Skip to content

පටුනට යන්න

පුරාණ යෙරුසලම් නගරය විනාශ වුණේ කවදාද? දෙවන කොටස

පුරාණ යෙරුසලම් නගරය විනාශ වුණේ කවදාද? දෙවන කොටස

පුරාණ යෙරුසලම් නගරය විනාශ වුණේ කවදාද? දෙවන කොටස

මැටි පුවරුවලින් තහවුරු වන්නේ කුමක්ද?

යෙරුසලමේ විනාශය සිදු වූ දිනය ගැන විශාරදයන් දක්වන අදහස් අඩංගු ලිපි දෙක අතරින් මෙය දෙවන ලිපියයි. යෙරුසලමේ විනාශය සිදු වූ දිනය ගැන අපගේ සමහර පාඨකයන්ට ප්‍රශ්න මතු වී තිබෙනවා. එම ප්‍රශ්නවලට හොඳින් ගවේෂණය කර ලබාගත් හා බයිබලය මත පදනම් කරගත් තොරතුරු මෙම ලිපි දෙක තුළ සඳහන් වෙනවා.

පළමුවන කොටසෙන් සලකා බැලූ මූලික කරුණු:

▪ යෙරුසලම ක්‍රිස්තු පූර්ව 587දී විනාශ වූ බව ඉතිහාසඥයන් පවසනවා.

▪ බයිබලයේ සඳහන් කරුණුවලින් පැහැදිලි වෙන්නේ ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ වූ බවයි.

▪ ඉතිහාසඥයන් එම නිගමනයට පැමිණ තිබෙන්නේ පුරාණ ඉතිහාසඥයන්ගේ හා ටොලමිගේ ලියවිලිවල සඳහන් තොරතුරු පදනම් කරගෙනයි.

▪ පුරාණ ඉතිහාසඥයන්ගේ සමහර වාර්තාවල බොහෝ දෝෂ තිබෙනවා. ඒ වගේම මැටි පුවරුවල සඳහන් තොරතුරු එකිනෙක නොගැළපෙන අවස්ථාද තිබෙනවා. *

යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ ලෙස යුදෙව්වන් අවුරුදු 70ක් බැබිලෝනියේ වහලුන් ලෙස සිටියා. ඔවුන් ඉන් නිදහස් වූයේ ‘පර්සියාවේ රජු වූ සයිරස් පාලනය කළ පළමු අවුරුද්දේදීයි.’ (2 ලේකම් 36:21, 22) බයිබලයේ සඳහන් තොරතුරුවලින් සහ ඉතිහාසයේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වන්නේ සයිරස් රජ බැබිලෝනිය යටත් කරගෙන යුදෙව්වන්ට නැවත යෙරුසලමට යෑමට අවස්ථාව දුන් බවයි. යුදෙව්වන් නැවත යෙරුසලමට පැමිණියේ ක්‍රි.පූ. 537දීයි. ඔවුන් අවුරුදු 70ක් බැබිලෝනියේ වහලුන් ලෙස සිටි බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා ඔවුන්ව වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන ගියේ ක්‍රි.පූ. 607දී බව පැහැදිලියි.

කෙසේවෙතත් බොහෝ විශාරදයන් පවසන්නේ බැබිලෝනිවරුන් යෙරුසලම විනාශ කළේ ක්‍රි.පූ. 587දී කියායි. ඔවුන් සඳහන් කරන වසර නිවැරදි නම් යුදෙව්වන් වහලුන් ලෙස සිටියේ වසර 50ක් පමණයි. ඉතිහාසඥයන් එම දිනය ක්‍රි.පූ. 587 කියා නිගමනය කරන්නේ කොහොමද? ඒ සඳහා ඔවුන් පදනම් කරගන්නේ දෙවන නෙබුකද්නෙෂර් රජ හා ඔහුගෙන් පසු බැබිලෝනිය පාලනය කළ රජවරුන්ගේ විස්තර ඇතුළත් උල් අකුරු සහිත මැටි පුවරුයි.1 එම ලියවිලි බොහොමයක් සම්පාදනය කර තිබෙන්නේ යෙරුසලමේ විනාශය සිදු වූ කාලයේදී හෝ ඊට ආසන්න කාලයේදීයි. නමුත් ක්‍රි.පූ. 587දී යෙරුසලම විනාශ වූ බවට වූ ඔවුන්ගේ නිගමනය නිවැරදිද? එම ලියවිලිවලින් ඇත්තටම තහවුරු වන්නේ කුමක්ද?

එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම සඳහා විශාරදයන් ඔවුන්ගේ නිගමන සඳහා යොදාගත් ලියවිලි තුනක් ගැන අපි සලකා බලමු. (1) බැබිලෝනියේ ඉතිහාසය ගැන සඳහන් ලියවිලි, (2) ගනු දෙනු ගැන සඳහන් ලියවිලි, (3) තරුවල පිහිටීම ගැන සඳහන් ලියවිලි.

බැබිලෝනියේ ඉතිහාසය ගැන සඳහන් ලියවිලි.

ඒ මොනවාද? පුරාණ බැබිලෝනියේ ප්‍රධාන සිදුවීම් වාර්තා කර ඇති මැටි පුවරුයි.2

විශාරදයන් පවසන දේ: උල් අකුරු සහිත මැටි පුවරු ගැන ගවේෂණය කළ ආර්. එච්. සැක් සඳහන් කරන්නේ එම මැටි පුවරු අදාළ සිදුවීම් ගැන සම්පූර්ණ වාර්තාවක් සපයන්නේ නැති බවයි. * ඒ නිසා ඉතිහාසඥයන් ‘සැබෑවටම සිදු වූ දේ දැනගැනීමට වෙනත් මූලාශ්‍රද ගවේෂණය කළ යුතුයි’ කියා ඔහු පවසනවා.

