Skip to content

පටුනට යන්න

දෙවිගේ සෙනඟ අතර ඇති එකමුතුකම

දෙවිගේ සෙනඟ අතර ඇති එකමුතුකම

දෙවිගේ සෙනඟ අතර ඇති එකමුතුකම

‘එකම ගාලක සිටින බැටළුවන් මෙන් මම ඔවුන්ට එකමුතුව විසීමට සලස්වන්නෙමි.’—මීකා 2:12.

1. දෙවිගේ ප්‍රඥාව ඔහුගේ නිර්මාණවලින් දැකගන්න පුළුවන් කොහොමද?

“යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ” කියා ගීතිකාකරු පැවසුවා. (ගීතා. 104:24) මිලියන ගණන් ශාක, කෘමීන්, සතුන් හා බැක්ටීරියා මේ සියල්ලම ඔවුන්ගේ පැවැත්ම සඳහා එකිනෙකා මත රඳා සිටිනවා. ඒ වගේම ඔබේ ශරීරයේ විශාල ඉන්ද්‍රියන් හා කුඩා සෛල එකිනෙකට සහයෝගයෙන් ක්‍රියා කිරීම නිසා ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි වී තිබෙනවා. දෙවිට මොන තරම් ප්‍රඥාවක් තිබෙනවාද කියා ඉන් අපට අවබෝධ කරගත හැකියි.

2. දහතුන්වන පිටුවේ පිංතූරයට අනුව ක්‍රිස්තියානීන් අතර තිබූ එකමුතුකම ජනයාට පුදුමයට කාරණයක් වුණේ ඇයි?

2 මිනිසුන්ගේ පෙනුම, පෞද්ගලිකත්වය හා හැකියාවන් එකිනෙකට වෙනස් වුණත් ඔවුන්ට එකමුතුව ජීවත් වීමට හැකියාව තිබෙනවා. එසේ හැකි වී තිබෙන්නේ යෙහෝවා දෙවි මිනිසුන්ව ඔහුගේ ගුණාංග ඇතුව නිර්මාණය කර තිබෙන නිසයි. (උත්. 1:27; 2:18) නමුත් මිනිසුන් දෙවිගෙන් ඈත් වී සිටින නිසා එකමුතුව ජීවත් වීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා. (1 යොහ. 5:19) පළමු ශතවර්ෂයේ තිබූ ක්‍රිස්තියානි සභාවේ දාසයන්, ඉහළ පෙළේ ග්‍රීක ස්ත්‍රීන්, උගත් යුදෙව් පුරුෂයන් හා රූප නමස්කාරයේ නියැලුණු අය වැනි විවිධ පසුබිම්වලින් පැමිණි අය සිටියා. ඔවුන්ගේ එකමුතුකම එදා සිටි අයව මොන තරම් පුදුමයට පත් කරන්න ඇද්ද!—ක්‍රියා 13:1; 17:4; 1 තෙස. 1:9; 1 තිමෝ. 6:1.

3. ක්‍රිස්තියානීන් අතර ඇති එකමුතුකම ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? අප මෙම ලිපියෙන් සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

3 ශරීරයේ සෑම අවයවයක්ම එකමුතුව ක්‍රියා කරනවා හා සමානව යෙහෝවා දෙවිට නමස්කාර කරන අයද එකමුතුව ක්‍රියා කරනවා. (1 කොරින්ති 12:12, 13 කියවන්න.) අප මෙම ලිපියෙන් මෙවැනි ප්‍රශ්න ගැන සලකා බලනවා. යෙහෝවා දෙවිට නමස්කාර කිරීම එකමුතුකමට දායක වන්නේ කොහොමද? සෑම ජාතියකින්ම මිලියන ගණනක් ජනයාව එකමුතු කිරීමට යෙහෝවා දෙවිට පමණක් පුළුවන් ඇයි? යෙහෝවා දෙවි උපකාර කරන්නේ එකමුතුකමට බාධා කරන කුමන දේවල් ජය ගැනීමටද? එකමුතුකම සම්බන්ධයෙන් සැබෑ ක්‍රිස්තියානීන් හා ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය අතර ඇති වෙනස කුමක්ද?

සැබෑ දෙවිට නමස්කාර කිරීම එකමුතුකමට දායක වන්නේ කොහොමද?

