Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

වුලට කිරිකැටියෙක් එක් වූ විට

වුලට කිරිකැටියෙක් එක් වූ විට

චාල්ස් පැවසුවේ: * “අපේ දුව ඉපදුණාම මටයි මේරිටයි දැනුණේ පුදුම සතුටක්. හැබැයි මුල් මාස කීපයේදී මට හරි හැටි නින්දක් ලැබුණේ නැහැ. දුවව බලාගන්න විදිහ ගැන අපි කලින්ම සැලසුම් කළත් ඒ හැම දෙයක්ම වෙනස් වුණා.”

මේරි පැවසුවේ: “අපේ දුව ඉපදුණාට පස්සේ මං කැමති විදිහට ජීවත් වෙන්න මට පුළුවන් වුණේ නැහැ. මගේ මුළු අවධානයම යොමු වුණේ දුවගේ ඕනෑ එපාකම්වලටයි. මටයි චාල්ස්ටයි ආපහු පරණ තත්වෙට එන්න මාස ගාණක් ගත වුණා.”

වුලකට දරුවන් එක් වීමෙන් විශාල සතුටක් ලැබෙන බව බොහෝදෙනා පිළිගන්නවා. බයිබලයේද සඳහන් වෙන්නේ දරුවන් යෙහෝවා දෙවිගෙන් ලැබෙන ‘උරුමයක්’ කියායි. (ගීතාවලිය 127:3) කොහොමවුණත් කලින් සඳහන් කළ යුවළගේ අද්දැකීම හා සමානව දරුවන් පවුලට එකතු වූ විට විවාහ ජීවිතය තුළ බලාපොරොත්තු නොවූ තත්වයන් උද්ගත විය හැකි බව දෙමාපියන් දන්නවා. අලුත උපන් බිලිඳාට මවක් ඇගේ මුළු අවධානයම දීම සාමාන්‍ය දෙයක්. එම බැඳීම දැකීමෙන් සතුටක් ලබන පියෙක් කලින් මෙන් තම බිරිඳගේ අවධානය තමන්ට නොලැබීම ගැන දුක් වීමටත් ඉඩ තිබෙනවා.

පළමු දරුවාගේ උපත නිසා විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති විය හැකියි. දෙමාපියන් ලෙස තමන්ට පැවරෙන වගකීම් නිසා ඇති වන මානසික පීඩනය හේතුවෙන් යුවළක් අතර ප්‍රශ්න ගැටලු පවා ඇති වීමට ඉඩ තිබෙනවා.

බිලිඳාට සම්පූර්ණ අවධානය දිය යුතු මුල් මාස කිහිපයේදී යුවළකට සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද? ඒ කාලය තුළදී යුවළකට ඔවුන් අතර තිබෙන බැඳීම රැකගත හැක්කේ කෙසේද? දරුවාව හදා වඩා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සහකරු සමඟ ඇති විය හැකි මතගැටීම් විසඳාගත හැක්කේ කෙසේද? එවැනි තත්වයන්වලදී අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් අපි දැන් සලකා බලමු.

පළමුවෙනි අභියෝගය: දරුවාට මුළු අවධානයම දීම.

පවුලකට කිරිකැටියෙක් එක් වූ විට මවක් ඇගේ මුළු කාලයම යොදවන්නේ ඔහුගේ අවශ්‍යතා වෙනුවෙනුයි. එයින් ඇය පුදුමාකාර තෘප්තියක් ලබනවා. එලෙස ඇගේ මුළු අවධානයම දරුවා වෙතට යොමු වන නිසා තමන්ව නොසලකාහැර තිබෙන බවක් සැමියාට දැනිය හැකියි. ඒ ගැන බ්‍රසීලයේ වෙසෙන මැනුවෙල් පවසන දේ සලකා බලන්න. “මගේ බිරිඳ මට දුන්න අවධානය දරුවාට දෙනවා කියලා දැනුණම මට ඒක හුඟක් අමාරු වුණා. දරුවා ඉපදෙන්න කලින් මගේ බිරිඳ මට මුළු අවධානයම දුන්නා. ඒත් දැන් එහෙම නැහැ.” ඔබටත් එලෙස හැඟෙනවා නම් කළ හැක්කේ කුමක්ද?

