Skip to content

පටුනට යන්න

මවකගේ සතුට

මවකගේ සතුට

මවකගේ සතුට

අද දින ලොව පුරා සිටින කාන්තාවන්ගෙන් වැඩිදෙනෙකුට රැකියාවක නියැලෙන්න සිදු වී තිබෙනවා. කාර්මික රටවල පුරුෂයන් මෙන් කාන්තාවන්ද බාහිර රැකියාවල නිරත වෙනවා. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල තම පවුලේ නඩත්තුව සඳහා කාන්තාවන් පැය ගණනාවක් කෘෂිකාර්මික වැඩවල වෙහෙසෙනවා.

දරුවන්ව බලාගෙන ගෙදර ඉන්න ආශාවක් තිබුණත් බොහෝ කාන්තාවන්ට සිදු වී තිබෙන්නේ බාහිර රැකියාවක් කරන්නයි. ආහාර, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් සඳහා මුදල් හම්බ කරනවාට අමතරව ආහාර පිළියෙල කරන්නත්, ඇඳුම් සෝදන්නත්, නිවස පිරිසිදු කරන්නත් සිදු වන්නේ ඔවුන්ටමයි.

එපමණක්ද නොව දෙවිට නමස්කාර කරන මව්වරුන් නම්, තම දරුවන් තුළ දෙවි කෙරෙහි ඇල්මක් ඇති කිරීමටත් වෑයම් කරනවා. “රැකියාව සහ පවුලේ වගකීම් සමබරව කිරීම ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන් ඉන්නකොට ඊටත් වඩා අමාරුයි. ඔවුන් එක්ක ගත කරන්න ලැබෙන කාලය අඩුයි” කියා දැරිවියන් දෙදෙනෙකුගේ මවක් වන ක්‍රිස්ටිනා පැවසුවා.

මව්වරුන්ට රැකියාවක් කරන්න සිදු වන්නේ ඇයි? එසේ කිරීමේදී ඔවුන් මොන වගේ දේවලට මුහුණ දෙනවාද? තමන්ටත් යමක් කළ හැකි බව පෙන්වීමට ඔවුන් බාහිර රැකියාවක නියැලෙන්න අවශ්‍යද?

රැකියාවක නියැලෙන්නේ . . .

බොහෝ මව්වරුන් රැකියාවක් කරන්නේ එය නොකර බැරි නිසයි. සැමියෙකු නැති නිසා තනිවම තම පවුල නඩත්තු කරන්න සමහර මව්වරුන්ට සිදු වෙනවා. දෙදෙනාම සිටින පවුල්වල වුණත් එක වැටුපකින් තම පවුලේ අවශ්‍යතා සපුරාගන්න බැරි බවයි තවත් අයට හැඟෙන්නේ.

නමුත් ඇතැම් මව්වරුන් රැකියාවක නියැලෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසාම නෙවෙයි. සමහරු රැකියාවක් කරන්නේ තම හැකියාවන් පෙන්වීමටයි. තවත් අය තමන්ට රිසි සේ විය හියදම් කිරීමට හෝ සුවපහසු දේවල් ලබාගැනීමට වුවමනා නිසා රැකියාවක් කරනවා. බොහෝ මව්වරුන් තම රැකියාව දක්ෂ ලෙස කරන අතර ඉන් ඉමහත් සතුටක්ද ලබනවා.

ආශ්‍රිතයන්ගේ බලපෑම නිසාත් සමහර මව්වරුන් බාහිර රැකියාවක් කරන්න පෙලඹිය හැකියි. රැකියාවක් කරන මව්වරුන් නිතර මානසික පීඩනය අද්දකිමින් වෙහෙසට පත් වෙන බව වැඩිදෙනා දන්නවා. ඒ වුණත් රැකියාවක් නොකරන මව්වරුන්ව ඔවුන් වරදවා වටහාගෙන සරදමට ලක් කරනවා. එක් කාන්තාවක් ඒ ගැන මෙසේ පැවසුවා. “‘මම ගෘහණියක්’ කියලා අනිත් අයට කියන එක ලේසි දෙයක් නෙවෙයි. මොකද එහෙම කිව්වහම සමහරු කියන දේවල්වලිනුයි ඒගොල්ලන්ගේ මුහුණේ ඉරියව්වෙනුයි අඟවන්නේ මගේ හොඳ කාලේ මම නාස්ති කරනවා කියලයි.” දෙහැවිරිදි දියණියක් සිටින රෙබෙකා මෙසේ පවසනවා. “මව්වරුන් තම දරුවන්ට සැලකිය යුතුයි කියා අපේ සමාජය පැවසුවත් මට හිතෙන්නේ බාහිර රැකියාවක් නොකරන මව්වරුන් පහත් කියා ඔවුන් සලකන බවයි.”

