සිනගෝගය කියන්නේ කුමක්ද?
සිනගෝගය කියන්නේ කුමක්ද?
‘යේසුස් සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින්ද මුළු ගලීලය පුරාම සංචාරය කළේය.’—මතෙව් 4:23.
යේසුස් සිනගෝගවලට ගිය අවස්ථා ගණනාවක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. නාසරෙත් නුවර සිටි විටත් කපර්ණවුමේ සිටි විටත් වෙනත් නගරවලට ගිය විටත් සිනගෝගයකට ගොස් දෙවිගේ රාජ්‍යය ගැන උගන්වන්න ඔහු අමතක කළේ නැහැ. ‘මම නිතරම ඉගැන්වූයේ යුදෙව්වරුන් සියලුදෙනා එක් රැස් වන සිනගෝගයකදී නැත්නම් දේවමාලිගාවේදීයි’ කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—යොහන් 18:20.
යේසුස් මෙන් ඔහුගේ ගෝලයන් සහ මුල් ක්‍රිස්තියානීන්ද යුදෙව්වරුන් නමස්කාර කළ සිනගෝගවලට ගොස් දෙවිගේ රාජ්‍යය ගැන ඉගැන්වූවා. නමුත් යුදෙව්වන් සිනගෝගවලට ගොස් දෙවිට නමස්කාර කිරීමට පටන්ගත්තේ කුමන කාලයේදීද? සිනගෝගය මොන වගේ ගොඩනැඟිල්ලක්ද? දැන් අපි ඒ පිළිබඳව සලකා බලමු.
යුදෙව්වරුන්ට වැදගත් වූ ස්ථානයක්: සාමාන්‍යයෙන් අවුරුද්දකට තුන් වතාවක් යම් උත්සවවලට හවුල් වීම සඳහා සෑම යුදෙව් පුරුෂයෙකුම යෙරුසලමේ පිහිටි දේවමාලිගාවට යා යුතු වුණා. නමුත් දිනපතා කළ යුතු නමස්කාර කටයුතු සඳහා ඔවුන් යොදාගත්තේ ඔවුන් ජීවත් වූ ප්‍රදේශයේම පිහිටි සිනගෝගයයි. ඒ සඳහා ඊශ්‍රායෙලයේ සහ ඊශ්‍රායෙලයෙන් පිට ප්‍රදේශවලත් සිනගෝග ඉදි කර තිබුණා.
යුදෙව්වරුන් සිනගෝගවලට ගොස් දෙවිට නමස්කාර කිරීමට පටන්ගත්තේ කුමන කාලයේදීද? එස්රා 7:10; 8:1-8; 10:3.
සමහරු විශ්වාස කරන්නේ බැබිලෝනිවරුන් යුදෙව්වරුන්ගේ දේවමාලිගාව විනාශ කර ඔවුන්ව වහලුන් ලෙස ගෙන ගිය කාලයේදී (ක්‍රිස්තු පූර්ව 607-537) එය ආරම්භ වන්න ඇති බවයි. එසේත් නැත්නම් යුදෙව්වරුන් සිනගෝගයට යන්න පුරුදු වන්න ඇත්තේ ඔවුන් වහල්භාවයෙන් නිදහස ලැබූ පසු දෙවිගේ නීතිය ගැන ඉගෙනගන්න එස්රා ඔවුන්ට දිරිගැන්වූ කාලයේ විය හැකියි.—සෙප්ටුඅජින්ට් ලෙස හඳුන්වන පැරණි ග්‍රීක බයිබල් පරිවර්තනයේ “සිනගෝගය” යන වචනයේ අදහස “එකට රැස්වීම” හෝ “සභාව” ලෙස දක්වා තිබෙනවා. නමුත් පසු කාලයේදී එම වචනය භාවිත වුණේ සෙනඟ රැස් වෙන ස්ථානය හෙවත් ශාලාව හැඳින්වීමටයි. පළමුවන සියවසේදී යේසුස් ගිය සෑම නගරයකම පාහේ සිනගෝගයක් තිබුණා. උදාහරණයකට යෙරුසලමේ එවැනි සිනගෝග බොහොමයක් තිබුණා. ඒ ගොඩනැඟිලි මොන වගේද?
නමස්කාරය සඳහා ඉදි කළ චාම් ගොඩනැඟිල්ලක්: සාමාන්‍යයෙන් යුදෙව්වරුන් සිනගෝගයක් ඉදි කිරීමට තෝරාගත්තේ තරමක් උස් බිමක්. (1) එමෙන්ම එම ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරටුව යෙරුසලමට මුහුණලා සිටින සේ ඉදි කිරීමට ඔවුන් වගබලා ගත්තා. නමුත් සෑම සිනගෝගයක් සඳහාම එය ප්‍රායෝගික නොවූ නිසා එය අනිවාර්යය නීතියක් වූයේ නැහැ.
