කොළ මැල වී නොයන්නාවූ ගසක් මෙන් වන්න
කොළ මැල වී නොයන්නාවූ ගසක් මෙන් වන්න
ගස් වැල්වලින් ගහන ඉතා සුන්දර ස්ථාන බොහෝවිට අප කවුරුත් දැක තිබෙනවා. මෙවන් ප්‍රදේශයක ජල හිඟයක් තිබෙනවා කියා සිතිය නොහැකියි. එහි සරුවට වැඩුණු විශාල ගස් තිබෙන්නේ ඒ අවට ඇති තරම් ජලය තිබෙන නිසයි.
දෙවි කෙරෙහි විශ්වාසය තබා ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන සිටින අයව බයිබලයේ සමාන කර තිබෙන්නේ සරුවට වැඩුණු ගස්වලටයි. උදාහරණයකට බයිබලයේ ගීතාවලිය පොතේ මුල් වගන්ති තුන සලකා බලන්න.
“දුෂ්ටයන්ගේ අවවාද නොපිළිගත්තාවූ, පව්කාරයන් යන මඟෙහි නොගියාවූ, සමච්චල් කරන්නන් සමඟ ඇසුරු නොකළාවූ මනුෂ්‍යයා සන්තෝෂවත්ය. යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ, නියම වාරයට පල හටගන්නාවූ, කොළ මැල වී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.”—ගීතාවලිය 1:1-3, නව ලොව පරිවර්තනය, NW.
බයිබලයේ යෙරෙමියා පොතේද ඒ හා සමාන අදහසක් මෙලෙස සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිව විශ්වාස කරමින් යෙහෝවා දෙවි මත රඳා සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය. ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය. දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.”—යෙරෙමියා 17:7, 8, NW.
ගීතාවලිය සහ යෙරෙමියා පොත්වල සඳහන් විස්තරයට අනුව දෙවිගේ නීති පිළිපදිමින් දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අයව සරුවට වැඩුණු ගස්වලට සමාන කර තිබෙන බව පැහැදිලියි. නමුත් එවැනි කෙනෙක් සරුවට වැඩුණු ගසකට සමාන වන්නේ කෙසේද?
‘දිය දහරා අසල සිටෙවූ’
බයිබලයේ සඳහන් වන ආකාරයට මෙම ගස් සිටුවා තිබෙන්නේ දිය දහරා අසලයි. යෙසායා 44:3, 4හිද [NW] එවැනි අදහසක් ඇතුළත් වෙනවා. “මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි. වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.” එවිට “ඔවුහු නිල් තණකොළ මෙන්ද දිය අගල් ළඟ වැඩෙන විලෝ ගස් මෙන්ද සරුවට වැඩෙති.” මෙහි බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී නැවත යෙරුසලමට පැමිණෙන යුදෙව්වන්ව සමාන කර තිබෙන්නේ “දිය අගල්” සහ “ඇළදොළවල්” අසල සරුවට වැඩෙන විලෝ ගස්වලටයි. එයින් පෙන්නුම් කරන්නේ ඔවුන්ට දෙවිගේ සැලකිල්ල ලැබෙන ආකාරයයි.
අදටත් වගා කටයුතු සිදු කරන තැන්වලට ජලය සැපයීමට දිය පාරවල් හෝ ඇළ මාර්ග සාදා තිබෙනවා. බොහෝවිට ඒවා දෙපස සරුවට වැඩුණු ගස් දැකිය හැකියි.
ගීතාවලිය 1:3හි ‘නියම වාරයට පල හටගන්නා’ ගස් ගැන සඳහන් වෙනවා. බයිබලයේ සඳහන් යම් දේශවල නිසි කාලයට හොඳ පලදාවක් ලබාගත හැකි අත්තික්කා, දෙළුම්, ඇපල්, රටඉඳි හා ඔලිව ගස් දකින්න ලැබෙනවා. මේවා අතරින් අත්තික්කා ගස හැරුණුකොට අනිකුත් ගස් එතරම් විශාල ලෙස වැඩෙන ඒවා නොවෙයි. සාමාන්‍යයෙන් අත්තික්කා ගහක් අඩි 30ක් පමණ උසට වැඩෙන අතර එහි අතු පවා හොඳින් විහිදෙනවා.
