි, තෙල්, ධාන්‍ය වර්ග වගේම තවත් කෑම ජාති ගොඩක් පටවපු නැව් ජර්මනියට ආවා. වෙන රටවල හිටපු සහෝදරයෝ පෙට්ටි ගණන් එක එක ඇඳුම්, යට ඇඳුම්, සපත්තු අපිට එව්වා” කියලා සහෝදර එරික් කිව්වා. ඒවා ලැබුණාම දැනුණ සතුට නිසා සහෝදරයන්ගේ ඇස්වල කඳුළු පිරුණා. “සහෝදරයන් සහනාධාර යැව්වේ එක පාරක් දෙපාරක් නෙමෙයි. එයාලා අවුරුදු දෙකහමාරක්ම සහනාධාර යැව්වා” කියලා එක වාර්තාවක කියනවා. c
එයාලා දිගටම නමස්කාරයට මුල් තැන දුන්නා
ලැබුණු සහනාධාර නිසා සහෝදරයන්ට ආයෙත් එයාලාගේ ජීවිත ටික ටික ගොඩනඟාගන්න පුළුවන් වුණා. ඒ කාලේ පුරාම එයාලා දිගටම නමස්කාරයේ වැඩවලට මුල් තැන දුන්නා. එහෙම කරන්න එයාලට පුළුවන් වුණේ කොහොමද?
එයාලා පුරුද්දක් විදිහට නමස්කාරයේ වැඩ කළා. (එෆීස 5:15, 16) යුද්දේ කාලේදී සහෝදරයන්ට අපේ ප්‍රකාශන ලැබුණේ හරිම අඩුවෙන්. නමස්කාර වැඩත් එයාලට පිළිවෙළකට කරගන්න බැරි වුණා. හැබැයි යුද්දෙන් පස්සේ එයාලා කලින් කරපු විදිහටම රැස්වීම් පවත්වන්න, සේවේ යන්න පටන්ගත්තා. ඔස්ට්‍රියාවේ ඉන්න යර්ගන් රන්ඩල් මෙහෙම කියනවා. “දෙවියන්ට ළං වෙන්න උදව් වෙන දේවල් දිගටම කරගෙන යන්න කියලා ඒ කාලේ අපේ ‘රාජ්‍ය සේවාවෙනුත්’ d සංචාරක සේවකයනුත් අපිට දිරිගැන්නුවා. අපි හැම තිස්සේම හිතුවේ යෙහෝවා ගැනයි, යේසුස් ගැනයි. බයිබලේ අධ්‍යයනය කරන එකටත් සේවේටත් අපි මුල් තැන දුන්නා. අපේ කාලේ හොරාගන්න ඒ කාලේ ටීවී වගේ දේවල් තිබුණෙත් නැති නිසා අපිට ඒවා ලේසියෙන් කරන්න පුළුවන් වුණා.”
සහෝදරි උල්රෙක් ක්රෝලප් මෙහෙම කියනවා. “බයිබලේ තියෙන විෂයක් ගැඹුරින් අධ්‍යයනය කළාම දැනුණ සතුට මට තාමත් මතකයි. මගේ මහත්තයාගේ ආදර්ශය නිසාත් මට අධ්‍යයනය කරන්න ආසාවක් ඇති වුණා. මොකද අලුතෙන් ‘මුරටැඹ’ සඟරාවක් ලැබුණු ගමන්ම එයා අනිත් හැම දේම පැත්තකින් තියලා ඒක අධ්‍යයනය කරන්න පටන්ගත්තා.” කලින් සඳහන් කරපු කැරන් මෙහෙම කියනවා. “යුද්දේ තිබුණු කාලේ අපේ හැම දේම හරිම ඉක්මනට නැති වෙලා ගියා. හැබැයි යෙහෝවාගෙන් ලැබෙන පෝෂණය නම් ටිකටික හරි අපිට දිගටම ලැබුණා. යෙහෝවා ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ආශීර්වාද කරන විදිහ අපි අද්දැක්කා.”
