Skip to content

පටුනට යන්න

මගේ මැවුම්කරුට දිගටම සේවය කිරීමට වූ මගේ අධිෂ්ඨානය

මගේ මැවුම්කරුට දිගටම සේවය කිරීමට වූ මගේ අධිෂ්ඨානය

ජීවිත කතාව

මගේ මැවුම්කරුට දිගටම සේවය කිරීමට වූ මගේ අධිෂ්ඨානය

කාන්ස්ටන්ස් බෙනාන්ටී

මගේ දුව කාමීල්ට අවුරුද්දයි මාස 10ක් වෙද්දී උණක් ගැනිලා දවස් හයකින් දුව මැරුණා. මට දුක වවාවගන්න බැරිව ගියා. මටත් ඕන වුණා මැරෙන්න. ඒ හැම දෙයක්ම මට හීනයක් වගේ. දෙවි ඒ වගේ දෙයක් වෙන්න ඉඩ දුන්නේ ඇයි? මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මං හිටියේ පැටලුණු නූල් බෝලයක් වගේ.

මගේ දෙමාපියන්ගේ ගම ඉතාලියේ සිසිලි නගරයේ කාස්ටෙල්ලාමාරේ ඩෙල් ගොල්ෆෝ. නමුත් ඔවුන් එහේ ඉඳලා නිව්යෝර්ක් නගරයට ආවා. එහිදී, ඒ කියන්නේ 1908 දෙසැම්බර් 8වෙනිදා මම ඉපදුණා. අපේ පවුලේ ඔක්කොම දහදෙනයි. ඒ කියන්නේ අම්මයි තාත්තයි පිරිමි ළමයි පස්දෙනයි ගැහැණු ළමයි තුන්දෙනයි. *

මගේ තාත්තාගේ නම සාන්ටෝ කාට්න්සාරෝ. ඔහු 1927දී යෙහෝවාගේ සාක්ෂිකරුවනගේ කුඩා කණ්ඩායමක් පැවැත්වූ රැස්වීම්වලට සහභාගි වුණා. අපේ ගෙවල් ළඟ තිබූ නිව්ජර්සිවල ඉතාලි ජාතික සහෝදරයෙක් රැස්වීම් පැවැත්තුවා. ඔහුගේ නම ජියෝවාන්නි ඩිචෙකා. ඔහු නිව්යෝර්ක් මූලස්ථානයේ බෘක්ලින් බෙතෙල්හි සේවය කළ කෙනෙක්. කාලය ගෙවෙද්දී තාත්තා දේශනා සේවය කරන්න පටන් ගත් අතර පූර්ණ කාලීන දේවසේවකයෙකුද වුණා. තාත්තා 1953දී මිය යන තෙක්ම පූර්ණ කාලීන දේවසේවයේ දිගටම නියැලුණා.

මගේ අම්මාට තරුණ කාලයේදී කන්‍යා සොහොයුරියක් වෙන්න ආශාවක් තිබුණා. නමුත් ඒකට මගේ ආච්චියි සීයයි ඉඩදීලා නැහැ. මුලදී නම් අම්මා කිව්වා තාත්තා එක්ක බයිබලය පාඩම් කරන්න එපා කියලා. නමුත් ඉතා ඉක්මනින්ම මම දැක්කා ඔහු ජීවිතයේ කළ වෙනස්කම්. තාත්තා කලින්ටත් වඩා තැන්පත් පුද්ගලයෙක් වුණා. අපේ පවුලේ තිබුණ සාමය තව වැඩි වෙන්න පටන්ගත්තා. මං ඒකට ගොඩාක් කැමති වුණා.

