පව් හෙළි කළ යුත්තේ ඇයි?
පව් හෙළි කළ යුත්තේ ඇයි?
තමන් කරන පව් ගැන පූජකයෙකුට පැවසීමේ ආගමික සිරිත බොහෝ පල්ලිවල සිදු වෙනවා. කොහොමවුණත් පව්කාර ක්‍රියාවන් ඉතාමත් සැහැල්ලුවට ගණන් ගැනෙන අද වැනි සමාජයක පව් හෙළි කිරීම අවශ්‍යද?
ඒ ගැන අද සිටින මිනිසුන් විවිධ මත දරනවා. උදාහරණයකට පව් හෙළි කිරීම ගැන යම් පුද්ගලයෙක් පැවසූ දෙයක් කැනඩාවේ එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. ‘අපි අතින් වුණු වැරදි ගැන තව කෙනෙකුට කියන එකෙන් මනසට ලොකු සහනයක් දැනෙනවා. ඒ කෙනා අපි වෙනුවෙන් යාච්ඤා කරන නිසාත් වැරැද්ද හදාගන්න කරන්න ඕනේ මොනවාද කියලා කියන නිසාත් ඒකෙන් ලොකු සහනයක් ලැබෙනවා.’ (National Post) නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් අදහසක් දැරූ කෙනෙකු පැවසූ දෙයක් තවත් පොතක මෙසේ සඳහන් වුණා. “පූජකයෙකු වෙතට ගොස් තමන්ගේ පව් හෙළි කළ යුතු බවට පල්ලිවලින් කර තිබෙන ඉගැන්වීම නිසා මිනිසුන් මානසික පීඩනයක් අද්දකිනවා. ඇත්තටම මිනිසුන්ට ඒ ගැන ලොකු භයකුත් කනස්සල්ලකුත් දැනෙනවා.” කොහොමවුණත් පව් හෙළි කිරීම ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?—එම පොත, Bless Me, Father, for I Have Sinned.
බයිබලයේ සඳහන් දේ
තමන් අතින් සිදු වෙන පව්කාර ක්‍රියාවන් ගැන කළ යුත්තේ කුමක්ද කියා යෙහෝවා දෙවි පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ පැහැදිලිව සඳහන් වෙනවා. එහි සඳහන් වන ආකාරයට පුද්ගලයෙක් යම් කෙනෙකුට විරුද්ධව පාපයක් කළොත් හෝ දෙවිගේ නීතියක් කඩ කළොත් දෙවි පත් කර තිබූ පූජකයෙකුට එම පාපය හෙළි කළ යුතු වුණා. එවිට එම පූජකයා වැරදිකරුගේ පාපයට වන්දියක් වශයෙන් දෙවිට පූජාවක් ඔප්පු කළා.—ලෙවී කතාව 5:1-6.
දෙවි එම නීතිය දී සියවස් ගණනාවක් ගත වූ පසුව අනාගතවක්තෘවරයෙක් වූ නාතන්, දාවිත් රජ අතින් සිදු වූ පාපයක් ගැන පෙන්වා දුන්නා. ඒ අවස්ථාවේදී දාවිත් රජ ක්‍රියා කළේ කෙසේද? ඔහු ඉක්මනින්ම ඒ ගැන පසුතැවෙමින් මෙසේ පැවසුවා. “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා.” (2 සාමුවෙල් 12:13) පසුව දාවිත් එම වරදට සමාව ඉල්ලමින් දෙවිට කන්නලව් කළා. එහි ප්‍රතිඵලය ගැන දාවිත් පැවසූ මෙම වදන්වලින් පැහැදිලි වෙනවා. “අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි. ‘මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි’ කියා කීවෙමි. එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.”—ගීතාවලිය 32:5; 51:1-4.
පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද තමන්ගේ පව් හෙළි කරමින් පසුතැවීම දෙවි බලාපොරොත්තු වුණා. බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න. එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.” (යාකොබ් 5:16) එසේනම් අද සිටින සැබෑ ක්‍රිස්තියානීන් හෙළි කළ යුත්තේ කුමන පාප ගැනද? ඒවා හෙළි කළ යුත්තේ කාටද?
