යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගනියි
යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගනියි
‘දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා දෙවි දන්නේය.’—2 පේතෘ. 2:9.
ඔබේ පිළිතුර මොකක්ද?
පුරාණයේදී දෙවි නියමිත වේලාවට තම අරමුණ ඉටු කළ බව අපි දන්නේ කොහොමද?
දෙවි තම සෙනඟව ගලවාගැනීමට ඔහුගේ බලය යොදාගන්න බව අපි දන්නේ කොහොමද?
මහත් පීඩාවට පෙර සිද්ධීන් පෙළගැසෙන ආකාරය දෙවි හොඳින් දන්නා බව අපි දන්නේ කොහොමද?
1. ‘මහත් පීඩාවේදී’ මොන වගේ තත්වයක් පවතීද?
යෙහෝවා දෙවි ඉතා ළඟදී සාතන්ගේ ලෝකය විනාශ කිරීමට නියමිතයි. නමුත් ඔහු එය කරන්නේ කවුරුත් නොසිතන මොහොතකයි. (1 තෙස. 5:2, 3) එම විනාශය ගෙනෙන ‘දෙවිගේ මහත් දවසේදී’ මුළු මිනිස් සංහතියම වියවුල් වෙයි. (ශෙප. 1:14-17) එම කාලය කොතරම් කටුක වෙයිද කියනවා නම් බයිබලයේ එය විස්තර කරන්නේ “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ මහත් පීඩාවක්’ ලෙසයි.—මතෙව් 24:21, 22 කියවන්න.
2, 3. (අ) ‘මහත් පීඩාවේදී’ සාතන් දෙවිගේ සෙනඟට මොනවා කරන්න උත්සාහ කරයිද? (ආ) දෙවි තම සෙනඟව ගලවාගන්න බවට තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
2 “මහත් පීඩාව” අවසන් වෙනවාත් සමඟම දෙවිගේ සෙනඟට විශාල තර්ජනයක් එල්ල වෙයි. ‘මාගොග් දේශයේ ගොග්, දේශය වසාගන්නා ගන වලාවක් මෙන් අතිවිශාල යුධ හමුදාවක් සමඟ’ දෙවිගේ සෙනඟට විරුද්ධව පැමිණ ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට උත්සාහ කරයි. (එස. 38:2, 14-16) එවිට කිසි මිනිසෙක් හෝ සංවිධානයක් යෙහෝවා දෙවිගේ සෙනඟට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ගැලවීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දෙවි අතෙයි. දෙවිගේ සෙනඟ ඒ අවස්ථාවේදී කොහොම ක්‍රියා කරයිද?
3 ඔබ දෙවිගේ සේවකයෙක් නම් මහත් පීඩාවේදී දෙවි තම සෙනඟව අනිවාර්යයෙන්ම ගලවනවා යන විශ්වාසය ඔබට තිබෙනවාද? පේතෘස් මෙසේ පැවසුවා. “දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය. එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.” (2 පේතෘ. 2:9) පුරාණයේදී දෙවි තම සෙනඟව ගලවාගත් ආකාරය සලකා බැලීමෙන් දෙවි අපවත් ගලවාගන්නා බවට වූ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. එසේ කළ අවස්ථා තුනක් දැන් අපි සලකා බලමු.
ජලගැල්මෙන් බේරුණා
4. ජලගැල්ම පැමිණීමට පෙර කිරීමට තිබූ දේවල් මොනවාද?
4 මුලින්ම නෝවාගේ කාලයේ වූ සිද්ධීන් ගැන සලකා බලමු. ජලගැල්මට පෙර නැව සෑදීමටත් එයට සතුන් ඇතුල් කිරීමටත් එහි ආහාර ගබඩා කිරීමටත් අවශ්‍යව තිබුණා. නමුත් යෙහෝවා දෙවිට ජලගැල්ම ගෙන ඒම සඳහා නෝවා නැව සාදන තෙක් බලා සිටීමට සිදු වූ බව උත්පත්ති පොතේ පවසන්නේ නැහැ. ඊට හේතුව ජලගැල්ම ගෙන ඒමට දිනයක් දෙවි තීරණය කළේ නැවක් සාදන්න කියා නෝවාට පැවසීමට බොහෝ කලකට පෙර වීමයි. ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියා දැන් අපි බලමු.