මේ අතරතුර චාල්ස් කියන මගේම වයසේ තරුණයෙක්ව මට මුණගැසුණා. ඔහුගේ උපන් ගම බෘක්ලින් නගරයයි. මගේ පවුලේ අය වගේම ඔහුගේ පවුලේ අයගේ ගමත් සිසිලිමයි. අපි දෙදෙනා ඉක්මනින්ම විවාහ ගිවිසගත්තා. කොලම්බස් ඔහයියෝහි 1931දී පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට ගිහිල්ලා තාත්තා ආව ගමන්ම අපි විවාහ වුණා. අවුරුද්දක් ඇතුළත අපේ දුව කාමීල් ඉපදුණා. දුව මැරුණාම මට ඒ දුක වාවගන්න බැරි වුණා. එක දවසක් චාල්ස් ඇස්වල කඳුළු පුරවගෙන මට මෙහෙම කිව්වා. “කාමීල් ඔයාගේ වගේම මගෙත් දුව. ඔයාට දැනෙන දුකමයි මටත් දැනෙන්නේ. නමුත් අපි දෙන්නා එකිනෙකාව සනසගෙන අපේ ජීවිතය ඉදිරියට ගෙනියන්න උත්සහ කරමු.”

අපි බයිබල් සත්‍යය ඉගෙනගත්තා

කාමීල්ගේ අවමංගල්‍ය උත්සවයේදී තාත්තා දුන්න කතාවේ නැවත නැගිටීමේ බලාපොරොත්තුව ගැන කියපු දේ චාල්ස් මට මතක් කරලා දුන්නා. “ඇත්තටම නැවත නැගිටීමක් සිදු වෙයි කියන එක ඔයා විශ්වාස කරනවාද?” කියලා මම ඇහැව්වා.

“ඔව්! මම ඒක විශ්වාස කරනවා. අපි ඒ ගැන තවදුරටත් බයිබලයේ කියන දේ ගැන සොයාලා බලමුද?” කියලා චාල්ස් කිව්වා.

එදා රෑ මට නින්ද ගියෙත් නැහැ. උදේ පාන්දර හයට, තාත්තා වැඩට යන්න ඉස්සෙල්ලා මම ගිහිල්ලා තාත්තාට කිව්වා චාල්ස්ටයි මටයි බයිබලයේ සත්‍යය ඉගෙනගන්න ඕනේ කියලා. තාත්තා ඒ ගැන ගොඩක් සතුටු වුණා. මාව බදාගෙන ඉඹගත්තා. තාමත් නිදාගෙන සිටි අම්මාට අපි කතා කරනවා ඇහුණා. අම්මා ඇහුව්වා මොකද වුණේ කියලා. “නැහැ මුකුත් වුණේ නැහැ. චාල්ස්සුයි මමයි බයිබලය ඉගෙනගන්න තීරණය කළා” කියලා මම අම්මාට කිව්වා.

“අපි ඔක්කමලාම බයිබලය ඉගෙනගන්න ඕනේ!” අම්මා කිව්වේ එහෙමයි. ඉතින් එදා ඉඳලා, මගේ නංගිලයි මල්ලිලයි ඇතුළු අපි 11දෙනාම පවුලක් හැටියට බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා.

බයිබල් පාඩමෙන් මට සැනසීමක් ලැබුණා. කෙමෙන් කෙමෙන් මගේ මානසික තත්වය හොඳ අතට හැරුණා. මගේ දුක බලාපොරොත්තුවකට පෙරලුණා. අවුරුද්දකට පස්සේ 1935දී චාල්ස් සහ මම බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් ගැන අනිත් අයටත් කියන්න පටන්ගත්තා. වතුර බව්තීස්මයේ වැදගත්කම ගැන බෘක්ලින් මූලස්ථානයෙන් ඉදිරිපත් කරපු කතාවකට සවන් දුන්නාට පස්සේ තවත් බොහෝ අය සමඟ අපි දෙන්නාත් ඒ ළඟපාත හෝටලයක තිබුණ පිහිනුම් තටාකයක බව්තීස්ම වුණා. ඒ 1937 පෙබරවාරි මාසයේදීයි. මම ඒ පියවර ගත්තේ කවදා හරි දවසක මගේ දුවව මට දකින්න තියෙන ආශාව නිසා විතරක් නෙවෙයි. මගේ මැවුම්කරුව මම දැන් දැනහඳුනාගෙන සිටි නිසාත් ඔහුට මම ගොඩාක් ප්‍රේම කළ නිසාත් ඔහුට සේවය කිරීමට මා තුළ ලොකු ආශාවකුත් තිබුණ නිසයි.

