ඔබේ දරුවන්ට උගන්වන්න
ඇය දෙවිගෙත් මිතුරන්ගෙත් ආදරය දිනාගත්තා
ඇගේ නම අපි කවුරුත් දන්නේ නැහැ. ඇයව හැමෝම හඳුනන්නේ යෙප්තාගේ දුව හැටියටයි. යෙප්තා ගැනත් ඔහුගේ දුව ගැනත් බයිබලයේ සඳහන් වෙන්නේ මොනවද කියලා දැන් අපි බලමු. යෙප්තාගේ දුවට ඇගේ මිතුරනුත් යෙහෝවා දෙවිත් කොතරම් ආදරේ කළාද කියලා ඒ තොරතුරුවලින් අපිට දැනගන්න පුළුවන්.
බයිබලයේ විනිශ්චයකරුවෝ පොතේ 11වන පරිච්ඡේදයේ ඒ දෙන්නා ගැන තොරතුරු සඳහන් වෙලා තියෙනවා. යෙප්තා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක් නිසා ඔහු නිතරම දුවට ශුද්ධ ලියවිල්ලේ තිබුණු දේවල් කියලා දෙන්න ඇති.
යෙප්තා හරිම නිර්භීත කෙනෙක්. ඒ වගේම එයා සටන් කරන්න හරි දක්ෂයි. ඒ නිසා අම්මොන්වරුන්ට විරුද්ධව කරන සටනේ නායකයා හැටියට කටයුතු කරන්න කියලා ඊශ්‍රායෙල්වරුන් ඔහුගෙන් ඉල්ලා සිටියා.
යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව අම්මොන්වරුන්ව පරාජය කරන්න යෙප්තාට ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා යෙප්තා දෙවිට මෙහෙම පොරොන්දුවක් වුණා. ඔහු කිව්වා මේ සටනින් යෙහෝවා දෙවි තමන්ට ජය ලබා දුන්නොත් ආපහු ගෙදර ගියාම තමාව හමු වෙන්න මුලින්ම එන කෙනාව දෙවිට පූජා කරනවා කියලා. යෙප්තාගේ පොරොන්දුවට අනුව මුලින්ම එන කෙනා කවුරු වුණත් ඒ කෙනාට සිද්ධ වෙනවා ජීවිතය තියෙන තුරා දෙවිගේ මණ්ඩපයේ සේවය කරන්න. ඔයා දන්නවාද යුද්දේ දිනලා යෙප්තා ගෙදර ගියාම එයාව හමු වෙන්න මුලින්ම ආවේ කවුද කියලා?— *
මුලින්ම ආවේ යෙප්තාගේ දුව. ඇය තමයි යෙප්තාට හිටිය එකම දරුවා. ඒ නිසා යෙප්තාට ඒ වේලාවේ හුඟක් දුක හිතුණා. කොහොමවුණත් යෙප්තාට ඒ පොරොන්දුව වෙනස් කරන්න බැහැ. ඒ ගැන යෙප්තාගේ දුවට දැනගන්න ලැබුණාම එයා යෙප්තාට මෙහෙම කිව්වා. ‘තාත්තේ, ඔබ යෙහෝවා දෙවිට පොරොන්දුවක් වෙලා තියෙනවා නම් ඒ පොරොන්දුව ඉටු කරන්න මම කැමතියි.’ හැබැයි ඊට කලින් කඳුකරයට ගිහින් ඒ ගැන දුක් වෙන්න මාස දෙකක් දෙන්න කියලා දුව යෙප්තාගෙන් ඉල්ලා සිටියා. දුව ඒ වගේ ඉල්ලීමක් කළේ ඇයි? ඒකට හේතුව තමයි දෙවිගේ මණ්ඩපයේ සේවය කරන කොට එයාට කවදාවත් විවාහ වෙන්නවත් දරුවන් හදන්නවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොහොමවුණත් යෙප්තාගේ දුව එයාගේ ආශාවන්වලට මුල් තැන දුන්නේ නැහැ. එයාට ඕන වුණේ යෙහෝවා දෙවිටත් එයාගේ තාත්තාටත් කීකරු වෙන්නයි. යෙප්තාගේ දුව යෙහෝවා දෙවිවත් යෙප්තාවත් සතුටු කළා කියලා ඔයා හිතනවාද?—
යෙප්තාගේ දුවට තම යෙහෙළියන් එක්ක මාස දෙකක් කඳුකරයට ගිහින් ඉන්න යෙප්තාගෙන් අවසර ලැබුණා. දුව නැවතත් ගෙදර ආවාම ෂීලෝවල තියෙන දෙවිගේ මණ්ඩපයේ හැමදාටම සේවය කරන්න යෙප්තා ඇයව පිටත් කර හැරියා. එදා ඉඳලා හැම අවුරුද්දකටම වතාවක් ඊශ්‍රායෙල් දේශයේ හිටිය තරුණ කාන්තාවන් ෂීලෝවලට ගිහිල්ලා යෙප්තාගේ දුවව දිරිගැන්වුවා.
යෙප්තාගේ දුව වගේ දෙමාපියන්ට කීකරුව කටයුතු කරන, යෙහෝවා දෙවිට ආදරය කරන අයව ඔයා දන්නවාද?—ඒ වගේ අයව හඳුනාගෙන ඔවුන්ව යාළුවන් කරගන්න එක හොඳ දෙයක්. ඔයාත් යෙප්තාගේ දුව වගේ කටයුතු කරනවා නම් ඔයාට හොඳ යාළුවන් ඇති කරගන්න පුළුවන් වෙයි. එතකොට ඔයාගේ දෙමාපියන් හුඟක් සතුටු වෙයි. ඒ වගේම යෙහෝවා දෙවිත් ඔයාට ආදරය කරයි.
බයිබලයෙන් කියවා බලන්න
^ 6 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.