4. යෙහෝවා දෙවිට නමස්කාර කිරීම එකමුතුකමට දායක වන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවි සියලු දේ නිර්මාණය කළ නිසා සියල්ල පාලනය කිරීමට අයිතිය ඇත්තේ දෙවිට බව ඔහුට නමස්කාර කරන අය පිළිගන්නවා. (එළි. 4:11) ඔවුන් විවිධ ජාතීන්ට අයත් වුණත් විවිධ පසුබිම්වලින් පැමිණියත් ඔවුන් සෑමදෙනාම පිළිපදින්නේ දෙවි දී තිබෙන නීති හා ප්‍රතිපත්තියි. ඒ වගේම ඔවුන් යෙහෝවා දෙවිව අමතන්නේ “පියාණෙනි” කියායි. (යෙසා. 64:8; මතෙ. 6:9) ඔවුන් සියලුදෙනාම සහෝදර සහෝදරියන් වන නිසා ගීතිකාකරු පැවසූ මෙම වදන්වල සත්‍යතාව අද්දැකීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!”—ගීතා. 133:1.

5. යෙහෝවා දෙවිට නමස්කාර කරන අය එකමුතු වී සිටින්නේ ඔවුන් තුළ කුමන ගුණාංගය තිබෙන නිසාද?

5 සැබෑ ක්‍රිස්තියානීන් පව්කාරකම උරුම කරගෙන සිටියත් ඔවුන්ට එකමුතු වී යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට හැකි වී තිබෙන්නේ එකිනෙකාට ප්‍රේම කිරීමට ඔවුන් ඉගෙනගෙන තිබෙන නිසයි. එය ඔවුන්ට උගන්වා තිබෙන්නේ යෙහෝවා දෙවියි. ප්‍රේමය ගැන ඉගැන්වීමේ හැකියාව තිබෙන එකම තැනැත්තා ඔහුයි. (1 යොහන් 4:7, 8 කියවන්න.) ඒ සම්බන්ධයෙන් දෙවිගේ වචනයේ මෙසේ පවසනවා. “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න. අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න. නමුත් ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.” (කොලො. 3:12-14) සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණ වන්නේද එකමුතුකමට දායක වන ප්‍රේමයයි. සැබෑ දෙවිට නමස්කාර කරන අය අතර එවැනි එකමුතුකමක් තිබෙනවා ඔබ දැක නැද්ද?—යොහ. 13:35.

6. දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුවෙන් සිටීම එකමුතුකමට දායක වන්නේ කොහොමද?

6 මිනිස් වර්ගයා සඳහා තිබෙන එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය බව යෙහෝවා දෙවිට නමස්කාර කරන සියලුදෙනාම පිළිගන්න නිසා ඔවුන් එකමුතුව සිටිනවා. පොළොවේ ඇති සියලුම ආණ්ඩු ඉවත් කර දේවරාජ්‍යය ඉතා ඉක්මනින් පොළොව පාලනය කරන බවත් ඉන්පසුව දෙවිට කීකරු වන ජනයාට සදාකාලයටම සාමයෙන් ජීවත් වීමට හැකි වන බවත් ඔවුන් දන්නවා. (යෙසා. 11:4-9; දානි. 2:44) ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් යේසුස් පැවසූ මේ දේට එකඟ වෙනවා. “මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.” (යොහ. 17:16) සැබෑ ක්‍රිස්තියානීන් ජාතීන් අතර ගැටුම් ඇති වන විට පැති ගන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී වුණත් ඔවුන්ට එකමුතුව ජීවත් වීමට හැකි වී තිබෙනවා.

දෙවිගේ මඟ පෙන්වීම් ලැබෙන එකම මාර්ගය

7, 8. බයිබලය මත පදනම් උපදෙස් අප අතර ඇති එකමුතුකමට දායක වන්නේ කොහොමද?