පූර්ණ කාලීන සේවය පටන්ගැනීම

මම ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වුණා. ඒ දවස්වලදී බොහෝදෙනෙක් රාජ්‍ය පණිවිඩය පිළිගත්ත අතර ඒ ගැන අනිත් අයට කියාදීමේත් හවුල් වුණා. (මතෙව් 9:37) වර්ෂ 1941දී චාල්ස් සහ මම පුරෝගාමීන් ලෙස සේවය කරන්න පටන්ගත්තා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන්ව හඳුන්වන්නේ ඒ නමින්. වැඩි කල් යන්න ඉස්සෙල්ලා නිවසක් මෙන් පාවිච්චි කළ හැකි වාහනයක් චාල්ස්මිල දී ගත්තා. අපේ පවුලේ ව්‍යාපාරයක් වූ කලිසම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව මගේ මල්ලී ෆ්‍රැන්ක්ට චාල්ස් බාරදුන්නා. ඒ අතරතුර අපිව විශේෂ පුරෝගාමීන් හැටියට පත් කරලා තියෙනවා කියන ලියුම ලැබුණාම අපි සතුටින් ඉපිල ගියා. පළමුවෙන්ම අපි වැඩ කළේ නිව්ජර්සි නගරයේමයි. පසුව අපිව නිව්යෝර්ක්වලට යැව්වා.

මේරිලෑන්ඩ්, බෝල්ටිමෝර්වල 1946දී තිබුණ සමුළුවකට සහභාගි වෙමින් සිටියදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශේෂ නියෝජිතයන් සමඟ පවත්වන රැස්වීමකට පැමිණෙන ලෙස අපටත් ආරාධනා කළා. එහිදී අපට නේතන් එච්. නෝර් සහ මිල්ටන් ජී. හෙන්ෂල්ව මුණගැසුණා. ඔවුන් අපිත් එක්ක වෙනත් රටක කරන සේවය ගැන වගේම ඉතාලියේ කරන්න පුළුවන් දේශනා සේවය ගැනත් කතා කළා. ගිලියද් මුරටැඹ බයිබල් පාසලට යන එක ගැනත් හිතලා බලන්න කියලා ඔවුන් අපිට උනන්දු කළා.

“ඒ ගැන හිතලා බලලා අපිට උත්තරයක් දෙන්න” කියලා ඔවුන් අපිට කිව්වා. ඒ කාමරයෙන් පිට වූ වහාම අපි දෙදෙන්නාගේම තීරණය එකයි කියලා අපිට තේරුණා. ඒ ඔවුන්ගේ ආරාධනය පිළිගැනීමටයි. ඒ නිසා අපි නැවත ගිහින් ඒ සහෝදරයන්ව මුණගැසුණා. “අපි ඒ ගැන හිතුවා. අපි ගිලියද් පාසලට සහභාගි වෙන්න කැමතියි” කියලා අපි කිව්වා. ඊට දවස් දහයකට පස්සේ හත්වන ගිලියද් පාසලට අපි සහභාගි වුණා.

ඒ මාසවලදී අපි ලබපු පුහුණුව නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට කාවැදුණේ අපගේ උපදේශකයන් අපිත් එක්ක ඉවසීමෙන් හා ප්‍රේමෙන් කටයුතු කළ ආකාරයයි. ඒ වගේම වෙනත් රටක තිබෙන දුෂ්කරතා විඳදරාගෙන ඒවාට මුහුණ දීම සඳහා ඔවුන් අපිව සූදානම් කළා. ඒ පාසලේ අපි ලබපු පුහුණුව 1946 ජූලි මාසයේදී නිම වුණා. ඊට පස්සේ ටික කාලයකට නිව්යෝර්ක් නගරයේම සේවය කිරීමට අපිට පැවරුමක් ලැබුණා. එහි ඉතාලි ජාතිකයන් බොහෝදෙනෙක් හිටියා. වර්ෂ 1947 ජූනි 25වෙනිදා අපිට අමතක නොවන දවසක්! ඉතාලියේ සේවය කිරීම සඳහා අපි පිටත් වුණේ එදිනයි.