5. උත්පත්ති 6:3හි සඳහන් ලෙස දෙවි කළ නිවේදනය මොකක්ද? එම නිවේදනය දුන්නේ කවදාද?
5 යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටි අයට කළ නිවේදනයක් ගැන උත්පත්ති 6:3හි සඳහන් වෙනවා. දෙවි පැවසුවේ “මම හැමදාමත් මිනිසුන්ගේ ක්‍රියා නොඉවසන්නෙමි. මන්ද ඔවුන් නිකම්ම දුර්වල මනුෂ්‍යයන් විතරයි. ඔවුන්ට තව අවුරුදු එකසිය විස්සක් ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි” කියායි. දෙවි කතා කළේ පොදුවේ මිනිසුන්ගේ ආයු කාලය ගැන නොවෙයි. ඒ වෙනුවට ඔහු පැවසුවේ විනාශය ගෙන එන කාලය ගැනයි. * ජලගැල්ම හටගත්තේ ක්‍රිස්තු පූර්ව 2370දියි. නමුත් දෙවි එම නිවේදනය කළේ ඊට වසර 120කට පෙර, එනම් ක්‍රි.පූ. 2490දියි. ඒ වෙද්දී නෝවාගේ වයස අවුරුදු 480යි. (උත්. 7:6) නෝවාගේ වැඩිමල් දරුවා ඉපදුණේ එම නිවේදනය දී වසර 20කට පමණ පසුවයි. ඒ ක්‍රි.පූ. 2470දියි. එවිට නෝවාගේ වයස අවුරුදු 500යි. අනික් දරුවන් දෙදෙනා ඉපදුණේ ඉන්පසුවයි. (උත්. 5:32) ජලගැල්ම ගෙනාවේ එතැන් සිට අවුරුදු 100කට පමණ පසුවයි. නමුත් ඒ වන විටත් ජලගැල්ම ගැන හා ඉන් බේරීමට කළ යුතු දේ ගැන දෙවි නෝවාට පවසා තිබුණේ නැහැ.
6. නැව සාදන්න කියා දෙවි නෝවාට පැවසුවේ කොයි කාලයේද?
6 ජලගැල්ම ගැන දෙවි නෝවාට පැවසුවේ කොයි කාලයේද? පෙනෙන විදිහට දෙවි ඒ ගැන පවසා තිබෙන්නේ නෝවාගේ දරුවන් විවාහ වූ පසුවයි. ඒ ගැන බයිබලයේ මෙසේ වාර්තා වෙනවා. “මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරන්නෙමි. ඔබද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද නැවට ඇතුල් විය යුතුයි.” (උත්. 6:9-18) බොහෝදුරට නැව සාදන්න කියා යෙහෝවා දෙවි නෝවාට පවසන්න ඇත්තේ ජලගැල්මට වසර 40කට හෝ 50කට පමණ පෙරයි.
7. (අ) නෝවා සහ ඔහුගේ පවුලේ අය දෙවි කෙරෙහි විශ්වාසය පෙන්නුවේ කොහොමද? (ආ) ජලගැල්ම පැමිණෙන දිනය ගැන දෙවි පැවසුවේ කවදාද?