7 පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ගේ එකමුතුකමට දායක වූ තවත් දෙයක් වන්නේ ඔවුන් සෑමදෙනාම එකම මාධ්‍යයකින් මඟ පෙන්වීම් ලැබීමයි. යේසුස් ඔවුන්ට උගන්වන්නේත් මඟ පෙන්වන්නේත් යෙරුසලමේ සිටි ඔහුගේ නියෝජිතයන් හා වැඩිමහල්ලන්ගෙන් සෑදුනු පාලක මණ්ඩලයක් මගින් බව ඔවුන් පිළිගත්තා. පාලක මණ්ඩලයේ සිටි අය තීරණ ගත්තේ බයිබලය මත පදනම්වයි. එම තීරණ විවිධ ප්‍රදේශවල තිබූ සභාවලට රැගෙන ගියේ සංචාරක සේවකයිනුයි. ඔවුන් ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔවුහු නුවරෙන් නුවරට ගොස් යෙරුසලමේ සිටි නියෝජිතයන් හා වැඩිමහල්ලන් තීරණය කළ දේ ගැන නුවරවල සිටි සහෝදරයන්ව දැනුවත් කළෝය.”—ක්‍රියා 15:6, 19-22; 16:4.

8 වර්තමානයේදීත් අභිෂේක ලත් ක්‍රිස්තියනීන්ගෙන් සැදුම්ලත් පාලක මණ්ඩලය ලොව පුරා තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල එකමුතුකම පවත්වාගැනීමට උපකාර කරනවා. ඔවුන් විවිධ භාෂාවලින් පොත් පත් ලබා දෙනවා. ඒවායේ ඇති තොරතුරු පදනම් වී තිබෙන්නේ බයිබලය මතයි. ඒ නිසා එම ප්‍රකාශනවල තිබෙන්නේ මිනිසුන්ගේ අදහස් නොව යෙහෝවා දෙවිගේ අදහස් කියා පැවසිය හැකියි.—යෙසා. 54:13.

9. ශුභාරංචිය ප්‍රකාශ කිරීම එක්සත්කමට දායක වන්නේ කොහොමද?

9 සභාවේ වගකීම් දරන සහෝදරයන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයෙහි පෙරමුණ ගැනීම එකමුතුකමට දායක වෙනවා. විනෝද වීම සඳහා එකට එකතු වන දෙවිට නමස්කාර නොකරන අය අතර තිබෙන එකමුතුකමට වඩා ශුභාරංචිය දේශනා කරන අය අතර තිබෙන එකමුතුකම ඉතා ශක්තිමත්. ක්‍රිස්තියානි සභාව පිහිටවනු ලැබුවේ එකට එකතු වී විනෝද වීම සඳහා නොවෙයි. ඒ වෙනුවට දෙවිට ගෞරවය ගෙන දීමට හා විශේෂ කාර්යයක් එනම්, ශුභාරංචිය ප්‍රකාශ කිරීම, ජනයාට බයිබලය ගැන ඉගැන්වීම හා එකිනෙකාව ශක්තිමත් කිරීම සඳහායි. (රෝම 1:11, 12; 1 තෙස. 5:11; හෙබ්‍රෙ. 10:24, 25) පාවුල්ට මෙසේ පැවසීමට හැකි වුණේ ඒ නිසයි. “ඔබ සියලුදෙනාම එකඟතාවකින් සිතන බවත් ශුභාරංචිය මත පදනම් වූ ඔබේ විශ්වාසය රැකගැනීමට එකා මෙන් මහත් වෑයමක් දරන බවත් මට දැනගත හැකි වෙයි.”—ෆිලි. 1:27.

10. දෙවිගේ සෙනඟ අතර ඇති එකමුතුකමට දායක වන සමහර දේවල් මොනවාද?

10 විශ්වය පාලනය කිරීමට අයිතිය ඇත්තේ යෙහෝවා දෙවිට පමණක් බව අප පිළිගන්නවා. ඒ වගේම අපගේ සහෝදර සහෝදරියන්ට අප ප්‍රේම කරන අතර දේවරාජ්‍යය කෙරෙහි අපට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ විතරක් නොවෙයි සභාවේ වගකීම් දරන අයට අප ගෞරව කරනවා. ඒ සියලු කාරණා නිසා අපට එකමුතුව සිටීමට හැකි වී තිබෙනවා. කෙසේවෙතත් අප පව්කාරකම උරුම කරගෙන තිබෙන නිසා අපගේ එකමුතුකමට විවිධ බාධා ඇති වෙන්න පුළුවන්. ඒවා ජය ගැනීමට යෙහෝවා දෙවි උපකාර කරන ආකාරය දැන් අපි සලකා බලමු.—රෝම 12:2.