විසඳුම: ඉවසන්න.

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත.’ (1 කොරින්ති 13:4, 5) අලුත උපන් බිලිඳෙක් සිටින දෙමාපියන්ට එය අදාළ කරගත හැක්කේ කෙසේද?

ප්‍රේමයෙන් ක්‍රියා කරන බුද්ධිමත් සැමියෙක් දරුවෙකුගේ උපත බිරිඳට ශාරීරිකවත් මානසිකවත් බලපා ඇති ආකාරය තේරුම්ගන්නවා. * මාස 11ක බිලිඳියක් සිටින ප්‍රංශයේ වෙසෙන ඇඩම් පැවසූ දේ සලකා බලන්න. “මගේ බිරිඳගේ මානසිකත්වය වෙනස් වෙන එක සමහර වෙලාවට මට ටිකක් අමාරුයි. හැබැයි එයාට එහෙම වෙන්නේ මවක් විදිහට අභියෝග රැසකට මුහුණ දෙන නිසා මිසක් මාත් එක්ක තියෙන තරහකට නෙවෙයි කියලා මම නිතරම මටම මතක් කරගන්නවා.”

ඔබ හොඳ චේතනාවකින් බිරිඳට උපකාර කළත් ඇය ඒ ගැන අමනාප වෙනවාද? එසේනම් කේන්ති ගන්න එපා. (දේශනාකාරයා 7:9) එවැනි අවස්ථාවලදී ඔබ ගැන නොසිතා ඇගේ අවශ්‍යතා ගැන සිතන්න. එවිට අමනාප නොවී සිටීමට ඔබට හැකි වෙනවා.—හිතෝපදේශ 14:29.

එමෙන්ම බුද්ධිමත් බිරිඳක්ද තම සැමියාට පියෙකුගේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය දිරිගැන්වීම ලබා දෙයි. උදාහරණයකට බිලිඳාට ඇඳුම් අන්දවන ආකාරය, බෝතලයෙන් කිරි පොවන ආකාරය ඇතුළු වෙනත් වැඩකටයුතු ඇය ඉවසීමෙන් ඔහුට කියා දෙයි.

විසිහය හැවිරිදි එලන් නමැති මව පැවසූ දේ සලකා බලන්න. “දරුවාව මම විතරක් අයිති කරගන්න උත්සාහ කරන එක වැරදියි කියලා මම තේරුම්ගත්තා. ඒ වගේම මගේ සැමියා දරුවාගේ වැඩ කරන කොට මම කරන විදිහටම ඒ දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ කියලත් මම මතක් කරගන්නවා.”

මෙය අත්හදා බලන්න: භාර්යාවෙනි, ඔබේ සැමියා දරුවාට අදාළ වැඩකටයුතු කරන්නේ ඔබට වඩා වෙනස් ආකාරයකින් නම් ඔහුව විවේචනය කිරීමට හෝ ඒ දේවල් නැවත කිරීමට හෝ වෑයම් කරන්න එපා. ඒ වෙනුවට ඔහු කළ දේවල් අගය කරන්න. එසේ කිරීමෙන් ඔබට අවශ්‍ය උපකාර දිගටම ලබා දීමට ඔහු පෙලඹෙනවා. ස්වාමිපුරුෂයෙනි, අනවශ්‍ය දේවල් සඳහා යොදවන කාලය සීමා කරන්න. එසේ කිරීමෙන් දරුවාගේ මුල් මාස කිහිපයේදී ඔබේ බිරිඳට අවශ්‍ය උපකාර ලබා දීමට හැකි වෙනවා.

දෙවෙනි අභියෝගය: දෙදෙනා අතර ඇති බැඳීම දුර්වල වීම.

