නැන්දම්මා සහ මාමණ්ඩි සමඟ කල් ගෙවීම
පවුලේ සමඟියට අත්වැලක්
නැන්දම්මා සහ මාමණ්ඩි සමඟ කල් ගෙවීම
ජෙනී * පැවසුවේ: මගේ නැන්දම්මා නිතරම මට දොස් කියනවා. ඒ වගේම මගේ දෙමව්පියන් රයන්ට දොස් කියනවා. මගේ දෙමව්පියන් වෙන කාටවත් ඒ විදිහට සලකනවා මම දැකලා නැහැ. ඒ නිසා කාගේ දෙමව්පියන්ව බලන්න ගියත් ඒක අපිට ප්‍රශ්නයක්.
රයන් පැවසුවේ: මගේ අම්මා හිතුවේ අපිව විවාහ කරලා දෙන්න සුදුසු කෙනෙක් මේ ලෝකයේ නැහැ කියලයි. ඒ නිසා තමයි අම්මා නිතරම ජෙනීගේ වැරදි දැක්කේ. ඒ වගේම ජෙනීගේ දෙමව්පියනුත් නිතරම දැක්කේ මගේ වැරදිමයි. සමහර වෙලාවට අම්මලා තාත්තලා නිසා ප්‍රශ්න ඇති වුණාම අපි හැම වෙලාවෙම ගන්නේ අපේ දෙමව්පියන්ගේ පැත්ත. ඒ නිසා අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති වුණා.
නැන්දම්මා සහ ලේලි අතර ඇති වන ගැටලු අද හාස්‍යයක් වී තිබෙනවා. නමුත් සැබෑ ජීවිතයේදී නම් එය හාස්‍යයක් නොවෙයි. එවැනි ගැටලුවක් ගැන ඉන්දියාවේ වෙසෙන රීනා පැවසූ දෙය සලකා බලන්න. “අවුරුදු ගාණක් තිස්සේ මගේ නැන්දම්මා අපේ පවුලට ඇඟිලි ගැහුවා. ඒ වෙලාවට එයාට බණින්න බැරි නිසා මම මගේ මහත්තයාට බණිනවා. සමහර අවස්ථාවලදී කාගේ පැත්තද ගන්නේ කියලා මහත්තයාට තීරණය කරන්න සිද්ධ වුණා.”
දෙමව්පියන් තම දරුවන්ගේ පවුල් ජීවිතේ කාරණාවලට මැදිහත් වෙන්නේ ඇයි? ඒ ගැන ජෙනීට හැඟුණු දේ සලකා බලන්න. “තමන් ආදරයෙන් හදා වඩා ගත් දරුවන්ව තමාට වඩා අද්දැකීම් අඩු තරුණ කෙනෙකුට හොඳින් බලාගන්න පුළුවන් වෙයිද කියලා දෙමව්පියන්ට යම් භයක් දැනෙනවා ඇති.” රීනාගේ සැමියා වන දිලිප් පැවසුවේ මෙයයි. “තමන් වෙහෙස මහන්සියෙන් හදා වඩා ගත් දරුවන් විවාහ වුණාට පස්සේ තමන්ව අමතක කර දමයිද කියලා සමහරවිට දෙමව්පියන් භය වෙනවා ඇති. ඒ වගේම ඔවුන් දරුවන්ගේ පවුල් ජීවිතයට මැදිහත් වෙන්නේ අද්දැකීම් නැති දරුවන්ට තනිවම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද කියා ඔවුන් සිතන නිසා වෙන්න ඇති.”
සමහර අවස්ථාවලදී දරුවන්ම තම පවුලේ කාරණාවලට දෙමව්පියන්ව මැදිහත් කරගන්නවා. උදාහරණයකට ඕස්ට්‍රේලියාවේ වෙසෙන මයිකල් සහ ලිඈන්ගේ අද්දැකීම සලකා බලන්න. මයිකල් මෙසේ පවසනවා. “ලිඈන් හැදී වැඩුණේ හොඳින් අදහස් හුවමාරු කළ පවුලකයි. ඒ නිසා අපි විවාහ වුණාට පස්සෙත් යම් තීරණ ගන්න වෙනකොට
ලිඈන් මගෙන් අහනවා වෙනුවට ඒ ගැන එයාගේ තාත්තාගෙන් අහන්න පටන්ගත්තා. ලිඈන්ගේ තාත්තා බුද්ධිමත්ව හිතන කෙනෙක් වුණත් මගෙන් ඒ ගැන අහන්නේ නැතුව තාත්තාගෙන් අහන එක ගැන මට දුක හිතුණා.”දෙමව්පියන් නිසා ඔබේ විවාහය තුළත් ප්‍රශ්න ඇති වෙනවාද? දැන් අපි එවැනි ප්‍රශ්න දෙකක් සහ ඒවා විසඳාගත හැක්කේ කෙසේද කියා බලමු.