සැබෑ තත්වය

ලෝකයේ ඇතැම් රටවල ජනමාධ්‍යයන්වලින් පෙන්වන්නේ “ආදර්ශවත් කාන්තාව” ඉහළ වැටුපක් ලබන මනා සේ සැරසී සිටින කිසි දේකින් නොසැලෙන කාන්තාවක් ලෙසයි. ඇය නිවසට පැමිණි විට තම දරුවන්ගේ ගැටලු විසඳීමටත්, තම සැමියා අතින් සිදු වන වැරදි හරිගැස්වීමටත්, නිවසේ ඇති වෙන ඕනෑම තත්වයක් හොඳින් හැසිරවීමටත් ශක්තිය හා හැකියාව තිබෙන තැනැත්තියක්. ජනමාධ්‍යයෙන් මවා පෙන්වන මෙවැනි කාන්තාවන් සැබවින්ම සිටිනවා නම් ඒ අතළොස්සක් පමණයි.

සැබෑව වන්නේ බොහෝවිට කාන්තාවන්ට ඒකාකාරී මෙන්ම අඩු වැටුපක් ගෙවන රැකියාවන් ලැබීමයි. එමෙන්ම තම හැකියාවන්ට සරිලන රැකියා නොලැබීමත් මව්වරුන්ගේ කනස්සල්ලට හේතුවක් වෙනවා. එක් පොතක මෙවැන්නක් පවසනවා. “සම තැන් ගැනීමට තරම් කාන්තාව දියුණු වෙමින් සිටියත් වැඩි වැටුපක් ලබන උසස් රැකියාවන් ලැබෙන්නේ පුරුෂයන්ටයි. ඉන් පැහැදිලි වෙන්නේ රැකියාවෙන් තම අනන්‍යතාව ගොඩනඟා ගැනීමට වෑයම් කරන කාන්තාවන් අවාසිදායක තත්වයක සිටින බවයි.” (Social Psychology) එමෙන්ම ස්පාඤ්ඤ පුවත්පතක මෙසේද ලියා තිබෙනවා. “ගණන් බලා තිබෙන ආකාරයට පුරුෂයන්ට වඩා කාන්තාවන් මානසික පීඩනය නිසා කලකිරීමට පත් වෙන්න තියෙන ඉඩ කඩ තුන්ගුණයකින් වැඩියි. ඊට හේතුව ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට වැඩමුර දෙකක් කිරීමට සිදුවීමයි. එකක් රැකියාවේ අනිත් එක නිවසේ.”

සැමියාට හැකියි සහයෝගය දෙන්න

දෙවිට නමස්කාර කරන මවක් බාහිර රැකියාවක නියැලිය යුතුද නැද්ද කියා තීරණය කිරීම පෞද්ගලික දෙයක්. ඒ වුණත් විවාහක නම් සියලුම පැති සලකා බලා දෙදෙනාම එක්ව ඒ තීරණය ගත යුතුයි.—හිතෝපදේශ 14:15.

