Skip to content

පටුනට යන්න

දුක් සෝසුසුම් හමුවේ සැනසීම

දුක් සෝසුසුම් හමුවේ සැනසීම

දුක් සෝසුසුම් හමුවේ සැනසීම

දිනය 2009 මාර්තු 11වෙනිදායි. වෙනදා මෙන් මෙදිනද දකුණු ජර්මනියේ වින්නන්ඩන් නගරයේ පිහිටි ආබර්ට්විල් පාසැලේ වැඩකටයුතු නියමිත වේලාවට ඇරඹුණා. නමුත් පෙරවරු 9:30 වන විට නොසිතූ ලෙස ඒ වැඩකටයුතු සියල්ලක්ම ඇණහිටියා! ඒ මොහොතේදී සිදු වූයේ කිසිවෙකුත් නොසිතූ දෙයක්. ඒ නිසා පසු දින පළ වූ පුවත්පතේ ලොකු අකුරින් “ඇයි” යන ප්‍රශ්නය අසා තිබුණා.

එම පුවත්පතේ “ඇයි” යන ප්‍රශ්නය අසා තිබුණේ ආබර්ට්විල් පාසැලේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි යෞවනයෙක් ගිනිඅවියක් රැගෙන ඇවිත් 15දෙනෙකුව ඝාතනය කිරීම නිසයි. එදින මුළු ජර්මනියේම ජාතික කොඩිය අඩකුඹු කර තැබුවා. මෙම පුවත ලොව පුරා පතළ වීමට වැඩි වේලාවක් ගත වූයේ නැහැ.

තම නිවසේ තිබූ තුවක්කුව ගත් 17 හැවිරිදි යෞවනයා කෙළින්ම ගියේ ඔහුගේ පාසැලටයි. ඔහුගේ වෙඩි පහරින් ශිෂ්‍යයන් නවදෙනෙකු සහ ගුරුවරියන් තිදෙනෙකු මිය ගිය අතර තවත් කිහිපදෙනෙකුටද තුවාල සිදු වුණා. එසැණින් පොලිසිය පැමිණි නිසා කලබලයට පත් වූ යෞවනයා පාසැල අසල තිබූ මානසික සායනයට දිව ගියා. එහිදීද ඔහුගේ වෙඩි පහරින් එහි සේවකයෙක් මිය ගියා. ඉන්පසු ඔහු රියදුරෙකුව බියගන්වා එම වාහනයටම ගොඩ වී එයින් පලා යෑමට උත්සාහ කළා. ඒ යන අතරවාරයේදී රියදුරා කෙසේ හෝ තම පණ බේරාගත්තා. ඒ වන විටත් ඔවුන් කිලෝමීටර් 40ක් ගමන් කර තිබුණා. ඉන්පසු යෞවනයා මෝටර් රථ අළෙවිසැලක සිටි සේවකයෙකු සහ පාරිභෝගිකයෙකුටද වෙඩි තැබූ අතර ඔහු පසුපස හඹා ආ පොලිස් භටයින් දෙදෙනෙකුද ඔහුගේ වෙඩි පහරින් බරපතළ ලෙස තුවාල ලැබුවා. අවසානයේදී පොලිසිය ඔහුව අල්ලාගැනීමට උත්සාහ කළ විට ඔහු තමාටම වෙඩි තබාගත්තා.

