Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

අවසානය ළඟද?

අවසානය ළඟද?

මිනිසුන්ට අනිත් අයව පාලනය කරන්නත් අනාගතයට තර්ජනය වෙන දේවල් කරන්නත් දෙවියන් ඉඩහරියිද? නැහැ. සියවස් ගණනාවක් පුරා පවතින දූෂිත දේවල් තුරන් කරන්න දෙවියන් මැදිහත් වෙනවා. මිනිසාගේ සහ පොළොවේ නිර්මාතෘ දෙවියන් කැමතියි තමන් මැදිහත් වෙන ඒ කාලය ගැන මිනිසුන් දැනගන්නවාට. ඔහු ඒ අත්‍යවශ්‍ය දැනුම ලබා දෙන්නේ කොහොමද?

මෙහෙම හිතන්න. යම් තැනකට යන්න ඔබ වාහනයට නඟිනවා. ඒ තැනට යන පාරයි මඟ සළකුණුයි සිතියමකින් හරි, ඉන්ටර්නෙට් එකෙන් හරි ඔබ බලයි. ඊටපස්සේ මඟ සළකුණු එකින් එක පහු කරලා එතනට ළඟා වෙද්දී ඔබේ හිතේ විශ්වාසයක් ඇති වෙයි. ඒ වගේ, අපි ඉන්නේ අවසානය පැමිණෙන කාල පරිච්ඡේදයේද කියලා දැනගන්න පුළුවන් දේවල් දෙවියන් කියලා තියෙනවා. ලෝකේ පුරා ඒ දේවල් එකින් එක සිද්ධ වෙද්දී අපි ඉන්නේ ඒ කාලයේ කියන එක ස්ථිර කරගන්න පුළුවන්.

අවසානය ළඟා වෙද්දී ඇති වන කාල පරිච්ඡේදය සුවිශේෂී කාල පරිච්ඡේදයක් වෙනවා කියලා බයිබලයේ සඳහන් දේවලින් පැහැදිලි වෙනවා. ඒ කාලයේදී ඇති වෙන්නේ ඉතිහාසයේ කවදාවත් සිද්ධ නොවුණ දේවල්. ඒවායින් කීපයක් සලකා බලන්න.

1. මුළු ලෝකෙම කරදර මතෙව් 24වෙනි පරිච්ඡේදයේ ලෝකේ පුරා සිද්ධ වෙන දේවල් ඇතුළත් ලකුණක් ගැන සඳහන් වෙනවා. ඒ ලකුණට අංගයන් කීපයක්ම ඇතුළත්. ඒ ලකුණෙන් “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” සනිටුහන් කරනවා. ඒ වගේම ‘අවසානය පැමිණෙන’ කාලයත් ඒකෙන් දැනගන්න පුළුවන්. (මතෙව් 24:3, 14) ඒ අංගයන් තමයි ලෝකේ පුරා සිද්ධ වෙන යුද්ධ, සාගත, භූමිකම්පා, අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වීම, ප්‍රේමය හීන වීම සහ ආගමික නායකයන් මිනිසුන්ව නොමඟ යැවීම වගේ දේවල්. (මතෙව් 24:6-26) ඒවා සියවස් ගණනාවක් පුරා සුළුවෙන් සිද්ධ වෙලා තිබුණත් අවසානය ළඟා වෙද්දී එකම කාල පරිච්ඡේදයක ඒ හැම අංගයක්ම එක පිට එක සිද්ධ වෙනවා. ඒ වගේම මේ අනතුරු ඇඟවීම් තුනත් දැකගන්න පුළුවන්.

2. මිනිස්සු හිතන විදිහ “අවසාන කාලයේදී” මිනිස්සු හිතන විදිහ පහත් අඩියටම වැටෙනවා කියලා බයිබලයේ කියනවා. “මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.” (2 තිමෝති 3:1-4) අනිත් අයට ගරු නොකරන එක අලුත් දෙයක් නොවුණත් “අවසාන කාලයේදී” ඒ ගුණාංගය අන්තයටම පිරිහෙනවා. ඒක ‘අනතුරු සහිත කාලයක’ ඉන්නවා කියන එකට සාක්ෂියක්. මිනිස්සු හිතන විදිහ පහත් අඩියටම වැටිලා කියලා අද ඔබ දකිනවාද?

