Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

ඔබේ නමත් දෙවිගේ මතකයේ රැඳේවිද?

ඔබේ නමත් දෙවිගේ මතකයේ රැඳේවිද?

යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට අප දරන වෑයම ඔහු දකිනවාද? ඇත්තෙන්ම ඔව්. ඒ වෙනුවෙන් අප කරන කියන හැම දෙයක්ම දෙවි දකිනවා. ඒ වගේම අපේ හිතේ දෙවිට තියෙන ආදරය හා භක්තිය පවා ඔහු දකිනවා. දෙවි ඒ දේවල් දකිනවා විතරක් නෙමෙයි ඔහුට ඒ සියල්ල අමතක වෙන්නෙත් නැහැ. අපට එය ස්ථිරවම කියන්න පුළුවන් වෙන්නේ දෙවිගේ සේවකයෙක් වූ මලාකි පැවසූ දේ නිසයි.—මලාකි 3:16 කියවන්න.

මලාකි ජීවත් වුණේ යේසුස් මෙලොව ඉපදෙන්න අවුරුදු 400කට පෙරයි. ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ සදාචාරය හා දෙවිට කළ නමස්කාරය දූෂ්‍ය වෙලයි තිබුණේ. පූජකයන් තමන්ගේ වගකීම් සම්පූර්ණයෙන්ම පැහැර හැර තිබුණා. ඒ නිසා පොදු ජනයා දෙවිට අප්‍රසන්න දේවල් කරන්න පටන්ගත්තා. වංචනික ලෙස කටයුතු කළා. මන්ත්‍ර ගුරුකම්වල හා අනාචාරයේ පවා යෙදුණා. (මලාකි 2:8; 3:5) වැඩිදෙනෙක් එවැනි පහත් අඩියට වැටී තිබුණත් සුළු පිරිසක් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. ඒ අය ගැන මලාකි පැවසූ දේවල් දැන් අපි සලකා බලමු.

මලාකි එවැනි අයව හැඳින්නුවේ “යෙහෝවා දෙවිට ගරුබිය ඇති අය” හැටියටයි. ඒ අය දෙවි අකමැති දේ කර දෙවිගේ හිත රිද්දන්න පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඔවුන් “එකිනෙකා සමඟ කතා කළෝය” කියාත් මලාකි කිව්වා. ඒ කියන්නේ ඔවුන් යෙහෝවා දෙවිගේ යහපත් ගතිගුණ ගැන කතා කළා විතරක් නෙමෙයි දූෂිත සමාජය තුළ පවා විශ්වාසවන්තව සිටීමට එකිනෙකාව දිරිගැන්නුවා.

ඔවුන් තවත් දෙයක් කළා. එනම් ‘යෙහෝවා දෙවිගේ නාමය සිහි කළා.’ දෙවිට තිබූ ගෞරවය හා ළැදිකම ඔවුන්ගේ වචනවලට පමණක් සීමා වුණේ නැහැ. එය ඔවුන්ගේ හදවතෙත් තිබුණා. දෙවිගේ යහපත්කම ගැන ඔවුන් නිතරම ගැඹුරින් කල්පනා කළා. ඒ වගේම එය අගය කළා. යෙහෝවා දෙවි එය දැක්කාද? දෙවි එයට මොන වගේ ප්‍රතිචාරයක් දැක්වූවාද?

මලාකි ඊට මෙසේ පිළිතුරු දෙනවා. “යෙහෝවා දෙවි ඔවුන් කතා කළ දේවලට හොඳින් අවධානය දුන්නේය.” යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටියත් තම නමස්කාරකයන් එකිනෙකා සමඟ කතා කළ දේට සවන් දුන්නා. ඒ වගේම ඔවුන්ගේ සිත්වල තිබෙන දේ පවා ඔහු දැක්කා. (ගීතාවලිය 94:11) ඊට අමතරව යෙහෝවා දෙවි තවත් දෙයක් කළා. ඒ මොකක්ද?

“දෙවි තම මතකයේ සිටින අයගේ නම් ලියවිල්ලක සටහන් කිරීමට අණ කළේය” * කියාත් මලාකි සඳහන් කළා. එයින් අපට පැහැදිලි වෙන්නේ දෙවිට තම විශ්වාසවන්ත නමස්කාරකයන් කළ කී දේවලුත් ඔවුන්ගේ හදවත්වල තිබූ ආදරයත් කිසිදා අමතක වෙන්නේ නැහැ කියායි. යෙහෝවා දෙවි ඔවුන්ව තම මතකයේ තබාගෙන සිටින්නේ තවත් ආශීර්වාදයක් ඔවුන්ට ලබා දීමටයි. දෙවිගේ මතකයේ සිටින අයට නොමැරී සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබා දීමට ඔහු පොරොන්දු වී තිබෙනවා. *ගීතාවලිය 37:29.

යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අප ගන්නා සෑම වෑයමක්ම ඔහු අගය කරනවා කියා දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද! යෙහෝවා දෙවි සමඟ අපට ඇති බැඳීම ගැන බැරෑරුම්ව සිතා බැලීමට මලාකි 3:16 සඳහන් වදන් අපට උපකාර වෙනවා. එසේනම් අපි එක් එක් කෙනාටත් මෙසේ කල්පනා කර බලන්න පුළුවන්. ‘මගේ නමත් දෙවිගේ මතකයේ රැඳේවිද?’ එසේ වීමට නම් අපි කරන කියන දේ සහ අපි හිතන දේ දෙවිට ප්‍රසන්න විය යුතුයි.

දෙසැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම:

නාහුම් 1-3 සිට මලාකි 1-4 දක්වා

^ 6 ඡේ. මතකයේ සිටීම යන අදහසට හෙබ්‍රෙව් භාෂාවෙන් දී ඇති වචනයේ තේරුම නිකම්ම මතක් වීම නොවෙයි. ඊට මතකයේ සිටින අය වෙනුවෙන් යමක් කිරීම අදහස් වෙනවා.

^ 6 ඡේ. දෙවි පොරොන්දු වී තිබෙන සදාකාල ජීවනය ගැන දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ තුන්වන පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.