අපගේ පැවරුමට හැඩගැසීම

කලින් යුද්ධවලට පාවිච්චි කරපු නැවක තමයි අපි ගියේ. දවස් 14ක් මුහුදේ යාත්‍රා කළාට පස්සේ අපි ඉතාලියේ ජෙනොවා වරායෙන් ගොඩ බැස්සා. දෙවන ලෝක මහා යුද්ධයේදී, ඒ කියන්නේ ඊට අවුරුදු දෙකකට ඉහතදී අවසන් වුණ යුද්ධයේදී සිදු වූ හානිය ඒ නගරයේ හැම තැනම දකින්නට තිබුණා. උදාහරණයකට බෝම්බ පිපිරීම් නිසා දුම්රිය ස්ථානයේ එක ජනේලයකවත් වීදුරු තිබුණේ නැහැ. අපි ජෙනොවා සිට මිලාන් දක්වා කෝච්චියෙන් ගියා. ශාඛා කාර්යාලය සහ වෙනත් රටවල්වලින් පැමිණි සහෝදරයන් නැවතී සිටි නිවස තිබුණේ මිලාන්වලයි.

යුද්ධයෙන් පසුව ඉතාලියේ සිටි මිනිසුන්ගේ ජීවන තත්වය තිබුණේ ඉතාමත් පහත් මට්ටමකයි. නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරලා තිබුණත් දුප්පත්කම දසත පැතිරිලා තිබුණා. මම ඉක්මනින්ම ලෙඩ වූ අතර මගේ තත්වය ගොඩාක් දරුණු වුණා. එක දොස්තර කෙනෙක් මට කිව්වා මගේ හෘදය හුඟක් දුර්වල නිසා නැවත එක්සත් ජනපදයට යන එක තමයි හොඳම දේ කියලා. ඔහුගේ නිගමනය වැරදි වීම ගැන මම හුඟක් සතුටු වෙනවා. අවුරුදු 58ක් ගත වෙලත් මම තාමත් ඉතාලියේ මගේ පැවරුමෙහි නියැලී සිටිනවා.

අපි ඉතාලියේ අවුරුදු කිහිපයක් වැඩ කළාට පසුව එක්සත් ජනපදයේ හිටිය අපේ මල්ලිලා අපිට කාර් එකක් අරන් දෙන්න කැමති වුණා. නමුත් චාල්ස් ඒකට එකඟ වුණේ නැහැ. ඒ තීරණයට මමත් කැමති වුණා. ඒ කාලයේදී ඉතාලියේ හිටිය එක සාක්ෂිකරුවෙක්ටවත් කාර් එකක් තිබුණේ නැහැ. ඉතින් චාල්ස්ට හැඟුණේ අපේ අනෙක් සහෝදරයන් වගේම අපිත් ජීවත් වුණොත් හොඳයි කියලයි. ඒ නිසා ඊට සෑහෙන කාලයකට පස්සේ ඒ කියන්නේ 1961දී තමයි අපි පුංචි කාර් එකක් ගත්තේ.

අපේ පළමු රාජ්‍ය ශාලාව තිබුණේ මිලාන්වල. ඒ තට්ටු ගොඩනැගිල්ලක යටම තට්ටුවේ. ඒකේ තිබුණේ මැටි පොළොවක්. නාන කාමර පහසුකම් තිබුණේ නැහැ. නමුත් වැස්ස වෙලාවටම නම් රාජ්‍ය ශාලාව පුරාම වතුර තිබුණා. ඒ විතරක් නෙවෙයි අපිත් එක්ක තවත් පිරිසක් හිටියා. ඒ තමයි දුව පැන හැංගුණ මී පැටව්. රැස්වීම්වලට ආලෝකය ලැබුණේ පොඩි බල්බ දෙකකින් විතරයි. මොන තරම් අපහසුතා තිබුණත් මොලොක් ගුණ ඇති අය රැස්වීම්වලට ඇවිල්ලා අපිත් එක්ක ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙන කොට අපිට දැනුණේ පුදුම සතුටක්.