7 නෝවා හා ඔහුගේ පවුලේ අය ජලගැල්ම ඇති වෙන්නේ කොහොමද, එය සිදු වෙන්නේ කවදාද කියා කල්පනා කරන්න ඇති. ඒ දේවල් ගැන දැනුමක් නොතිබුණත් නැව සෑදීම නැවැත්වීමට ඔවුන් ඒවා හේතුවක් කරගත්තේ නැහැ. ඒ වෙනුවට ඔවුන් දිගටම විශ්වාසවන්තව සිටියා. “දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්. 6:22) ජලගැල්ම සිදු වීමට දවස් හතකට කලින් එය සිදු වන නිශ්චිත දිනය දෙවි නෝවාට දැනුම් දුන්නා. සතුන්ව නැවට ඇතුල් කිරීමට ඒ කාලය ප්‍රමාණවත් වුණා. දෙවි පැවසූ ලෙසම “නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී” ජලගැල්ම පටන්ගත්තා.—උත්. 7:1-5, 11.
8. ජලගැල්ම පිළිබඳ වාර්තාව කියවීමෙන් දෙවි ගැන මොන වගේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද?
මතෙ. 24:36; හබක්කුක් 2:3 කියවන්න.
8 තම සෙනඟ බේරාගන්නා ආකාරයත් එය කිරීමට සුදුසුම වේලාවත් යෙහෝවා දෙවි දන්නවා. ඒ බව ජලගැල්ම පිළිබඳ වාර්තාවෙන් පැහැදිලියි. මේ දුෂ්ට සමාජය විනාශ කරන විටත් දෙවි එලෙසම කටයුතු කරයි. දෙවි නියම කරන “දවස හා වේලාව” ඔහුගේ අරමුණට අනුව සිදු වෙයි.—රතු මුහුදේදී දිවි ගලවයි
9, 10. ඊජිප්තු හමුදාව කොටු කරගැනීමට යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව යොදාගත්තේ කොහොමද?
9 අපි දැන් බලන්නේ දෙවි ඊශ්‍රායෙල් ජාතියව ඊජිප්තුවෙන් ගලවාගත් ආකාරය ගැනයි. ඒ අවස්ථාවේදී දෙවි තම අසීමිත බලය යොදාගත්තා. කිසිම ගැලවීමක් නැහැයි කියා මිනිසුන්ට සිතෙන අවස්ථාවලදී පවා තම සෙනඟව ගලවාගන්න දෙවිට හැකියි.
10 ඊජිප්තුවේ වහලුන්ව සිටි ඊශ්‍රායෙල්වරුන් මිලියන තුනක් පමණ ඊජිප්තුවෙන් පිට වී ගියා. ඒ අවස්ථාවේදී ඔවුන් යා යුතු මාර්ගය ගැන දෙවි මෝසෙස්ට පැවසුවා. දෙවි දුන් මඟ පෙන්වීමට අනුව මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව පාලුකරය හරහා ගෙන ගියා. නමුත් ඊශ්‍රායෙල්වරුන්ට දෙවි මඟ පෙන්වන බව පාරාවෝ දැනගෙන හිටියේ නැහැ. පාරාවෝ සිතුවේ ඔවුන් එහෙ මෙහෙ යන්නේ අතරමං වී සිටි නිසා කියායි. (නික්මයාම 14:1-4 කියවන්න.) ඉතින් පාරාවෝ රතු මුහුද ළඟදී ඊශ්‍රායෙල්වරුන්ව කොටු කරගන්න තම හමුදාව සමඟ පිටත් වුණා. බැලූ බැල්මට ඊශ්‍රායෙල්වරුන්ට කිසි ගැලවීමක් තිබුණේ නැහැ. (නික්. 14:5-10) ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මැදිහත් වුණා.
