Skip to content

පටුනට යන්න

ඔබගේ සැලසුම් දෙවිගේ අරමුණට එකඟද?

ඔබගේ සැලසුම් දෙවිගේ අරමුණට එකඟද?

ඔබගේ සැලසුම් දෙවිගේ අරමුණට එකඟද?

උතුරු ඇමරිකාවේ කැලෑබද ප්‍රදේශවල අළු පාටට හුරු කුරුලු වර්ගයක් සිටිනවා. උන්ව හඳුන්වන්නේ නට්ක්‍රැකර් ලෙසයි. උන් සෑම වසරකම විවිධ ස්ථාන 2,500ක පමණ ඇට වර්ග 33,000කට වැඩි ප්‍රමාණයක් වළලනවා. උන් එසේ කරන්නේ අධික ශීත කාලයේදී ඒවා ආහාරයට ගන්නයි. ඇත්තෙන්ම මේ කුඩා පක්ෂියා අනාගතය ගැන සැලසුම් කරන ආකාරයෙන් පෙනී යන්නේ ඌ “සහජයෙන්ම ප්‍රඥාවන්ත” බවයි.—හිතෝපදේශ 30:24, නව ලොව පරිවර්තනය, NW.

ඊටත් වඩා පුදුමාකාර හැකියාවක් මිනිසාට තිබෙනවා. තම අතීත අද්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඊට එකඟව අනාගතය සැලසුම් කිරීමට හැකියාව තිබෙන්නේ මිනිසාට පමණයි. “මිනිසෙකුගේ සිතේ අනාගත සැලසුම් බොහෝය” කියා ප්‍රඥාවන්ත රජෙක් වූ සලමොන් පැවසුවේ ඒ නිසයි.—හිතෝපදේශ 19:21NW.

එවැනි පුදුමාකාර හැකියාවක් මිනිසාට තිබුණත් අනාගතයේදී සිදු වන දේවල් දැනගන්න ඔවුන්ට බැහැ. ඒ නිසා ඔවුන් යම් උපකල්පන මත තමන්ගේ සැලසුම් යොදනවා. උදාහරණයකට සමහරුන්, හෙට දිනයේදී හිරු පායයි කියාත් තමන් හෙට ජීවතුන් අතර සිටියි කියාත් සිතමින් ඒ දවසේ ක්‍රියාකාරකම් සැලසුම් කරනවා. හිරු පායන බව උපකල්පනය කිරීම නම් කෙදිනකවත් වරදින්නේ නැහැ. නමුත් තමන් ජීවත්ව සිටීද යන්න ගැන උපකල්පනය කිරීම නම් අවිනිශ්චිතයි. බයිබල් ලේඛකයෙක් වූ යාකොබ් මෙසේ පැවසුවේ ඒ නිසයි. “හෙට ඔබේ ජීවිතය කෙසේ වේදැයි ඔබ දන්නේ නැත.”—යාකොබ් 4:13, 14.

නමුත් යෙහෝවා දෙවිට නම් එවැනි සීමාවන් නැහැ. ඔහුට ‘අවසානයේදී සිදු වන දේ කලින්ම කීමට’ හැකියාව තිබෙනවා. එමෙන්ම ඔහු අරමුණු කර තිබෙන දේවල් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. දෙවිම ඒ ගැන මෙසේ පවසනවා. “අරමුණු කළ දේ ඒ අයුරින්ම ඉටු කරන තැනැත්තාණන්” මමය. (යෙසායා 46:10NW) කෙසේවෙතත් මිනිසුන්ගේ සැලසුම් දෙවිගේ අරමුණ සමඟ එකඟ නොවන විට කුමක් සිදු වෙයිද?

දෙවිගේ අරමුණට එකඟ නොවන විට

මිනිස් වර්ගයා පොළොවේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මීට අවුරුදු 4,000කට පමණ පෙර සිටි මිනිසුන් විශාල කොතක් ගොඩනැඟුවා. එය හැඳින්වූයේ බාබෙල් ලෙසයි. එය ගොඩනැඟූ අය මෙසේ පැවසුවා. “එන්න! අපි නුවරක් හදාගමු. එහි අහස උසට කොතක් ගොඩනඟාගෙන අපටම කීර්ති නාමයක් හදාගමු. පොළොව පුරා අපව විසිර නොයන පිණිස අපි එසේ කරමු.”—උත්පත්ති 11:4NW.