සේවයේදී ලැබූ අද්දැකීම්

එක දවසක් අපි සාමය—එය පවතීද? යන පොත් පිංචය එක මහත්මයෙකුට දුන්නා. (සිංහලෙන් නැත) අපි එළියට බහිනකොටම එයාගේ බිරිඳ වන සාන්ටීනා බඩු මළු බරටම උස්සගෙන ගෙට ආවා. එයා ටිකක් නුරුස්සන ගතියකින් යුතුව අපිට මෙහෙම කිව්වා. “මට ගෑනු ළමයිම අටක් ඉන්නවා. ඒ නිසා මට පොඩ්ඩක්වත් කාලය නාස්ති කරන්න බැහැ.” මම නැවතත් සාන්ටීනාව බලන්න ගියාම එයාගේ ස්වාමිපුරුෂයා ගෙදර හිටියේ නැහැ. සාන්ටීනා ඇඳුමක් ගොතමින් හිටියා. “මට ඕවාට ඇහුම්කන් දෙන්න වෙලාවක් නැහැ. ඇරත් මම කියවන්න දන්නෙත් නැහැ” කියලා ඇය කිව්වා.

මම නිශ්ශබ්දව යෙහෝවාට කෙටි යාච්ඤාවක් කළා. ඊට පස්සේ මම සාන්ටීනාගෙන් ඇහුව්වා මගේ මහත්තයාට ජර්සි එකක් ගොතලා දෙන්න පුළුවන්ද කියලා. මම ඒකට ගෙවන්න කැමතියි කියලත් කිව්වා. සති දෙකකට පස්සේ එයා මට ඒක ගොතලා දුන්නා. ඒ විතරක් නෙවෙයි සාන්ටීනායි මායි නිතිපතාම බයිබලය පාඩම් කරන්නත් පටන්ගත්තා. අපි ඒ සඳහා “සත්‍යය ඔබ නිදහස් කෙරේ” කියන පොත යොදාගත්තා. (සිංහලෙන් නැත) සාන්ටීනා කියවන්නත් ඉගෙනගත්තා. එයාගේ ස්වාමිපුරුෂයා විරුද්ධ වුණත් බව්තීස්මය දක්වාම ඇය දියුණු වුණා. ඇගේ දූවරුන්ගෙන් පස්දෙනෙකුත් සාක්ෂිකාරියන් වුණා. ඒ වගේම තවත් බොහෝදෙනෙකුටත් බයිබල් සත්‍යයන් ඉගෙනගැනීමට සාන්ටීනා උදව් කරලා තියෙනවා.

සාක්ෂිකරුවන් නොමැති පළාතක් වූ බ්‍රශ්‍යාවල සේවය කිරීම සඳහා 1951 මාර්තු මාසයේදී අපිටත් රූත් කැනන් * සහ ලොයිස් කලහන්ටත් අලුත් පැවරුමක් ලැබුණා. පසුකාලෙකදී ලොයිස්, බිල් වෙංගර්ට් සමඟ අනිතත ගත්තා. අපිට බ්‍රශ්‍යාවලදී බඩු මුට්ටු සහිත නිවසක් කුලියට හොයාගන්න පුළුවන් වුණා. නමුත් මාස දෙකකට පස්සේ අයිතිකරු කිව්වා අපිට පැය 24ක් ඇතුළතදී ඒ නිවසින් පිටවෙන්න කියලා. ඒ පළාතේ සාක්ෂිකරුවන් කිසිකෙනෙක් හිටියේ නැති නිසා අපිට කෙලින්ම යන්න වුණේ හෝටලයකට. අපි මාස දෙකකට ආසන්න කාලයක් හෝටලේම නැවතී සිටියා.