පළමුවන ප්රශ්නය: තම පවුලට වඩා දෙමව්පියන්ට මුල් තැන දීම. ස්පාඤ්ඤයේ ජීවත් වන ලුවිස් පැවසූ දෙය සලකා බලන්න. “මගේ බිරිඳ හිතුවේ අපි එයාගේ දෙමව්පියන් ළඟින් ජීවත් වෙන්න ඕනේ කියලයි. එහෙම කළේ නැත්නම් ඒක ලොකු වරදක් කියලා එයා හිතුවා. ඒත් අපිට පුතෙක් ලැබුණාම පුතාව බලන්න මගේ දෙමව්පියන් හැමදාම ආව එක මගේ බිරිඳට කරදරයක් වුණා. ඒ නිසා අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති වුණා.”
අදාළ වන ප්‍රතිපත්ති: විවාහය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්පත්ති 2:24) එහි ස්වාමිපුරුෂයාව සහ භාර්යාව එක් කෙනෙකු ලෙස හැඳින්වීමෙන් අදහස් කරන්නේ ඔවුන් දෙදෙනා එකට ජීවත් වීම පමණක් නොවෙයි. ඔවුන් අලුත් පවුලක් ගොඩනඟන බවත් ඉන් අදහස් වෙනවා. ඒ නිසා තමන් හැදී වැඩුණු පවුලට වඩා මේ අලුත් පවුලට ඔවුන් වැඩි අවධානයක් දිය යුතුයි. (1 කොරින්ති 11:3) නමුත් ඉන් අදහස් වෙන්නේ ඔවුන් තම දෙමව්පියන්ව අමතක කරන බව නොවෙයි. ඊට හේතුව දෙමව්පියන්ට ගෞරව කිරීමේ සහ ඔවුන්ට සැලකිල්ල දැක්වීමේ වගකීම දරුවන්ට තිබීමයි. (එෆීස 6:2) නමුත් ඔබේ සහකරු එම වගකීම ඉටු කරන ආකාරය නිසා ඔහු ඔබව නොසලකාහැර තිබෙන බවක් ඔබට හැඟෙනවාද?
ඔබට කළ හැකි දේ: විවෘත මනසකින් කාරණය දෙස බලන්න. ඇත්තටම ගැටලුව වී තිබෙන්නේ ඔබේ සහකරු ඔබට වඩා දෙමව්පියන්ට මුල් තැන දීමද නැත්නම් ඔබට ඔබේ දෙමව්පියන් සමඟ එතරම් කිට්ටු බැඳීමක් නොතිබීමද? එයට හේතු වී ඇත්තේ ඔබ හැදී වැඩී තිබෙන පවුල් පසුබිමද? ඔබේ සහකරු දෙමව්පියන් ගැන සැලකිලිමත් වීම ගැන ඔබ සිටින්නේ ඊර්ෂ්‍යාවෙන්ද?—හිතෝපදේශ 14:30; 1 කොරින්ති 13:4; ගලාති 5:26.
ඉහත ප්‍රශ්න සලකා බැලීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් විවාහය තුළ ඇති වන ගැටලු මඟ හරවාගත හැකියි. දෙමව්පියන් නිසා ඔබ දෙදෙනා අතර නිතර නිතර ප්‍රශ්න ඇති වෙනවා නම් එය ඔබේ විවාහයට තර්ජනයක් විය හැකියි.