නමුත් මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිට තිබූ අරමුණ ඊට වඩා වෙනස්. දෙවි නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් මෙසේ ආඥා කර තිබුණා. “දරු සම්පත් ලබා ගණනින් වැඩි වන්න. පොළොව පුරා පැතිර යන්න.” (උත්පත්ති 9:1NW) බාබෙල් කොත ගොඩනැඟූ අකීකරු මිනිසුන්ගේ සැලසුම් සම්බන්ධයෙන් දෙවි ක්‍රියා කළේ කෙසේද? ඔවුන් කතා කළ දේවල් එකිනෙකාට තේරුම්ගැනීමට නොහැකි වෙන ආකාරයෙන් දෙවි ඔවුන්ගේ භාෂාව අවුල් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘යෙහෝවා දෙවි ඔවුන්ව පොළොව පුරා විසුරුවා හැරිය’ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 11:5-8NW) මෙයින් බාබෙල් කොත ගොඩනැඟූ අයට ප්‍රබල පාඩමක් ඉගෙනගැනීමට සිදු වුණා. එනම් මිනිසුන් යොදන සැලසුම් දෙවිගේ අරමුණට එකඟ නොවන විට “ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්ත” යන කාරණයයි. (හිතෝපදේශ 19:21NW) එම අතීත සිද්ධියෙන් ඔබත් යම් පාඩමක් ඉගෙනගත්තාද?

අඥාන ධනවතෙක්

සමහරවිට ඔබ එවැනි කොතක් ගොඩනඟන්න සැලසුම් නොකරනවා ඇති. නමුත් අද සිටින බොහෝ අය බැංකුවේ විශාල මුදලක් තැන්පත් කිරීමට හෝ ධන සම්පත් රැස් කිරීමට උත්සාහ දරනවා. ඔවුන් එසේ කරන්නේ අනාගතය සතුටින් ගත කිරීම සඳහායි. තමන් මහන්සි වී උපයාගත් දේවල් සතුටින් භුක්ති විඳීමට ඕනෑම කෙනෙක් කැමතියි. සලමොන් රජ පැවසුවේ ‘වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසෙක් කා බී හොඳ ප්‍රතිඵල ලැබිය යුතුය. එය දෙවිගෙන් ලැබෙන දීමනාවක්’ කියායි.—දේශනාකාරයා 3:13NW.

මහන්සි වී උපයාගත් දේවල් භුක්ති විඳින ආකාරය ගැන අපි දෙවිට ගණන් දිය යුතුයි. එය කාවද්දමින් යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “එක්තරා ධනවතෙකුගේ වත්තෙන් හොඳ පලදාවක් ලැබුණේය. එබැවින් ඔහු, මා කුමක් කළ යුතුද? මාගේ පලදාව රැස් කර තබන්න දැන් මට කිසිම ඉඩක් නැත කියා කල්පනා කරන්න පටන්ගත්තේය. එහෙයින් ඔහු මෙසේ කීවේය. මම මෙසේ කරමි. මම මාගේ ගබඩා කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, එහි මාගේ මුළු ධාන්‍ය තොගය සහ මාගේ වටිනා සියලු දේ රැස් කර, මටම මෙසේ කියාගන්නෙමි. ඔබ වෙනුවෙන් අවුරුදු ගණනකට වටිනා දේවල් බොහොමයක් රැස් කර තිබේ. විවේක සුවයෙන් හිඳ, කා බී, ප්‍රීති වන්න.” (ලූක් 12:16-19) පෙනෙන ආකාරයට ධනවතා යෙදූ සැලැස්මේ කිසිම වරදක් නැහැ. ඊට හේතුව වන්නේ කලින් සඳහන් කළ නට්ක්‍රැකර් නම් කුරුල්ලා හා සමානව මේ මිනිසාද ඔහුගේ අනාගතය වෙනුවෙන් සැලසුම් කළ නිසයි.