ඒ කාලයේදී අපි හුඟක් සරල කෑම තමයි කෑවේ. උදේට කෝපි බීලා බනිස් කෑවා. දවල්ට කෑවේ චීස් සමඟ ඇඟිලි විස්කෝතු සහ පලතුරු. රෑටත් කෑවේ ඒවාමයි. යම් අපහසුතා තිබුණත් අපි හිටියේ සතුටින්. ඒ වගේම අපිට ආශීර්වාදත් ලැබුණා. කාලය ගෙවෙද්දී අපිට පොඩි නවාතැනක් ලැබුණා. වර්ෂ 1952දී ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට 35දෙනෙක් අපි රාජ්‍ය ශාලාව හැටියට පාවිච්චි කරපු පුංචි කාමරයේ රැස් වුණා.

අභියෝගවලට මුහුණ දීම

ඒ දවස්වලදී පූජකයෝ මිනිසුන්ට ගොඩාක් බලපෑම් කළා. උදාහරණයකට බ්‍රශ්‍යා නගරයේ අපි දේශනා සේවය කරද්දී පූජකයන් විසින් පොළඹවපු පිරිමි ළමයි කට්ටියක් අපිට ගල් ගැහුව්වා. ඒ වුණාට කාලයක් යද්දී 16දෙනෙක් අපිත් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. කෙටි කාලයක් ඇතුළත ඒගොල්ලෝ සාක්ෂිකරුවන් වුණා. අපිට ගල් ගහනවා කියා තර්ජනය කළ පිරිමි ළමයෙකුත් ඒ අය අතර හිටියා! ඔහු දැන් බ්‍රශ්‍යාවල තියෙන සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා. අපි 1955දී බ්‍රශ්‍යාවලින් පිටවෙද්දී රාජ්‍ය ප්‍රචාරකයන් 40දෙනෙක් දේශනා සේවයේ හවුල් වෙමින් හිටියා.

අපි ඊට පස්සේ ලෙගෝර්න් නගරයේ (ලෙවූනෝ) අවුරුදු තුනකට සේවය කළා. එහි සිටි සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් කාන්තාවන්. මේ නිසා සාමාන්‍යයෙන් සභාවලදී සහෝදරයන්ට තිබෙන සමහර වගකීම් සහෝදරියන්ට භාරගැනීමට සිදු වුණා. ඊළඟට අපි මීට අවුරුදු 11කට කලින් අපි සේවය ඇරඹූ නගරය වූ ජෙනොවාවලට පදිංචියට ගියා. මේ වෙනකොට එහි සභාවක් තිබුණා. රාජ්‍ය ශාලාව තිබුණේ අපේ නවාතැන තිබුණ ගොඩනැගිල්ලේම පළමු මහලේ.

ජෙනොවාවලට ආ ගමන්ම වගේ මම එක ස්ත්‍රියක් සමඟ පාඩමක් කරන්න පටන්ගත්තා. ඇගේ ස්වාමිපුරුෂයා කලින් බොක්සිං ක්‍රීඩාවේ යෙදුණ බොක්සිං ක්‍රීඩා මධ්‍යස්ථානයක කළමනාකරු හැටියට සේවය කරමින් සිටි කෙනෙක්. ඒ ස්ත්‍රිය සත්‍යය තුළ දියුණු වී සාක්ෂිකාරියක් වුණා. ඇගේ ස්වාමිපුරුෂයා නම් දිගින් දිගටම විරුද්ධවාදිකම් පෑවා. කොහොමවුණත් කාලයක් ගියාම ඔහුගේ බිරිඳ සමඟ රැස්වීම්වලට එන්න ඔහු පටන්ගත්තා. නමුත් ඔහු ශාලාව ඇතුළට ආවේ නැහැ. එළියේ ඉඳගෙන ඇහුම්කන් දුන්නා. අපි ජෙනොවාවලින් ආවාට පස්සේ අපිට දැනගන්න ලැබුණා ඔහුත් බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා කියලා. කාලය ගෙවෙද්දී ඔහු බව්තීස්ම වූ අතර ප්‍රේමණීය ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් හැටියට සේවය කළා. ඔහුගේ මරණය දක්වාම ඔහු විශ්වසවන්තව සිටියා.