මැටි පුවරුවල සඳහන් දේ: බැබිලෝනියේ ඉතිහාසය ගැන සඳහන් ලියවිලිවලින් ඉතිහාසය ගැන සම්පූර්ණ තොරතුරු දැනගත නොහැකියි.3 ( “බැබිලෝනියානු ලියවිලිවල තිබෙන අඩුපාඩු” නමැති කොටුව බලන්න.) එසේනම් එම ලියවිලි පදනම් කරගෙන පැමිණෙන නිගමන විශ්වාස කළ හැකිද?

ගනු දෙනු ගැන සඳහන් ලියවිලි.

ඒ මොනවාද? ඒවා නීතික තොරතුරු අඩංගු ලියවිලියි. රජ කෙනෙක් පාලනය ආරම්භ කර ගත වී ඇති දවස්, මාස හා අවුරුදු ගණනට අනුව ගනු දෙනු සිදු වූ දින වකවානු එම ලියවිලිවල සඳහන් කර තිබෙනවා. උදාහරණයකට, එවැනි එක් ලියවිල්ලක මෙසේ සඳහන් වෙනවා. “බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර්ගේ (දෙවන නෙබුකද්නෙෂර් ලෙසද හඳුන්වනවා) පාලනයේ 11වන අවුරුද්දේ නීසාන් මාසයේ 27වන දින.”4

රජ කෙනෙකුව එම තනතුරෙන් ඉවත් කළ විට හෝ ඔහු මිය ගිය විට වෙනත් කෙනෙකුව පත් කරනු ලැබුවා. එය සිදු වෙන්නේ එකම වසර තුළදී වුණත් අලුතෙන් පත් වෙන රජුගේ නිල පාලන කාලය ගණන් ගනු ලබන්නේ ඔහු රජ බවට පත් වූ මාසයේ සිට නොව ඊළඟ වසරේ මුල් මාසයේ සිටයි. *5 ඒ අනුව අලුතෙන් පාලනයට පත් වූ රජුගේ නිල පාලන කාලය ආරම්භ වන තුරු ගත වන මුල් මාස කිහිපයේදී සිදු වූ ගනු දෙනු සටහන් කළ යුත්තේ කලින් පාලකයාගේ පාලන කාලයට අනුවයි.

විශාරදයන් පවසන දේ: බැබිලෝනි අධිරාජ්‍යයේ දෙවන අදියරය ගැන සඳහන් ලියවිලි විශාල ප්‍රමාණයක් ආර්. එච්. සැක් අධ්‍යයනය කළා. ඔහුට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබූ එවැනි ලියවිලි කිහිපයක් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණා. ඊට පෙර කිසි කෙනෙක් එම ලියවිලි අධ්‍යයනය කර තිබුණේ නැහැ. පසුව ඔහු සොයාගත් තොරතුරු 1972දී වාර්තා කළා. දෙවන නෙබුකද්නෙෂර් රජු හා ඔහුගේ පුත් ආමෙල්-මාර්ඩුක් (එවිල්-මෙරොඩාක් ලෙසද හඳුන්වනවා) අතර රජකම මාරු වූ කාලය ගැන පැමිණ තිබූ නිගමන එම ලියවිලි සෝදිසි කරන විට වෙනස් බව ඔහු වටහාගත්තා.6 ඒ කොහොමද? ඔහු පවසන ආකාරයට විශාරදයන් සොයාගෙන තිබුණේ දෙවන නෙබුකද්නෙෂර් රජු ඔහුගේ පාලනයේ 43වෙනි වසරේ හයවෙනි මාසය දක්වා පාලනය කළ බවයි. නමුත් අලුතින් අධ්‍යයනය කළ ලියවිලිවලට අනුව නෙබුකද්නෙෂර්ගෙන් පසු පාලනය කළ ආමෙල්-මාර්ඩුක් එම වසරේම හතරවෙනි හෝ පස්වෙනි මාසයේදී රජ වූ බවට සඳහන් වෙනවා.7 ඒ අනුව එම වාර්තාවල පරස්පර විරෝධී බවක් තිබෙනවා කියා පැහැදිලියි.

මැටි පුවරුවල සඳහන් දේ: එක් රජ කෙනෙකුගෙන් තව කෙනෙකුට රජකම මාරු වීම සම්බන්ධයෙන් තිබෙන පරස්පර විරෝධී කරුණුවලට තවත් උදාහරණයක් සලකා බලමු. දෙවන නෙබුකද්නෙෂර් රජු දහවෙනි මාසයේදීත් පාලනය කළ බව ලියවිලිවල සඳහන් වන අතර ඔහුගෙන් පසු පත් වූ පාලකයා ඊට මාස හයකට පෙර පාලනය ආරම්භ කළ බව වෙනත් ලියවිලිවල සඳහන් වෙනවා.8 ආමෙල්-මාර්ඩුක් සහ ඔහුගෙන් පසු පාලනය කළ නෙරිග්ලිසාර් සම්බන්ධයෙන් ඇති වාර්තාවලද පරස්පර විරෝධී අදහස් තිබෙනවා.9

මෙම තොරතුරු ගැන සැලකිලිමත් වීම වැදගත් ඇයි? බැබිලෝනියේ ගනු දෙනු ගැන සඳහන් ලියවිලිවලින් රජවරුන්ගේ පාලනයන් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගැනීමට නොහැකි බව ඉන් පැහැදිලි වෙනවා.10 එම ලියවිලිවල සඳහන් රජවරුන්ට අමතරව වෙනත් රජවරුන්ද පාලනය කළා කියා සිතිය නොහැකිද? පාලනය කළා නම් බැබිලෝනි අධිරාජ්‍යයේ දෙවෙනි අදියරය පැවති වසර ගණන තවත් වැඩි වෙනවා. ඒ නිසා යෙරුසලම ක්‍රි.පූ. 587දී විනාශ වූ බව නිශ්චිතවම පැවසීමට පදනම ලෙස බැබිලෝනියේ ඉතිහාසය ගැන සඳහන් ලියවිලි හා ගනු දෙනු ගැන සඳහන් ලියවිලි යොදාගත නොහැකියි. *

තරුවල පිහිටීම ගැන සඳහන් ලියවිලි.