එම යෞවනයාව හඳුනන අය පවසන්නේ ඔහු අන් අයගේ ඇසුරට ප්‍රිය කරන සාමාන්‍ය පුද්ගලයෙකු බවයි. එසේනම් මෙවැනි අපරාධයක් කිරීමට ඔහු පෙලඹුණේ ඇයි? සමහරවිට ඔහු මානසික රෝගයකින් පෙළෙන්න ඇති. කෙසේවෙතත් ඔහු වායු පීඩක තුවක්කු භාවිත කර තිබෙන අතර සැහැසික පරිගණක ක්‍රීඩාවලද නියැලී තිබෙනවා. නමුත් කෙනෙක් මෙසේ ඇසිය හැකියි. ‘බොහෝ යෞවනයන් එවැනි දේවල නියැලෙනවානේ. එහෙමනම් මෙයාට විතරක් ඒක නරක විදිහට බලපෑවේ කොහොමද?’ මෙහිදී මිය ගිය අය ගැන පැවසිය හැක්කේ කුමක්ද? එම යෞවනයා ගැහැනු ළමුන් අටදෙනෙකුව සහ එක් පිරිමි ළමයෙකු පමණක් ඝාතනය කළේ ඇයි? ඔහු එය කළේ සැලසුම්සහගතවද? නැත්නම් ඒ මොහොතේ ඇති වූ සිතුවිල්ලක් නිසාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු නැහැ.

අනතුර සිදු වූ සැණින්

“පාසැලේ වෙඩි තියනවා කියලා පුතා මට කෝල් කරලා කිව්වාම, මට ඒක හිතාගන්නත් බැරි වුණා. ඒත් ගිලන් රථවල සහ පොලිස් වාහනවල සද්දේ ඇහෙනකොට මාව වෙව්ලන්න පටන්ගත්තා” කියා එක් මවක් පැවසුවා. ඒ සිද්ධිය සිදු වූ සැණින් පොලිසිය පැමිණියේ නැත්නම් තවත් ජීවිත රැසකට හානි වීමට ඉඩ තිබුණා. කෙසේවෙතත් මෙම සිද්ධියෙන් කම්පනයට පත්ව සිටි ශිෂ්‍යයන්ව සැනසීමට වෛද්‍යවරු සහ පූජකයන් සෑහෙන උත්සාහයක් දැරුවා.

සිද්ධිය ආරංචි වූ සැණින් එතැනට පැමිණි මාධ්‍යවේදීන් ශිෂ්‍යයන්ගෙන් තොරතුරු විමසා සිටියා. එදින විවිධ රූපවාහිනී නාලිකා 26කට අයත් වාහන 28ක් පාසැල ඉදිරිපිට නවතා තිබූ බව ශිෂ්‍යයෙක් පැවසුවා. මාධ්‍යවේදීන් අතර පැවති තරඟය නිසා හරි හැටි අනාවරණය කර නොගත් තොරතුරු පවා ඔවුන් විකාශනය කළා. එක් මාධ්‍යවේදියෙක් ඝාතනයට ලක් වූ ගැහැනු ළමයෙකුගේ නිවසට ගොස් ඇගේ දෙමාපියන්ගේ තත්වයවත් නොසලකා දියණියගේ ඡායාරූපයක් ඉල්ලා සිටියා. තවත් මාධ්‍යවේදීන් ඡායාරූප ගැනීම සඳහා ශිෂ්‍යයන්ට මුදල් ගෙවා තම මිතුරන්ගේ හදිසි මරණයෙන් තමන් දැඩි ශෝකයට පත් වී සිටින ආකාරය නිරූපණය කරන්න කියා ඉල්ලා සිටියා. මෙයින් අපට පැහැදිලි වන්නේ ඇතැම් මාධ්‍යවේදීන් වේදනාවෙන් සිටි අය ගැන කිසිම තැකීමක් නොකළ බවයි.

කම්පනයට පත් වූ අය යම් සහනයක් ලබාගැනීම සඳහා ආගම් වෙත යොමු වුණා. ඒ නිසා විවිධ ක්‍රිස්තියානි නිකායන් එකතු වී දේවමෙහෙයක්ද පැවැත්වූවා. සමහර අය එය අගය කළා. නමුත් බයිබලයෙන් යම් සහනයක් ලබාගැනීමට පැමිණි අයට නම් ඉන් කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. තම පුතාගේ මිතුරෙකුගේ අවමංගල්‍යයට සහභාගි වූ මවක් මෙසේ පැවසුවා. “මළ ගෙදරට ඇවිත් සිටි බිෂොප්වරයා අතීතයේ සිටි යෝබ් විඳි පීඩා ගැන කතා කළත් යෝබ් දුක් වින්දේ ඇයි කියලාවත් අවසානයේදී යෝබ්ට මොකද වුණේ කියලාවත් කිව්වේ නැහැ. ඇත්තටම අපිට සැනසෙන්න පුළුවන් කිසිම දෙයක් එයා කිව්වේ නැහැ.”

