දෙවි සැබෑ පුද්ගලයෙක්ද?
දෙවි සැබෑ පුද්ගලයෙක්ද?
බොහෝදෙනා පවසන්නේ . . .
▪ “දෙවි පුද්ගලයෙක් නොවෙයි. බලයක් විතරයි. ඒ නිසා ඒ බලය සුළඟ වගේ සෑම තැනම තිබෙනවා.”
▪ “දෙවි බලයක් නිසා අපට ඔහුව විස්තර කරන්න බැහැ.”
යේසුස් පැවසුවේ . . .
▪ “මගේ පියාණන්ගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන තිබේ.” (යොහන් 14:2) යේසුස් ඉන් අදහස් කළේ දෙවිට ජීවත් වීමට නිශ්චිත ස්ථානයක් තිබෙන බවයි.
▪ “මම පියාණන් වෙතින් ලෝකයට පැමිණියෙමි. දැන් මම ලෝකය අත්හැර පියාණන් වෙතට යන්නෙමි.” (යොහන් 16:28) දෙවි සැබෑ පුද්ගලයෙක් බවත් ඔහුට ජීවත් වීමට ස්ථානයක් තිබෙන බවත් යේසුස් දැන සිටි බව ඉන් පැහැදිලි වෙනවා.
යේසුස් සෑමවිටම දෙවිව සැබෑ පුද්ගලයෙක් ලෙස සැලකුවා. ඔහු දෙවිට යාච්ඤා කළේ ඒ නිසයි. බොහෝ අවස්ථාවලදී ඔහු දෙවිව තම ස්වර්ගික පියා ලෙස හැඳින්වූවා. යේසුස්ට දෙවි සමඟ එතරම් කිට්ටු බැඳීමක් තිබුණේ දෙවි සැබෑ පුද්ගලයෙක් නිසයි.—යොහන් 8:19, 38, 54.
දෙවි නොපෙනෙන කෙනෙක් බවත් “කිසි මිනිසෙක් කිසි කලක දෙවිව දැක නැති” බවත් යේසුස් පැවසුවා. (යොහන් 4:24; 1:18) ඔහු ඉන් අදහස් කළේ දෙවිට කිසිම ආකාරයක ශරීරයක් නැති බව නොවෙයි. ඊට හේතුව ස්වර්ගයේ ජීවත් වන අයට යම් ආකාරයක ශරීරයක් තිබෙන බව බයිබලයේ සඳහන් වීමයි. (1 කොරින්ති 15:44) ඒ අනුව මිනිස් ශරීරවලට වඩා බොහෝ සෙයින් වෙනස් මිනිස් ඇසට නොපෙනෙන ආකාරයේ ශරීරයක් දෙවිට තිබෙන බව පැහැදිලියි.
යේසුස් මිය ගිය පසු දෙවි ඔහුට නැවත ජීවිතය ලබා දුන්නා. ඉන්පසු ඔහු ස්වර්ගයට ගොස් ‘දෙවි ඉදිරියෙහි පෙනී සිටි’ බව බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 9:24) ඉන් අපට දෙවි ගැන වැදගත් කරුණු දෙකක් ඉගෙනගත හැකියි. පළමුවැන්න නම් දෙවිට ජීවත් වීමට ස්ථානයක් තිබෙන බවයි. දෙවැන්න නම් දෙවි සැබෑ පුද්ගලයෙක් බවයි.
දෙවි සැබෑ පුද්ගලයෙක් නිසා ඔහුට හැඟීම් තිබෙනවා. ඔහු තම නිර්මාණයන් ගැන සතුටු වෙන්නේත් තමාට නමස්කාර කරන අයට ප්‍රේම කරන්නේත් රූප වන්දනාව පිළිකුල් කරන්නේත් අධර්මිෂ්ඨකම ගැන දුක් වෙන්නේත් ඒ නිසයි. (උත්පත්ති 6:6; ද්විතීය කතාව 16:22; 1 රාජාවලිය 10:9; ගීතාවලිය 104:31) එමෙන්ම බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ “සන්තෝෂවත් දෙවි” හැටියටයි. (1 තිමෝති 1:11) එවැනි දෙවි කෙනෙකු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම කොතරම් වටිනවාද! එසේ කිරීමෙන් දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කරන්න ඔබට හැකි වෙයි.—මාක් 12:30. *
නමුත් දෙවි ස්වර්ගයේ සිටින නිසා ඔහුට මුළු විශ්වය පුරාම තමාගේ බලය ක්‍රියාත්මක කළ හැකිද? එය තේරුම්ගැනීමට අපි මෙම උදාහරණය සලකා බලමු. යම් ස්ථානයක පිහිටා තිබෙන විදුලි බලාගාරයක් මගින් ප්‍රදේශ ගණනාවකට විදුලි බලය ලබා දිය හැකියි. ඒ හා සමානව ස්වර්ගයේ සිටින දෙවිට තමාගේ බලය යොදාගෙන විශ්වයේ ඕනෑම තැනක තමාගේ අරමුණු ඉටු කළ හැකියි.—ගීතාවලිය 104:30; 139:7.
[පාදසටහන]
^ 11 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 1වන පරිච්ඡේදය බලන්න.