ඒ මොනවාද? ඉර, සඳ, ග්‍රහලෝක සහ තරුවල පිහිටීම මෙන්ම රජවරුන් පාලනය කළ වර්ෂ ඒවායෙහි සඳහන් වෙනවා. උදාහරණයකට, මුකින්-සෙරිගේ පාලනයේ පළමුවන අවුරුද්දේ පළමුවන මාසයේ චන්ද්‍ර ග්‍රහණයක් සිදු වූ බව එවැනි එක් ලියවිල්ලක සඳහන් වෙනවා.11

විශාරදයන් පවසන දේ: අනාගතයේදී චන්ද්‍ර ග්‍රහණ හෝ සූර්ය ග්‍රහණ සිදු වන කාලය දැනගැනීම සඳහා බැබිලෝනිවරුන් බොහෝ වගු සහ සූත්‍ර නිර්මාණය කළ බව විශාරදයන් පවසනවා.12

ඒවා යොදාගෙන අතීතයේදී වූ චන්ද්‍ර ග්‍රහණ හෝ සූර්ය ග්‍රහණ සිදු වූයේ කුමන කාලයේදීද කියා සොයාගැනීමට ඔවුන්ට හැකිද? “ඔව්, සමහරවිට එසේ කරන්න පුළුවන්” කියා මහාචාර්ය ජෝන් ස්ටීල් පවසනවා.13 මහාචාර්ය ඩේවිඩ් බ්‍රවුන් සඳහන් කරන ආකාරයට ඔවුන් චන්ද්‍ර ග්‍රහණ හෝ සූර්ය ග්‍රහණ ඇති වීමට කලින් ඒ ගැන සඳහන් කර තිබුණත් එසේ සඳහන් කර තිබෙන්නේ ඒවා සිදු වීමට ආසන්න කාලයේදීයි. ඒ වගේම ක්‍රි.පූ. හතරවෙනි හෝ ඊට පසු සියවස්වල සිටි පිටපත් කරන්නන් චන්ද්‍ර ග්‍රහණ හෝ සූර්ය ග්‍රහණ ගැන ලියා තිබෙන්නේ ඒවා අනාගතයේදී සිදු වීමට නියමිත ඒවා ලෙසයි. නමුත් ඔවුන් ඇත්තටම එය වාර්තා කර තිබෙන්නේ ඒවා සිදු වූ පසුව එනම්, කාලය පසුපසට ගණන් කිරීමෙන් බව එම මහාචාර්යවරයා පිළිගන්නවා.14 ඔවුන් දින වකවානු තීරණය කරන්නේ කාලය පසුපසට ගණන් කිරීමෙන් නම් ඒවා වෙනත් සාක්ෂි සමඟ සන්සන්දනය නොකර සත්‍ය බව පිළිගත හැකිද?

යම් නිශ්චිත දිනයක චන්ද්‍ර ග්‍රහණ හෝ සූර්ය ග්‍රහණ සිදු වූවා කියා පවසන විට එය සත්‍යයක් විය හැකි වුණත් එදිනට යම් ඓතිහාසික සිදුවීමක් සම්බන්ධ කිරීම නිවැරදි විය හැකිද? සැමවිටම එසේ වන්නේ නැහැ. මහාචාර්ය වෑන් ඩේ ස්පික් මෙසේ පැහැදිලි කරනවා. “එම ලියවිලි සම්පාදනය කර තිබෙන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් මිස ඉතිහාසඥයන් නොවෙයි.” ඒ නිසා එවැනි ලියවිලිවල ඉතිහාසගත තොරතුරු වාර්තා කර තිබුණත් එම තොරතුරු යොදාගත යුත්තේ ඉතාමත් පරෙස්සමෙන් බව ඔහු පවසනවා.15

මැටි පුවරුවල සඳහන් දේ: VAT 4956 ලෙස හඳුන්වා ඇති මැටි පුවරුවේ සඳහන් දේ අපි සලකා බලමු. එහි පළමුවන පේළියේ “බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ 37වෙනි අවුරුද්ද” කියා සඳහන් වෙනවා.16 ඉන්පසු තරු සහ රාශි පිහිටි ස්ථානවලට අනුව සඳ හා ග්‍රහ වස්තූන් පිහිටි ස්ථාන ගැන සඳහන් වෙනවා. චන්ද්‍ර ග්‍රහණයක් සිදු වූ බවත් එහි සඳහන් වෙනවා. මේ සියල්ල සිදු වූයේ ක්‍රි.පූ. 568/567දී කියා සමහර විශාරදයන් පවසනවා. ඒ අනුව නෙබුකද්නෙෂර්ගේ පාලනයේ 18වෙනි අවුරුද්දේදී එනම්, ක්‍රි.පූ. 587දී යෙරුසලම විනාශ වූ බව ඔවුන් පවසනවා. නමුත් තරුවල පිහිටීම ගැන සඳහන් මෙම ලියවිල්ලේ ඇති තොරතුරු අදාළ වන්නේ ක්‍රි.පූ. 568/567ට පමණක්ද?

