අපි එක්ව ප්‍රීති වෙමු!
අපි එක්ව ප්‍රීති වෙමු!
සතුට හා ප්‍රීතිය මිනිසුන්ගේ ජීවිතවලින් එන්න එන්නම ඈත් වෙමින් තිබෙනවා. බොහෝදෙනෙකුට අන් අය සමඟ බෙදාගන්න යහපත් දෙයක් නැති තරම්. ජනාකීර්ණ නගරවල සිටින බොහෝදෙනෙක්ද ගත කරන්නේ හුදෙකලා ජීවිතයක්.
මනෝජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඇල්බර්ට් ඔලිවරිඕ මෙසේ පවසනවා. ‘තනිකම දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ජනාකීර්ණ නගරවල ජීවත් වන බොහෝදෙනෙකුගේ ජීවන රටාව නිසා ඔවුන් අන් අයගෙන් හුදකලා වෙලා. බොහෝ අවස්ථාවලදී තමාගේ අසල්වැසියා කවුද කියාවත් තමන්ට නිතර දෙවේලේ මුණගැසෙන පුද්ගලයන් ගැනවත් ඔවුන් දන්නේ නැහැ.’ බොහෝවිට එසේ හුදකලා වීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මානසික පීඩනයෙන් පෙළීමයි.
නමුත් අපි ඊට හාත්පසින්ම වෙනස්. බයිබලයේ අපව දිරිගන්වන්නේ “නිතරම ප්‍රීතියෙන් සිටින්න” කියායි. (1 තෙස. 5:16) ඇත්තෙන්ම ප්‍රීතියෙන් සිටීමටත් අන් අය සමඟ එය බෙදාගැනීමටත් අපට බොහෝ හේතු තිබෙනවා. විශ්වයේ අතිශ්‍රේෂ්ඨ තැනැත්තාට නමස්කාර කිරීමට, බයිබලයේ සඳහන් සත්‍යයන් අවබෝධ කරගැනීමට මෙන්ම සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව තිබීම සහ එය ලබාගැනීමට අන් අයටත් උපකාර කිරීමට හැකි වීම ඉන් කිහිපයක්.—ගීතා. 106:4, 5; යෙරෙ. 15:16; රෝම 12:12.
ප්‍රීතියෙන් සිටීම හා එය අන් අය සමඟ බෙදාගැනීම සැබෑ ක්‍රිස්තියානීන්ගේ ලක්ෂණයක්. ඒ නිසා පාවුල් ෆිලිප්පි සභාවේ සිටි අයට මෙසේ ලිවීම ගැන අප පුදුම විය යුතු නැහැ. “මට දැනෙන සතුට ඔබ සියලුදෙනා සමඟ බෙදාගන්නෙමි. එලෙසම ඔබත් සතුටු වන්න. මා සමඟ ප්‍රීති වන්න.” (ෆිලි. 2:17, 18) ප්‍රීති වීමට හා අන් අය සමඟ එය බෙදාගැනීමට ඔහු කිහිප වතාවක්ම උනන්දු කරනවා.
එමනිසා ක්‍රිස්තියානීන් වන අප කිසිවිටෙක හුදකලා වීම සුදුසු නැහැ. එසේ කරන කෙනෙකුට සෙසු ක්‍රිස්තියානීන් සමඟ ප්‍රීති වීමට හැකි වෙන්නේ නැහැ. එසේනම් පාවුල් පැවසූ ආකාරයට “ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස දිගටම ප්‍රීතියෙන් සිටින්න” අපට පුළුවන් කොහොමද?—ෆිලි. 3:1.
සෙසු සහෝදරයන් සමඟ ප්‍රීති වන්න
පාවුල් ෆිලිප්පිවරුන්ට තම ලිපිය ලියන විට සිටියේ රෝමයේ සිරකරුවෙක් ලෙස විය හැකියි. ඊට හේතුව ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. (ෆිලි. 1:7; 4:22) ඒ වුණත් ඒ සඳහා ඔහුට තිබූ උද්යෝගය අඩු වුණේ නැහැ. තමාට හැකි උපරිමයෙන් දෙවිට සේවය කිරීමට සහ ‘පාන පූජාවක් ලෙස ඔහුගේ ජීවිතය පුද කිරීමට වුණත්’ ඔහු සතුටු වුණා. (ෆිලි. 2:17) ඔහුගේ ආකල්පයෙන් පැහැදිලි වන්නේ කෙනෙකු යම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ප්‍රීතිය පවත්වාගැනීමට හැකි බවයි. සිරගතව සිටියදී වුණත් ‘මම සෑම දිනකම සතුටු වන්නෙමි’ කියා පැවසීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි.—ෆිලි. 1:18.