උඩඟුකම සහ ඊර්ෂ්‍යාව

11. උඩඟුකම එකමුතුකමට බාධාවක් වන්නේ ඇයි? එය ජය ගැනීමට දෙවි අපට උපකාර කරන්නේ කොහොමද?

11 උඩඟුකම එකමුතුකමට විශාල බාධාවක්. උඩඟු පුද්ගලයෙක් තමන් අන් අයට වඩා උසස් කියා සිතනවා. තමන් ගැන පුරසාරම් දෙඩීමෙන් ඔහු විශාල සතුටක් ලබනවා. කෙනෙක් තමන් ගැනම පුරසාරම් දොඩන විට ඊට සවන් දෙන කෙනාට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. උඩඟුකම ගැන යාකොබ් මෙවැනි දෙයක් පැවසුවා. “අහංකාර වීම දුෂ්ට දෙයකි.” (යාකො. 4:16) එමෙන්ම උඩඟු පුද්ගලයෙක් නිතරම අන් අයව පහත්කොට සලකනවා. නමුත් අප පව්කාරකම උරුම කරගෙන සිටියත් දෙවි අපව පහත්කොට සලකන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දාවිත් රජ මෙවැනි දෙයක් පැවසුවා. “[දෙවි] යටහත්පහත් නිසා මාව උසස් තත්වයකට ගෙනාවෙහිය.” (2 සාමු. 22:36) ඒ වගේම අප ගැන සෝදිසි කර බලා උඩඟුකම නැති කරගන්න දෙවි අපට උපකාර කරනවා. ඔහු පාවුල් තුළින් මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “ඔබ අන් අයට වඩා උතුම් කියා සිතීමට ඔබට තිබෙන පදනම කුමක්ද? ඔබ සතු දේවල් ඔබට ලැබුණේ දෙවිගෙන් නොවේද? එසේනම් ඔබ ඒ දේවල් දෙවිගෙන් ලැබුණු දේවල් ලෙස නොසලකා පුරසාරම් දොඩන්නේ ඇයි?”—1 කොරි. 4:7.

12, 13. (අ) කෙනෙක් ඊර්ෂ්‍යා කිරීමට ඉක්මනින්ම පෙලඹෙන්නේ ඇයි? (ආ) යෙහෝවා දෙවි මිනිසුන්ව සලකන ආකාරයට අප ඔවුන් ගැන සැලකිලිමත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

12 එකමුතුකමට බාධාවන තවත් දෙයක් වන්නේ ඊර්ෂ්‍යාවයි. පව්කාරකම උරුම කරගෙන සිටින නිසා අප සියලුදෙනා තුළ “ඊර්ෂ්‍යාව” ඇති විය හැකියි. බොහෝ කාලයක් පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් ලෙස සිටි කෙනෙකු තුළ වුණත් තව කෙනෙකුගේ තත්වය, ඔහු සතු ධනය, වරප්‍රසාද හා හැකියාවන් නිසා ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. (යාකො. 4:5) උදාහරණයකට පූර්ණ කාලීනව දෙවිට සේවය කරන කෙනෙක් භුක්ති විඳින වරප්‍රසාද දකින විට පියෙකුට ඒ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පූර්ණ කාලීනව දෙවිට සේවය කරන කෙනෙකුට දරුවන් සිටින පවුලක් දකින විට යම් ඊර්ෂ්‍යාවක් ඇති විය හැකියි. එය එකමුතුකමට බාධාවක් කර නොගන්න පුළුවන් කොහොමද?

13 බයිබලයේ සඳහන් මේ දේ ඒ සඳහා උපකාරවත් වෙනවා. බයිබලයේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව මනුෂ්‍ය ශරීරයේ අවයවවලට සමාන කර තිබෙනවා. (1 කොරින්ති 12:14-18 කියවන්න.) ශරීරයේ කැපීපෙනෙන ඉන්ද්‍රියක් ලෙස ඇස් හඳුන්වන්න පුළුවන්. නමුත් හෘදය කිසි කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ ඇස් හෘදයට වඩා වටින බවද? නැහැ. ඒ හා සමානව සමහර අවස්ථාවලදී එක් සහෝදරයෙක් ඔහු දරන වගකීම් නිසා අන් අයට වඩා කැපීපෙනෙන්න පුළුවන්. නමුත් යෙහෝවා දෙවි ඒ සෑමදෙනාවම සලකන්නේ එක හා සමානවයි. ඒ නිසා අන් අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා වෙනුවට ඔවුන් කෙරෙහි අප සැලකිලිමත් වන බව පෙන්වමු. එසේ කිරීමෙන් දෙවිගේ සෙනඟ තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ සෙනඟට වඩා වෙනස් බව පෙන්වනවා.