සීමානු මාසයේ (බැබිලෝනිවරු තුන්වෙනි මාසය ලෙස සැලකූ මාසය) 15වෙනි දින චන්ද්‍ර ග්‍රහණයක් සිදු වූ බව ඉහත සඳහන් මැටි පුවරුවේ සඳහන් වෙනවා. ක්‍රිස්තු පූර්ව 568 ජූලි 4වෙනිදා (ජූලියන් දිනදර්ශනය) චන්ද්‍ර ග්‍රහණයක් සිදු වූ බව ඇත්තයි. කෙසේවෙතත් ඊට වසර 20කට කලින් එනම් ක්‍රි.පූ. 588 ජූලි 15වෙනිදාද චන්ද්‍ර ග්‍රහණයක් දැකගත හැකි වුණා.17

ඒ අනුව දෙවන නෙබුකද්නෙෂර් රජුගේ පාලනයේ 37වෙනි වසර ක්‍රි.පූ. 588 වූවා නම් ඔහුගේ පාලනයේ 18වෙනි වසර වෙන්නේ ක්‍රි.පූ. 607යි. බයිබලයේ සඳහන් තොරතුරුවලට අනුව යෙරුසලමේ විනාශය සිදු වූයේ එම වසරේදීයි. ( පහත සඳහන් සටහන බලන්න.) කෙසේවෙතත් ක්‍රි.පූ. 607වෙනි වසරට අදාළ වෙනත් සාක්ෂි VAT 4956 යන මැටි පුවරුවේ සඳහන් වෙනවාද?

ඉහත සඳහන් චන්ද්‍ර ග්‍රහණයට අමතරව චන්ද්‍රයාගේ පිහිටීම සඳහන් අවස්ථා 13ක් සහ වෙනත් ග්‍රහ වස්තූන්වල පිහිටීම සඳහන් අවස්ථා 15ක් එහි සඳහන් වෙනවා. තරුවල හා තරු රාශිවල පිහිටීමට අනුව සඳ සහ ග්‍රහ වස්තූන් පිහිටා ඇති ආකාරය එහි විස්තර කරනවා.18 ඉර නැඟ එන අවස්ථාවේ සිට බැස යන අවස්ථාව සහ සඳ නැඟ එන අවස්ථාවේ සිට බැස යන අවස්ථාව අතර කාලවල් අටක් ගැන එහි වාර්තා කර තිබෙනවා.18අ

චන්ද්‍ර ග්‍රහණ සිදු වන කාලය නිශ්චිතවම පැවසිය හැකි නිසා VAT 4956 යන මැටි පුවරුවේ චන්ද්‍රයාගේ පිහිටීම ගැන සඳහන් අවස්ථා 13 පර්යේෂකයන් ඉතා පරෙස්සමෙන් අධ්‍යයනය කළා. ඔවුන් ඒ සඳහා පරිගණක වැඩසටහනක් උපයෝගී කරගත්තා.19 එම අධ්‍යයනයෙන් ඔවුන් දැනගත්තේ කුමක්ද? චන්ද්‍රයාගේ පිහිටීම සඳහන් එම අවස්ථා 13ම ක්‍රි.පූ. 568/567ට නොගැළපුණත් ඒ සියලුම අවස්ථාවන් ක්‍රි.පූ. 588/587ට ගැළපෙන බවයි.

චන්ද්‍රයාගේ පිහිටීම නිවැරදිවම අදාළ වන්නේ ක්‍රි.පූ. 568ට නොව ක්‍රි.පූ. 588ට බව මෙම ලිපියේ ඇති කොටුවල සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. චන්ද්‍රයා “නීසාන් 9වෙනි දින” යම් නිශ්චිත ස්ථානයක පිහිටි බවත් VAT 4956 යන මැටි පුවරුවේ තුන්වෙනි පේළියේ සඳහන් වී තිබෙනවා. විශාරදයන් පවසන්නේ එවැනි දෙයක් සිදු වූයේ ක්‍රි.පූ. 568 නීසාන් 8වෙනි දින බවයි. නවවෙනි දින කියා එම මැටි පුවරුවේ සඳහන් වී තිබෙන්නේ ලේඛකයාගේ අතින් සිදු වූ වරදක් නිසා බව ඔවුන් පවසනවා.20 නමුත් එම විස්තරය සඳහන් චන්ද්‍රයාගේ පිහිටීම ක්‍රි.පූ. 588 නීසාන් 9වෙනි දිනට නිවැරදිවම ගැළපෙනවා.21

අප මෙතෙක් සලකා බැලූ VAT 4956 යන මැටි පුවරුවේ සඳහන් බොහෝ තොරතුරු නිවැරදිවම ගැළපෙන්නේ ක්‍රි.පූ. 588යි. එහි සඳහන් ලෙස එම වසර දෙවන නෙබුකද්නෙෂර් රජුගේ පාලනයේ 37වෙනි වසරයි. ඒ අනුව ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ වූ බව බයිබලයේ සඳහන් තොරතුරු යොදාගෙන පැමිණෙන නිගමනයට එම මැටි පුවරුවේ සඳහන් තොරතුරු හොඳින් ගැළපෙනවා.

බයිබලය විශ්වාස කළ යුත්තේ ඇයි?

වර්තමානයේ සිටින බොහෝ විශාරදයන් පිළිගන්නේ යෙරුසලම ක්‍රි.පූ. 587දී විනාශ වූ බවයි. නමුත් බයිබලය ලියූ ලේඛකයන් දෙදෙනෙක් වන යෙරෙමියා සහ දානියෙල් පැහැදිලිවම සඳහන් කරන්නේ යුදෙව්වන් වසර 50ක් නොව වසර 70ක් බැබිලෝනියේ වහලුන් ලෙස සිටියා කියායි. (යෙරෙමියා 25:1, 2, 11; 29:10; දානියෙල් 9:2) ඔවුන් සඳහන් කරන තොරතුරුවලට අනුව ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ වූ බව පැහැදිලියි. අප ඉහත සලකා බැලූ සාක්ෂිවලින්ද එය යම් දුරකට තහවුරු වෙනවා.