සිනගෝගය කියන්නේ ඉතා චාම් ගොඩනැඟිල්ලක්. (2) එහි තිබූ සුවිශේෂී මෙන්ම වටිනාම දෙය වූයේ අකුළන ලියවිලි දමා තිබූ පෙට්ටියයි. නමස්කාර කටයුතු සිදු වන අවස්ථාවලදී එම පෙට්ටිය ශාලාවේ ඉදිරියට රැගෙන එනු ලබනවා. (3) ඉන්පසුව නැවතත් එය ආරක්ෂිත ස්ථානයක තබනවා.
විශේෂ අමුත්තන් සහ සිනගෝගයේ ප්‍රධානීන් සඳහා ආසන වෙන් කර තිබුණා. (4) එම ආසන තිබුණේ අකුළන ලියවිලි තබා ඇති පෙට්ටිය අසලයි. (මතෙව් 23:5, 6) ශාලාවේ මැද්දට වෙන්න කුඩා වේදිකාවක් ඉදි කර තිබුණා. (5) එහි කථිකයන්ට ආසනයක් සහ කථික පුවරුවක්ද තිබුණා. (6) සිනගෝගයට පැමිණෙන අය අසුන්ගත්තේ වේදිකාවට ඉදිරියෙන් සහ දෙපසිනුයි.
සිනගෝගයක් නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් ලැබුණේ එහි පැමිණෙන අය කළ පරිත්යාගවලිනුයි. දුප්පත් පොහොසත් හැමෝම ඊට දායක වුණා. දැන් අපි සිනගෝගයේදී කළ නමස්කාරය ගැන සලකා බලමු.
සිනගෝගයේදී කළ නමස්කාරය: සිනගෝගයේදී කළ නමස්කාරයට දෙවිට ප්‍රශංසා කිරීම, යාච්ඤා කිරීම, ශුද්ධ ලියවිලි කියවීම සහ ඉගැන්වීම වැනි දේවල් ඇතුළත් වුණා. ඔවුන් මුලින්ම බයිබලයේ ද්විතීය කතාව පොතෙන් උපුටාගත් කොටස් යාච්ඤාවක් ලෙස පැවසුවා. එම යාච්ඤාව හැඳින්වූයේ ‘ෂෙමා’ ලෙසයි. එහි අර්ථය “සවන් දෙන්න” යන්නයි. එම යාච්ඤාව‘ෂෙමා’ කියා හැඳින්වූයේ ද්විතීය කතාව පොතේ සඳහන් මේ වදන් පෙළ නිසයි. “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවා දෙවියි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.”—ද්විතීය කතාව 6:4.
ඊළඟට සිදු වූයේ මෝසෙස් විසින් ලියනු ලැබූ බයිබලයේ සඳහන් මුල් පොත් පහෙන් යම් කොටස් කියවීම සහ ඒවා පහදා දීමයි. (ක්‍රියා 15:21) ඉන්පසුව අනාගතවක්තෘවරුන් විසින් ලියනු ලැබූ පොත්වලින්ද යම් කොටස් කියවා එහි අර්ථය මෙන්ම ඒවා අදාළ කරගත හැකි ආකාරයද පෙන්වා දුන්නා. සමහර අවස්ථාවලදී වෙනත් සිනගෝගයකින් පැමිණි ආගන්තුක කථිකයෙක්ද ඒ කාර්යය ඉටු කළා. එක් අවස්ථාවකදී යේසුස්ද ඒ දේ කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 4:16-21.
අද අපි කියවන බයිබලය පොතක් ආකාරයෙන් සකසා ඇති නිසාත් එය පරිච්ඡේදවලට සහ
ඡේදවලට වෙන් කර තිබෙන නිසාත් පහසුවෙන් අවශ්‍ය කොටස සොයාගත හැකියි. නමුත් එදා යේසුස් නාසරෙත් නුවර සිනගෝගයට ගොස් කියවූ අකුළන ලියවිලි එලෙස වෙන් කර තිබුණේ නැහැ. ඒ නිසා ලියවිල්ල වම් අතින් දිගහරින අතරේ දකුණු අතින් එය නැවත අකුළමින් කියවන ස්ථානය සොයාගැනීමට ඔහුට සිදු වුණා. කියවීමෙන් පසුව එම ලියවිල්ල නැවතත් මුලින් තිබූ ලෙස අකුළා තැබිය යුතුයි.බොහෝවිට එම කොටස් හෙබ්‍රෙව් ලියවිල්ලෙන් කියවා පසුව එය අරාමීය භාෂාවට පරිවර්තනය කරනු ලබනවා. නමුත් ග්‍රීක භාෂාව කතා කළ සිනගෝගවල යොදාගත්තේ සෙප්ටුඅජින්ට් ලියවිල්ලයි.
