ළදරු කාලයේ පටන් දරුවන්ව පුහුණු කරන්න
“දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි. කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතා. 127:3) එසේනම් අලුත උපන් කිරිකැටියෙකුව දකිද්දී දෙමාපියන්ට අපමණ සතුටක් දැනීම පුදුමයක් නෙවෙයි.
දරුවෙකුව ලැබීම සතුටට කාරණයක් මෙන්ම විශාල වගකීමක්. දරුවෙකු නිරෝගී වැඩිහිටියෙකු ලෙස වර්ධනය වීමට නම් ඔහුට නිතිපතා පෝෂ්‍යදායි ආහාර ලබා දීම අනිවාර්යයයි. ඒ හා සමානව දරුවෙකුට සත්‍ය නමස්කාරයේ දිගටම ස්ථිරව සිටීමට හැකි වෙන්නේ දෙවිගේ ප්‍රතිපත්ති හිතට කාවදින අයුරින් කියා දුන්නොත් පමණයි. (හිතෝ. 1:8) දරුවෙකුට එවැනි පුහුණුවක් ලබා දීම ඇරඹිය යුත්තේ කුමන කාලයේ සිටද? එම පුහුණුවට අයත් වෙන්නේ මොනවාද?
දෙමාපියන්ටත් මඟ පෙන්වීම් අවශ්‍යයි
ෂොරා නම් නගරයේ විසූ මානෝවාගේ අද්දැකීම බලන්න. වඳ ස්ත්‍රියක්ව සිටි ඔහුගේ බිරිඳට දරුවෙකුව ලැබීමට යන බව දේවදූතයෙක් ඇයට දැනුම් දුන්නා. (විනි. 13:2, 3) ඒ ගැන මානෝවාත් ඔහුගේ බිරිඳත් බොහෝ සෙයින් සතුටු වූ බවට සැකයක් නැහැ. කොහොමවුණත් ඔවුන්ට තම දරුවාව හදා වඩා ගැනීම ගැන මඟ පෙන්වීම් අවශ්‍ය වුණා. ඒ නිසා මානෝවා ඒ ගැන දෙවිට මෙසේ යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, මෙහෙම කතා කරනවාට මට සමාවෙන්න. මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ ඔබ එවූ සේවකයාව නැවතත් අප වෙතට එවන්න කියායි. එතකොට අපට පුළුවන් අපට ලැබෙන්න යන දරුවාව ඇතිදැඩි කරන්නේ කොහොමද කියලා ඔහුගෙන් මඟ පෙන්වීම් ලබාගන්න.’ (විනි. 13:8) මානෝවාත් ඔහුගේ බිරිඳත් තම පුත් සැම්සන්ට කුඩා කාලයේ සිටම යෙහෝවා දෙවි දී තිබෙන නීති ගැන කියා දුන් බවට සැකයක් නැහැ. “යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක” වීමට පටන්ගත්තා කියා බයිබලයේ සඳහන් දෙයින් පැහැදිලි වෙන්නේ ඔවුන් දැරූ වෙහෙස නිෂ්ඵල නොවුණු බවයි. ඊශ්‍රායෙල්වරුන් අතරේ විනිශ්චයකරුවෙක් ලෙස සේවය කරද්දී බොහෝ බලවත් ක්‍රියා කිරීමටත් ඔහු සමත් වුණේ දෙවිගේ බලය ඔහුට නොමදව ලැබුණු නිසයි.—විනි. 13:25; 14:5, 6; 15:14, 15.
දරුවෙකුට අවශ්‍ය පුහුණුව ලබා දිය යුත්තේ ළදරු කාලයේදීමයි. තිමෝතිගේ මව වන යූනිස් සහ ආච්චි වන ලොයිස්, “ළදරු කාලයේ පටන්” තිමෝතිට ‘ශුද්ධ ලියවිල්ලේ’ සඳහන් දේවල් කියා දුන්නා.—2 තිමෝ. 1:5; 3:15.