විශාරදයන් බයිබලයේ නිවැරදිභාවය ගැන නිතර නිතර ප්‍රශ්න කරනවා. නමුත් අලුත් සොයාගැනීම් මගින් බයිබලයේ සඳහන් වාර්තාවන් නිවැරදි බව මීට කලින් බොහෝ අවස්ථාවලදී ඔප්පු වී තිබෙනවා. * ඒ වගේම බයිබලය විශ්වාස කරන අයට ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. ඒ නිසා එහි ඇති ඓතිහාසික හා විද්‍යාත්මක තොරතුරු වගේම අනාවැකිද නිවැරදි බව ඔවුන් පිළිගන්නවා. බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා ඇති බව එම තොරතුරු සොයා බලන අය විශ්වාස කරනවා. (2 තිමෝති 3:16) බයිබලය සත්‍යය කරුණු අඩංගු පොතක්ද කියා ඔබම සොයා බලන්න. එවිට එහි සඳහන් තොරතුරු සත්‍යයද නැද්ද කියා ඔබටම තහවුරු කරගන්න පුළුවන්.

[පාදසටහන්වල]

^ 14 ඡේ. මෙම ලිපියේ සඳහන් කිසිම විශාරදයෙක් ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ වූ බව විශ්වාස කරන්නේ නැහැ.

^ 18 ඡේ. රජ කෙනෙක් පාලකයෙක් ලෙස පත් වූ මුල් මාස කිහිපය ඔහුගේ නිල පාලන කාලයේ ආරම්භය ලෙස සලකන්නේ නැහැ.

^ 21 ඡේ. බැබිලෝනි අධිරාජ්‍යයේ දෙවෙනි අදියරය පැවති කාලයේ සිදු වූ ගනු දෙනු ගැන සඳහන් මැටි පුවරුවල, සමහරවිට සෑම වසරකම සිදු වූ ගනු දෙනු ගැන සඳහන් වී තිබෙනවා විය හැකියි. එහි සඳහන් රජවරු පාලනය කළ කාලයන් සියල්ල එකතු කර බැබිලෝනියේ අවසන් පාලකයා වන නැබෝනිඩස්ගේ සිට ආපස්සට ගණනය කළ විට යෙරුසලම ක්‍රි.පූ. 587දී විනාශ වූ බවට විශාරදයන් නිගමනය කරනවා. කෙසේවෙතත් මැටි පුවරුවල සඳහන් රජවරුන් දෙදෙනෙකුගේ පාලනය අතරතුර වෙනත් පාලකයෙක් පාලනය කළා නම් එම ගණනය කිරීම නිවැරදි වෙන්නේ නැහැ.

^ 36 ඡේ. ඒ ගැන සාක්ෂි දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති The Bible—God’s Word or Man’s යන පොතේ 4 සහ 5වෙනි පරිච්ඡේද බලන්න. (සිංහලෙන් නැත.)

[23වන පිටුවේ කොටුව⁄වගුව]

 (මුද්‍රිත පිටපත බලන්න)

බැබිලෝනියානු ලියවිලිවල තිබෙන අඩුපාඩු

එම ලියවිලිවල සඳහන් වෙන්නේ බැබිලෝනියානු අධිරාජ්‍යයේ දෙවන අදියරයේ වසර 35ක තොරතුරු පමණයි. නමුත් බැබිලෝනි අධිරාජ්‍යයේ දෙවෙනි අදියරය වසර 88ක් පමණ පැවති බවට විශ්වාස කරනවා.

ඉතිහාස වාර්තා කිසිවක් නොමැති වසර

ඉතිහාස වාර්තා තිබෙන වසර

BM 21901

BM 21946

BM 35382

බැබිලෝනියානු අධිරාජ්‍යයේ දෙවන අදියරය

පර්සියානු පාලනය

නැබොපොලසාර්

දෙවන නෙබුකද්නෙෂර්

ආමෙල්-මාර්ඩුක්

නැබොනිඩස්

නෙරිග්ලිසාර්

ලබාෂි-මාර්ඩුක්

BM 25127

BM 22047

BM 25124

[හිමිකම් විස්තර]

BM 21901 and BM 35382: Photograph taken by courtesy of the British Museum; BM 21946: Copyright British Museum; BM 22047, 25124, 25127: © The Trustees of the British Museum

[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]

Bm 32238 ලෙස හඳුන්වන මැටි පුවරුව

මෙම ලියවිල්ලේ චන්ද්‍ර ග්‍රහණයන් ගැන වාර්තා ඇතුළත් වෙනවා. නමුත් ඒවා වාර්තා කර තිබෙන්නේ චන්ද්‍ර ග්‍රහණයන් සියල්ල සිදු වූ පසුවයි. එහි සඳහන් මුල්ම හා අවසන් චන්ද්‍ර ග්‍රහණ දෙක අතර වසර 400ක පමණ පරතරයක් තිබෙනවා. එහි ලේඛකයා එම චන්ද්‍ර ග්‍රහණ සියල්ලම සියැසින් දුටුවේ නැති නිසා ඒවා ගැන දැනගැනීමට ඔහු යම් ගණිතමය ක්‍රමයක් භාවිත කරන්න ඇති කියා සිතිය හැකියි. ඔහු එලෙස වාර්තා කර තිබෙන තොරතුරු සත්‍ය බව සනාථ කිරීමට වෙනකුත් සාක්ෂි ලැබී නැත්නම් ඒවා නිවැරදියි කියා සිතීමට පදනමක් නැහැ.

[හිමිකම් විස්තර]

© The Trustees of the British Museum

[26, 27වන පිටුවල කොටුව⁄පින්තූර]

Vat 4956 යන මැටි පුවරුවේ වාර්තා වී තිබුණේ මොනවාද?