හෙළි කළ යුත්තේ කුමන පාපද?
අපි සියලුදෙනාම පව්කාරකම උරුමකරගෙන තියෙන නිසා අපි එතරම් නොසිතා කියන කරන දෙයක් නිසා තව කෙනෙකුගේ සිත රිදෙන්න පුළුවන්. (රෝම 3:23) නමුත් අපි අතින් සිදු වන එවැනි සුළු සුළු අඩුපාඩුකම් පවා දෙවි විසින් පත් කර තිබෙන පුද්ගලයන්ට හෙළි කළ යුතුද?
අපි දුර්වල පව්කාර මිනිසුන් නිසා අප අතින් වැරදි ගීතාවලිය 130:3, 4) නමුත් අපි අතින් නොදැනුවත්වම හෝ යම් කෙනෙකුට විරුද්ධව වරදක් සිදු වුණොත් අපි කළ යුත්තේ කුමක්ද? ඒ ගැන යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “අපේ පව්වලට සමාව දෙන්න. මන්ද අපට වැරදි කළ සියලුදෙනාට අපිත් සමාව දෙනවා.” (ලූක් 11:4) ඇත්තෙන්ම අපි යේසුස්ගේ නාමයෙන් දෙවිට යාච්ඤා කර අපේ පව්වලට සමාව ඉල්ලනවා නම් දෙවි අපට සමාව දෙනවා.—යොහන් 14:13, 14.
සිදු විය හැකි බව දෙවි හොඳින්ම දන්නවා. පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් මෙසේ පැවසීමට පෙලඹුණේ ඒ නිසයි. “යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද? සැබවින්ම සමාව දිය හැක්කේ ඔබටය. එබැවින් ඔබ කෙරෙහි අපට ගරුබියක් ඇති වන්නේය.” (“අපට වැරදි කළ සියලුදෙනාට අපිත් සමාව” දිය යුතු බව යේසුස් ඉගැන්වූ යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. බයිබල් ලේඛකයෙක් වූ පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ දිරිගැන්වූයේ ඒ නිසයි. “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.” (එෆීස 4:32) ඒ අනුව අපිට අන් අයගෙන් සිදු වෙන වැරදිවලට අපි සමාව දෙනවා නම් අපේ වැරදිවලට දෙවිත් සමාව දෙයි කියා බලාපොරොත්තු විය හැකියි.
කොහොමවුණත් සොරකම් කිරීම, හිතාමතා බොරු කීම, අනාචාරයේ හැසිරීම සහ බේබදුකම වැනි බරපතළ පාප ගැන පැවසිය හැක්කේ කුමක්ද? කෙනෙක් එවැනි පාපයක් කර තිබෙනවා නම් ඔහු දෙවිගේ නීති කඩ කර තිබෙන අතර එය දෙවිට විරුද්ධව කරන පාපයක්ද වෙනවා. එවැනි පාප ගැන හෙළි කරන්න අවශ්‍යද?
පාපය හෙළි කළ යුත්තේ කාටද?
පව්වලට සමාව ලබා දීමේ හැකියාව තිබෙන්නේ දෙවිට පමණයි. ඒ නිසා පව්වලට සමාව ලබා දීමට කිසිම මිනිසෙකුට දෙවි බලය දී නැහැ. * පව්වලට සමාව ලබා දෙන්නේ දෙවි බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “අප අපගේ පාප පිළිගත්තොත් දෙවි අපගේ පව්වලට සමාව දී සෑම අධර්මිෂ්ඨකමකින්ම අපව පවිත්‍ර කරයි.” (1 යොහන් 1:9) කොහොමවුණත් අපි අතින් සිදු වන වැරදි ගැන අප හෙළි කළ යුත්තේ කාටද?