සැනසීමක් ලැබෙන කිසිම දෙයක් අසන්න නොලැබීම ගැන තවත් පුද්ගලයෙක්ද කලකිරුණා. ඔහු අවුරුදු 30කට පමණ පෙර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කර තිබුණා. මෙම සිදුවීමත් සමඟම ඔහු නැවතත් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑමට පටන්ගත්තා.

සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන 14 හැවිරිදි වාලිසාද එම දරුණු ඛේදවාචකයට මුහුණ දුන්නා. වෙඩි හඬ ඇසුණු විගස ඇය යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එම සිද්ධිය ඇයට බලපෑවේ කෙසේද කියා ඇගෙන් විමසූ විට ඇය පැවසුවේ අද අපි ජීවත් වන්නේ බයිබලයේ සඳහන් වන අවසාන කාලයේ බව මෙයින් පැහැදිලි වෙනවා කියායි. (2 තිමෝති 3:1-5) මේ සිදුවීමෙන් කම්පනයට පත් වී සිටි අසල්වාසීන්ව හමු වී බයිබලයේ තිබෙන සැනසිලිදායක වදන් ඔවුන් සමඟ බෙදාගැනීමට සාක්ෂිකරුවන් අමතක කළේ නැහැ. මේ කාර්යයේ හවුල් වුණු සාක්ෂිකාරියන් දෙදෙනෙකුට එක් මහලු කාන්තාවක් මෙසේ පැවසුවා. “ඕගොල්ලන් කරන මේ දේ අනික් අයත් කරනවා නම් කොච්චර හොඳද!” මෙම ඛේදවාචකයෙන් කම්පනයට පත් වූ අය බයිබලයේ ඇති සැනසිලිදායක වදන් සොයා බැලීමට පෙලඹුණා.

අනතුරින් පසු

මේ අනතුරෙන් දෙමාපියන්ට දරුවන්ව අහිමි වුණා. ඒ වගේම එතැනට පැමිණි එක් පොලිස් නිලධාරියෙකුට දැකගැනීමට ලැබුණේ ඔහුගේ බිරිඳ මිය ගොස් සිටි ආකාරයයි. ඔවුන් විවාහ වී ගෙවී ගොස් තිබුණේ මාස කිහිපයක් පමණයි. ඒ මොහොතේ ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද? මෙම ඛේදවාචකයෙන් ශෝකයට පත් වී සිටි අයව සැනසීමට විවිධ අය උත්සාහ කළත් ඔවුන්ගේ වේදනාව තුරන් කිරීමට ඒ කිසිවෙක් සමත් වුණේ නැහැ.

එම සිද්ධිය සියැසින් දුටු දරුවන් සහ වැඩිහිටියන් බෙහෙවින් කම්පනයට පත් වුණා. වාසිලිඕස් නම් යෞවනයාද එවැනි කෙනෙක්. වෙඩි හඬ ඇසෙන විට කලබල වූ ඔහු, අසල තිබූ ජනේලයකින් පහතට පැන්නා. ඒ ගැන ඔහු සිහිපත් කරන්නේ මෙසේයි. “මම ජනේලයෙන් පැන්නේ යෙහෝවා දෙවිට යාච්ඤා කරගෙනමයි. මම හිතුවා ඒක තමයි මගේ අන්තිම යාච්ඤාව කියලා.” මේ සිදුවීමෙන් පසු ඔහු නිතර හීනෙන් භය වූ අතර කිසිවෙකු සමඟ කතා කළේද නැහැ. එමෙන්ම කිසිම හැඟීමක් නැතුව කටයුතු කළ මාධ්‍යවේදීන් ගැනත් ඔහු කලකිරුණා. කොහොමවුණත් කාලයත් සමඟ ඔහු යථා තත්වයට පැමිණියා.