ආර්ථික අමාරුකම් නිසා දෙදෙනාම රැකියා කළ යුතුයි කියා හැඟෙනවා නම් තත්වය කුමක්ද? එවිට නැණවත් සැමියෙකු බයිබලයේ ඇති මෙම උපදෙස ගැන කල්පනා කරයි. “පුරුෂයෙනි, භාර්යාව වඩා දුර්වල වන හෙයින් ඇය සමඟ අවබෝධයක් ඇතිව වාසය කරන්න. ඇය ජීවිතයෙහි වරප්‍රසාදයට හවුල් උරුමක්කාරියක් වන බැවින් ඇයට අයිති ගෞරවය දෙන්න.” (1 පේතෘස් 3:7, ඇත්ත ඇති තැන නම් පරිවර්තනයෙන්) සැමියෙකු තම බිරිඳට ගෞරව කරන්නේ ඇගේ ශාරීරික තත්වයන් හා හැඟීම් තේරුම්ගැනීමෙනුයි. හැකි සෑම අවස්ථාවකදීම ඔහු ගෙදර දොරේ වැඩට හවුල් වෙමින් ඇයට උපකාර කරයි. තමන්ගේ තත්වයට ගැළපෙන්නේ නැහැයි කියා සිතන්නේ නැතුව සැමියෙකු ගෙදර ඇති ඕනෑම වැඩක් කරන්න ඉදිරිපත් වෙයි. ඔහු එසේ කරන්නේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින්. (යොහන් 13:12-15) ඔහු එය සලකන්නේ වෙහෙසී වැඩ කරන තම බිරිඳට ආදරය පෙන්වන්න ලැබෙන අවස්ථාවක් ලෙසයි. ඇයත් එය හුඟක් අගය කරයි.—එෆීස 5:25, 28, 29.

දෙදෙනාම බාහිර රැකියා කරනවා නම් නිවසේදී සහයෝගය දැක්වීම අත්‍යවශ්‍යයි. ස්පාඤ්ඤ පුවත්පතක පළ කර තිබූ වාර්තාවෙන් එය තවත් තහවුරු වෙනවා. පවුල් ඒකකය පිළිබඳ එක් ආයතනයකින් කළ අධ්‍යයනයක් ගැන සඳහන් කර තිබූ එම පුවත්පතේ ස්පාඤ්ඤයේ ඉහළ දික්කසාද අගයක් තිබීමට හේතුව ගැන මෙසේ සඳහන් වුණා. “ආගමික ප්‍රතිපත්ති කැඩීම හා අනාචාරයේ හැසිරීම නිසාම නෙවෙයි දික්කසාද වැඩි වී තිබෙන්නේ. කාන්තාවන් රැකියාවලට යෑමත් පුරුෂයන් නිවසේ වැඩ කටයුතුවලට සහාය නොදීමත්” ඊට හේතු වී තිබෙනවා.

භක්තිවන්ත මවකගේ වගකීම

පියවරුන්ට තම දරුවන්ව පුහුණු කිරීමේ මූලික වගකීම දෙවි පවරා තිබුණත් දෙවිට නමස්කාර කරන මව්වරුන් දන්නවා දරුවන්ව බිලිඳු කාලේ පටන් පුහුණු කිරීමට තමන්ටත් වගකීමක් තිබෙන බව. (හිතෝපදේශ 1:8; එෆීස 6:4) දරුවන්ගේ සිත්වල තම නීති පැළපදියම් කරන්න කියා ඊශ්‍රායෙල්වරුන්ට පවසද්දී යෙහෝවා දෙවි පියවරුන්ව මෙන්ම මව්වරුන්වත් ඇමතුවා. දරුවා හැදී වැඩෙන අවදියේදී ඒ දේ කිරීම සඳහා කාලය මෙන්ම ඉවසීම අවශ්‍ය බව දෙවි දැන සිටියා. ඒ නිසයි දරුවන්ව නිවසේදීත් ගමන් බිමන් යද්දීත් විවේක සුවෙන් සිටිද්දීත් අවදි වෙද්දීත් පුහුණු කළ යුතුයි කියා දෙවි දෙමාපියන්ට පැවසුවේ.—ද්විතීය කතාව 6:4-7, නව ලොව පරිවර්තනය, NW.

