Skip to content

පටුනට යන්න

නොසැලෙන විශ්වාසයක්!

නොසැලෙන විශ්වාසයක්!

දෙවියන් ගැන නොසැලෙන විශ්වාසයක් තියෙන කෙනෙක්

දෙවියන්ගේ පොරොන්දු ගැන කවදාවත් සැක කරන්නේ නැහැ. මොකද ඒවා අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියලා විශ්වාස කරන්න එයාට ස්ථිර සාක්ෂි තියෙනවා.

මෝසෙස්ට නොසැලෙන විශ්වාසයක් තිබුණා කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

ඊජිප්තුවේදී මෝසෙස් ගත කළේ හරිම සැප පහසු ජීවිතයක්. ඒත් එයා ඒ හැම දෙයක්ම අත්හැරලා ‘දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳින්න තෝරගත්තා.’ (හෙබ්‍රෙව් 11:25) ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් වුණේ දෙවිගේ පොරොන්දු ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුණු නිසයි. (උත්පත්ති 22:15-18) ඒ විදිහට ගත්ත එක තීරණයක් ගැනවත් එයා කවදාවත් දුක් වුණේ නැහැ. මෝසෙස්ට දෙවියන් ගැන කොච්චර විශ්වාසයක් තිබුණද කියනවා නම් බයිබලයේ කියන්නේ ‘නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටියා’ කියලයි.—හෙබ්‍රෙව් 11:27.

මෝසෙස්ට දෙවියන් ගැන විශ්වාසයක් තිබුණා විතරක් නෙවෙයි එයා අනිත් අයටත් දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න උදව් කළා. මේ උදාහරණය බලන්න.

මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගෙන එද්දී ඊජිප්තුවේ රජු ලොකු හමුදාවක් එක්ක එයාලව ලුහුබැන්දා. ඒ වෙලාවේ ඊශ්‍රායෙල් සෙනඟ හිටියේ රතු මුහුද ළඟයි. සෙනඟට හිතුණේ එයාලා කොටු වෙලා කියලයි. ඒ නිසා එයාලව බේරගන්න කියලා මෝසෙස්ටයි යෙහෝවා දෙවිටයි කන්නලව් කළා. ඒ වෙලාවේ දෙවියන් රතු මුහුද දෙබෑ කරලා සෙනඟව බේරගනියි කියලා මෝසෙස් හිතන්න නැතුව ඇති. හැබැයි කොහොමහරි දෙවියන් එයාලව බේරගනියි කියන විශ්වාසය මෝසෙස්ට තිබුණා. ඒ විශ්වාසය අනිත් අයගේ හිත්වලත් ඇති කරන්න මෝසෙස්ට ඕන වුණා. ඒ නිසයි එයා මෙහෙම කිව්වේ. “භය වෙන්න එපා. නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය ඔබේ දෑසින්ම බලාගන්න.” (නික්මයාම 14:13) ඊශ්‍රායෙල්වරුන්ගේ හිත්වල දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරන්න මෝසෙස්ට පුළුවන් වුණාද? ඔව්, බයිබලයේ කියන්නේ “ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ රතු මුහුද මැදින් ගමන් කළෝය” කියලයි.—හෙබ්‍රෙව් 11:29.

අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අපිටත් මෝසෙස්ට වගේ දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසයක් තියෙනවා නම් දෙවියන් සතුටු වෙන විදිහේ තීරණ ගන්න අපි භය වෙන්නේ නැහැ. මේ ගැන හිතන්න. අපි දෙවියන් කැමති විදිහට ජීවත් වුණොත් අපිට අවශ්‍ය දේවල් දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (මතෙව් 6:33) ඒ පොරොන්දුව ගැන අපිට විශ්වාසයක් තියෙනවා නම් සමාජයේ වැඩිදෙනෙක් කරනවා වගේ මුදල් හම්බ කරන එක අපේ ජීවිතේ වැදගත්ම දේ කරගන්නේ නැහැ. ඒ වෙනුවට දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න අපි තීරණය කරනවා. එහෙම කළොත් “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව අද්දකින්න අපිට පුළුවන්.—හෙබ්‍රෙව් 13:5.

මෝසෙස් වගේ අපිටත් පුළුවන් දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න අන් අයට උදව් කරන්න. ඒක කරන්න දෙමාපියන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. දෙවියන් සැබෑ කෙනෙක් කියලත් හරි වැරැද්ද ගැන අපිට කියලා දෙන්නේ දෙවියන් කියලත් පුංචි කාලේ ඉඳලම දරුවන්ට උගන්නන එක හරිම වැදගත්. ඒ වගේම දෙවියන් කියන විදිහට ජීවත් වුණොත් කවදාවත් වරදින්නේ නැහැ කියලත් දරුවන් පුංචි කාලේ ඉඳලා තේරුම්ගන්න ඕන. (යෙසායා 48:17, 18; හෙබ්‍රෙව් 11:6) දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන එක දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම දෙයයි.