අතීතයෙන් බිඳක්
හිරු නැඟෙන දේශයට අරුණළු පායයි
ඇමරිකාවේ චාරිකා සේවය කරමින් සිටි ජපන් ජාතිකයෙක් 1926 සැප්තැම්බර් 6වෙනිදා මිෂනාරි සේවය සඳහා ජපානයට ආවා. ඒ වෙනකොට කෝබෙ නගරයේ කිහිපදෙනෙක් සමඟ බයිබලය සාකච්ඡා කරමින් සිටි කෙනෙක් ඔහුව පිළිගන්න බලාගෙන හිටියේ ආශාවෙන්. ‘මුරටැඹ’ සඟරාව තැපෑලෙන් එහෙට ගෙන්වාගත් එකම පුද්ගලයාත් ඔහුයි. බයිබල් ශිෂ්‍යයන් පළවෙනි වතාවට ජපානයේ සමුළුවක් පැවැත්තුවේ 1927 ජනවාරි 2වෙනිදායි. කෝබෙ නගරයේ පැවැත්වූ ඒ සමුළුවට 36දෙනෙක් පැමිණි අතර 8දෙනෙක් බව්තීස්ම වුණා. කෝටි 6ක ජනගහනයකට සත්‍ය ආලෝකය විහිදුවන්න ඒ කුඩා කණ්ඩායමට පුළුවන් වුණේ කොහොමද?
බයිබල් දේශන මාලාවක් ප්‍රචාරය කරන්න බයිබල් ශිෂ්‍යයන් 1927 මැයි මාසයේදී දැවැන්ත ප්‍රචාරණ වැඩසටහනක් දියත් කළා. ඔසාකාවල පවත්වන දේශනය ගැන ප්‍රචාරය කරන දැන්වීම් ඔවුන් නගරය පුරාම ප්‍රදර්ශනය කළ අතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලයන් 3,000කට ආරාධනා පත් යැව්වා. පත්‍රිකා 1,50,000ක් බෙදාහැරියා. පුවත්පත්වලත් දුම්රිය ටිකට් පත් 4,00,000කත් දැන්වීම් පළ කළා. දේශනය පැවැත්වූ දවසේදී ගුවන්යානා දෙකකින් ආරාධනා පත් ලක්ෂයක් ගුවනේ සිට මුදාහැරියා. අතුරු සිදුරු නැතුව පිරී ගිය දේශන ශාලාවට 2,300දෙනෙක්ට පමණ එන්න පුළුවන් වුණත් ඉඩ මදි වූ නිසා තව දාහකට විතර හැරී යන්න සිදු වුණා. “දේවරාජ්‍යය අත ළඟයි” නම් දේශනයෙන් පසුව තිබූ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවටත් 600කටත් වැඩි පිරිසක් සහභාගි වුණා. ඊට පසුව කියෝතො නගරයෙත් බටහිර ජපානයේ වෙනත් නගරවලත් දේශන ගණනාවක් පැවැත්තුවා.
1927 ඔක්තෝබර්වල දේශන මාලාවක් ටෝකියෝ නගරයෙත් පවත්වන්න බයිබල් ශිෂ්‍යයන් සැලසුම් කළා. ඒ සඳහා අගමැති, මැති ඇමතිවරු, ආගමික නායකයන් සහ හමුදාවේ ප්‍රධානීන්ට ඔවුන් ආරාධනා කළා. දේශන මාලාව ගැන ප්‍රචාරය කරන්න පුවත්පත් දැන්වීම්, පෝස්ටර් සහ පත්‍රිකා 7,10,000ක් යොදාගත්තා. ප්‍රතිඵලයක් විදිහට 4,800දෙනෙක් ඒ දේශනවලට සහභාගි වුණා.
උද්යෝගයෙන් සේවය කළ අය
ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය ගැන කියන්න පුරෝගාමීන් ඉටු කළේ වැදගත් කාර්යයක්. මාට්සූඑ ඊෂී ජපානයේ සේවය කළ මුල්ම පුරෝගාමීන්ගෙන් කෙනෙක්. ඇයත් ඇගේ සැමියා වන ජීසෝත් උතුරු ජපානයේ සප්පොරො සිට සෙන්දායි, ටෝකියෝ, යොකොහමා, නගොයා, ඔසාකා, කියෝතො, ඔකයමා, තොකුෂිමා යන නගරවලට ගිහින් ශුභාරංචිය දේශනා කළා. ඒ විදිහට ඔවුන් මුළු ජපානයෙන් හතරෙන් තුනක ප්‍රදේශයක් පුරා සේවය කර තිබුණා. සහෝදරි ඊෂී ආණ්ඩුවේ උසස් බලධාරීන්ට සාක්ෂි දරන්න ගිය අවස්ථාවකදී හමු වූ එක බලධාරියෙක් සිරගෙදර පුස්තකාලයේ තැබීම සඳහා ‘දෙවිගේ වීණාව’ සහ ‘ගැලවීම’ යන පොත්වලින් පිටපත් 300 බැගින් ඉල්ලා සිටියා.