එයාලා ආයෙත් සේවේ යන්න පටන්ගත්තා. (මතෙව් 28:19, 20) යුද්දේ කාලේදී යෙහෝවාගේ සෙනඟට නිදහසේ දේශනා සේවේ යන්න, බයිබල් පාඩම් කරන්න බැරි වුණා. හැබැයි “යුද්දෙන් පස්සේ හැමෝම හරිම ඉක්මනට සේවේ යන්න පටන්ගත්තා” කියලා සහෝදර ෆ්රිඩ්හෙල්ම් කියනවා. උදාහරණෙකට සහෝදරි උල්රෙක් මෙහෙම කියනවා. “මගේ මහත්තයාගේ පවුලේ අයට මුලින්ම පණිවිඩේ කියපු කෙනා එයාලාගේ ගෙදරට ඇවිත් තිබුණේ එයා ගාල් කඳවුරේදී ඇඳගෙන හිටපු නිළ ඇඳුම පිටින්මයි. ඒකෙන් පේන්නේ එයා නිදහස් වුණු ගමන්ම සේවේ කරන්න පටන්ගත්තා කියන එකයි.” සහෝදර යර්ගන් මෙහෙම කියනවා. “යුද්දේ ඉවර වුණාට පස්සේ හැමෝම ලොකු උද්යෝගයකින් සේවේ කළා. හුඟක් තරුණ සහෝදර සහෝදරියන් පූර්ණ කාලීන සේවේ කරන්නත් පටන්ගත්තා.”
“බෝම්බ නිසා විනාශ වුණු නගරවල ජීවත් වෙන එක හිතාගන්නවත් බැරි තරම් අමාරු එකක්” කියලා උල්රෙක් කියනවා. හුඟක් අය ජීවත් වුණේ කැඩිලා බිඳිලා ගිය ගොඩනැඟිලිවල. ඉතින් ඒ වගේ තැන්වල හිටපු අයව සාක්ෂිකරුවන් කොහොමද හොයාගත්තේ? උල්රෙක්ගේ පවුලේ අයත් සත්‍යයට ඇවිත් තිබුණේ යුද්දෙන් පස්සේ. එයා මෙහෙම කියනවා. “ලාම්පු එළියක් තියෙන තැනක්, දුමක් පිට වෙන තැනක් අපි හොයාගෙන ගියා. ඒ විදිහට තමයි අපි මිනිස්සුන්ව හොයාගත්තේ.”
එයාලා එකිනෙකාව ශක්තිමත් කළා. (1 තෙසලෝනික 5:11) යුද්දේ කාලේදී හුඟක් සාක්ෂිකරුවන්ට හරිම දරුණු විදිහට හිරිහැර කරලා තිබුණා. ඒත් යුද්දෙන් පස්සේ එයාලා වෙච්ච දේවල් ගැන හිතහිත දුක් වුණේ නැහැ. ඒ වෙනුවට එයාලා පුළුවන් හැම වෙලාවකම එකිනෙකාව ශක්තිමත් කළා. දිරිගැන්නුවා. ඇත්තටම පීඩා නිසා එයාලාගේ “විශ්වාසය සෝදිසියට ලක්” වුණ එක ගැන එයාලා ගොඩක් සතුටු වුණා. (යාකොබ් 1:2, 3) දැන් ඇමරිකාවේ ජීවත් වෙන යොහැනස් මෙහෙම කියනවා. “අපේ චාරිකා සේවකත් කලින් ගාල් කඳවුරුවල හිටපු කෙනෙක්. යෙහෝවා අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරපු විදි ගැන හුඟක් අද්දැකීම් එයා අපිත් එක්ක බෙදාගත්තා. ඒවා අහලා අපේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා.”
යොහැනස් මෙහෙමත් කියනවා. “ගාල් කඳවුරුවල ඉද්දී යෙහෝවා එයාලට උදව් කරපු විදි, එයාලාගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්න විදි එයාලා නිතරම මතක් කරගත්තා.” ඒ නිසා යුද්දෙන් පස්සෙත් යෙහෝවා එක්ක දිගටම හොඳ බැඳීමක් තියාගන්න එයාලට පුළුවන් වුණා. ඒත් එක්කම එයාලා නිතිපතා බයිබලය අධ්‍යයනය කළා. රැස්වීම්වලට ගියා. දේශනා සේවේත් හවුල් වුණා. 1946 නියුරම්බර්ග්වල තිබුණු සමුළුවකට ගිය සහෝදරි එලිසබෙත් මෙහෙම කියනවා. “ගාල් කඳවුරුවලින් නිදහස් වුණු සහෝදර සහෝදරියන්ට තිබුණේ හරිම කෙට්ටු, දුර්වල පෙනුමක්. හැබැයි එයාලා එයාලාගේ අද්දැකීම් ගැන කිව්වේ පුදුම උද්යෝගයකින්. එයාලාගේ හිතේ දෙවියන්ගේ බලය කොච්චර පිරිලා තියෙනවාද කියලා අපි ඒකෙන් දැක්කා.”—රෝම 12:11.
