අතීතයෙන් බිඳක්
‘සෝදිසියට ලක් වූ පැයේදී’ ඔවුන් ස්ථිරව සිටියා
බයිබල් ශිෂ්‍යයන් යුද්ධයට බැඳෙන්නේ නැහැ කියලා 1914දී පටන්ගත්ත පළවෙනි ලෝක යුද්ධය නිසා මුළු ලෝකයම දැනගත්තා. (යෙසා. 2:2-4; යොහ. 18:36; එෆී. 6:12) ඒ නිසා බ්‍රිතාන්‍යයේ හිටපු බයිබල් ශිෂ්‍යයන්ට මොකක්ද වුණේ?
වර්ෂ 1916දී අවුරුදු 18ත් 40ත් අතර අවිවාහක පුරුෂයන්ට හමුදා සේවය අනිවාර්යය කළා. ඒත් ආගම නිසා හරි හෘදය සාක්ෂිය නිසා හරි හමුදාවට බැඳෙන්න බැහැ කියපු අයට නිදහස ලැබුණා. නිදහස් කරන්නේ කාවද, ඔවුන්ට මොන වගේ නිදහසක්ද දෙන්නේ කියලා තීරණය කරන්න අධිකරණ පිහිටෙව්වා.
ඒ වුණත් බයිබල් ශිෂ්‍යයන් 40දෙනෙක් විතර හමුදා බන්ධනාගාරවලටත් අටදෙනෙක්ව ප්‍රංශයේ තිබ්බ යුද්ධයටත් යැව්වා. සහෝදරයන් මේ අසාධාරණ තීන්දු ගැන කියලා අගමැති හර්බර්ට් ඇස්ක්විත්ට ලියුමක් සහ 5,500දෙනෙක් අත්සන් කරපු පෙත්සමක් යැව්වා.
ප්‍රංශයට යවපු අටදෙනා යුද්ධයට සහභාගි වුණේ නැති නිසා වෙඩි තියලා ඔවුන්ව මරන්න තීරණය කළා. නමුත් වෙඩි තියන්න ඔවුන්ව පෙළගස්වන වෙලාවේදී ඒ දඬුවම වෙනස් කරලා අවුරුදු දහයක සිර දඬුවමක් ඔවුන්ට නියම කළා.
යුද්ධය අවසන් වුණේ නැති නිසා විවාහක පුරුෂයන්වත් හමුදාවට බලෙන් බඳවාගැනීමට පටන්ගත්තා. වෛද්‍යවරයෙක් සහ බයිබල් ශිෂ්‍යයෙක් වුණ හෙන්රි හඩ්සන්ට විරුද්ධව 1916 අගෝස්තු 3වෙනිදා නඩුවක් පැනෙව්වා. ඔහු වරදකරුවෙක් කියලා තීරණය කළ අධිකරණය, ඔහුට දඩයක් නියම කරලා ඔහුව හමුදා සේවයට භාර දුන්නා. ඒ කාලයේදීම ස්කොට්ලන්තයේ තවත් නඩුවක් තිබුණා. ඒ ජේම්ස් ෆ්‍රෙඩ්රික් ස්කොට් කියන වයස අවුරුදු 25ක් වුණ පූර්ණකාලීන සේවකයාට විරුද්ධවයි. ඒ නඩුවේදී ඔහු නිර්දෝෂ බව තීන්දු වුණා. ආණ්ඩුව ඒ නඩුව අභියාචන කළත් ලන්ඩන්වල තිබුණ තවත් නඩුවක් නිසා ඒක අත්හැරලා දැම්මා. ඒ නඩුව දාලා තිබුණේ හර්බර්ට් කිප්ස් කියන සහෝදරයාට විරුද්ධවයි. අධිකරණය ඔහුව වරදකරුවෙක් කියලා තීරණය කරලා, දඩයක් නියම කරලා හමුදා සේවයට භාර දුන්නා.
වර්ෂ 1916 සැප්තැම්බර් වෙද්දී හමුදා සේවයෙන් තමන්ව නිදහස් කරන්න කියලා සහෝදරයන් 264දෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලලා තිබුණා. ඔවුන්ගෙන් පස්දෙනෙක්ට විතරයි හමුදා සේවයෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ. හමුදා සේවයට බැඳුණු නැති නිසා 154දෙනෙක්ට දඬුවමක් හැටියට බර වැඩත්, 23දෙනෙක්ට සටන් නොකරන හමුදා සේවයත්, 82දෙනෙක්ට හමුදා සේවයත්, ඉතිරි අයට හමුදා අධිකරණයක පෙනී සිටීමටත් සිදු වුණා. පොදු ජනයා ඊට විරෝධය පළ කළ නිසා ආණ්ඩුව ඔවුන්ව හමුදා බන්ධනාගාරවලින් සිවිල් වැඩ කඳවුරුවලට යැව්වා.
එඩ්ගා ක්ලේ සහ ප්‍රයිස් හියුස් යන සහෝදරයන් දෙදෙනාව වේල්ලක්
බැඳීමේ වැඩවලට යෙදෙව්වා. ප්‍රයිස් හියුස් පසු කාලයකදී බ්‍රිතාන්‍යයේ ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක ලෙස සේවය කළා. ප්‍රංශයෙන් එංගලන්තයට හැරී ආපු අටදෙනාගෙන් කෙනෙක් වුණ හර්බට් සීනියට සිද්ධ වුණා, යෝක්ෂියර්වල තියෙන වේක්ෆීල්ඩ් බන්ධනාගාරයට යන්න. බර වැඩ කරන්න නියම වුණ අනික් අය ඩාට්මෝර් බන්ධනාගාරයේ හුඟක් අමාරු තත්වයන් යටතේ වැඩ කළා. හමුදාවට බැඳෙන්න බැහැ කියපු වැඩිම පිරිසක් හිටියේ ඒ බන්ධනාගාරයේ.යුද්ධයට සහභාගි වෙන්නේ නැතුව, වෙන ඕනෙම වැඩක් භාරගැනීමට එකඟ වුණ ෆ්‍රෑන්ක් ප්ලැට්ව යුධ බිමට යැව්වා විතරක් නෙවෙයි ඔහුට දරුණු විදිහට පීඩත් කළා. ඇට්කින්සන් පැජෙට්ට සත්‍යය දැනගන්න ලැබුණේ ඔහු හමුදා සේවයට බැඳුණට පස්සෙයි. ඊටපස්සේ ඔහු යුද්ධයට සහභාගි වුණේ නැති නිසා ඔහුටත් හරිම කුරිරු විදිහට සැලකුවා.
ක්‍රිස්තියානීන් හැටියට අපි යුද්ධවලට සහභාගි වෙන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි දැනුමක් ඒ කාලයේ හිටපු සහෝදරයන්ට තියෙන්න නැතුව ඇති. ඒත් යෙහෝවා දෙවිව සතුටු කරන්න ඒ අය තුළ ලොකු ආශාවක් තිබුණා. මේ ලිපියේ අපි සඳහන් කළ අය ‘සෝදිසියට ලක් වූ පැයේදී’ යුද්ධයට හවුල් වෙන්නේ නැතුව සිටීමෙන් අපිට හොඳ ආදර්ශයක් තැබුවා. (එළි. 3:10)—බ්‍රිතාන්‍යයේ අතීතයෙන් බිඳක්.