නමුත් ඒ ධනවතාගේ ආකල්පවල යම් ගැටලුවක් තිබුණා. දෙවි ඔහුගෙන් මෙවැනි දෙයක් ඇසූ බවත් යේසුස් පැවසුවා. “අඥානය, අද රාත්‍රියේදීම ඔබේ ජීවිතය ඉල්ලනු ලැබේ. එවිට, ඔබ රැස් කළ මේ දේ ලැබෙන්නේ කාටද?” (ලූක් 12:20) මහන්සි වී වැඩ කර ප්‍රීතිවීම දෙවිගෙන් ලද ත්‍යාගයක් කියා සලමොන් පැවසූ දෙයට පරස්පර විරෝධී දෙයක් යේසුස් මෙහිදී පැවසුවාද? නැහැ. යේසුස් පෙන්වීමට උත්සාහ කළේ ‘දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගැනීම’ අඥාන දෙයක් බවයි.—ලූක් 12:21.

යේසුස් කාවැද්දුවේ අපි යම් සැලසුම් යොදන විට දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් සැලකිලිමත් වීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙන බවයි. මේ පොහොසත් මිනිසා ප්‍රඥාවන්තව, දෙවි කෙරෙහි භක්තියක් ඇති කරගෙන දෙවිට ප්‍රේම කළා නම් දෙවි ඉදිරියෙහි පොහොසත් වෙන්න ඔහුට හැකිකම තිබුණා. නමුත් ඔහුට එවැනි දෙයක් කිරීමට කිසිම වුවමනාවක් නොතිබූ බව ඔහුම පැවසූ දේවලින් පෙනී යනවා. එමෙන්ම දිලිඳුන්ට අස්වැන්නෙන් කොටසක් දීමටවත් එයින් කොටසක් යෙහෝවා දෙවිට පූජා කරන්නවත් ඔහුට ඕනේ වුණේ නැහැ. ඔහුගේ එම ආත්මාර්ථකාමී සැලැස්ම දෙවිගේ කැමැත්තට එකඟ වුණේ නැහැ. ඔහු සැලසුම් යොදා තිබුණේ ඔහුගේ සැප පහසුව තකා පමණයි.

එම අඥාන ධනවතා මෙන් අදත් බොහෝ අය ක්‍රියා කරනවා ඔබ දැක තිබෙනවාද? අප දුප්පත් වුණත් පොහොසත් වුණත් දෙවි සමඟ ඇති සම්බන්ධය ගැන නොතකා අපේම අවශ්‍යතාවලට පමණක් අවධානය දෙන්න පෙලඹෙන්න පුළුවන්. එවැනි දෙයක් සිදු නොවීම සඳහා අපට කුමක් කළ හැකිද?

“සාමාන්‍ය” ජීවිත රටාවක්

යේසුස්ගේ උපමාවේ සිටි ධනවතාට වෙනස්ව ඔබ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා විය හැකියි. ඔබ විවාහකයෙක් නම් පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්නත් දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දෙන්නත් සැලසුම් කරන්න පුළුවන්. ඔබ තනිකඩයෙක් නම් අන් අයට බරක් නොවීම සඳහා රැකියාවක් සොයාගැනීමට හෝ කරමින් සිටින රැකියාව දිගටම කරන්නත් ඔබ සැලසුම් කරනවා ඇති. එසේ සැලසුම් කිරීම ඉතා ප්‍රයෝජනවත්.—2 තෙසලෝනික 3:10-12; 1 තිමෝති 5:8.

කොහොමවුණත් කෑම බීම, රැකියාව වැනි ජීවිතයේ සාමාන්‍ය දේවල් පවා කෙනෙකුව දෙවිගේ අරමුණට විරුද්ධව ක්‍රියා කිරීමට පෙලඹවිය හැකියි. එය යේසුස් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය. මන්ද ජලගැල්මට පෙර ඒ දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා, ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ. එලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය.”—මතෙව් 24:37-39.