බයිබලයේ පැහැදිලිව පවසන්නේ “ඔබේ මවගේ නීතිය අත් නොහරින්න” කියායි. (හිතෝපදේශ 6:20NW) එයින් මවකගේ වැඩ කොටස මොන තරම් වැදගත්ද ගෞරවනීයද යන්න පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් දරුවන්ට නීති දාන්න කලින් බිරිඳ සැමියා සමඟ ඒ ගැන කතා කරනවා. නමුත් එම පදයෙන් පෙන්වන්නේ නීති දැමීමේ අයිතිය මව්වරුන්ටත් තිබෙන බවයි. භක්තිවන්ත මවක් හොඳ නරක සම්බන්ධයෙන් දෙන නීති දරුවෙක් සිතට ගන්නා විට විශාල වශයෙන් ප්‍රයෝජන ලබනවා. (හිතෝපදේශ 6:21, 22) බාල වියේ පසුවන පුතුන් දෙදෙනෙකුගේ මවක් වන ටෙරේසා බාහිර රැකියාවක් නොකිරීමට හේතුව පැහැදිලි කළේ මෙලෙසයි. “මට වැඩියෙන්ම ඕන කරන්නේ මගේ දරුවන්ව දෙවිට සේවය කරන අය විදිහට ඇති දැඩි කරන්නයි. ඒ වෙනුවෙන් මම මගේ උපරිමය කරනවා.”

වෙනසක් ඇති කළ මව්වරුන්

ඊශ්‍රායෙලිතයෙක් වූ ලෙමුවෙල් රජ තම මවගේ උපදෙස්වලින් ප්‍රයෝජන ලැබුවා. “අවවාදයක් පිණිස” ඇය ඔහුට පැවසූ “බැරෑරුම් වදන්” බයිබලයේ සඳහන් කර තිබෙනවා. (හිතෝපදේශ 31:1; 2 තිමෝති 3:16) දක්ෂ බිරිඳක් ගැන ඇය කී වදන් නැණවත් ලෙස විවාහ සහකාරියක් සොයාගැනීමට අද සිටින පුතුන්ටත් උපකාරයක්. අනාචාරය ගැනත්, අධික මත්පැන් පානය ගැනත් ඇය දුන් අවවාද එදාට මෙන්ම අදටත් ප්‍රයෝජනයි.—හිතෝපදේශ 31:3-5, 10-31NW.

මුල් සියවසේදී, යූනිස් නම් මව ඇගේ පුතා වූ තිමෝතිට ඉගැන්වීමට ගත් උත්සාහය බයිබල් ලේඛකයෙකු වූ පාවුල් අගය කළා. ඇගේ සැමියා යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක් නෙවෙයි. ඔහු සමහරවිට නමස්කාර කරන්න ඇත්තේ ග්‍රීක් දෙවිවරුන්ටයි. එමනිසා යූනිස්ට සිදු වුණා “ශුද්ධ ලියවිල්ල” කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම තිමෝතිට ඒත්තුගන්වන්න. ඇය එම කාර්යය පටන්ගත්තේ කවදාද? බයිබලයේ පවසන්නේ “ළදරු වියේ පටන්” එනම් තිමෝති බිලිඳෙකුව සිටියදී ඇය එය පටන්ගත් බවයි. (2 තිමෝති 1:5; 3:14, 15) ඇදහිලිවන්තකම හා ආදර්ශය මෙන්ම ඇගේ ඉගැන්වීම් මගින් ඇය තිමෝතිව දේවසේවය සඳහා පුහුණු කළා.—ෆිලිප්පි 2:19-22.

දෙවිට පක්ෂපාත වෙමින් කදිම ආදර්ශයක් තැබූ සේවකයන්ට ආගන්තුක සත්කාරය දැක්වීමෙන් තම දරුවන්ට ඔවුන් සමඟ ආශ්‍රය කිරීමට අවස්ථාව සලසා දුන් මව්වරුන් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට, ෂුනෙම්මිය ස්ත්‍රියගේ නිවස අනාගතවක්තෘ එලිෂාට නිතරම ඇරී තිබුණා. ඇගේ පුතා මිය ගිය අවස්ථාවේ එලිෂා ඔහුව නැවත ජීවත් කළා. (2 රාජාවලිය 4:8-10, 32-37) ඒ වගේම බයිබල් ලේඛක මාක්ගේ මව වූ මරියාගේ ආදර්ශයත් බලන්න. යෙරුසලමේ තිබූ ඇගේ නිවසේ රැස්වීම් පැවැත්වීමට ඇය මුල් ගෝලයන්ට අවසර දුන්නා. (ක්‍රියා 12:12) නිතිපතා තම නිවසට පැමිණි යේසුස්ගේ ගෝලයන්ව හා වෙනත් ක්‍රිස්තියානීන්ව ආශ්‍රය කිරීමෙන් මාක් අනිවාර්යයෙන්ම ප්‍රයෝජන ලැබූ බව නිසැකයි.