11, 12. (අ) දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත්තේ කොහොමද? ඊජිප්තුවරුන්ට සිදු වුණේ මොකක්ද? (ආ) මෙයින් දෙවි ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
11 රතු මුහුද දක්වා ගමන් කිරීමට ඊශ්‍රායෙල්වරුන්ට ඉදිරියෙන් යමින් ඔවුන්ට මඟ පෙන්වූ ‘වලා ටැඹ’ ඒ අවස්ථාවේදී ඔවුන්ගේ පසුපසට ගොස් නැවතුණා. ඊජිප්තු සේනාවට තවදුරටත් ඉදිරියට යෑමට හැකි වුණේ නැහැ. ඔවුන් සිටි පැත්ත ගන අඳුරෙන් වැසී ගියා. නමුත් නික්මයාම 14:19, 20 කියවන්න.) ඉන්පසු තද සුළඟක් මාර්ගයෙන් දෙවි රතු මුහුද දෙබෑ කළා. ඒ නිසා “මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ” එගොඩ වෙන්න ඊශ්‍රායෙල්වරුන්ට හැකි වුණා. මුළු සෙනඟට එගොඩ වෙන්න සෑහෙන වෙලාවක් ගත වෙන්න ඇති. නමුත් දෙවිගේ සෙනඟට කිසි හානියක් කරන්න ඊජිප්තුවරුන්ට බැරි වුණා. දෙවි තම සෙනඟ වෙනුවෙන් සටන් කරමින් ‘ඊජිප්තුවරුන් අතරේ මහත් වියවුලක් ඇති වීමට සැලැස්සුවා. දෙවි ඔවුන්ගේ අශ්ව රථවල රෝද ගලවා දැමූ නිසා ඔවුහු ඉතා අමාරුවෙන් ඒවා පදවාගෙන ගියා.’—නික්. 14:21-25.
ඊශ්‍රායෙල්වරුන්ට රාත්‍රි කාලයේදී අවශ්‍ය තරම් ආලෝකය තිබුණා. (12 ඊශ්‍රායෙල්වරු සියලුදෙනාම රතු මුහුද හරහා ගියායින් පසු දෙවි මෝසෙස්ට පැවසුවේ “මුහුද නැවත එකතු වී ඊජිප්තුවරුන්වද ඔවුන්ගේ යුධ රථද අසරුවන්ද සම්පූර්ණයෙන්ම යට වී යන පිණිස දැන් ඔබේ අත මුහුද දෙසට දිගු කරන්න” කියායි. ඊජිප්තුවේ සොල්දාදුවන් බේරී පලා යන්න උත්සාහ කළ විට ‘යෙහෝවා දෙවි ඔවුන්ව රැල්ලට ගසාගෙන යෑමට සැලැස්සුවා. පාරාවෝගේ සේනාවේ කිසිවෙක් බේරුණේ නැහැ.’ (නික්. 14:26-28) මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ ඕනෑම තත්වයකදී තම සෙනඟව ගලවාගැනීමට දෙවිට බලය තිබෙන බවයි.
යෙරුසලමේ විනාශයෙන් ගැලවීම
13. යේසුස් දුන් උපදෙස මොකක්ද? ඔහුගේ අනුගාමිකයන් කුමක් ගැන කල්පනා කරන්න ඇද්ද?
13 දෙවි යම් අරමුණක් ඉටු කිරීමට පෙර ඊට අදාළ සිද්ධීන් පෙළගැසෙන ආකාරය හොඳින් දන්නවා. ඒ බව රෝම හමුදාව යෙරුසලම විනාශ කළ සිද්ධියෙන් තේරුම්ගත හැකියි. ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලමේ විනාශය සිදු වුණා. ඉන් බේරීම සඳහා පලා යෑමට අවශ්‍ය උපදෙස් යෙහෝවා දෙවි යේසුස් මාර්ගයෙන් යෙරුසලමේ හා යුදයේ සිටි ක්‍රිස්තියානීන්ට කල් ඇතුව දී තිබුණා. ‘අනාගතවක්තෘ දානියෙල් මාර්ගයෙන් කියන ලද විනාශය සිදු කරන පිළිකුල් දෙය ශුද්ධස්ථානයක තිබෙනවා දකින විට යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි’ කියා යේසුස් පැවසුවා. (මතෙ. 24:15, 16) එම අනාවැකිය ඉටු වන ආකාරය හඳුනාගන්නේ කොහොමද කියා යේසුස්ගේ අනුගාමිකයන් කල්පනා කරන්න ඇති.