හරි හැටි නින්දක් නොලැබීමෙන් දැනෙන වෙහෙස නිසාත් දෙමාපියන් ලෙස මුහුණ දීමට සිදු වන විවිධ අභියෝග නිසාත් යුවළක් අතර තිබෙන බැඳීම අඩු විය හැකියි. ප්‍රංශයේ වෙසෙන විවියන් ඒ ගැන පැවසුවේ මෙයයි. “මවක් විදිහට මගේ වගකීම්වලට මූලික අවධානය දුන්න නිසා බිරිඳක් විදිහට මට පැවරිලා තිබුණු වැඩ කොටස මට අමතක වුණා.”

ගැබ්ගැනීම නිසා තම බිරිඳ ශාරීරිකව හා මානසිකව යම් වෙනස්කම්වලට මුහුණ දී තිබෙන බව සමහරවිට සැමියන්ට අමතක විය හැකියි. දරුවා ඉපදීමට කලින් ඔබ දෙදෙනා ලිංගික කාරණා ඇතුළු එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවූ කාලය දරුවා ඉපදුණු පසු බොහෝවිට සීමා වීමට ඉඩ තිබෙනවා. එසේනම් ඔබේ අහිංසක කිරිකැටි බිලිඳා නිසා අඹුසැමියන් ලෙස ඔබ අතර තිබෙන බැඳීම දුර්වල කර නොගැනීමට කළ හැක්කේ කුමක්ද?

විසඳුම: ඔබේ ආදරය දැනෙන්න සලස්වන්න.

විවාහ බැඳීම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” * (උත්පත්ති 2:24) දෙදෙනෙක් විවාහ වූ පසුව දෙමාපියන්ගෙන් වෙන් වී ඔවුන්ගේම පවුල් ජීවිත ගත කිරීම විවාහ සැලැස්මේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ අරමුණයි. දරුවන් එසේ දෙමාපියන්ගෙන් වෙන් වී ගියත් සැමියෙක් සහ බිරිඳක් දිවි ඇති තුරා එක්ව සිටිය යුතුයි කියා දෙවි පැවසුවා. (මතෙව් 19:3-9) එය තේරුම්ගෙන සිටීම අලුත උපන් සිඟිත්තෙක් සිටින යුවළකට උපකාරවත් වන්නේ කෙසේද?

කලින් අදහස් දැක්වූ විවියන් මෙසේද පැවසුවා. “උත්පත්ති 2:24හි සඳහන් අදහස ගැන කල්පනා කළාම මට තේරුණා එක් කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕනෙ මායි මගේ සැමියයි මිසක් මායි දරුවයි නෙවෙයි කියලා. ඒ නිසා විවාහ බැඳීම ශක්තිමත් කරගන්න මගේ පැත්තෙන් යම් දේවල් කරන්න ඕනේ කියලා මම තේරුම්ගත්තා.” දෙහැවිරිදි දරුවෙකු සිටින තෙරේසා පැවසූ දෙයත් සලකා බලන්න. “මායි මගේ මහත්තයයි අතර තියෙන බැඳීම අඩු වෙලා කියලා මට දැනුණොත් මම ඉක්මනින්ම මගේ ආදරය එයාට දැනෙන්න සලස්වනවා. හැමදාම ටික වෙලාවකට හරි මම එහෙම කරනවා.”

විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා සැමියන්ට කළ හැක්කේ කුමක්ද? ඔබේ ආදරය බිරිඳට ප්‍රකාශ කරමින් එය දැනෙන්න සලස්වන්න. ඔබේ ආදරයේ කිසි වෙනසක් සිදු වී නැති බවත් වෙනදා මෙන් ඔබ ඇයට ආදරය කරන බවත් බිරිඳට දැනිය යුතුයි. ඒ සම්බන්ධයෙන් 30 හැවිරිදි සාරා නමැති මව පැවසූ දේ සලකා බලන්න. “ගර්භණියක් වීමත් සමඟම ශරීරයේ පෙනුම වෙනස් වුණත් සැමියා වෙනදා මෙන් තමන්ට ආදරය කරන බවත් ඇයව වටිනා කෙනෙකු ලෙස සලකන බවත් බිරිඳකට දැනෙන්න ඕනේ.” ජර්මනියේ සිටින දෙදරු පියෙක් වන ඇලන් මෙසේ පැවසුවා. “මගේ බිරිඳ දුකෙන් ඉන්න හැම වෙලාවකම එයා ළඟින් ඉඳලා එයාව සනසවන්න මම උත්සාහ කරනවා.”