දෙවිගේ ප්‍රතිපත්ති තම දරුවන්ගේ සිත්වලට කාවද්දන්න වෙහෙස දරන ඇදහිලිවන්ත මව්වරුන්ව යෙහෝවා දෙවි අගය කරනවා. එමෙන්ම තමාට පක්ෂපාතව සිටිමින් නිවස තුළදීත් ඔහුගේ නමස්කාරයට මුල් තැන දෙන්න වෑයම් කරන මව්වරුන්ට ඔහු ප්‍රේමණීය සැලකිල්ලක් දක්වනවා.—2 සාමුවෙල් 22:26; හිතෝපදේශ 14:1.

සතුට ගෙන දෙන තීරණයක්

කලින් සඳහන් කළ බයිබල් ආදර්ශවලට අනුව පවුලේ අයගේ ශාරීරික හා ආගමික අවශ්‍යතාවන් ගැන මෙන්ම හැඟීම් ගැන සැලකිලිමත් වීමෙන් ආශීර්වාද රැසක් අත් වෙයි. නමුත් එය ලේසි පහසු කාර්යයක් නොවෙයි. මවකට නිවසේ තිබෙන වැඩ කොටස ඇයට උසස් රැකියාවක තිබෙන වැඩ කොටසට වඩා අමාරුයි.

තම සැමියාගේ උපදෙස් අනුව බාහිර රැකියාවේ නියැලෙන කාලය අඩු කිරීමට මවක් තීරණය කරනවා නම් තම පවුලේ විය හියදම් අඩු කරගැනීමට සිදු විය හැකියි. එමෙන්ම ඇගේ තීරණය ගැන හරි අවබෝධයක් නැති අය කරන සමච්චල් කිරීම් විඳදරාගන්නත් ඇයට සිදු වෙයි. නමුත් එවැනි කැප කිරීමකින් වෙන පාඩුවට වඩා ලැබෙන වාසි වැඩියි. අර්ධකාලීන රැකියාවක් කළ යුතු වූ දරුවන් තිදෙනෙකුගේ මවක් වන පාකී පවසන්නේ මෙයයි. “දරුවන් පාසැල ඇරිලා එද්දී ගෙදර ඉන්න මං කැමතියි. එතකොට ඒගොල්ලන් එක්ක කතා කරන්න කෙනෙක් ඉන්නවනේ.” ඉන් දරුවන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? “පාසැලෙන් දෙන ගෙදර වැඩවලට උදව් කරන්නත්, ප්‍රශ්නයක් ඇති වුණොත් එවෙලේම ඒක හරිගස්සන්නත් මට පුළුවන් වෙනවා. හැම දවසකම අපිට එකට කාලය ගත කරන්න ලැබෙන නිසා හොඳින් කතා බහ කරන්නත් පුළුවන්. ඒ කාලය හුඟක් වටින හින්දයි පූර්ණකාලීන රැකියාවක් කරන්න ලැබුණු ප්‍රස්තාව මම බාරගත්තේ නැත්තේ.”

තමන් බාහිර රැකියාව සඳහා ගත කරන කාලය අඩු කරනවා නම් පවුලේ සියලුදෙනාටම එය වාසියක් බව දෙවිට නමස්කාර කරන බොහෝ මව්වරුන් තේරුම්ගෙන තිබෙනවා. කලින් සඳහන් කළ ක්‍රිස්ටිනා පවසන්නේ මෙයයි. “මම රැකියාවෙන් අස් වුණාට පස්සේ ගෙදර ප්‍රශ්නත් අඩු වුණා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. මගේ දරුවන් එක්ක කතා කරන්න වෙලාව තිබුණා. මගේ මහත්තයාට අවශ්‍ය උපකාරය දෙන්නත් මට පුළුවන් වුණා. මගේ දුවලාට උගන්වන්න ලැබීමත්, ඔවුන් ඉගෙනගෙන දියුණු වෙනවා දැකීමත් මට ලොකු ප්‍රීතියක්.” එක සිද්ධියක් කොහොමටවත් අමතක කරන්න බැහැයි කී ඇය පැවසුවේ මෙයයි. “මගේ ලොකු දුව ඇවිදින්න පුරුදු වුණේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේදීයි. ඒත් මම දෙවනි දුවට ඇවිදින්න පුරුදු කළේ ගෙදරදීයි. ඇය ඇගේ මුල්ම පියවර තියද්දී වැටෙන්න යනකොට ඇල්ලුවේ මමයි. ඒ මොහොතේ දැනුණ සතුට මට අද වගේ මතකයි!”