පළමු මාසයේ (නීසානු/නීසාන්) ‘9වෙනි දින රාත්‍රියේදී’ “බීටා වර්ජිනිස් නම් තාරකාවට රියනක් ඉදිරියෙන් චන්ද්‍රයා පිහිටියා” කියා එම පුවරුවේ සඳහන් වෙනවා. නමුත් ඔටෝ සහ එන්ස්ට් නැමැත්තන් ක්‍රි.පූ. 568 ගැන අදහස් දක්වමින් 1915දී මෙසේ ලිව්වා. “බීටා වර්ජිනිස් නම් තාරකාවට රියනක් ඉදිරියෙන් චන්ද්‍රයා පිහිටියේ නීසාන් 9වෙනිදා නොව නීසාන් 8වෙනිදායි.” කොහොමවුණත් ක්‍රි.පූ. 588 නීසාන් 9වෙනිදා චන්ද්‍රයා එම ස්ථානයේ පිහිටි බව නිශ්චිතවම පැවසීමට සාක්ෂි තිබෙනවා.

තිබෙන සාක්ෂි මොනවාද?

(1) පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට අංක 9 සඳහා භාවිත කරන අක්කාඩියානු සංකේතය පැහැදිලිව දැකගත හැකියි.

(2) ඔටෝ සහ එන්ස්ට් එම මැටි පුවරුවේ තොරතුරු පරිවර්තනය කිරීමේදී “9” වෙනුවට “8” යොදා තිබෙනවා.

(3) එම දිනය “9වෙනිදා” බව ඔවුන්ගේ පොතේ පාදසටහනේ පමණක් යොදා තිබෙනවා.

(4) ඔවුන් එය ජර්මානු භාෂාවට පරිවර්තනය කර තිබෙන්නේත් “8වෙනිදා” ලෙසයි.

(5) වර්ෂ 1988දී ඒබ්‍රහම් සහ හර්මාන් එම දිනය “9වෙනිදා” ලෙස සඳහන් කර තිබෙනවා.

(6) ඔවුන්ගේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඔවුන් සඳහන් කරන්නේ මැටි පුවරුවේ සඳහන් දිනය වැරදි බවයි.

[හිමිකම් විස්තර]

bpk/​Vorderasiatisches Museum, SMB/​Olaf M. Teßmer

[28වන පිටුවේ කොටුව]

පොතපත

1. ත්‍රිකෝණාකාර හැඩැති සලකුණු විශේෂයක්. මැටි තට්ටුවක් මත ඒවා සලකුණු කළා.

2. Assyrian and Babylonian Chronicles, by A. K. Grayson, published 1975, 2000 reprint, page 8.

3. බැබිලෝනි අධිරාජ්‍යයේ දෙවන අදියරය ආරම්භ වුණේ කල්දීය රාජ වංශයේ රජවරු පාලනය කළ ක්‍රි.පූ. හත්වන සියවසේදීයි. පළමු රජු වූයේ දෙවන නෙබුකද්නෙෂර් රජුගේ පුතා වන නැබොපොලසාර්. පර්සියාවේ රජු වූ සයිරස් විසින් ක්‍රි.පූ. 539දී නැබොනිඩස්ව බලයෙන් පහ කළ විට බැබිලෝනි අධිරාජ්‍යය අවසන් වුණා.

4. Neo-Babylonian Business and Administrative Documents, by Ellen Whitley Moore, published 1935, page 33.

5. Archimedes, Volume 4, New Studies in the History and Philosophy of Science and Technology, “Observations and Predictions of Eclipse Times by Early Astronomers,” by John M. Steele, published 2000, page 36.

6. Amel-Marduk 562-560 B.C.—A Study Based on Cuneiform, Old Testament, Greek, Latin and Rabbinical Sources. With Plates, by Ronald H. Sack, published 1972, page 3.

7. BM 80920 සහ BM 58872 ලෙස හඳුන්වා ඇති මැටි පුවරුවල එවිල්-මෙරොඩාක් රජ බවට පත් වූ හතරවන හා පස්වන මාස ගැන සඳහන් වෙනවා. These were published by Sack in Amel-Marduk 562-560 B.C.—A Study Based on Cuneiform, Old Testament, Greek, Latin and Rabbinical Sources. With Plates, pages 3, 90, 106.

8. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන මැටි පුවරුවේ (BM 55806) 43වන වසරේ දහවන මාසය කියා සඳහන් වී තිබෙනවා.

9. BM 75106 සහ BM 61325 ලෙස හඳුන්වන මැටි පුවරුවල එවිල්-මෙරොඩාක් රජුගේ පාලනයේ අවසන් වසරේ හත්වන හා දහවන මාසය ගැන සඳහන් වෙනවා. කෙසේවෙතත් එවිල්-මෙරොඩාක්ගෙන් පසු රජ වූ නෙරිග්ලිසාර් එම වසරේ දෙවන මාසයේ රජකම් කළ බව BM 75489 ලෙස හඳුන්වන මැටි පුවරුවේ සඳහන් වෙනවා.—1988දී ප්‍රකාශයට පත් කළ එර්ල් ලීච්ටි සහ ජේ. ජේ. ෆින්කෙල්ස්ටේන් විසින් රචිත Catalogue of the Babylonian Tablets in the British Museum නමැති පොතේ 8වෙනි වෙළුමේ 25 සහ 35වෙනි පිටු.

Catalogue of the Babylonian Tablets in the British Museum, Volume VII, (Tablets From Sippar 2) by Erle Leichty and A. K. Grayson, published 1987, page 36.

Neriglissar—King of Babylon, by Ronald H. Sack, published 1994, page 232. මැටි පුවරුවේ සඳහන් මාසයේ නම අජාරු, (දෙවෙනි මාසය).