දරුවෙකුගේ උපතින් පසු යුවළකට එකිනෙකාගේ ලිංගික අවශ්‍යතා ඉටු කිරීම අපහසු දෙයක් විය හැකියි. එසේනම් සැමියා සහ බිරිඳ තම ලිංගික අවශ්‍යතා ගැන විවෘතව කතාබහ කළ යුතුයි. යම් හේතු මත එම ලිංගික අවශ්‍යතා ඉටු කර නොදීමට තීරණය කරනවා නම් එම තීරණය ගත යුත්තේ යුවළක් ලෙස ඒ ගැන “සාකච්ඡා” කිරීමෙන් පසුව බව බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 7:1-5) සමහරවිට ඔබ හැදී වැඩුණු පසුබිම නිසා ලිංගික කාරණා ගැන ඔබේ සහකරු සමඟ විවෘතව කතා කිරීම ඔබට අපහසු දෙයක් විය හැකියි. නමුත් එසේ කිරීමෙන් යුවළක් ලෙස අවබෝධයෙන් කටයුතු කිරීමටත් එකිනෙකාව තේරුම්ගන්නා, ඉවසිලිවන්ත මෙන්ම අවංක අය වීමටත් හැකි වෙනවා. (1 කොරින්ති 10:24) එමෙන්ම වරදවා වටහාගැනීම් දුරු කරගනිමින් එකිනෙකා කෙරෙහි තිබෙන ආදරය වැඩි කරගැනීමටද එය උපකාරවත් වෙනවා.—1 පේතෘස් 3:7, 8.

සැමියා සහ බිරිඳ එකිනෙකාව අගය කිරීමෙන්ද ඔවුන් අතර තිබෙන ආදරය වැඩි කරගත හැකියි. බොහෝ අවස්ථාවලදී බිරිඳක් පවුල වෙනුවෙන් කරන හැම දෙයක්ම තම අවධානයට ලක් නොවන බව බුද්ධිමත් සැමියෙක් තේරුම්ගන්නවා. විවියන් පැවසුවේ “දවස තිස්සෙම මම දරුවාගේ වැඩ කරන නිසා මගේ දවස හරිම කාර්යබහුලයි” කියායි. කොතරම් කාර්යබහුල වුණත් බුද්ධිමත් බිරිඳක් පවුල වෙනුවෙන් තම සැමියා දරන වෙහෙස කිසිවිටක අවතක්සේරු කරන්නේ නැහැ.—හිතෝපදේශ 17:17.

මෙය අත්හදා බලන්න: මව්වරුනි, දරුවන් නිදියන අවස්ථාවලදී හැකි නම් ඔබත් කෙටි නින්දක් ලබාගන්න. එසේ කිරීමෙන් බිරිඳක් ලෙස ඔබේ අනිකුත් වගකීම් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබෙයි. පියවරුනි, හැකි සෑම අවස්ථාවකම රාත්‍රියේදී ඔබේ බිරිඳට නිදාගැනීමට අවස්ථාව ලබා දී දරුවාගේ අවශ්‍යතා පිරිමැසීමට උත්සාහ කරන්න. දුරකථනයෙන් ඇයට SMS පණිවිඩ යැවීමෙන් හෝ ඇමතුමක් දී කතා කිරීමෙන් සෑම දිනකම ඔබේ බිරිඳට ආදරේ බව ප්‍රකාශ කරන්න. යුවළක් ලෙස එකට කාලය ගත කිරීමට සැලසුම් කරන්න. එවැනි අවස්ථාවලදී දරුවා ගැන පමණක් නොව ඔබ දෙදෙනා ගැනත් කතා කරන්න. එලෙස ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්නවා නම් දෙමාපියන් ලෙස ඔබට මුහුණ දීමට සිදු වෙන ඕනෑම අභියෝගයක් සාර්ථකව ජය ගැනීමට ඔබට හැකි වෙනවා.