3. මිනිසුන් පොළොව විනාශ කරනවා බයිබලයේ කියන්නේ ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමට නියමිත කාලය පැමිණියේය’ කියලයි. (එළිදරව් 11:18) මිනිසුන් පොළොව විනාශ කරන්නේ කොහොමද? නෝවා ජීවත් වුණ කාලයත් විස්තර කරලා තියෙන්නේ ඒ විදිහටයි. “දෙවි පොළොව දෙස බැලූ විට එය නාස්ති වී තිබුණු බව ඔහුට පෙනුණේය. පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණේය. මිනිසාගේ හැසිරීම ඉතා පහත් තත්වයක තිබූ නිසා පොළොව දෙවි ඉදිරියේ නාස්ති වී තිබුණේය. ඉන්පසු දෙවි නෝවාට මෙසේ කීවේය. ‘ජීවත් වන සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත. මන්ද ඔවුන් නිසා මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරී තිබේ. එබැවින් මම පොළොව පිටටත් මනුෂ්‍යයන් පිටටත් විනාශයක් ගෙනෙන්නෙමි.’” (උත්පත්ති 6:11-13) පොළොව ප්‍රචණ්ඩත්වයෙන් පිරිලා කියලා සාක්ෂිවලින් පේන්නේ නැද්ද? ඒ විතරක් නෙමෙයි මිනිසුන් ඉන්නේ ඉතිහාසයේ කවදාවත් නොතිබුණ කාල පරිච්ඡේදයකයි. ඔවුන්ට පුළුවන් මුළු මිනිස් සංහතියම නැති කරලා දාන්න. ඒකට අවශ්‍ය යුධෝපකරණ ඔවුන් සතුයි. තවත් විදිහකින් ඔවුන් පොළොව විනාශ කරනවා. ජීවය පවතින්න අවශ්‍ය කරන පරිසරයට ඒ කියන්නේ අපි හුස්ම ගන්න වාතයට, සත්ව හා ශාක පද්ධතිවලට, සාගරවලට හානි කරනවා.

සියවසකට කලින් නම්, පොළොවට මේ වගේ හානියක් කරන්න මිනිසුන්ට පුළුවන් කියලා හීනෙකින්වත් හිතන්න බැරි වුණා. ඒත් දැන් රැස් කරලා තියෙන යුධෝපකරණවලිනුත් පරිසරයට කරලා තියෙන හානියෙනුත් මිනිස්සු ඒ දේ කරනවා කියලා පැහැදිලියි. තාක්ෂණය වේගයෙන් දියුණු වුණත් ඇති වන නරක ප්‍රතිඵල දකින්නවත් ඇති වන හානිය පාලනය කරන්නවත් මිනිසුන්ට බැහැ. ඒත් මේ පොළොවේ අනාගතය තීරණය කරන්න හෝ පාලනය කරන්න මිනිසුන්ට අයිතියක් නැහැ. මිනිසුන් මිහිපිට ඉන්න ජීවීන්ව මුළුමනින්ම නැති කරන්න කලින් දෙවියන් මැදිහත් වෙනවා. ඔහු මේ පොළොව විනාශ කරන අයව විනාශ කරනවා. ඒක ඔහුගේ පොරොන්දුවක්!

4. මුළු ලෝකෙම සිද්ධ වෙන දේශනා සේවයක් ඒ ලකුණේ තවත් අංගයක් තමයි කලින් කවදාවත් නොවුණ විදිහට සිද්ධ වෙන දේශනා සේවය. ඒ ගැන බයිබලයේ කියලා තිබුණේ මෙහෙමයි. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) අතීතයේ ඉඳලා මිනිසුන්ව බලෙන් ආගම්වලට හරවගෙන තියෙනවා. ඒත් මේ දේශනා සේවයෙන් වෙන්නේ ඒ දේ නෙමෙයි. අවසාන දවස්වලදී “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය” කියන විශේෂ පණිවිඩය ප්‍රබල විදිහට මිනිසුන්ට කාවද්දනවා. වෙන එක ආගමික කණ්ඩායමක්වත් ඒ දේ කරනවාද? සමහර කණ්ඩායම් සුළුවෙන් ඒ වගේ පණිවිඩයක් කිව්වත් ඔවුන් “සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා” කරනවාද?

