Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?

අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?

අනාගතය ගැන නොහිතන කෙනෙක් නැහැ. අපේ අනාගතය මොන වගේ වෙයිද කියලා අපි නිතරම හිතනවා. “මටයි මගේ දරුවන්ටයි මීට වඩා හොඳ කාලයක් උදා වෙයිද,” “ලොකු විපතකින් මේ ලෝකය විනාශ වෙයිද,” “මගේ අනාගතය මීට වඩා හොඳ එකක් කරගන්න පුළුවන් විදිහක් තියෙනවාද” කියලා අපි කල්පනා කරන්නේ අනාගතය ගැන දැනගන්න අවශ්‍යතාවක් වගේම ආශාවක් අපිට සහජයෙන්ම තියෙන නිසයි. අනාගතයේදී වෙන්නේ මොනවද කියලා අපි හරියටම දන්නවා නම් ඒ ගැන අවධානයෙන් ඉන්න පුළුවන්.

ඔබේ අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද? අනාගතය ගැන ප්‍රවීණයන් කිව්ව දේවලින් වැඩි හරියක් ඉටු වෙලා නැහැ. ඒත් තමන්ට අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කියලා දෙවියන්ම කියලා තියෙනවා. “අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි. මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.” (යෙසායා 46:10) ඔහු කිව්ව දේවල් ඉටු වුණාද?

දෙවියන් ඉටු කළ අනාවැකි

දෙවියන් පුරාණයේ ඉටු කරපු අනාවැකි ගැන හොයලා බලන්න ඕන ඇයි? මෙහෙම හිතන්න. කාලගුණය ගැන අනාවැකි කියන කෙනෙක් හැම දවසකම කියපු අනාවැකි කාලයක් පුරා ඉටු වුණා නම් ඔහු හෙට ගැන කියන දේ දැනගන්න ඔබ උනන්දු වෙයි. ඒ වගේ දෙවියන් කියපු හැම අනාවැකියම ඉටු වුණා කියලා දැනගත්තොත් අනාගතය ගැන ඔහු කියලා තියෙන දේ හොයලා බලන්න ඔබ උනන්දු වෙයි.

පුරාණ නිනිවය නගරයේ නැවත ඉදි කළ පවුරක්

බලවත් නගරයක විනාශය:

සියවස් ගණනාවක් පුරා ඉතා බලවත්ව තිබුණ නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා කියන්න පුළුවන් නම් ඒක විශිෂ්ට අනාවැකියක් නෙමෙයිද? දෙවියන් අනාගතවක්තෘ කෙනෙක් මාර්ගයෙන් නිනිවය නගරයට වෙන්න යන විනාශය ගැන කිව්වා. (ශෙපනියා 2:13-15) ඒ ගැන ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ මොනවාද? දෙවියන් ඒ අනාවැකිය කියලා අවුරුදු 15කට විතර පස්සේ, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 7වෙනි සියවසේදී බැබිලෝනිවරුන් හා මේදියවරුන් නිනිවය අල්ලගත්තා. දෙවියන් කිව්වා නිනිවය “විනාශ කර දිය පොදක් නැති පාළුකරයක් බවට” පත් කරනවා කියලා. ඒ අනාවැකිය ඒ විදිහටම ඉෂ්ට වුණා. නිනිවය නගරය හා ඒ අවට ප්‍රදේශයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 518ක් පමණ වුණත් ඔවුන් කිසි ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඒක අතහැරලා ගියා. දේශපාලන විශ්ලේෂකයෙක්ට ඒ වගේ අනාවැකියක් කියන්න පුළුවන්ද?

මිනිස් ඇටකටු දවනවා:

පූජාසනයක් මත මිනිස් ඇටකටු දවන කෙනෙක් ගැන අනාවැකියක් කිව්වා. ඔහුගේ නම, ඔහුගේ පරම්පරාව සහ ඒ පූජාසනය තියෙන නගරය ගැන අවුරුදු 300කට කලින් හරියටම කියන්න පුළුවන් කාටද? ඒ වගේ අසාමාන්‍ය සිදුවීමක් ඉටු වුණා නම් ඒක කිව්ව කෙනාව මොන තරම් ප්‍රසිද්ධ වෙයිද? “දාවිත්ගේ පෙළපතින් පුත්‍රයෙක් උපදින්නේය. ඔහුගේ නම යොෂියාය.” ඒ වගේම ඔහු බෙතෙල් නගරයේ තියෙන පූජාසනයක ‘මිය ගිය අයගේ ඇටකටු දවනු ලබනවා’ කියලා දෙවියන් අනාගතවක්තෘවරයෙක් මාර්ගයෙන් කිව්වා. (1 රාජාවලිය 13:1, 2) ඒක කියලා අවුරුදු 300කට විතර පස්සේ දාවිත්ගේ පෙළපතින් ආපු යොෂියා රජ වුණා. ඔහු ‘සොහොන් ගෙවල්වල තිබුණු ඇටකටු ගෙන්වාගෙන’ ඒවා බෙතෙල් නගරයේ තිබුණු ‘පූජාසනය මත තබා පුලුස්සා දැමුවා.’ (2 රාජාවලිය 23:14-16) මිනිසෙකුට වඩා බලයක් තියෙන කෙනෙක්ට මිස වෙන කාටද ඒ වගේ අනාවැකියක් විස්තරාත්මකව කියන්න පුළුවන්?

දෙවියන්ගේ අනාගතවක්තෲන් බැබිලෝනි අධිරාජ්‍යයේ වැටීම ගැන නිවැරදිව පැවසුවා

අධිරාජ්‍යයක වැටීම:

කෙනෙක් ඉපදෙන්න කලින් ඔහුගේ නමත් ඔහු ලෝක අධිරාජ්‍යයක් පෙරළනවා කියලත් ඔහු යොදාගන්න උපක්‍රමත් කියන්න පුළුවන් කාටද? සයිරස් නම් රජ බැබිලෝනි අධිරාජ්‍යය අල්ලගෙන එහේ වහලුන් වෙලා හිටිය යුදෙව්වන්ව නිදහස් කරලා දේවමාලිගාව හදන්න ආපහු ඔවුන්ව යවනවා කියලා දෙවියන් කලින්ම කිව්වා. ඒ වගේම සයිරස් රජු ඒ නගරයේ ගංගා වියළෙන්න සලස්වන උපක්‍රමය ගැනත් ඔහුගේ හමුදාවට නගරයට ඇතුල් වෙන්න නගරයේ දොරටු විවෘතව තියෙයි කියලත් කිව්වා. (යෙසායා 44:27–45:2) දෙවියන් කියපු හැම දෙයක්ම ඉටු වුණාද? සයිරස් බැබිලෝනි අධිරාජ්‍යය පරාජය කළා කියලා ඉතිහාසඥයන් පිළිගන්නවා. බැබිලෝනි නගරයට ජලය සපයන මාර්ගයක් වෙනත් දිශාවකට හරවලා ගංගා වියළී යන්න සලස්වන්න සයිරස් රජුගේ හමුදාවට පුළුවන් වුණා. නගරයේ දොරටු විවෘතව තිබුණ නිසා බාධාවක් නැතුව හමුදාව නගරයට ඇතුල් වුණා. සයිරස් රජ යුදෙව්වන්ගේ දෙවියන්ට නමස්කාර කෙරුවේ නැති කෙනෙක් වුණත් යුදෙව්වන්ට ඔවුන්ගේ දේවමාලිගාව ගොඩනඟන්න යෙරුසලමට යන්න අවසර දුන්නා. ඒ වගේ අවසරයක් දෙන එකත් අසාමාන්‍ය දෙයක්. (එස්රා 1:1-3) ඒ වගේ ඉතිහාසගත වාර්තාවක් නිවැරදිව කියන්න පුළුවන් කාටද?

අපි බැලුවේ දෙවියන් කියපු අනාවැකි තුනක් ඉටු වුණ විදිහ විතරයි. ඉටු වුණ අනාවැකි තව හුඟක් තියෙනවා. යුදෙව්වන්ගේ නායකයෙක් වන යොෂුවා ඔවුන් හැමෝම අද්දැක්ක දෙයක් ගැන මෙහෙම කිව්වා. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.” (යොෂුවා 23:1, 2, 14) දෙවියන් දුන්න පොරොන්දු සහ ඔහු කිව්ව අනාවැකි ඒ විදිහටම ඉටු වෙනවා යොෂුවාගේ කාලයේ හිටපු සෙනඟ දැක්කා. දෙවියන්ගේ අනාවැකි සහ මිනිසුන්ගේ අනාවැකි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තේරුම්ගත්තොත් තමයි දෙවියන් නුදුරු අනාගතය ගැන කියලා තියෙන දේවල් අපේ ජීවිතයට බලපානවා කියන එක තේරුම්ගන්න පුළුවන් වෙන්නේ.