තවත් යෞවනයෙක් වූ යෝනාස්ද තම මිතුරන් පස්දෙනෙක් මිය යනවා දුටුවා. ඒ ගැන ඔහු පවසන දේ බලන්න. “ඒ සිද්ධිය වුණ ගමන්ම ඒ ගැන කතා කරන එක මට අමාරු වුණේ නැහැ. ඒක මට දැනුණේ හරියට මම චිත්‍රපටියක් බලනවා වගේයි. ඒත් දැන් ඒ දේවල් ගැන කතා කරන එක මට හරි අමාරුයි. සමහර වෙලාවට මම කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. ඒත් තවත් වෙලාවකට මම ඒ ගැන හුඟක් කතා කරනවා.” ඔහුද නිතර හීනෙන් භය වූ අතර නින්ද නොයෑමද ඔහුට මහත් සේ බලපෑවා.

දින කිහිපයකට පසු පන්තියේ තිබූ ශිෂ්‍යයන්ගේ බඩු නැවත ඔවුන්ට භාර දීමට පියවර ගත්තා. නමුත් මනෝවෛද්‍යවරුන් කියා සිටියේ එසේ කිරීමෙන් දරුවන්ට අතීත සිදුවීම් යළි මතකයට නැඟිය හැකි බවයි. යෝනාස් සම්බන්ධයෙන් එය සැබෑවක් වුණා. ඔහුට තම පාසැල් බෑගය, හෙල්මට් එක සහ ජැකට්ටුව දුන් විට ඒවා අතට ගැනීමටවත් ඔහු කැමති වූයේ නැහැ. එමෙන්ම ඝාතකයාගේ පෙනුමට සමාන කෙනෙකුව දකින සෑම අවස්ථාවකදීම ඔහු භය වුණා. එපමණක්ද නොව චිත්‍රපටයක පවා වෙඩි හඬක් ඇසෙන විට ඔහුව ගැහෙන්න පටන්ගත්තා. එවැනි තත්වයක සිටින දරුවන්ට උපකාර කිරීම සඳහා මනෝවෛද්‍යවරුන් දැඩි සේ වෙහෙස වුණා.

යෝනාස්ගේ පියා සේවය කළේ යෞවනයාගේ වෙඩි පහරින් මිය ගිය සේවකයා වැඩ කළ මානසික සායනයේමයි. ඔහු සමඟ වැඩ කළ බොහෝ අය එවැනි දෙයක් වුණේ ඇයි, යෞවනයා මට වෙඩි තිබ්බා නම් මොකක් වෙයිද වැනි ප්‍රශ්න ගැන කල්පනා කළ බව ඔහු පවසනවා. උදාහරණයකට මානසික සායනයේ සිටි සේවිකාවක් එම යෞවනයාව දැකීමෙන් මහත් සේ බිය වුණා. ඔහුගේ වෙඩි පහරින් තමාගේ ජීවිතය නැති වීමට ඉඩ තිබුණා කියා ඇය දිගින් දිගටම සිතමින් බිය වූ නිසා ඇයට වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගැනීමට සිදු වුණා.

උපකාර කළ ආකාරය

මේ සිදුවීමෙන් ඇති වූ කම්පනයෙන් මිදෙන්න ඔවුන්ට උපකාරවත් වුණේ කුමක්ද? ඒ ගැන යෝනාස්ගේ පියා පවසන දේ බලන්න. “ඒක අමාරු අද්දැකීමක් වුණත් හැමෝම එකමුතුව කටයුතු කළ එක ලොකු ශක්තියක් වුණා. ඒ වගේම අනික් අයගේ සැලකිල්ල ලැබෙන නිසා මම තනි වී නැහැ කියලත් හැඟුණා. ඒක දේවල් දරාගන්න ලොකු උදව්වක්.”