සිනගෝගය හා බැඳි යුදෙව්වරුන්ගේ ජීවිතය: විවිධ කාර්යයන් සඳහා සිනගෝගයට අලළා යම් ගොඩනැඟිලි ඉදි කර තිබුණා. එම ගොඩනැඟිලි නඩු විභාග කිරීම සඳහාත් ප්‍රජා ශාලා හැටියටත් යොදාගෙන තිබෙනවා. සමහර අවස්ථාවල විශාල එක්රැස්වීම් සඳහාත් එම ගොඩනැඟිලි භාවිත කළා. එවැනි එක්රැස්වීම්වලට පැමිණෙන අයට ආහාර පිළිගැන්වූයේ සිනගෝගයට අලළා ඉදි කර තිබූ කෑම කාමරවලයි. එමෙන්ම එම ගොඩනැඟිලි සංකීර්ණය තුළ අමුත්තන්ට නවාතැන් පහසුකම් ලබාගැනීමට පවා අවස්ථාව තිබුණා.
සෑම සිනගෝගයකම පාහේ පාසැලක්ද තිබුණා. එවැනි පාසැලක සිසුන් පිරිසක් ඉටි ආලේප කළ ලෑල්ලක ගුරුවරයා ලියා තිබෙන යමක් කියවන ආකාරය පහත පින්තූරයේ පෙන්වා තිබෙනවා. අතීතයේ සිටි යුදෙව්වන් සාක්ෂරතාව අතින් ඉදිරියෙන් සිටීමට සහ සාමාන්‍ය මිනිසුන්ට පවා ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් තිබීමට හේතුව ඉන් පැහැදිලි වෙනවා.
සිනගෝගයක් තුළ සිදු වූ ප්‍රධාන කාර්යය වූයේ දෙවිට නමස්කාර කිරීමයි. යුදෙව්වන් සිනගෝගයේදී දෙවිට නමස්කාර කළ ආකාරය සහ මුල් ක්‍රිස්තියානීන් පැවැත්වූ රැස්වීම් අතර බොහෝ සමානකම් තිබුණා කියා සිතිය හැකියි. එම රැස්වීම්වලත් මූලික අරමුණ වුණේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමයි. ඊට යාච්ඤා කිරීම, ප්‍රශංසා ගී ගායනා කිරීම සහ ශුද්ධ ලියවිල්ලෙන් කොටසක් කියවා එය පැහැදිලි කිරීම ඇතුළත් වුණා. සිනගෝගයේදීත් මුල් ක්‍රිස්තියානීන් පැවැත්වූ රැස්වීම්වලත් ශුද්ධ ලියවිල්ල කියවීම සහ එය පැහැදිලි කිරීම කළේ පූජකයන්යැයි කියාගත් පිරිසක් නොවෙයි. එවැනි නමස්කාර ස්ථානවල වියදම් පියවණු ලැබුවේ කැමැත්තෙන්ම කරනු ලැබූ පරිත්යාගවලිනුයි. එමෙන්ම නමස්කාර කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කළේ අද්දැකීම් ලත් පුරුෂයන් විසිනුයි.
යේසුස් සහ ඔහුගේ මුල් අනුගාමිකයන් තැබූ ඒ කදිම ආදර්ශය අනුගමනය කරමින් අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දෙවිට නමස්කාර කරනවා. සිනගෝගයේ රැස් වූ යුදෙව්වන් දෙවිට නමස්කාර කළ ආකාරය සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ රැස්වීම් පවත්වන ආකාරය අතර යම් සමානකම් තිබෙනවා. පුරාණයේ දෙවිට නමස්කාර කළ අය මෙන් අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද රැස්වීම්වලට සහභාගි වෙන්නේ ‘යෙහෝවා දෙවිට තව තවත් ළං වීමටයි.’—යාකොබ් 4:8.
[16, 17වන පිටුවල පින්තූරය]
සිනගෝගයක ආකෘතියක්
[18වන පිටුවේ පින්තූරය]
අවුරුදු 6ත් 13ත් අතර පිරිමි ළමුන් අධ්‍යාපනය ලැබූ ආකාරය