සමාව ලබා දිය හැක්කේ දෙවිට පමණක් නිසා අපි අපේ වැරදි හෙළි කළ යුත්තේ ඔහුටයි. පුරාණයේ සිටි දාවිත් රජද ඒ දේ කළ බව අපි කලින් සලකා බැලුවා. කොහොමවුණත් සමාව ලබාගැනීමට නම් අපි කළ යුතු වැදගත් දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘පසුතැවිලි වෙන්න. ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන පව්වලට සමාව ලබාගන්න. එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක් ලැබෙනවා.’ (ක්‍රියා 3:19) ඒ අනුව අප කළ පාපයකට සමාව ලබාගැනීමට නම් එය පිළිගෙන පසුව එය හෙළි කරනවාට අමතරව එය සම්පූර්ණයෙන්ම අත්හැරීමද අවශ්‍යයි. බොහෝ අවස්ථාවලදී එසේ කිරීම පහසු නැහැ. නමුත් අපට ඒ සඳහා ලබාගත හැකි උපකාරයක් තිබෙනවා.
“ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න” කියා සඳහන් වූ බයිබල් පදය අපි කලින් සලකා බැලූ බව ඔබට මතක ඇති. එමෙන්ම “ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක” කියා එහි අග කොටසේ සඳහන් වෙනවා. (යාකොබ් 5:16) එහි සඳහන් වී තිබෙන “ධර්මිෂ්ඨ” කෙනාගෙන් නියෝජනය වන්නේ පාපයක් කළ කෙනෙකුට දෙවිගෙන් සමාව ලබාගැනීම සඳහා උපකාර කිරීමට පත් කර තිබෙන ක්‍රිස්තියානි ‘සභාවේ සිටින වැඩිමහල්ලන්වයි.’ (යාකොබ් 5:14) නමුත් දෙවිට විරුද්ධව කරන පව්වලට සමාව ලබා දීම සඳහා ඔවුන්ට හැකියාවක් නැහැ. ඒ වුණත් පුද්ගලයෙකුට ඔහු කළ පාපයේ බරපතළකම පෙන්වා දී අවශ්‍ය හික්මවීම ලබා දීමටත් පසුතැවිලි වීමේ අවශ්‍යතාවය පෙන්වා දීමටත් ඔවුන්ට හැකියාව තිබෙනවා.—ගලාති 6:1.
පාපය හෙළි කළ යුත්තේ ඇයි?
කෙනෙක් අතින් සිදු වූ පාපය බරපතළ වූවත් නැතත් අන් අය සමඟත් යෙහෝවා දෙවි සමඟත් තිබෙන මිත්‍රත්වය ඉන් පලුදු වෙනවා. එමෙන්ම පාපයක් කළ පසු ඒ පුද්ගලයාගේ හෘදය සාක්ෂියද වද දෙනවා. (රෝම 2:14, 15) එවැනි තත්වයකදී කළ යුත්තේ කුමක්ද?
එවැනි තත්වයකදී කළ යුතු දේ ගැන බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඔබ අතරෙහි කෙනෙක් යම් අසනීපයකින් සිටීද? එවැනි අවස්ථාවකදී ඔහු සභාවෙහි සිටින වැඩිමහල්ලන්ව කැඳවිය යුතුයි. එවිට යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින් ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔවුන්ට පුළුවන. විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප වන අතර යෙහෝවා දෙවි ඔහුව නැවත ශක්තිමත් කරයි. එලෙසම ඔහු යම් පාපයක් කර ඇත්නම් ඒවා සඳහාත් ඔහුට සමාව ලැබේ.”—යාකොබ් 5:14, 15.
අසනීපව සිටින කෙනෙක් කියා ඉහත පදවල යොමු දක්වන්නේ පාපයක් කර තිබෙන කෙනෙකුටයි. එහි පෙන්නුම් කරන ආකාරයට එවැනි කෙනෙක් තම පාපය වැඩිමහල්ලන්ට දැන්වූ විට ඔවුන් ඒ පුද්ගලයාට උපකාර කරනවා. නමුත් ඔවුන් එසේ උපකාර කරන්නේ සවන් දීමෙන් පමණක් නොවෙයි. ඒ වෙනුවට පාපයක් කර ඇති කෙනාට නැවතත් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග දෙකක් ගැන එහි සඳහන් වෙනවා.