මවක් රැකියාවට ගත කරන කාලය අඩු කළ විට ආර්ථික ලෙස විශාල පාඩුවක් සිදු වෙයි කියා සිතුවත් එය එසේ නොවන බව ක්‍රිස්ටිනා පවසන දෙයින් පැහැදිලි වෙනවා. “දරුවාව බලා කියා ගැනීමටත් ප්‍රවාහණ ගාස්තුවලටත් මගේ වැටුපෙන් සෑහෙන මුදලක් යට කළා. නමුත් අපි මේ ගැන කල්පනා කළාම තේරුණේ මගේ පඩියෙන් ඒ තරම් ලොකු දෙයක් වෙන්නේ නැහැ කියලයි.”

තමාගේ තත්වයන් ගැන සෝදිසි කළ සමහර යුවළයන් තීරණය කර තිබෙන්නේ රැකියාවෙන් ලැබෙන මුදලට වඩා බිරිඳ තම පවුල වෙනුවෙන් කාලය කැප කිරීමෙන් වැඩි වාසියක් ලැබෙන බවයි. ක්‍රිස්ටිනාගේ සැමියා වූ පෝල් මෙවැන්නක් පැවසුවා. “මගේ බිරිඳ දරුවෝ දෙන්නව බලාගෙන ගෙදරට වෙලා ඉන්න එක මට ලොකු සතුටක්. අපි දෙන්නම රැකියාවට ගිය කාලේ ලොකු මානසික පීඩනයක් තිබුණා.” දුවලා දෙන්නට ඉන් ලැබුණු ප්‍රයෝජනය කුමක්ද? “කලින්ට වඩා ඔවුන්ට ආරක්ෂිතබවක් හැඟෙනවා. ඒ විතරක් නෙවෙයි පුංචි කාලේදීම නරක දේවලට යොමුවීමට තිබෙන බලපෑම්වලිනුත් ආරක්ෂා වෙන්න ඔවුන්ට දැන් පුළුවන්” කියා පෝල් පවසනවා. තමන්ගේ දුවලා එක්ක හැකි තරම් කාලයක් ගත කිරීම හුඟක් වැදගත් බව මේ යුවළට හැඟෙන්නේ ඇයි? පෝල්ගේ පිළිතුර මෙයයි. “අපි අපේ දරුවන්ගේ සිත්වලට දාන්න ඕන දේ නොදැම්මොත් වෙන කෙනෙක් ඔවුන්ගේ සිත්වලට නුසුදුසු දේවල් දායි.”

තමන්ගේ පවුලේ තත්වය ගැන තීරණය කිරීම සෑම යුවළකටම අයිති දෙයක්. වෙනත් අය ඔවුන්ගේ තීරණ විවේචනය නොකළ යුතුයි. (රෝම 14:4; 1 තෙසලෝනික 4:11) කෙසේනමුත් මවක් පූර්ණකාලීන රැකියාවක් නොකරන විට ඉන් ඇගේ පවුලට ලැබෙන වාසි ගැන සලකා බැලීම වටිනවා. කලින් සඳහන් කළ ටෙරේසා මේ කාරණය සම්බන්ධයෙන් ඇගේ හැඟීම් කැටි කොට දක්වන්නේ මෙසේයි. “දරුවන්ට උගන්නලා ඔවුන් එක්ක කාලය ගතකරන එක තමයි මවකගේ සතුට. ඒක වෙන කිසිම දේකින් ලබාගන්න බැහැ.”—ගීතාවලිය 127:3.

[31වන පිටුවේ පින්තූරය]

භක්තිවන්ත මව්වරුන් තම දරුවන්ව පුහුණු කිරීමේ වගකීමට හවුල් වෙනවා