ක්‍රිස්තියානි ආගම් තුළ ඇති අසමඟිය

14, 15. ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ ආගම් අතර අසමඟිය ඇති වුණේ කොහොමද?

14 තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය තුළ නැති එකමුතුකමක් සැබෑ ක්‍රිස්තියානීන් තුළ තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ හතරවන සියවස වන විට බොහෝදෙනා බයිබලයේ සඳහන් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළත් ඔවුන් ක්‍රිස්තියානීන් කියා පවසමින් සිටියා. එවකට බොරු දෙවිවරුන්ට නමස්කාර කරමින් සිටි රෝමානු අධිරාජ්‍යයයා ක්‍රිස්තියානි ආගම් පාලනය කිරීමට පටන්ගත්තා. ඉන් සිදු වුණේ ක්‍රිස්තියානි ආගම් විවිධ රටවලට ව්‍යාප්ත වීමයි. පසුව එම රටවල් රෝමය විසින් ස්ථාපිත කළ නමස්කාර ක්‍රමය ප්‍රතික්ෂේප කර තම තමන්ගේ රටට ගැළපෙන ආකාරයට ක්‍රිස්තියානි ආගම් පිහිටුවාගත්තා.

15 එම රටවල් සියවස් ගණනාවක් පුරා එකිනෙකා සමඟ යුද්ධ කර තිබෙනවා. දාහත්වන හා දහඅටවන සියවස්වලදී බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ එක්සත් ජනපදය වැනි රටවල් තමන්ගේ ජාතිය උසස්කොට සලකන්න පටන්ගත්තා. දහනවවන සහ විසිවන සියවස වන විට ජාත්‍යාලය මිනිසුන්ගේ සිතුවිලිවලට ප්‍රබල ලෙස බලපෑවා. කාලයත් සමඟම ක්‍රිස්තියානියයි කියාගන්නාවූ ආගම් විවිධ නිකායන්වලට බෙදුණා. ඉන් බොහෝමයක් තමන්ගේ ජාතිය උසස්කොට සැලකීම වරදක් නැති බව පිළිගත්තා. වෙනත් රටවල්වල සිටින තමන්ගේම ආගමට අයත් අය සමඟ සටන් කිරීමට පවා ඔවුන් පෙලඹුණා. මේ වන විට ඔවුන් ආගමික විශ්වාසයන් අතිනුත් ජාතීන් ලෙසත් බෙදී සිටිනවා.

16. ක්‍රිස්තියානි නිකායන් අතර එකමුතුකමට බාධාවක් වී තිබෙන්නේ කුමන පරස්පර විරෝධී මතද?

16 විසිවන ශතවර්ෂය වන විට ක්‍රිස්තියානි නිකායන් සිය ගණනක් එකට එකතු වීමට මහත් වෑයමක් දරා තිබෙනවා. දශක ගණනාවක් එසේ කළත් එකමුතු වී ක්‍රියා කිරීමට හැකි වී තිබෙන්නේ නිකායන් කිහිපයකට පමණයි. ඔවුන් අතර තවමත් පරිනාමවාදය, ගබ්සාව, සමලිංගික ක්‍රියා හා කාන්තාවන් පූජකයන් වීම වැනි දේවල් ගැන පරස්පර විරෝධි මත තිබෙනවා. නිකායන් අතර එකඟ නොවීම් ඇති වීමට හේතු වූ ඉගැන්වීම්වල බරපතළකම අඩු කරමින් සමහර ආගමික නායකයන් එම නිකායන් එකතු කිරීමට වෑයම් කර තිබෙනවා. නමුත් එසේ කිරීම නිසා සිදු වී තිබෙන්නේ පල්ලිය ගැන ජනයාට ඇති භක්තිය අඩු වීමයි. ඒ විතරක් නොවෙයි නිකායන් අතර එකමුතුකම ඇති කිරීමටද එය කොහෙත්ම දායක වී නැහැ.