දෙවියන්ගේ අනාවැකි සහ මිනිසුන්ගේ අනාවැකි

මිනිසුන් අනාගතය ගැන කියන්නේ විද්‍යාත්මක තොරතුරු, සංඛ්‍යා ලේඛන හා වෙනත් තොරතුරු පරීක්ෂා කරලා. අධිමානසික බලයක් තියෙනවා කියන අයත් අනාවැකි කියනවා. ඒත් ඊටපස්සේ ඒවා ඉටු වෙයිද නැද්ද කියලා බලාගෙන ඉන්නවා ඇරෙන්න ඔවුන්ට වෙන කිසි දෙයක් කරන්න බැහැ.—හිතෝපදේශ 27:1.

මිනිසුන් වගේ නෙමෙයි දෙවියන් හැම දෙයක්ම දන්නවා. මිනිසුන්ගේ ස්වභාවය හා සිතුවිලි ගැන ඔහු හොඳින්ම දන්න නිසා ඔවුන් අනාගතයේදී කොහොම ක්‍රියා කරයිද කියලා ඔහුට දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යම් තත්වයන් පාලනය කරලා හරි, යම් දේවල් වෙනස් කරලා හරි තමන් අරමුණු කළ දේ සිද්ධ කරන්න ඔහුට පුළුවන්. ඔහු මෙහෙම කිව්වා. ‘මාගේ මුවින් නික්මෙන මාගේ වචනය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.’ (යෙසායා 55:11) සමහර අනාවැකි දෙවියන් කියන්නේ ඉදිරියට වෙන්න යන දෙයක් ගැන නිවේදනයක් දෙනවා වගෙයි. තමන් කියන හැම අනාවැකියක්ම ඉටු වෙන්න සලස්වන්න දෙවියන්ට පුළුවන්.

ඔබේ අනාගතය

ඔබේ අනාගතය ගැන නිවැරදිව කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? සුළි කුණාටුවක් එනවා කියලා කලින්ම දැනගත්තොත් ඔබේ ජීවිතය බේරගන්න යම් පියවර ගන්න ඔබට පුළුවන්. බයිබලයේ තියෙන අනාවැකියක් සම්බන්ධයෙනුත් ඔබට ඒ වගේ පියවරක් ගන්න පුළුවන්. නුදුරු අනාගතයේදී මේ ලෝකයේ ලොකු වෙනසක් වෙනවා කියලා දෙවියන් කියලා තියෙනවා. (“ දෙවියන් අනාගතය ගැන හෙළි කරලා තියෙන දේ” කියන කොටුව බලන්න.) දෙවියන්ගේ ඒ අනාවැකි ප්‍රවීණයන්ගේ අනාවැකිවලට වඩා හුඟක් වෙනස්.

ලෝකයට සහ මිනිසුන්ට සිද්ධ වෙන දේ ගැන හරියටම දන්නේ දෙවියන් විතරයි. ඒ ගැන දෙවියන් බයිබලයේ කියලා තියෙනවා. අනාගතය ගැන දැනගන්න ඕන නම් ඔබටත් බයිබලයේ තියෙන අනාවැකි හොයලා බලන්න පුළුවන්. දෙවියන් කිව්වේ මෙහෙමයි. “අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි. . . . ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය. මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’ කියා පවසන තැනැත්තා මමය.’” (යෙසායා 46:10) ඔබටත් ඔබේ පවුලේ අයටත් ප්‍රීතිමත් අනාගතයක් භුක්ති විඳින්න පුළුවන්. ඉදිරියේ සිද්ධ වෙන දේවල් ගැන බයිබලයේ කියලා තියෙන දේ දැනගන්න යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ගෙන් අහන්න. ඔවුන් අනාගතය ගැන කියන්නේ අධිමානසික බලයකින්වත් වෙනත් බලවේගයක උපකාරයෙන්වත් විශේෂ හැකියාවකින්වත් නෙමෙයි දේවවචනය වන බයිබලය අධ්‍යයනය කරලයි. ඒ නිසා ඔබ වෙනුවෙන් දෙවියන් අනාගතයේදී කරන්න යන දේ ගැන බයිබලයෙන් පෙන්වන්න ඔවුන්ට පුළුවන්.