ෆිලිප්පියේ සභාව ආරම්භ කිරීමට පාවුල් මූලිකත්වය ගෙන ක්‍රියා කළ නිසා ඔහු එහි සිටි සහෝදරයන්ට විශේෂ ඇල්මක් දැක්වුවා. තමන් දෙවිට කරන සේවයෙන් ලබන සතුට ඔවුන් සමඟ බෙදාගැනීම ඔවුන්ට විශාල දිරිගැන්වීමක් වන බව පාවුල් දැන සිටියා. ඔහු ඔවුන්ට මෙසේ ලිව්වේ ඒ නිසයි. “සහෝදරයෙනි, මට අද්දැකීමට සිදු වූ දේවල් ශුභාරංචියේ දියුණුවට දායක වූවා මිස එයින් කිසි අවාසියක් සිදු වී නැති බව ඔබ දැනගන්නවාට කැමැත්තෙමි. මට විලංගු දමා තිබෙන්නේ මා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වන නිසා බව මුළු ප්‍රීටෝරියානු ආරක්ෂක බළඇණියේ අය අතරත් අන් සියලුදෙනා අතරත් ප්‍රසිද්ධ වී ඇත.” (ෆිලි. 1:12, 13) පාවුල් ප්‍රීති වුණේ සහ එය තම සහෝදරයන් සමඟ බෙදාගත්තේ කොහොමද? එක් ආකාරයක් නම් ඔහුගේ අද්දැකීම් ඔවුන් සමඟ බෙදාගැනීමයි. ඔහු එසේ කළ නිසා ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ටත් පාවුල් සමඟ ප්‍රීති වීමට හැකි වූ බව නිසැකයි. ඔවුන් එසේ ප්‍රීති වීමට නම් පාවුල් මුහුණ දුන් දුෂ්කරතාවන් ගැන අධෛර්ය වෙනවා වෙනුවට ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීමට සිදු වුණා. (ෆිලි. 1:14; 3:17) ඒ වගේම තම යාච්ඤාවලදී පාවුල් ගැන සඳහන් කිරීමත් තමන්ට හැකි ආකාරවලින් ඔහුට උපකාර කිරීමත් අවශ්‍ය වුණා.—ෆිලි. 1:19; 4:14-16.
අපත් පාවුල් මෙන් ප්‍රීති වෙනවාද? අපේ එදිනෙදා
ජීවිතයේදී හා දේවසේවයේදී කුමන ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් එහි යහපත් පැත්ත දකින්න අපි වෑයම් කරනවාද? සහෝදර සහෝදරියන් සමඟ අප ඇසුරු කරන විට දේවසේවයේදී ලැබූ අද්දැකීම් ගැන සාකච්ඡා කිරීමෙන් සතුටක් ලබමු. ඒ සඳහා විශේෂ දෙයක් සිදු වීම අවශ්‍ය නැහැ. සමහරවිට ශුභාරංචිය සිතට කාවදින ආකාරයෙන් කළ ඉදිරිපත් කිරීමක් ගැන හෝ තර්කානුකූලව යම් කරුණක් පැහැදිලි කළ ආකාරය ගැන පවසන්න පුළුවන්. එසේත් නැත්නම් බයිබල් වගන්තියක් පදනම් කරගෙන නිවැසියෙකු සමඟ කළ සාකච්ඡාවක් අපේ විෂය කරගත හැකියි. සේවයේ යන විට අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව අන් අය හඳුනාගැනීම සාක්ෂියක් වූ ආකාරය ගැන සාකච්ඡා කළ හැකියි. එවැනි අද්දැකීම් පැවසීමෙන් අන් අය සමඟ අපේ ප්‍රීතිය බෙදාගන්න පුළුවන්.ශුභාරංචිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් දෙවිගේ සේවකයන් බොහෝදෙනෙක් මේ දක්වා විශාල කැප කිරීම් කරමින් සිටිනවා. පුරෝගාමීන්, සංචාරක සේවකයන්, බෙතෙල් සේවකයන්, මිෂනාරිවරුන් සහ ජාත්‍යන්තර සේවකයන් තමන්ගේ මුළු කාලය හා ශක්තිය දෙවිගේ සේවය සඳහා යොදවමින් ප්‍රීතිය අද්දකිනවා. අපට ඔවුන් ගැන දැනෙන ප්‍රීතිය ඔවුන් සමඟ බෙදාගන්න පුළුවන් කොහොමද? ‘දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් සේවය කරන’ අයව අගය කිරීමෙන් එය කළ හැකියි. (කොලො. 4:11) ඔවුන්ව රැස්වීම්වලදී හෝ සමුළුවලදී හමු වන විට අපි ඔවුන්ව අගය කරමු. ඔවුන්ගේ උද්යෝගිමත් සේවය අනුකරණය කිරීමටද අපට හැකියි. ඔවුන්ගේ අද්දැකීම්වලට හා දිරිගන්වන අදහස්වලට සවන් දීම සඳහා “ප්‍රස්තා” උදා කරගැනීමට ඔවුන්ට ආගන්තුක සත්කාරය දැක්විය හැකියි.—ෆිලි. 4:10.