දරුවෙකුව “ළදරු කාලයේ පටන්” පුහුණු කිරීම සඳහා කල්තියාම සැලසුම් යෙදීම සහ අවශ්‍ය මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කිරීම ඇත්තෙන්ම නැණවත් දෙයක්. හිතෝපදේශ 21:5හි සඳහන් වෙන්නේ “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියායි. සාමාන්‍යයෙන් ඕනෑම දෙමාපියෙක් තම කිරිකැටියා මෙලොවට බිහි වීමට කලින් දරුවාට අවශ්‍ය සෑම දෙයක් ගැනම කල්තියා සැලසුම් කරනවා. සමහරවිට අවශ්‍ය දේවල් ඇතුළත් ලැයිස්තුවක්ද ඔවුන් සකසාගන්නවා. ඒ හා සමානව ළදරුවාට දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට උපකාර කළ හැකි ආකාරය ගැනත් දරුවා බිහි වීමට කලින්ම සැලසුම් කරන එක ඉතාමත් වැදගත්. දෙමාපියන් උත්සාහ කළ යුත්තේ දරුවාගේ මුල් අවදියේ පටන්ම ඔහුට අවශ්‍ය පුහුණුව ලබා දීමටයි.
එක් පොතක සඳහන් වූ දේ බලන්න. “දරුවෙකුගේ මුල් මාස කිහිපයේදී මොළයේ වර්ධනය ඉතාමත් ශීඝ්‍ර ලෙස සිදු වෙනවා. ඉගෙනගැනීමට හැකියාව ලබා දෙන මොළයේ ඇති ස්නායු අතර සම්බන්ධය ඒ කාලයේදී 20 ගුණයකින් වර්ධනය වෙනවා.” එසේනම් දරුවෙකුගේ මානසික වර්ධනය ශීඝ්‍ර ලෙස සිදු වෙන ඒ කාලයේදී දරුවන්ට දෙවි ගැනත් දෙවි දී තිබෙන ප්‍රමිති ගැනත් කියා දීම මොන තරම් වැදගත්ද!—එම පොත, Early Childhood Counts—A Programming Guide on Early Childhood Care for Development.
ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරන මවකගේ අද්දැකීම බලන්න. “මගේ පුංචි දුවව මම දේශනා සේවයේ එක්කන් යන්න පටන්ගත්තේ එයාට මාසෙක විතර කාලේදී ඉඳලා. ඒත් ඒ කාලේදී එයාට කිසිම දෙයක් තේරුණේ නැහැ. හැබැයි මට තේරෙනවා එයාට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවා කියලා. අවුරුදු දෙකක් වෙද්දී දේශනා සේවයේ යනකොට කිසිම භයක් නැතුව මිනිස්සුන්ට පත්‍රිකා දෙන්න එයා පටන්ගත්තා.”
දරුවන්ගේ මුල් අවදියේදීම ඔවුන්ව පුහුණු කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙන බව ඇත්තයි. නමුත් එය සෑමවිටම ලෙහෙසි පහසු කාර්යයක් වෙන්නේ නැහැ.
“කාලය මිල දී ගන්න”
දරුවන්ව එක තැන තියාගන්න එකත් ඒ අයගේ අවධානය එක දේකට යොමු කරලා තියාගන්න එකත් ලෙහෙසි නැහැ. අවට සිද්ධ වෙන හැම දෙයක් ගැනම දැනගන්න දරුවන්ට තියෙන්නේ පුදුම වුවමනාවක්. එසේනම් දරුවන්ගේ හිතට කාවදින විදිහට දේවල් කියලා දෙන්න දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවාද?
බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.” (ද්වි. 6:6, 7) සාමාන්‍යයෙන් පුංචි පැළයක් හොඳින් වර්ධනය වෙන්න නම් ටික ටික වුණත් ඊට නොකඩවා වතුර දමන්න ඕනේ. ඒ වගේ, දරුවන්ගේ හිතට කාවදින විදිහට දේවල් කියලා දෙන්න නම් ඒ දේවල් නැවත නැවත කියා දෙන්න ඕනේ. යම් දේවල් නැවත නැවත ඇසෙද්දී ඒ දේවල් මතකයේ රඳවාගන්න වැඩිහිටියන්ට හැකි වෙනවා හා සමානව දරුවන්ටත් එය ප්‍රයෝජනවත් වෙන බවට කිසිම සැකයක් නැහැ.