14. සිදු වූ දේවලින් යේසුස් පවසා තිබූ දේ පැහැදිලි වුණේ කොහොමද?
14 යේසුස් කී දේවල් ක්‍රමානුකූලව ඉටු වුණා. යුදෙව් අන්තවාදීන් දියත් කළ කැරැල්ලක් මර්දනය කිරීමට සෙස්ටියස් ගැලස් ක්‍රි.ව. 66දී යෙරුසලමට පැමිණියා. එම අන්තවාදීන් ආරක්ෂාව පතා දේවමාලිගාවට ගියා. එවිට රෝමවරුන් දේවමාලිගාවේ පවුර යටින් හාරන්න පටන්ගත්තා. සෝදිසියෙන් සිටි ක්‍රිස්තියානීන්ට යේසුස් කී දේවල අර්ථය පැහැදිලි වුණා. බොරු දෙවිවරුන්ට නමස්කාර කළ රෝමවරුන් තම ජාතික හා ආගමික කොඩි මෙන්ම ලාංඡන (“පිළිකුල් දෙය”) දේවමාලිගාවේ පවුර (‘ශුද්ධස්ථානය’) දක්වා රැගෙන ආවා. එය දුටු ක්‍රිස්තියානීන් තමන් “කඳුවලට පලා යා යුතු” බව වටහාගත්තා. නමුත් වටලා
තිබෙන නගරයකින් ඔවුන් පලා යන්නේ කොහොමද?15, 16. (අ) යේසුස් දුන් පැහැදිලි මඟ පෙන්වීම මොකක්ද? ඊට කීකරු වීම අත්‍යවශ්‍ය වුණේ ඇයි? (ආ) මහත් පීඩාවෙන් ගැලවෙන්න නම් අපි කරන්න ඕන මොනවාද ?
15 නොසිතූ දෙයක් සිදු වුණා. සෙස්ටියස් ගැලස් ඔහුගේ හමුදාව සමඟ නැවත රෝමයට හැරී ගියා. යුදෙව් අන්තවාදීන් ඔවුන් පසුපස ලුහුබැන්දා. ඒ අතරතුර යේසුස්ගේ අනුගාමිකයන්ට කඳුවලට පලා යන්න අවස්ථාව උදා වුණා. එසේ යන විට තමන් සතු ධනසම්පත් රැගෙන නොයන්න කියාත් මොහොතක්වත් නාස්ති නොකර පිට වෙන්න කියාත් යේසුස් ඔවුන්ට පැහැදිලිව පවසා තිබුණා. (මතෙව් 24:17, 18 කියවන්න.) එම උපදෙසට කීකරු වීම අත්‍යවශ්‍ය වුණා. දින කිහිපයකට පසු යුදෙව් අන්තවාදීන් නැවත යෙරුසලමට ආවා. බලය අතට ගැනීමේ කෑදරකම නිසා යුදෙව් අන්තවාදීන් අතර බෙදීම් ඇති වුණා. කැරැල්ලට එකතු වෙන්න කියා ඔවුන් යෙරුසලමේ හා යුදයේ සිටි ජනයාට බල කළ නිසා නගරයෙන් පලා යෑම පහසු වුණේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 70දී රෝම හමුදාව නැවතත් යෙරුසලම වට කළා. පලා නොගිය අයට ඒ අවස්ථාවේදී පලා යෑමට හැකියාවක් ලැබුණේ නැහැ. (ලූක් 19:43) නමුත් යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගන්නා ආකාරය යේසුස්ගේ අණට කීකරු වූ අය දැක්කා.