10. නෙරිග්ලිසාර් රජු ගැන සලකා බලන්න. එක් ලියවිල්ලක ඔහු ‘බැබිලෝනියේ රජු වූ බෙල්-ෂුම්-ඉෂ්කුන්ගේ පුතා’ කියා සඳහන් වෙනවා. තවත් ලියවිල්ලක බෙල්-ෂුම්-ඉෂ්කුන් “නැණවත් කුමාරයෙක්” කියා සඳහන් වෙනවා. කුමාරයා යන්නට යොදා ඇති මුල් වචනයෙන් රජ, පාලකයා යන අදහසත් ඇතුළත් වෙනවා. ආමෙල් මාර්ඩුක් හා නෙරිග්ලිසාර්ගේ පාලන කාලයන් ගැන පරස්පර විරෝධී බවක් තිබෙනවා. ‘බැබිලෝනියේ රජු වූ බෙල්-ෂුම්-ඉෂ්කුන්’ ආමෙල් මාර්ඩුක්ට පසු හා නෙරිග්ලිසාර්ට පෙර පාලනය කළා විය හැකිද? මහාචාර්ය ආර්. පී. ඩෝග්ටි පවසන්නේ “නෙරිග්ලිසාර්ගේ පෙළපත ගැන නිවැරදිව කිව නොහැකියි” කියායි.—වර්ෂ 1929දී ප්‍රකාශයට පත් කළ රේමන්ඩ් පී. ඩෝග්ටි විසින් රචිත Nabonidus and Belshazzar—A Study of the Closing Events of the Neo-Babylonian Empire නමැති පොතේ 61වෙනි පිටුව.

11. Astronomical Diaries and Related Texts From Babylonia, Volume V, edited by Hermann Hunger, published 2001, pages 2-3.

12. Journal of Cuneiform Studies, Volume 2, No. 4, 1948, “A Classification of the Babylonian Astronomical Tablets of the Seleucid Period,” by A. Sachs, pages 282-283.

13. Astronomical Diaries and Related Texts From Babylonia, Volume V, page 391.

14. Mesopotamian Planetary Astronomy-Astrology, by David Brown, published 2000, pages 164, 201-202.

15. Bibliotheca Orientalis, L N° 1/2, Januari-Maart, 1993, “The Astronomical Diaries as a Source for Achaemenid and Seleucid History,” by R. J. van der Spek, pages 94, 102.

16. Astronomical Diaries and Related Texts From Babylonia, Volume I, by Abraham J. Sachs, completed and edited by Hermann Hunger, published 1988, page 47.

17. Babylonian Eclipse Observations From 750 BC to 1 BC, by Peter J. Huber and Salvo De Meis, published 2004, page 186. VAT 4956 යන මැටි පුවරුවට අනුව එම චන්ද්‍ර ග්‍රහණය සිදු වුණේ බැබිලෝනියානු දිනදර්ශනයේ තුන්වෙනි මාසයේ (සීමානු මාසය) පහළොස්වෙනිදායි. එය සිදු වූයේ ක්‍රි.පූ. 588 ජූලි 15වෙනිදා නම් සීමානු මාසය ආරම්භ වන්නේ, දින පහළොවකට කලිනුයි. ජූලියන් දිනදර්ශනයට අනුව ක්‍රි.පූ. 588 සීමානු මාසයේ පළමුවෙනිදා වෙන්නේ ජූනි 30 හෝ ජූලි 1වෙනිදායි. ඒ අනුව බැබිලෝනිවරුන්ගේ පළමු මාසය (නීසානු මාසය) ආරම්භ විය යුත්තේ මාස දෙකකට කලිනුයි. එනම් මැයි 2වෙනිදා හෝ 3වෙනිදායි. සාමාන්‍යයෙන් ඉහත සඳහන් චන්ද්‍ර ග්‍රහණය සිදු විය යුත්තේ අප්‍රියෙල් 3වෙනිදා හෝ 4වෙනිදා වුවත් VAT 4956 යන මැටි පුවරුවේ සඳහන් ආකාරයට කලින් වසරට තව මාසයක් එකතු කර තිබෙනවා. ඒ නිසා ඊළඟ වසර ආරම්භ වූයේ මැයි 2වෙනිදා හෝ 3වෙනිදාට පසුවයි. ක්‍රිස්තු පූර්ව 588 සිදු වූ මෙම චන්ද්‍ර ග්‍රහණය මැටි පුවරුවේ සඳහන් තොරතුරුවලට එකඟයි.

18. According to Berichte über die Verhandlungen der Königl. Sächsischen Gesellschaft der Wissenschaften zu Leipzig (Reports Regarding the Discussions of the Royal Saxonian Society of Sciences at Leipzig); Volume 67; May 1, 1915; in the article “Ein astronomischer Beobachtungstext aus dem 37. Jahre Nebukadnezars II” (An Astronomical Observer’s Text of the 37th Year Nebuchadnezzar II), by Paul V. Neugebauer and Ernst F. Weidner, pages 67-76, එක්තරා තරුවක් හෝ රාශියක් පිහිටි ස්ථානයට අනුව සඳ පිහිටි ස්ථානය ගැන සඳහන් අවස්ථා 13ක් තිබෙනවා. ඒ වගේම ග්‍රහ වස්තූන්වල පිහිටීම නිරීක්ෂණය කළ අවස්ථා 15ක් එහි සඳහන් වෙනවා. (72-76 පිටු) සඳ හැඳින්වීමට යොදා තිබෙන සලකුණ පැහැදිලි වුණත් ග්‍රහ වස්තූන්වල නම් සහ ඒවා පිහිටි ස්ථාන සඳහා තිබෙන සලකුණු පැහැදිලි නැහැ. (2000දී ප්‍රකාශයට පත් කළ ඩේවිඩ් බ්‍රවුන් විසින් රචිත Mesopotamian Planetary Astronomy—Astrology, නමැති පොතේ 53-57 පිටු) ඒ නිසා ග්‍රහ වස්තූන්වල පිහිටි ස්ථාන ගැන විවිධ අය විවිධ මත දරනවා. නමුත් අතීතයේ ඕනෑම දිනක සඳ පිහිටි ස්ථාන නිශ්චිතව පැවසීමට හැකියාව තිබෙන නිසා VAT 4956හි සඳහන් ග්‍රහ වස්තූන් සහ ඒවා පිහිටි ස්ථාන ගැන නිශ්චිතව පැවසීමට හැකියාව තිබෙනවා.

