Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?

දෙවියන් අපිට යාච්ඤා කරන්න කියන්නේ ඇයි?

දෙවියන් අපිට යාච්ඤා කරන්න කියන්නේ ඇයි?

දෙවියන් කැමතියි අපිව මිතුරන් කරගන්න.

කතාබහ කරද්දී මිතුදමක් ශක්තිමත් වෙනවා. දෙවියනුත් අපිට කියන්නේ ඔහු එක්ක කතා කරන්න කියලයි. ඒක ඔහු එක්ක කිට්ටු මිතුදමක් ඇති කරගන්න උදව්වක්. ඔහු කියන්නේ මෙහෙමයි. “ඔබ මා වෙතට හැරී මට හඬගසනු ඇත. මට කන්නලව් කරනු ඇත. එවිට මම ඔබට සවන් දෙන්නෙමි.” (යෙරෙමියා 29:12) දෙවියන්ට කතා කරලා ළං වෙනවා නම් ‘ඔහුත් ඔබට ළං වෙනවා.’ (යාකොබ් 4:8) බයිබලයේ මේ සහතිකය දෙනවා. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.” (ගීතාවලිය 145:18) දෙවියන්ට වැඩි වැඩියෙන් යාච්ඤා කරද්දී ඔහු එක්ක තියෙන අපේ බැඳීම ශක්තිමත් වෙනවා.

“යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.”—ගීතාවලිය 145:18

දෙවියන්ට ඕන ඔයාට උදව් කරන්නයි.

‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තමන්ගේ පුතා රොටියක් ඉල්ලුවොත් ඔහුට ගලක් දෙයිද? මාළුවෙක් ඉල්ලුවොත් සර්පයෙකු දෙයිද? ඔබේ දරුවන්ට හොඳම දේ දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. එසේනම් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් හොඳම දේ දෙයිද’ කියලා යේසුස් කිව්වා. (මතෙව් 7:9-11) ‘ඔයා ගැන සැලකිලිමත් වන’ දෙවියන්ට ඕන ඔයාට උදව් කරන්නයි. (1 පේතෘස් 5:7) ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. යාච්ඤාවෙන් හා කන්නලව්වලින් සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—ෆිලිප්පි 4:6.

මිනිසුන්ට දෙවියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍යයි.

මිනිසුන් ගැන අධ්‍යයනය කරන ප්‍රවීණයන් කියන්නේ දෙවියන්ට යාච්ඤා කරන්න ඕන කියලා හුඟක් අයට දැනෙනවා කියලයි. දෙවියන්ව විශ්වාස නොකරන සමහරුන්ටත් ඒක දැනෙනවා. * මේකෙන් ඔප්පු වෙනවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඒ අවශ්‍යතාව ඇතුව කියලා. යේසුස් කිව්වේ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලයි. (මතෙව් 5:3) ඒක ඉටු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි නිතරම දෙවියන්ට යාච්ඤා කරන එක.

දෙවියන්ට යාච්ඤා කරනවා නම් අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?

^ 8 ඡේ. එක ආයතනයක් (Pew Research Center) 2012දී කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ, ඇමරිකාවේ, දෙවියන්ව විශ්වාස නොකරන අයගෙන් සියයට 11ක් මාසෙකට සැරයක් හරි යාච්ඤා කරනවා කියලයි.