16 එම සිද්ධියෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? මහත් පීඩාව ළඟදීම පැමිණෙයි. ඉන් ගැලවීමට නම් ඒ කාලයේදී යෙහෝවා දෙවි තම වචනය හා සංවිධානය මගින් දෙන උපදෙස්වලට අපි කීකරු විය යුතුයි. එදා ‘කඳුවලට පලා යන්න’ කිව්වා හා සමානව මහත් පීඩාවේදී කළ යුතු දේවල් සම්බන්ධයෙන් අපිට යම් මඟ පෙන්වීම් ලැබෙයි. * ඒ මඟ පෙන්වීම් මොනවාද කියා අපි දැන් දන්නේ නැති වුණත් යෙහෝවා දෙවි එදාට ඒවා පැහැදිලි කර දෙයි. ගැලවීම ලැබෙන්නේ ඒ මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් පමණයි. ඒ නිසා අපි මෙසේ අසාගත යුතුයි. ‘යෙහෝවා දෙවි දැන් ලබා දෙන මඟ පෙන්වීම්වලට මම ඉක්මනින් කීකරු වෙනවාද නැත්නම් ඒවා පිළිපැදීමට අදිමදි කරනවාද?’—යාකො. 3:17.
අනාගතයට මුහුණ දීමට ශක්තිමත් වෙයි
17. හබක්කුක් පැවසූ දෙයින් අපට ගත හැකි පාඩම මොකක්ද?
17 නැවතත් කලින් සඳහන් කළ ගොග්ගේ ප්‍රහාරය ගැන ටිකක් සිතමු. අනාගතවක්තෘ හබක්කුක් ඒ ගැන මෙසේ සඳහන් කළා. “මේ පණිවිඩය ඇසූ විට මගේ බඩ කැලඹුණේය. මගේ තොල් වෙවුලුවේය. මගේ ඇටකටු දිරා ගියේය. මා දුටු දේ නිසා මම අතිශයින් බියට පත් වුණෙමි. විපත්ති දවස එන තෙක් මම නිහඬව බලා සිටින්නෙමි. සතුරු හමුදාවක් මත කඩාවදින මිනිසෙකු මෙන් ඒ දවසද හදිසියේම පැමිණෙන්නේය.” (හබ. 3:16) දෙවිගේ සෙනඟට විරුද්ධව එන පීඩා ගැන ඇසූ විට ඔහු හොඳටම කැලඹුණා. නමුත් ඒ දවස එන තුරු දෙවි කෙරෙහි විශ්වාසයෙන් යුතුව නිහඬව බලා සිටින්න ඔහු තීරණය කළා. ඒ හා සමානව මහත් පීඩාවේදී අපවත් කැලඹෙන අවස්ථා මතු විය හැකියි. නමුත් හබක්කුක් මෙන් අපි දෙවි කෙරෙහි විශ්වාසයෙන් සිටිමු.—හබ. 3:18, 19.
18. (අ) සතුරන්ගේ ප්‍රහාරයට අප භය නොවිය යුත්තේ ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ මොනවාද?
18 අපි සලකා බැලූ උදාහරණ තුනෙන් පැහැදිලි වුණේ තම සෙනඟව ගලවාගන්න දෙවි දන්නා බවයි. සතුරන් විනාශ වන බවත් නියතයි. දෙවි අරමුණු කළ දේ කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ දේවල් සිදු වෙනවා දකින්න අපි කැමති නම් දිගටම දෙවි කෙරෙහි විශ්වාසයෙන් සිටින්න අවශ්‍යයි. නොසැලෙන විශ්වාසයකින් සිටින්න අපිට පුළුවන් කොහොමද? ඒ සඳහා දෙවි අපට උපකාර කරන්නේ කොහොමද? අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.
[පාදසටහන්වල]
^ 5 ඡේ. වර්ෂ 2010 දෙසැම්බර් 15 මුරටැඹ 30-31 පිටු බලන්න.
^ 16 ඡේ. වර්ෂ 1999 මැයි 1 මුරටැඹ 19වන පිටුව බලන්න.
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[24වන පිටුවේ පින්තූරය]
ඊජිප්තු හමුදාව නිසා ඊශ්‍රායෙල්වරුන් සිටියේ අනතුරේද?