18අ. මෙහි සඳහන් වෙන්නේ මාසයේ පළමු දවසේ ඉර බසින අවස්ථාවේ සිට සඳ බැස යන අවස්ථාවේ සටහන් කළ කාලයන් සහ එම මාසයේම වෙනත් අවස්ථා දෙකක සටහන් කළ කාලයන් ගැනයි. දිනදර්ශනයට අනුව මෙම අවස්ථාවන් සිදු වුණේ කවදාද කියා දැනගැනීමට විශාරදයන් උත්සාහ කළා. (“The Earliest Datable Observation of the Aurora Borealis,” by F. R. Stephenson and David M. Willis, in Under One Sky—Astronomy and Mathematics in the Ancient Near East, edited by John M. Steele and Annette Imhausen, published 2002, pages 420-428) මෙසේ කාලය සටහන් කිරීමට නම් පුරාණයේ සිටි අයට කාලය මැනීමට යම් උපකරණයක් අවශ්‍ය වෙනවා. නමුත් ඔවුන් සටහන් කර ඇති කාලය නිවැරදි බව පවසන්න බැහැ. (Archimedes, Volume 4, New Studies in the History and Philosophy of Science and Technology, “Observations and Predictions of Eclipse Times by Early Astronomers,” by John M. Steele, published 2000, pages 65-66) කෙසේවෙතත් ග්‍රහ වස්තූන් තිබෙන ස්ථානවලට අනුව සඳ තිබිය යුතු ස්ථානය නිශ්චිතව පැවසීමට හැකියි.

19. ඒ සඳහා යොදාගත්තේ TheSky6™ යන පරිගණක වැඩසටහනයි. ඊට අමතරව ඉහත පරිගණක වැඩසටහන මගින් ලබා දුන් දත්ත නිවැරදිද කියා Cartes du Ciel/Sky Charts (CDC) යන වැඩසටහන යොදාගෙනද පරීක්ෂා කළා. පැරණි දිනදර්ශනයේ දින වර්තමාන දිනදර්ශනයේ දිනවලට පරිවර්තනය කළ හැකි එක්සත් ජනපද නාවික හමුදාව මගින් ලබා දුන් පරිගණක වැඩසටහනක්ද ඒ සඳහා යොදාගත්තා. අදාළ මැටි පුවරුවේ ග්‍රහ වස්තූන්වල පිහිටීම ගැන තිබෙන තොරතුරු සම්බන්ධයෙන් බොහෝ අය විවිධ මත ඉදිරිපත් කර තිබෙන නිසා එම මැටි පුවරුවේ සඳහන් තොරතුරු මෙම අධ්‍යයනය සඳහා යොදාගත්තේ නැහැ.

20. Berichte über die Verhandlungen der Königl. Sächsischen Gesellschaft der Wissenschaften zu Leipzig (Reports Regarding the Discussions of the Royal Saxonian Society of Sciences at Leipzig); Volume 67; May 1, 1915; “Ein astronomischer Beobachtungstext aus dem 37. Jahre Nebukadnezars II, (-567/66)” (An Astronomical Observer’s Text of the 37th Year Nebuchadnezzar II), by Paul V. Neugebauer and Ernst F. Weidner, page 41.

21. VAT 4956 තුන්වෙනි පේළියේ මෙසේ සඳහන් වෙනවා. “සඳ, බීටා වර්ජිනිස් තරුවට රියනක් [එනම් අංශක 2ක්] ඉදිරියෙන් දැකගත හැකි වුණා.” නීසාන් 9වෙනිදා සඳ, බීටා වර්ජිනිස් තරුවට අංශක 2.04ක් ඉදිරියෙන් තිබූ බව ඉහත සඳහන් පරිගණක වැඩසටහන මගින්ද හෙළි වුණා.

[25වන පිටුවේ වගුව]

 (මුද්‍රිත පිටපත බලන්න)

VAT 4956 මැටි පුවරුවේ සඳහන් තොරතුරුවලට අනුව යෙරුසලම විනාශ වුණේ ක්‍රි.පූ. 587දීද නැත්නම් ක්‍රි.පූ. 607දීද?

◼ දෙවන නෙබුකද්නෙෂර් රජුගේ 37වෙනි අවුරුද්දේදී සිදු වූ චන්ද්‍ර ග්‍රහණ ඇතුළු තරුවල පිහිටීම ගැන එහි සඳහන් වෙනවා.

◼ දෙවන නෙබුකද්නෙෂර් රජු යෙරුසලම විනාශ කළේ ඔහුගේ පාලනයේ 18වන වසරේදීයි.—යෙරෙමියා 32:1.

දෙවන නෙබුකද්නෙෂර් රජුගේ පාලනයේ 37වන වසර වුණේ ක්‍රි.පූ. 568 නම් යෙරුසලම විනාශ වුණේ ක්‍රි.පූ. 587දී විය යුතුයි.

ක්‍රි.පූ. 610

600

590

580

570

560

ඔහුගේ පාලනයේ 37වන වසර වුණේ ක්‍රි.පූ. 588 නම් යෙරුසලම විනාශ වුණේ ක්‍රි.පූ. 607දී විය යුතුයි.

◼ එම මැටි පුවරුවේ තිබෙන තොරතුරුවලට අනුව විනාශය සිදු වුණේ ක්‍රි.පූ. 607දී බවට නිගමනය කළ හැකියි.

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photograph taken by courtesy of the British Museum