ජලගැල්මට කලින් සිටි මිනිසුන් ගත කළේ සාමාන්‍ය ජීවිතයක්. නමුත් එවකට තිබූ දුෂ්ට සමාජය දෙවි ජලගැල්මකින් විනාශ කිරීම ගැන ඔවුන් “කිසි තැකීමක්” කළේ නැහැ. එදා ජීවත් වූ නෝවා ගත කරමින් සිටියේ අමුතු ජීවන රටාවක් කියා ඔවුන්ට සිතෙන්න ඇති. නමුත් එම ජලගැල්මෙන් නෝවා හා ඔහුගේ පවුලේ අය පමණක් ගැලවීමෙන් තහවුරු වුණේ ඔවුන් ගත කරමින් සිටි ජීවන රටාව නිවැරදි බවයි.

අපි ජීවත් වන්නේ බයිබලයේ සඳහන් අන්තිම දවස්වල බව අද සිදු වන දේවල්වලින් පැහැදිලි වෙනවා. (මතෙව් 24:3-12; 2 තිමෝති 3:1-5) ඉතාමත් ළඟදී දෙවිගේ රාජ්‍යය මගින් අද පවතින දුෂ්ට සමාජය ‘පොඩි කර නැති කර දැමීමට’ නියමිතයි. (දානියෙල් 2:44NW) ඉන්පසුව දේවරාජ්‍යය මගින් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කර ලෙඩ දුක් හා මරණය පවා නැති කර දමනවා. (යෙසායා 33:24; එළිදරව් 21:3-5) ඒ කාලයේදී කිසිවෙක් කුසගින්නෙන් පෙළෙන්නේ නැති අතර සෑම ජීවියෙක්ම සමාදානයෙන් කල් ගෙවනවා.—ගීතාවලිය 72:16; යෙසායා 11:6-9.

ඒ දේවල් සිදු කිරීමට කලින් දේවරාජ්‍යය සම්බන්ධ ශුභාරංචිය ‘සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලැබිය යුතු බව’ යෙහෝවා දෙවි අරමුණු කර තිබෙනවා. (මතෙව් 24:14) එම අරමුණට එකඟව මිලියන හතක් පමණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 236ක භාෂා 400කට අධික ප්‍රමාණයකින් ශුභාරංචිය දේශනා කරමින් සිටිනවා.

ඔවුන් අමුතු ජීවිත රටාවක් ගත කරනවා කියා මිනිසුන්ට සිතෙන්න පුළුවන්. (2 පේතෘස් 3:3, 4) අද සිටින බොහෝ මිනිසුන් නෝවාගේ දවස්වල සිටි අය මෙන් ජීවිතයේ සාමාන්‍ය වැඩ කටයුතුවල ඇලී ගැලී සිටිනවා. එවැනි ජීවන රටාවක් අනුගමනය නොකරන අයව සමාජය සලකන්නේ අමුතු අය හැටියටයි. නමුත් යෙහෝවා දෙවිගේ සේවයට මුල් තැන දීම කොතරම් වටිනවාද කියා දෙවිගේ පොරොන්දු විශ්වාස කරන අය දන්නවා.

අපි දුප්පත් වුණත් පොහොසත් වුණත් විටින් විට අපේ අනාගත සැලසුම් ගැන කල්පනා කර බැලිය යුතුයි. එසේ කිරීමේදී අපෙන්ම මෙසේ අසාගැනීම වැදගත්. ‘මගේ සැලසුම් දෙවිගේ අරමුණට එකඟද?’

[11වන පිටුවේ පින්තූරය]

මිනිසුන්ගේ සැලසුම් දෙවිගේ අරමුණ හා එකඟ නොවන විට ඉටු වෙන්නේ දෙවිගේ කැමැත්තයි

[12වන පිටුවේ පින්තූරය]

අඥාන ධනවතා තම අනාගතය සැලසුම් කළේ දෙවිගේ අරමුණට එකඟව නොවෙයි