යෝනාස් පවසන දේ සලකා බලන්න. “හුඟක් අය අපිව දිරිගන්වලා කාඩ් එවලා තිබුණා. තවත් අය බයිබල් පදවලින් අපිව දිරිගැන්වුවා. මට නින්ද යන්නේ නැති දවස්වලට මම යාච්ඤා කළා. සමහර වෙලාවට මම සංගීතයට එහෙමත් නැත්නම් පටිගත කරලා තියෙන පිබිදෙව්! * තැටිවලට සවන් දුන්නා. අද මේ තරම් දුෂ්ටකම් සිදු වෙන්නේ ඇයි කියලත් ලෝකයම පාලනය කරන්නේ සාතන් කියලත් අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ කියලත් බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා.” එවැනි තොරතුරු දැන සිටීම දේවල් දරාගැනීමට මහත් උපකාරයක් වූවා කියා යෝනාස්ගේ පියාද පැවසුවා.

දුක් වේදනා නැති කාලයක්

දින කිහිපයක් ඇතුළත පාසැල ඉදිරිපිට ඉටිපන්දම්, මල් සහ ශෝකපත් රාශියක් දැකගන්න ලැබුණා. එම ශෝකපත් අතරේ ‘මෙවැනි දේවල් සිදු වීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි’ යන ප්‍රශ්නය අසා තිබූ කාඩ්පත්ද තිබුණා. එය දුටු යෞවන කර්ස්ටින් තවත් සාක්ෂිකාරියන් දෙදෙනෙකු සමඟ එකතු වී එම ප්‍රශ්නයට පිළිතුර ලියා එම ලිපියද ශෝකපත් අතර තැබුවා.

මිය ගිය අය වෙනුවෙන් පැවැත්වූ අනුස්මරණ උත්සවයේදී කර්ස්ටින්ගේ ලිපිය රූපවාහිනී නාලිකාවකින් පෙන්වුවා. එහි සඳහන් වුණේ මෙයයි. “අද මේ තරම් දුෂ්ට දේවල් වෙන්නේ ඇයි කියලා බොහෝ අය අසනවා. ඇත්තටම දෙවි මෙවැනි දුෂ්ටකම්වලට ඉඩහැර තිබෙන්නේ ඇයි?” ඒ කර්ස්ටින්ගේ ලිපියේ මුල් පේළි කිහිපය පමණයි. එම කොටස පමණක් පෙන්වීම ඇත්තෙන්ම කනගාටුදායකයි.

එසේ පවසන්නේ ඇයි? ඊට හේතුව එම ලිපියේ ඉතිරි කොටසේ දුක් වේදනා පැවතීමට හේතුව සහ දුෂ්ට දේවලට දෙවි නිමාවක් ගෙනෙන ආකාරය සඳහන් කර තිබීමයි. එමෙන්ම බයිබලයේ සඳහන් මෙම පොරොන්දුවද එහි සඳහන් වුණා. ‘දෙවි ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.’ ඇත්තෙන්ම යෙහෝවා දෙවි මළවුන්ව පවා නැවත නැඟුටුවීමට නියමිතයි. එමෙන්ම ඉතාමත් ළඟදී දෙවිගේ රාජ්‍යය මේ පොළොවම පාලනය කරන අතර එදාට දුක් වේදනා තිබෙන්නේ නැහැ. දෙවි මෙවැනි පොරොන්දුවක් දී තිබෙන්නේ ඒ නිසයි. “බලන්න! මම සියල්ල අලුතෙන් සාදන්නෙමි.”—එළිදරව් 21:4, 5.

[පාදසටහන]

^ 20 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිබිදෙව්! සඟරාව පටිගත කරන ලද තැටි ලෙසත් බෙදාහරිනවා.

[12වන පිටුවේ පින්තූරය]

යෝනාස්ට ලැබුණු කාඩ්පතක “අපි ඔයාව අමතක කරන්නේ නැහැ” කියා සඳහන් කර තිබුණා

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Focus Agency/​WPN

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© imagebroker/​Alamy

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Foto: picture alliance

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Foto: picture alliance