තුන්වෙනි අභියෝගය: මතගැටීම් ඇති වීම.

සැමියා සහ බිරිඳ හැදී වැඩී ඇති පසුබිම එකිනෙකට වෙනස් නම් ඔවුන් අතර යම් මතගැටීම් ඇති විය හැකියි. ජපානයේ වෙසෙන කට්සූරෝ සහ අසාමි එවැනි තත්වයකට මුහුණ දුන්නා. අසාමි ඒ ගැන පැවසුවේ මෙයයි. “මට හිතුණේ තාත්තා විදිහට කට්සූරෝ දුවව ඕනෑවට වඩා හුරතල් කරනවා කියලයි. හැබැයි කට්සූරෝ හිතුවේ මම දුවට සැර කරනවා වැඩියි කියලයි.” එවැනි අභියෝගයක් ජය ගත හැක්කේ කෙසේද?

විසඳුම: අදහස් හුවමාරු කරගනිමින් එකිනෙකාට උපකාර කරන්න.

“අහංකාරකම දබරවලට මුල පුරයි. නමුත් එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 13:10) දරුවන්ව හදා වඩා ගන්නා ආකාරය ගැන ඔබේ සහකරු හෝ සහකාරිය දරන අදහස් ඔබ දන්නවාද? දරුවන්ව හදා වඩා ගන්නා ආකාරය ගැන කතාබහ කිරීමට දරුවා ඉපදෙන තුරු බලා සිටින්න එපා. එසේ කළොත් යම් අභියෝග ඇති වූ විට ඔබ දෙදෙනා අතර මතගැටීම් ඇති වෙනවා මිස එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට හැකි වන්නේ නැහැ.

දරුවාව හදා වඩා ගන්නා ආකාරය හා සම්බන්ධ මේ ප්‍රශ්න ගැන යුවළක් විදිහට ඔබ දෙදෙනා කතාබහ කර තිබෙනවාද? “අපි දරුවාට කන්න දෙන්නේ මොන වගේ පෝෂ්‍යදායි ආහාරද? දරුවාට කෑම දෙන්නේ කොයි වෙලාවටද? දරුවාව නිදි කරවන්නේ කීයටද? දරුවා රෑ යාමේ අඬන හැම වෙලාවකම අපි එයාව වඩාගන්න ඕනෙද? දරුවාට වැසිකිළි යන්න පුහුණු කරන්නේ කොහොමද?” එවැනි තත්වයන් සම්බන්ධයෙන් ඔබ දෙදෙනා ගන්නා තීරණ වෙනත් දෙමාපියන් ගන්නා තීරණවලට වඩා වෙනස් විය හැකියි. දෙදරු පියෙක් වන ඊතන් මෙසේ පැවසුවා. “යම් කාරණා ගැන එකඟතාවකට එන්න නම් නිතරම යුවළක් විදිහට ඒ දේවල් ගැන කතාබහ කරන්න ඕනෙ. එහෙම කළොත් දරුවාව හොඳින් හදා වඩා ගන්න පුළුවන් වෙනවා.”

මෙය අත්හදා බලන්න: ඔබේ දෙමාපියන් ඔබව පුහුණු කළ ආකාරය මතකයට නඟන්න. ඒ අතරින් ඔබේ දරුවාව පුහුණු කිරීමේදී අදාළ කරගැනීමට කැමති දේවල් සහ අකමැති දේවල් මොනවාද කියා තීරණය කරන්න. පසුව ඔබේ අදහස් ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කතා කරන්න.