සහෝදරි ඊෂී දුන්න පොත් කියවලා සත්‍යය පිළිගත් කාට්සූඕ සහ හගිනෝ මියූරා කියන යුවළ 1931දී බව්තීස්ම වෙලා පුරෝගාමි සේවය පටන්ගත්තා. හරුයිචි සහ
ටානෙ යමාඩාත් ඔවුන්ගේ නෑදෑයන් පිරිසකුත් 1930 ගණන්වල සත්‍යය පිළිගත්තා. යමාඩා යුවළ පුරෝගාමි සේවය පටන්ගත් අතර පසු කාලයකදී ඔවුන්ගේ දුව ටෝකියෝ නුවර තියෙන ශාඛා කාර්යාලයේ සේවය කළා.ලොකු කුඩා “යේහු” කරත්ත
ඒ කාලයේ වාහනවල මිල අධිකයි. පාරවලුත් අබලන්. ඒ නිසා තරුණ පුරෝගාමීන් කිහිපදෙනෙක් නවාතැන් ගන්නත් තැනින් තැනට ගෙනි යන්නත් පුළුවන් විදිහට හදලා තිබුණ කරත්ත වර්ග 2ක් පාවිච්චි කළා. ඔවුන් ඒවාට කිව්වේ “යේහු” කරත්ත කියලයි. (2 රාජා. 10:15, 16) ලොකු යේහු කරත්තයක දිග අඩි 7.2කුත්, පළල අඩි 6.2කුත්, උස අඩි 6.2කුත් වුණා. ඒකේ 6දෙනෙකුට නිදාගන්න පුළුවන්කම තිබුණා. ඒ ලොකු කරත්ත තුනට අමතරව ශාඛා කාර්යාලයෙන් කුඩා කරත්ත 11කුත් හදලා පුරෝගාමීන්ට දුන්නා. ඒ එකක දෙන්නෙකුට නවාතැන් ගන්න පුළුවන්. ඒවා හදලා තිබුණේ බයිසිකලයකින් ඇදගෙන යන විදිහටයි. “යේහු” කරත්ත හදන්න උදව් වුණු සහෝදර ඉවාසාකි මෙහෙම කිව්වා. “ඒ හැම කරත්තයකම ටෙන්ට් රෙද්දකුත් ලයිට් එකක් පත්තු කරගන්න අවශ්‍ය කරන කාර් බැටරියකුත් තිබුණා.” උතුරේ හොක්කයිඩෝ නගරයේ ඉඳන් දකුණේ කියූෂු නගරය දක්වාම තිබුණු කඳු පල්ලම් නිම්න හරහා “යේහු” කරත්තවලින් ගිය පුරෝගාමීන් ජපානය පුරාම සත්‍ය ආලෝකය විහිදුවන්න ගත්තේ ලොකු වෙහෙසක්.
පුරෝගාමියෙක් වූ ඉකුමාට්සූ ඕටා මෙහෙම කිව්වා. “අපි නගරෙකට ආවම ‘යේහු’ කරත්ත එහෙ තියෙන ගං ඉවුරක නවත්තනවා. මුලින්ම අපි කරන්නේ නගරේ ප්‍රධාන පුද්ගලයන්ට දේශනා කරන එකයි. ඊටපස්සේ ගෙයින් ගෙට සේවයේ යනවා. ඔය විදිහට නගරේ පුරාම ගියාට පස්සේ අපි ඊළඟ නගරෙට යනවා.”
එදා කෝබෙ නගරයේ හිටපු බයිබල් ශිෂ්‍යයන් 36දෙනා පවත්වපු සමුළුව හරියට “සුළුවෙන් පටන්ගත් වැඩක්” වගේ. (සෙක. 4:10) නමුත් ඊට අවුරුදු 5කට පස්සේ 1932 වෙද්දී ජපානයේ හිටපු පුරෝගාමීන් සහ ප්‍රචාරකයන් 103දෙනා පොත් 14,000කට වඩා බෙදාහැරලා තිබුණා. අද වෙනකොට ජපානයේ ප්‍රධාන නගරවල මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමේ කාර්යය හොඳින් සංවිධානය කර තිබෙනවා. එදා හිරු නැඟෙන දේශයට වැටෙන්න පටන්ගත් අරුණළු අද වෙනකොට ප්‍රචාරකයන් 2,20,000ක් විහිදුවන වඩා දීප්තිමත් ආලෝකයක් වී තිබෙනවා.—ජපානයේ අතීතයෙන් බිඳක්.