බොහෝ විවාහකයන් අතර ප්‍රශ්න ඇති වන්නේ ඔවුන් සිතන ආකාරය නිසයි. එමනිසා ඔබට ඔබේ සහකරුව තේරුම්ගත හැකිද? (ෆිලිප්පි 2:4; 4:5) මෙක්සිකෝවේ වෙසෙන ඒඩ්‍රියන් එසේ කළා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “මගේ බිරිඳ හැදී වැඩුණේ එතරම් හොඳ පවුල් වාතාවරණයක නෙවෙයි. ඒ නිසා එයාගේ පවුලේ අයව අතේ දුරින් ආශ්‍රය කරන්න මම තීරණය කළා. ටික කාලයක් ගියාට පස්සේ මම ඒකත් නතර කළා. ඒත් මගේ බිරිඳ එයාගේ පවුලේ අයට, විශේෂයෙන්ම එයාගේ අම්මාට හුඟක් ආදරේ නිසා ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න එක එයාට ලෙහෙසි වුණේ නැහැ. මේ නිසා අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති වුණා.”
කාලයත් සමඟ ඒඩ්‍රියන්ට ඔහුගේ බිරිඳව තේරුම්ගැනීමට හැකි වුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “බිරිඳගේ පවුලේ අයව වැඩිපුර ආශ්‍රය කළොත් මගේ බිරිඳට ඒක නරක විදිහට බලපානවා කියලා මම දැනගෙන හිටියත් ඒ අයව ආශ්‍රය නොකළොත් ඊටත් වඩා ප්‍රශ්න ඇති වෙනවා කියලා මට තේරුණා. ඒ නිසා අපේ විවාහයට තර්ජනයක් ඇති නොවෙන විදිහට ඒ අයව ආශ්‍රය කරන්න මම තීරණය කළා.” *
මෙය අත්හදා බලන්න. ඔබේ නැන්දම්මා සහ මාමණ්ඩි සමඟ කටයුතු කළ හැකි ආකාරය ගැන කොළයක සටහන් කරන්න. එමෙන්ම ඒ දේම කරන්න කියා ඔබේ සහකරුටත් පවසන්න. ඉන්පසු එම කොළ දෙක ඔබ දෙදෙනා හුවමාරු කරගන්න. එම කරුණු අදාළ කරගත හැකි ආකාරය ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි ගැටලුව: පවුල් ජීවිතය හා සම්බන්ධ කාරණාවලදී නැන්දම්මා සහ මාමණ්ඩි නිතරම උපදෙස් දීම. කසක්ස්තානයේ වෙසෙන නීල්යා පැවසූ දේ සලකා බලන්න. “අපි විවාහ වෙලා අවුරුදු හතක් යන කල් හිටියේ මහත්තයාගේ ගෙදර. ඒ නිසා මම දරුවන් හදන විදිහ, උයන පිහන විදිහ, ගේදොර අස්පස් කරන විදිහ යන මේ හැම දෙයක් ගැනම මට නිතරම උපදෙස් ලැබුණා. ඒක මට මහ කරදරයක් වුණා. ඒ නිසා මම ඒ ගැන මගේ මහත්තයා එක්කයි,
නැන්දම්මා එක්කයි කතා කළා. ඒත් ඒකෙන් වුණේ ප්‍රශ්න තවත් වැඩි වුණ එක විතරයි.”අදාළ වන ප්‍රතිපත්ති: ඔබ විවාහ වූ පසුව සිටින්නේ ඔබේ දෙමව්පියන් යටතේ නොවන බව තේරුම්ගන්න. ‘සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත් දැනගන්න’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (1 කොරින්ති 11:3) ඔබ දෙදෙනාම දෙමව්පියන්ට ගෞරව කළ යුතුයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න. ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.” (හිතෝපදේශ 23:22) කෙසේවෙතත් පවුලේ මූලිකයා පුරුෂයා බව නොසලකාහරිමින් දෙමව්පියන් ඔබට යම් උපදෙස් දෙනවා නම් කුමක් කළ හැකිද?
ඔබට කළ හැකි දේ: දෙමව්පියන් එලෙස කටයුතු කරන්නේ ඇයි කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. කලින් අදහස් දැක්වූ රයන් මෙසේද පැවසුවා. “තමන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම් නැතුව දරුවන්ට සාර්ථක වෙන්න බැහැ කියලා දෙමව්පියන් හිතනවා.” ඇත්තටම දෙමව්පියන් එසේ කරන්නේ ඔබේ පවුල් ජීවිතය අවුල් කිරීමේ අදහසකින් නොවෙයි. ඒ නිසා බයිබලයේ සඳහන් මේ උපදෙස අදාළ කරගන්න. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.” එසේ කිරීමෙන් ප්‍රශ්න මඟ හරවාගත හැකියි. (කොලොස්සි 3:13) නමුත් ඔබේ නැන්දම්මා සහ මාමණ්ඩි උපදෙස් දීම නිසා ඔබේ පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති වෙනවා නම් කුමක් කළ හැකිද?