ලෝකේ පුරාම දේවරාජ්‍යය ගැන භාෂා සිය ගණනකින් ප්‍රකාශ කරනවා

www.isa4310.com වෙබ් අඩවිය “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය” ගැන කාවද්දනවා. ඒ වෙබ් අඩවියේ භාෂා 700කට වඩා වැඩි ගණනකින් රාජ්‍යය ගැන පණිවිඩය පැහැදිලි කරපු පොත් පත් තියෙනවා. ඒ විදිහට රාජ්‍යයේ ශුභාරංචිය ලෝකේ පුරාම ඉන්න අයට දන්වන්න දියත් කරපු වෙන කිසි මාධ්‍යයක් ගැන ඔබ දන්නවාද? ඉන්ටර්නෙට් පහසුකම් ලැබෙන්නත් කලින් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය කියන අය හැටියට සාක්ෂිකරුවන් ප්‍රසිද්ධයි. 1939 ඉඳලා හැම ‘මුරටැඹ’ සඟරාවකම කවරයේ “යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි” කියන යෙදුම තියෙනවා. ආගම් ගැන කියන පොතක කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකේ පුරාම උනන්දුවෙන් කරන දේශනා සේවයට “සම කරන්න පුළුවන් කිසිම දේශනා සේවයක් නැති තරම්” කියලයි. මේ තරම් විශාල සාක්ෂි දැරීමක් සිද්ධ වෙන එකෙන් පැහැදිලි වෙන්නේ දේවරාජ්‍යය මගින් ළඟදීම ‘අවසානය ගේනවා’ කියලයි.

ලෝක ඉතිහාසයේ විශේෂ කාල පරිච්ඡේදයක්

බයිබලයේ අනතුරු අඟවන ඒ කාරණා හතරම අද දකින්න නැද්ද? අවසානය ළඟයි කියලා දැනගන්න පුළුවන් ලෝක සිද්ධීන් ගැන තොරතුරු අවුරුදු 100කට වඩා වැඩි කාලයක් පුරා මේ සඟරාවෙන් කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් ඒ ගැන සැක කරන අය කියන්නේ සාක්ෂිකරුවන් තමන්ට ඕන විදිහට අවසානය ළඟයි කියලා තහවුරු කරන්න ඒවා පාවිච්චි කරනවා කියලයි. ඒ වගේම ඔවුන් කියනවා ලෝකේ සන්නිවේදනය දියුණු වෙමින් පවතින නිසා ලෝකය තව තවත් අගාධයට යනවා මිසක් හොඳ අතට හැරෙන්නේ නැහැ කියලා. කොහොමවුණත් ඉතිහාසයේ කවදාවත් නොතිබුණු යුගයක අවසානයට අපි ළං වෙලා තියෙනවා කියන එකට එන්න එන්නම සාක්ෂි වැඩි වෙනවා.

අපි ළං වෙලා ඉන්නේ විශාල වෙනස්කම්වලට මේ ලෝකය ලක් වෙන කාලයකට කියලා සමහර උගතුන්ට හැඟෙනවා. උදාහරණයකට මිනිසුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් ඇති වෙනවා කියලා 2014දී විද්‍යාඥයන් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අනතුරු ඇඟෙව්වා. ඔවුන් මෙහෙම කිව්වා. “තාක්ෂණය මගින් නිපදවලා තියෙන විනාශකාරී දේවලින් ජීවිතවලට තර්ජනයක් එල්ල වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩියි කියන එක පර්යේෂණවලින් පැහැදිලි වෙනවා.” අපි ඉතිහාසයේ විශේෂ කාල පරිච්ඡේදයක ඉන්නවා කියලා හුඟදෙනෙක්ට වැටහෙනවා. මේ සඟරාව පළ කරන අයට වගේම මේක කියවන හුඟදෙනෙක්ට තමන් ඉන්නේ අවසාන කාල පරිච්ඡේදයේ අවසාන කොනේ කියලා සැකයක් නැහැ. ඒත් අනාගතය ගැන බය වෙන්න හේතුවක් නැහැ. මොකද ඒ විනාශයෙන් බේරෙන්න ඔබට පුළුවන්.—Bulletin of the Atomic Scientists.