එයාලා එකිනෙකා ළඟින්ම හිටියා. (රෝම 1:11, 12) යුද්දේ කාලේ තිබුණු විරුද්ධවාදිකම් නිසා සහෝදරයන්ට නිදහසේ එකිනෙකාව ආශ්‍රය කරන්න බැරි වුණා. කැරන් මෙහෙම කියනවා. “එයාලා සහෝදරයන්ව බලන්න ගියේ හරිම කලාතුරකින්. මොකද බලධාරීන් සහෝදරයන්ගේ විස්තර දැනගන්නවාට එයාලා කැමති වුණේ නැහැ.” ඒත් යුද්දෙන් පස්සේ ඒ හැම දේම වෙනස් වුණා. “සහෝදරයෝ හැම දෙයක්ම කළේ එකට. රැස්වීම් යන එකට, සේවේ යන එකට තමයි එයාලා මුල් තැන දුන්නේ” කියලා සහෝදර ෆ්රිඩ්හෙල්ම් කියනවා.
ජර්මනියේ වැඩිමහල්ලෙක් වුණු ඩිට්රික් මෙහෙම කියනවා. “යුද්දේ ඉවර වෙලා ගත වුණු මුල් කාලේ වාහන තිබුණේ සහෝදරයන් කීපදෙනෙක්ට විතරයි. ඉතින් අපි රැස්වීම් ගියේ පයින්. හැබැයි ඒ තනියම නෙවෙයි. හැමෝම එකට එකතු වෙලයි ගියේ. ඒ විදිහට හැම දෙයක්ම එකට එකතු වෙලා කරද්දී අපේ යාළුකම් තවත් ශක්තිමත් වුණා. අපිට දැනුණේ අපි එක පවුලක් කියලා.”
අපිට එයාලාගෙන් ඉගෙනගන්න පුළුවන් දේ
ස්වභාවික විපත්, අසනීප, යුද්ධ, විරුද්ධවාදිකම්, ඉහළ යන ජීවන වියදම වගේ දේවල් නිසා අදත් යෙහෝවාගේ සෙනඟ හුඟක් අමාරුකම් අද්දකිනවා. (2 තිමෝති 3:1) ඒත් අපි ඒවා ගැන හිතලා කරදර වෙන්නේ නැහැ. මොකද නාට්සි පාලන කාලේ ජර්මනියේ හිටපු අපේ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ට යෙහෝවා උදව් කරපු විදිහ ගැන හිතද්දී මේ අන්තිම කාලේ ජීවත් වෙන අපිටත් ඔහු උදව් කරනවා කියලා කිසිම සැකයක් නැහැ. ඉතින් පාවුල් කිව්වා වගේ අපිත් විශ්වාසෙන් මෙහෙම කියමු. “අපි ධෛර්යය උපදවාගෙන, ‘මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද’ කියා පවසමු.”—හෙබ්‍රෙව් 13:6.
a ““Putting the Kingdom First in Postwar Germany” කියන සහෝදරි පොඑට්සිඟර්ගේ ජීවිත කතාව ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්.
b “Deliverance From Totalitarian Inquisition Through Faith in God” කියන සහෝදර ෆ්රොස්ට්ගේ ජීවිත කතාව ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්.
c දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ සාක්ෂිකරුවන්ට යවපු සහනාධාර ගැන තව විස්තර දැනගන්න “එයාලා දුන්නේ එයාලට තිබුණු හොඳම දේ” කියන ලිපියත් ‘දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!’ පොතේ 211, 218 සහ 219 පිටුවල තියෙන කොටුත් බලන්න.
d ඒ කාලේ ඒක ‘ඉන්ෆෝමන්ට්’ කියලත් දැන් ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ කියලත් හඳුන්වනවා.