ඇතැම් විවාහකයන් තමන්ගේ පවුල් ජීවිතයට දෙමව්පියන් සම්බන්ධ විය යුතු අවස්ථා සහ නොවිය යුතු අවස්ථා මොනවාද කියා දෙමව්පියන්ට දැනෙන්න සලස්වා තිබෙනවා. ඉන් අදහස් වන්නේ දෙමව්පියන්ගේ සිත රිදෙන ආකාරයට යම් සීමා තහංචි පැනවීම නොවෙයි. * එය කළ හැක්කේ, ඔබ මූලික තැන දෙන්නේ ඔබේ සහකරුට බව ඔබ ක්‍රියා කරන ආකාරයෙන් ඔවුන්ට දැනෙන්න සැලැස්වීමෙනුයි. උදාහරණයකට ජපානයේ මසායූකි පැවසූ දේ සලකා බලන්න. “දෙමව්පියන් දෙන උපදෙස් අදාළ කරගන්න කලින් ඒ ගැන ඔබේ සහකරු සමඟ කතා කරන්න.”
මෙය අත්හදා බලන්න. ඔබේ පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති වන්නේ දෙමව්පියන් කුමන දේවල් ගැන උපදෙස් දෙන විටද කියා ඔබ දෙදෙනා සාකච්ඡා කරන්න. එමෙන්ම දෙමව්පියන්ගේ සිත නොරිදෙන ආකාරයෙන් එවැනි දේවල් මඟ හරවාගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් කොළයක සටහන් කරගන්න. පසුව ඒවා ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන කතා කරන්න.
ඔබේ නැන්දම්මාව සහ මාමණ්ඩිව හොඳින් තේරුම්ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් සමඟ ඇති වන සිත් අමනාපකම් සහ ඔබේ පවුලේ ඇති වන ප්‍රශ්න මඟ හරවාගත හැකියි. කලින් අදහස් දැක්වූ ජෙනී ඒ ගැන පැවසුවේ මෙසේයි. “සමහර වෙලාවට මම මගේ මහත්තයාගේ දෙමව්පියන් ගැන වැරදි කියනවා. ඒ වගේම මගේ මහත්තයාත් මගේ දෙමව්පියන් ගැන වැරදි කියනවා. ඒකෙන් වෙන්නේ අපි දෙන්නාගේම හිත් රිදෙන එක විතරයි. ඒ නිසා ඒ අයගේ වැරදි ගැන කතා කරනවා වෙනුවට ප්‍රශ්නයක් ඇති වුණාම ඒක සුහදව විසඳගන්න අපි ඉගෙනගත්තා. දැන් අපි දෙන්නා අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙලා තියෙනවා.”
[පාදසටහන්වල]
^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.
^ 14 ඡේ. දෙමව්පියන් පසුතැවිලි නොවී හිතාමතාම වැරදි කරනවා නම් ඔවුන් සමඟ කරන ආශ්‍රය සීමා කිරීමට ඔබ තීරණය කළ හැකියි.—1 කොරින්ති 5:11.
^ 19 ඡේ. ඇතැම් කාරණා ගැන ඔබේ නැන්දම්මා සහ මාමණ්ඩි සමඟ හෝ ඔබේ දෙමව්පියන් සමඟ අවංකව කතා කිරීමට ඔබට සිදු විය හැකියි. නමුත් එවැනි අවස්ථාවලදී පවා ගෞරවයෙන් සහ මෘදුකමින් එසේ කරන්න.—හිතෝපදේශ 15:1; එෆීස 4:2; කොලොස්සි 3:12.
ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .
▪ මගේ නැන්දම්මා සහ මාමණ්ඩි ළඟ තියෙන හොඳ ගතිගුණ මොනවාද?
▪ මගේ සහකරුට සැලකිල්ල පෙන්වමින් මගේ දෙමව්පියන්ට ගෞරව කරන්න පුළුවන් කොහොමද?
[28වන පිටුවේ පින්තූරය]