අභියෝගවලට මුහුණ දෙන අය සමඟ ප්‍රීති වන්න
පීඩා දරාගැනීම සහ අභියෝග ජය ගැනීම නිසා දෙවිට විශ්වාසවන්තව සිටීමට පාවුල් ගෙන තිබූ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා. (කොලො. 1:24; යාකො. 1:2, 3) තමන්ට මෙන් ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ටද පීඩාවලට මුහුණ දීමට සිදු විය හැකි බව පාවුල් තේරුම්ගත්තා. ඒ නිසා තමා පීඩා විඳදරාගත් ආකාරය ඔවුන්ට දිරිගැන්වීමක් වෙයි කියා ඔහු සිතුවා. එය ඔහුගේ ප්‍රීතියට හේතුවක් වුණා වගේම ඔවුන් සමඟ එය බෙදාගැනීමෙන්ද ඔහු ප්‍රීති වුණා. ඒ නිසා මෙම වදන් ඔවුන්ට ලියන්න ඔහු පෙලඹුණා. “ඔබට ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමේ වරප්‍රසාදය පමණක් නොව ඔහු වෙනුවෙන් දුක් විඳීමේ වරප්‍රසාදයද ලබා දී තිබේ. මන්ද මට විඳින්න සිදු වූ අසීරුතා ඔබ දුටු අතර ඔබට ආරංචි වන ආකාරයට තවමත් ඒ අසීරුතාවලට මම මුහුණ දෙමින් සිටිමි. එයාකාර අසීරුතාවලට මුහුණ දෙන්න ඔබටත් සිදු වී ඇත.”—ෆිලි. 1:29, 30.
අද දිනත් ශුභාරංචිය නිසා ක්‍රිස්තියානීන් පීඩා අද්දකිනවා. විටෙක ඒවා දරුණු විය හැකි අතර තවත් ඒවා පැමිණෙන්නේ ඉතා සූක්ෂ්ම ලෙසයි. විරුද්ධවාදීන්ගේ බොරු චෝදනා, පවුලේ අයගේ විරුද්ධවාදිකම්, රැකියාවේදී හෝ පාසැලේදී සමච්චලයට ලක් වීම ඉන් සමහරක්. එවැනි විරුද්ධවාදිකම් ගැන පුදුම වීමෙන් හෝ අධෛර්ය වීමෙන් වළකින්න කියා යේසුස් පැවසුවා. ඒ වෙනුවට ඒවා ප්‍රීති වීමට හේතුවක් බව ඔහු පැවසූ මෙම වදන්වලින් පැහැදිලියි. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.”—මතෙ. 5:11, 12.
විවිධ රටවල සිටින අපේ සහෝදරයන් දරුණු පීඩාවලට මුහුණ දුන් සිද්ධීන් ගැන ආරංචි වන විට අපි ඒ ගැන බිය විය යුතු නැහැ. ඒ වෙනුවට ඔවුන් ඒවා විඳදරාගත් ආකාරය ගැන අප ප්‍රීති විය යුතුයි. දෙවි කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරන ලෙසත් විඳදරාගැනීමට ඔවුන්ට උපකාර කරන ලෙසත් යාච්ඤා කරන්න අපට හැකියි. (ෆිලි. 1:3, 4) දුර ඈත සිටින ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි දේ සීමිත වුණත් අපේම සභාවේ සිටින දුෂ්කරතාවලට මුහුණ දෙන අය වෙනුවෙන් බොහෝ දේ කරන්න අපට පුළුවන්. අපේ පවුලේ නමස්කාරයට විටින් විට ඔවුන්ට ආරාධනා කිරීම, ඔවුන් සමඟ දේවසේවයේ හවුල් වීම සහ විනෝද වන විට ඔවුන්ව හවුල් කරගැනීම ඉන් කිහිපයක්.
එකිනෙකා සමඟ ප්‍රීතිය බෙදාගන්න අපට මොන තරම් හේතු තිබෙනවාද! හුදෙකලා වීමට තිබෙන නැඹුරුවාවට එරෙහි වෙමින් සෙසු සහෝදරයන් සමඟ ඇසුරු කිරීමෙන් අපේ ප්‍රීතිය ඔවුන් සමඟ බෙදාගනිමු. එසේ කිරීමෙන් සභාවේ ප්‍රේමයට සහ එක්සත්කමට දායක වීමට පමණක් නොව එකිනෙකා සමඟ ඇති බැඳීම වඩාත් ශක්තිමත් කරගැනීමටත් අපට අවස්ථාව ලැබෙයි. (ෆිලි. 2:1, 2) පාවුල්ගේ මෙම දිරිගැන්වීම අපි සිතට ගනිමු. “ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න. මා නැවතත් කියන්නේ ප්‍රීති වන්න කියාය.”—ෆිලි. 4:4.
[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Globe: Courtesy of Replogle Globes