සාර්ථක පවුල් ජීවිතයකට දරුවෙක් ඉවහල් විය හැකියි

අයිස් මත ලිස්සා යමින් තාලෙට රංගනයේ යෙදෙන දෙදෙනෙකුව සමහරවිට ඔබ රූපවාහිනියෙන් දැක ඇති. ඔවුන්ට ඒ හැකියාව ප්‍රගුණ කරගැනීමට යම් කාලයක් ගත වෙනවා. ඒ හා සමානව දෙමාපියන් ලෙස ඔබේ වගකීම්වලට හොඳින් හුරු වීමට ඔබටත් යම් කාලයක් ගත විය හැකියි. කල් යත්ම ඔබට ඒ සම්බන්ධයෙන් නිපුණව කටයුතු කිරීමට හැකි වෙනවා.

දරුවෙකුගේ උපත සමඟම ඔබ පවුල වෙනුවෙන් කොතරම් කැප වීමෙන් දේවල් කරනවාද යන්න පැහැදිලිව දැකගැනීමට හැකි වෙනවා. ඒ කාලයේදී ඔබ කටයුතු කරන ආකාරයෙන් ඔබ දෙදෙනා අතර තිබෙන බැඳීම ශක්තිමත් වීමට හෝ දුර්වල වීමට ඉඩ තිබෙනවා. කොහොමවුණත් ඒ කාලය අතරතුරේදී යහපත් ගුණාංග වර්ධනය කරගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. බයිබලයේ සඳහන් ප්‍රඥාවන්ත උපදෙස් ඔබ අදාළ කරගන්නවා නම් කෙනත් නමැති පියා අද්දුටු දෙය අද්දැකීමට ඔබටත් හැකි වෙයි. ඔහු මෙසේ පැවසුවා. “දරුවන්ව හදා වඩා ගැනීම නිසා මමත් මගේ බිරිඳත් හුඟක් ප්‍රයෝජන ලැබුවා. තමන් ගැන විතරක් හිතන්නේ නැතුව එකිනෙකාව තේරුම්ගනිමින් ආදරයෙන් ඉන්න අපි ඉගෙනගත්තා.” එවැනි ගුණාංග වර්ධනය කරගැනීමෙන් විවාහ ජීවිත කොතරම් සාර්ථක වෙයිද!

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. බොහෝ මව්වරුන් දරු ප්‍රසූතියෙන් පසුව මානසික අවපීඩනයට ලක් වෙනවා. ඒ අතරින් කිහිපදෙනෙක් ඊටත් වඩා බරපතළ තත්වයක් අද්දකිනවා. එය හඳුන්වන්නේ පසු ප්‍රසව මානසික අවපීඩනය ලෙසයි. එය හඳුනාගත හැකි ආකාරය සහ ඊට හොඳින් මුහුණ දිය හැකි ආකාරය ගැන දැනගැනීම සඳහා 2002 ජූලි 22 පිබිදෙව්! සඟරාවේ 19 සිට 23 දක්වා පිටු සහ 2003 ජූනි 8 පිබිදෙව්! සඟරාවේ 21 සිට 23 දක්වා පිටු බලන්න. (සිංහලෙන් නැහැ.) එම ලිපි www.watchtower.org වෙබ් අඩවියෙන්ද කියවිය හැකියි.

^ 19 ඡේ. එක් පොතක පෙන්නුම් කර ඇති ආකාරයට උත්පත්ති 2:24හි “එක් කෙනෙකු මෙන්” කියා පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයට ‘ආදරයෙන් සහ විශ්වාසයෙන් යම් කෙනෙකුට බැඳී සිටීම’ යන අදහස ඇතුළත් විය හැකියි.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • මගේ සහකරු හෝ සහකාරිය පවුල වෙනුවෙන් කරන දේවල් අගය කිරීම සඳහා පසු ගිය සතියේදී මම කළේ කුමක්ද?

  • දරුවාව හදා වඩා ගන්නා ආකාරය ගැන කතාබහ කරනවාට අමතරව මම වෙනම වේලාවක් වෙන් කරගෙන මගේ සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් කතාබහ කළේ කවදාද?

[13වන පිටුවේ පින්තූරය]