ඉන් එකක් නම් ‘තෙල් ආලේප’ කිරීමයි. එනම් දෙවිගේ වචනය යොදාගෙන ඒ පුද්ගලයාව දිරිගැන්වීමයි. පාපයක් කර තිබෙන කෙනෙකුව නිසි මඟට ගෙනෙන්න තරම් බලයක් දෙවිගේ වචනයට තිබෙන බව බයිබලයේ සඳහන් මේ වදන්වලින් පැහැදිලි වෙනවා. ‘දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.’ (හෙබ්‍රෙව් 4:12) ඒ නිසා වැඩිමහල්ලන් පාපයක් කර තිබෙන පුද්ගලයාට එය පෙන්වා දීමටත් දෙවිගෙන් සමාව ලබාගැනීමට කළ යුතු දෙය පෙන්වා දීමටත් බයිබලයේ ඇති තොරතුරු යොදාගන්නවා.
එමෙන්ම ‘විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤා’ මගින්ද වැඩිමහල්ලන් පාපයක් කර තිබෙන කෙනෙකුට උපකාර කරනවා. කොහොමවුණත් එවැනි යාච්ඤා නිසා ඒ පාපය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ගන්නා යුක්තිසහගත ක්‍රියා මාර්ගයන් වෙනස් වෙන්නේ නැහැ. නමුත් යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන සමාව දීමට කැමැත්තෙන් සිටින යෙහෝවා දෙවි ඒ යාච්ඤා ඉතා වැදගත්කොට සලකනවා. (1 යොහන් 2:2) තමන්ගේ පව් ගැන පසුතැවී ඒ ‘පසුතැවිල්ලට එකඟව ක්‍රියා’ කරන අයට සමාව දීමට දෙවි සූදානමින් සිටිනවා.—ක්‍රියා 26:20.
මිනිසෙකුට විරුද්ධව හෝ දෙවිට විරුද්ධව සිදු වූ පාපයක් ගැන පසුතැවිලි විය යුතු මූලිකම හේතුව නම් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට තිබෙන අවශ්‍යතාවයයි. අපි කරන නමස්කාරය දෙවි පිළිගැනීමට නම් අපට යම් කෙනෙකු සමඟ තිබෙන ගැටලුවක් විසඳාගෙන ඒ පුද්ගලයා සමඟ යළි සමාදාන විය යුතු බව යේසුස් පැවසුවා. (මතෙව් 5:23, 24) එමෙන්ම බයිබලයේ මෙවැනි දෙයක්ද සඳහන් වෙනවා. “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.” ඒ නිසා අපි දෙවි ඉදිරියේ නිහතමානිව අපේ පව්වලට සමාව ඉල්ලනවා නම් සුදුසු කාලයේදී ඔහු අපව උසස් කර අපට ඔහුගේ අනුමැතිය ලබා දෙනවා.—1 පේතෘස් 5:6.
[පාදසටහන]
^ 14 ඡේ. යොහන් 20:22, 23හි සඳහන් යේසුස් පැවසූ වදන් නිසා පව්වලට සමාව ලබා දීමට මිනිසුන්ට හැකියාව තිබෙනවා කියා ඇතැම් අය සිතනවා. නමුත් එහි සැබෑ අර්ථය දැනගැනීම සඳහා 1996 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපයේ 28 සහ 29 පිටු බලන්න.
[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යේසුස්ගේ නාමයෙන් දෙවිට යාච්ඤා කර අපේ පව්වලට සමාව ඉල්ලනවා නම් දෙවි අපට සමාව දෙනවා
[24වන පිටුවේ පින්තූරය]
පව් හෙළි කළ යුතු මූලිකම හේතුව නම් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට තිබෙන අවශ්‍යතාවයයි