ඔහු දෙවිගේ නීතිය කියවීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා
ඔහු දෙවිගේ නීතිය කියවීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ඇල්බට් ඩී. ෂ්රෝඩර් 2006 මාර්තු 8වනදා මෙලොවින් සමුගත්තා. අවුරුදු 94ක් ජීවත් වූ ඔහු ඉන් අවුරුදු 73ක්ම ගත කළේ පූර්ණ කාලීන දේවසේවකයෙකු හැටියටයි.
සහෝදර ෂ්රෝඩර් උපත ලැබුවේ වර්ෂ 1911දී අමෙරිකාවේ මිචිගන්හි පිහිටි සාජිනෝ නමැති ප්‍රදේශයේයි. * ළමා කාලයේදී ඔහු බයිබලය ගැන බොහෝ දේ ඉගෙනගත්තේ ඔහුගේ ආච්චිගෙනුයි. ඇය දේවවචනය කියවීම සඳහා ඔහු තුළ ලොකු ආශාවක් ඇති කළා. ඔහු මිචිගන් විශ්වවිද්‍යාලයේදී ලතින් හා ජර්මන් භාෂාව මෙන්ම විදුලි ඉන්ජිනේරු විද්‍යාව හැදෑරුවා. කෙසේවෙතත් දේවවචනයේ සඳහන් දේවල් කෙරෙහි මහත් ඇල්මක් ඇති වූ නිසා ඔහු අධ්‍යාපන කටයුතු නතර කර පූර්ණ කාලීන දේවසේවකයෙකු හැටියට සේවය කරන්න පටන්ගත්තා. ඔහු 1932දී නිව් යෝක් නුවර, බෘක්ලින්හි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වුණා.
වර්ෂ 1937දී වයස අවුරුදු 26ක් වූ ඔහුට බ්‍රිතාන්‍යයේ සිදු කරනු ලබන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමේ කාර්යය පවරනු ලැබුවා. ඔහු ඒ රටේදී මහත් උද්යෝගයකින් ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වූ අතර ඔහුගේ ඒ ආදර්ශයෙන් දිරිගැන්වීමක් ලැබූ බොහෝදෙනෙක් පූර්ණ කාලීන සේවය කරන්න පටන්ගත්තා. ඔහු තරුණ කාලයේ ලන්ඩන් බෙතෙල් නිවසේදී ඇසුරු කළ අයගෙන් කෙනෙක් වූ සහෝදර ජෝන් ඊ. බාර් පසුව ඔහුත් සමඟ එක්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ අවුරුදු ගණනාවක් සේවය කළා.
සහෝදර ෂ්රෝඩර් දෙවන ලෝක මහා යුද්ධ සමයේදී විශිෂ්ට සේවයක් කළා. ඔහුව 1942 අගෝස්තු මාසයේදී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරනු ලැබුවා. ඉන්පසු ඔහු යුද්ධය පැවති ඒ සමයේදී අත්ලන්තික් සාගරය හරහා භායානක නාවික ගමනකින් පසු නැවතත් අමෙරිකාවේ බෘක්ලින් නුවරට ඒ වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණියා.
දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු මහත් වැඩ කොටසක් තමන්ට කරන්න තිබෙන බව ඒ කාලයේ සිටි යෙහෝවාගේ සේවකයන් තේරුම්ගෙන සිටියා. සහෝදර ෂ්රෝඩර්ගේ ඊළඟ පැවරුම වූයේ වොච් ටවර් ගිලියද් බයිබල් පාසැලේ පාඨමාලාව සකස් කිරීමේ කාර්යයට සහය වීමයි. මේ ගැන ඔහු මහත් පුදුමයට මෙන්ම ප්‍රීතියට පත් වුණා. ඔහු වෙනත් රටවලට ගොස් සේවය කිරීම සඳහා සහෝදර සහෝදරියන්ව පුහුණු කරමින් එම පාසැලේ උපදේශකයෙකු හැටියට අවුරුදු කිහිපයක් සේවය කළා. ගිලියද් පාසැලේදී හා පසු කාලයේ පිහිටෙවූ රාජ්‍ය සේවා පාසැලේදී ඔහුගේ ශිෂ්‍යයන්ට ඔහු ගැන අමතක නොවන අද්දැකීම් තිබෙනවාට සැකයක් නැහැ. දෙවිගේ නීති කෙරෙහි මහත් ඇල්මක් ඔහු තම ශිෂ්‍යයන්ගේ සිත්වලට කාවැද්දූ අතර යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමේ වැදගත්කමද ඔවුන්ට අවධාරණය කළා.
සහෝදර ෂ්රෝඩර් 1956දී ෂාලට් බොහෙන් සමඟ විවාහ වුණා. ඔවුන්ගේ පුත් ජූඩා බෙන් ඉපදුණේ 1958දීයි. සහෝදර ෂ්රෝඩර් හොඳ ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් මෙන්ම පියෙක්ද වුණා. ඔහු 1974 පටන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු හැටියට සේවය කළා. කාරණා හොඳින් වටහාගැනීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු කරුණාවන්ත මෙන්ම යටහත් පහත් පුද්ගලයෙක් වුණා. වැදගත්ම දෙය නම් දෙවිගේ නාමය මහිමයට පමුණුවන්න ඔහු තුළ තිබූ දැඩි ආශාවයි. ඔහු ‘යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා.’ (ගීතාවලිය 1:2, නව ලොව පරිවර්තනය) අභිෂේක ලත් ක්‍රිස්තියානියෙකු හැටියට සහෝදර ෂ්රෝඩර් දෙවිට විශ්වාසවන්තව කළ සේවයට ත්‍යාගයක් හැටියට ඔහුට ස්වර්ගයේ ජීවත් වීමේ ප්‍රස්තාව ලැබී තිබෙන බව අපිට නිසැකයි.
[පාදසටහන]
^ 3 ඡේ. සහෝදර ෂ්රෝඩර්ගේ ජීවිත කතාව 1988 මාර්තු 1 මුරටැඹ කලාපයේ පළ වුණා.—සිංහලෙන් නැත.