දෙවි ගැනත් දෙවි දී තිබෙන ප්‍රමිති ගැනත් දරුවන්ට ඉගැන්වීමට නම් දෙමාපියන්ට ඔවුන් සමඟ කාලය ගත කිරීමට සිදු වෙනවා. නමුත් අද පවතින කාර්යබහුල ජීවන රටාවත් සමඟ ඒ සඳහා කාලය සොයාගැනීම ඇත්තෙන්ම අභියෝගයක්. නමස්කාරයට සම්බන්ධ දේවල් සඳහා “කාලය මිල දී ගන්න” කියා පාවුල් දිරිගන්වා තිබෙන්නේ ඒ නිසයි. (එෆී. 5:15, 16, පාදසටහන) එය කරන්න පුළුවන් කොහොමද? රැකියාවක නියැලෙන වැඩිමහල්ලෙකුගේ අද්දැකීම බලන්න. ඔහුගේ බිරිඳ ස්ථාවර පුරෝගාමියෙකු ලෙස කාර්යබහුල ජීවිතයක් ගෙවනවා. ඔවුන් දරුවාව පුහුණු කිරීමට කාලය මිල දී ගත් ආකාරය ගැන ඔහු පැවසුවේ මෙහෙමයි. “හැමදාම මම වැඩට යන්න කලින් මමයි මගේ බිරිඳයි එකතු වෙලා අපේ දුවට ඇහෙන්න බයිබල් කතන්දර පොතෙන් හරි දිනපදය හරි කියවනවා. දුව රෑට නිදාගන්න කලිනුත් අපි අපේ ප්‍රකාශනයකින් කොටසක් එයාට ඇහෙන්න කියවනවා. අපි දේශනා සේවයේ යද්දී එයාවත් අරගෙන යනවා. අපි එහෙම කරන්නේ පුංචි කාලයේ ඉඳන්ම අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්න ඕනේ නිසයි.”
‘දරුවන් ඊතල මෙනි’
අපි හැමෝම කැමති අපේ දරුවන් වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් වෙනවා දකින්න. ඒ කොහොමවුණත් දරුවන්ව පුහුණු කිරීමේ අපේ මූලික අරමුණ වෙන්නේ ඔවුන් මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරන අය වෙනවා දැකීමයි.—මාක් 12:28-30.
“තරුණ වියේදී වැදූ දරුවන් බලවත් මිනිසෙකුගේ අතේ ඇති ඊතල මෙනි” කියා ගීතාවලිය 127:4හි සඳහන් වෙනවා. දුනුවායෙක් ඊතලයක් විදින්න කලින් හොඳින් ඉලක්ක කරනවා. ඒ හා සමානව දෙමාපියන්ද තමන්ගේ ඉලක්කය එනම් දරුවන්ට දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක් වර්ධනය කරගැනීමට උපකාර කිරීම සඳහා පියවර ගන්න ඕනේ. දුනුවායෙක් අතින් ඊතලයක් ගිලිහී ගියාට පස්සේ ඒ ගැන ඔහුට කරන්න පුළුවන් දෙයක් නැහැ. දරුවන් දෙමාපියන් සමඟ සිටින්නෙත් සීමිත කාලයකට නිසා ඒ කාලයේදී දෙවි දී තිබෙන ප්‍රමිති දරුවන්ගේ සිතට කාවදින ආකාරයෙන් කියා දෙන්න දෙමාපියන් හැකි උපරිමය කරන්න ඕනේ.
ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ව තමන්ගේම දරුවන් ලෙස සැලකූ යොහන් මෙසේ පැවසුවා. “මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත.” (3 යොහ. 4) ඒ හා සමානව තමන්ගේ ‘දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙනවා’ දකිද්දී දෙමාපියන්ටද ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.