අතීතයේදී සිරියාව සහ පලස්තීනය ආශ්රිත ගං ඉවුරුවල විශාල විලෝ ගස් වැඩුණා. බයිබලයේද ජලාශ්‍රිතව වැඩුණු විලෝ ගස් ගැන සඳහන් කර තිබෙනවා. (ලෙවී කතාව 23:40; එසකියෙල් 17:5) ගීතාවලිය පොතේ සහ යෙරෙමියා පොතේ පෙන්නුම් කරන ආකාරයට දෙවි කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කරන අය ලබන සාර්ථකත්වය ගං ඉවුරු දෙපස සරුවට වැඩෙන මේ ගස්වලින් මනාව පැහැදිලි වෙනවා. අපි දෙවි කෙරෙහි විශ්වාසය තැබුවොත් අපි ‘කරන සෑම දෙයක්ම සාර්ථක වෙනවා.’ ජීවිතය සාර්ථක කරගන්න අකමැති කවුද?
දෙවිගේ නීතිය කියවීමෙන් ප්‍රීතිය ලබන්න
බොහෝ අය සිතන්නේ ප්‍රසිද්ධ වීමෙන් හෝ ධනවත් වීමෙන් ජීවිතය සාර්ථක කරගත හැකි බවයි. නමුත් ඔවුන් ඒ සඳහා වෙහෙසුණත් බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එසේනම් සැබෑ සාර්ථකත්වය සහ සන්තෝෂය ලබාගැනීමට කළ යුත්තේ කුමක්ද? යේසුස් ඔහුගේ ප්‍රසිද්ධ දේශනයකදී පැවසූ දෙයකින් ඊට පිළිතුර සොයාගත හැකියි. ඔහු පැවසුවේ නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටය කියායි. (මතෙව් 5:3) ජීවිතයේ සැබෑ සන්තෝෂය ලැබෙන්නේ ධන සම්පත් තිබීමෙන් නොවෙයි. ඒ වෙනුවට සැබෑ සන්තෝෂය ලබාගත හැකි වන්නේ දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍ය බව පිළිගෙන ඒවා ජීවිතයට අදාළ කරගැනීමෙනුයි. එසේ කිරීමෙන් අපට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකි අතර නියම වාරයට පල හටගන්නා ගසක් මෙන් සාර්ථක වීමටත් හැකියි.
ගීතාවලිය පොතේ මුල් වගන්තියේ අප වැළකී සිටිය යුතු දේවල් ගැනද සඳහන් කර තිබෙනවා. ඒවා අතරට ‘දුෂ්ටයන්ගේ අවවාද ප්‍රතික්ෂේප කිරීමත්’ ‘පව්කාරයන් යන මඟෙහි ගමන් නොකිරීමත්’ ‘සමච්චල් කරන අය සමඟ ඇසුරු නොකිරීමත්’ ඇතුළත්. සන්තෝෂයෙන් ජීවත් වීමට අවශ්‍ය නම් දෙවිගේ නීති ප්‍රතික්ෂේප කරන අයගෙන් අපි සම්පූර්ණයෙන්ම ඈත් විය යුතුයි.
එමෙන්ම අපි දෙවිගේ නීතියට ඇලුම් කිරීමට ඉගෙනගැනීමත් වැදගත්. දෙවිගේ නීතියට ඇලුම් කිරීමට නම් අපි එය වටිනා දෙයක් ලෙස සැලකිය යුතුයි. අපි එසේ කරනවා නම් බයිබලය අධ්‍යයනය කර එය හොඳින් තේරුම්ගන්න අප තුළ ලොකු පෙලඹීමක් ඇති වෙනවා.
අවසාන වශයෙන් කියනවා නම්, අප “දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා” කරන්න අවශ්‍යයි . එක් බයිබල් ලේඛකයෙකුට හැඟුණු මේ දෙයම අපටත් හැඟිය යුතුයි. “ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.”—ගීතාවලිය 119:97, NW.
අපි යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහු ගැන හොඳ අවබෝධයක් ලබාගත් විට අපට ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති වන අතර අපට ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක්ද ඇති කරගැනීමට හැකි වෙනවා. එසේ කිරීමෙන් ජීවිතයේ සතුට අද්දැකිය හැකි අතර ගීතාවලිය පොතේ සඳහන් වී ඇති ආකාරයට අප “කරන සෑම දෙයක්ම සාර්ථක” වෙනවා.