ජාත්‍යාලය අභිභවා

17. “අවසාන කාලයේදී” සැබෑ දෙවිට නමස්කාර කිරීම, එකමුතුකමට දායක වන බවට අනාවැකි පවසා තිබුණේ කොහොමද?

17 වෙන කවරදාකටත් වඩා අද දින මිනිසුන් සෑම අතින්ම බෙදී සිටිනවා. නමුත් දෙවිගේ සෙනඟ අතර තිබෙන එකමුතුකම කැපීපෙනෙනවා. අනාගතවක්තෘ මීකා ඊට හේතුව මෙසේ පැවසුවා. ‘එකම ගාලක සිටින බැටළුවන් මෙන් [දෙවි] ඔවුන්ට එකමුතුව විසීමට සලස්වනවා.’ (මීකා 2:12) ඒ වගේම සෑම නමස්කාර ක්‍රමයකටම වඩා යෙහෝවා දෙවිට කරන නමස්කාරය කැපීපෙනෙන බව මීකා පැවසුවා. ඔහු ඒ ගැන මෙසේ ලිව්වා. “අවසාන කාලයේදී, යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත් හෙල්වලටත් වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී ජනයා වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය. අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත් අපි සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු.”—මීකා 4:1, 5.

18. යෙහෝවා දෙවිට නමස්කාර කිරීම නිසා අප කර තිබෙන වෙනස්කම් මොනවාද?

18 යෙහෝවා දෙවිට නමස්කාර කිරීමෙන් කලින් සතුරන්ව සිටි අයට පවා එකමුතුව සිටීමට හැකි වන බව මීකා මෙසේ පැවසුවා. ‘එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.” ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.’ (මීකා 4:2, 3) උසස්ම ජාතිය තමන්ගේ ජාතිය බව පිළිගත් අය හා විවිධ දෙවිවරුන්ට නමස්කාර කළ අය ඒවා අත්හැර යෙහෝවා දෙවිට නමස්කාර කරන විට ඔවුන්ට එකමුතුකම භුක්ති විඳිය හැකියි. ඒ වගේම දෙවි ඔවුන්ට ප්‍රේමණීය ලෙස මඟ පෙන්වීම්ද ලබා දෙනවා.

19. ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් තුළ ඇති එකමුතුකමට හේතුව කුමක්ද?

19 සැබෑ ක්‍රිස්තියානීන් අතර තිබෙන එකමුතුකම ඉතා විශිෂ්ටයි. ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි තම සෙනඟට මඟ පෙන්වන බවයි. ඉතිහාසයේ කවදාවත් සිදූ නොවූ ලෙස අද දින විවිධ ජාතීන්ට අයත් ජනයා දෙවිට නමස්කාර කරමින් එකමුතුව ක්‍රියා කරනවා. එමනිසා එළිදරව් 7:9, 14හි සඳහන් දේ විශිෂ්ට ආකාරයෙන් ඉටු වන බව පැවසිය හැකියි. එහි සඳහන් ආකාරයට පවතින මේ දුෂ්ට සමාජය විනාශ කරන ‘සුළඟ’දේවදූතයන් ඉක්මනින්ම මුදාහරිනවා. (එළිදරව් 7:1-4, 9, 10, 14 කියවන්න.) ලොව පුරාම සිටින සහෝදර සහෝදරියන් සමඟ එකමුතු වීමට හැකි වීම ආශීර්වාදයක් ලෙස ඔබ සලකන්නේ නැද්ද? එම එකමුතුකමට දායක වීමට අපට පුළුවන් කොහොමද? ඊළඟ ලිපියෙන් අප ඒ ගැන සලකා බලනවා.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• යෙහෝවා දෙවිට නමස්කාර කිරීම එකමුතුකමට දායක වන්නේ කොහොමද?

• අප අතර ඇති එකමුතුකමට බාධාවක් වීමට අප ඊර්ෂ්‍යාවට ඉඩ නොදිය යුත්තේ ඇයි?

• යෙහෝවා දෙවිට නමස්කාර කරන අය තුළ ජාතිවාදී හැඟීම් නැත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් අතර විවිධ පසුබිම්වලින් පැමිණි අය සිටියා

[15වන පිටුවේ පින්තූර]

රාජ්‍ය ශාලාව නඩත්තු කිරීමට හවුල් වීම එකමුතුකමට දායක වන්නේ කොහොමද?