පොලිස් නිලධාරියෙක් සමඟ විවාහ ගිවිසගෙන සිටිය කාන්තාවක් සමඟත් මම පාඩම් කළා. මුලින් ඒ පොලිස් නිලධාරියා උනන්දුවක් දැක්වූවා. නමුත් විවාහයෙන් පස්සේ ඔහුගේ ආකල්ප වෙනස් වුණා. ඔහු විරුද්ධ වුණ නිසා ඒ කාන්තාව පාඩම නැවැත්තුවා. පසුව නැවතත් ඇය බයිබල් පාඩම පටන්ගත්තාම, ඇගේ ස්වාමිපුරුෂයා ඇයට තර්ජනය කළා. ඔහු කිව්වා ‘ආයෙත් පාඩම එහෙම කරලා අහුවුණොත් මම දෙන්නාටම වෙඩි තියෙනවා’ කියලා. ඒ වුණාට ඇය සත්‍යය තුළ දියුණු වී බව්තීස්ම වුණා. නමුත් ඔහු අපිට වෙඩි තිබ්බේ නම් නැහැ! අවුරුදු ගණනාවකට පස්සේ මම ජෙනොවාවල එක්රැස්වීමකට සහභාගි වූ අවස්ථාවක කෙනෙක් මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඇස් දෙක වැහුව්වා. ඔහු මගෙන් ඇහැව්වා කවුද කියලා කියන්න පුළුවන්ද කියලා. ඒ කවුද කියලා මම අඳුරගත්තාම මගේ සතුටු කඳුළු මට නවත්වගන්න බැරිව ගියා. ඒ අර කාන්තාවගේ ස්වාමිපුරුෂයා! එදින ඔහු යෙහෝවාට කැපවී බව්තීස්ම වුණා කියලා ඔහු මට කිව්වා!

චාල්ස් සභාවන් ශක්තිමත් කරමින් සභාවෙන් සභාවට යද්දී මටත් ඔහු සමඟ යෑමේ වරප්‍රසාදය ලැබුණා. ඒ 1964 සිට 1972 දක්වායි. අපි ඉතාලියේ උතුරුකරයේ පළාත් වන පීඩ්මොන්ට්, ලොම්බඩී සහ ලග්‍යූරියාවල සේවය කළා. ඉන්පසු අපි නැවතත් ෆ්ලෝරන්ස් නගරයේ පුරෝගාමි සේවය ආරම්භ කළා. ඉන් ටික කලෙකට පස්සේ වර්ශලීවල වැඩ කළා. වර්ෂ 1977දී වර්ශලීවල තිබුණේ එක සභාවක් විතරයි. නමුත් අපි 1999දී වර්ශලීවලින් එද්දී එහි සභා තුනක් තිබුණා. ඒ අවුරුද්ද වෙනකොට මට වයස අවුරුදු 91යි. රෝමයේ සාමකාමී පරිසරයක තිබූ ලස්සන පුංචි නිවසක තවත් පූර්ණ කාලීන සේවකයන් කිහිපදෙනෙක් සමඟ පදිංචි වෙන්න අපිට ආරාධනයක් ලැබුණා.

තවත් කනගාටුදායක සිද්ධියක්

නිරෝගී සුවයෙන් සිටි චාල්ස් හදිසියේම 2002 මාර්තු මාසයේදී ලෙඩ වුණා. ඔහුගේ සෞඛ්‍යය එන්න එන්නම පිරිහෙන්න පටන්ගත්තා. වර්ෂ 2002 මැයි 11වෙනිදා ඔහු මියගියා. අපි විවාහ වෙලා සිටිය අවුරුදු 71 පුරාම අපි දෙන්නාම එකට දුක බෙදාගත්තා වගේම ආශීර්වාද ලැබෙනකොටත් අපි දෙන්නාම එකට සතුට බෙදාගත්තා. ඔහු නැති පාළුව මට ගොඩාක් දැනෙනවා.

චාල්ස් එයාගේ සුපුරුදු කබාය හා 1930ස් ගණන්වල ජනප්‍රිය වූ තොප්පිය දාගෙන ඉන්න හැටි නිතරම මම මගේ හිතේ මවා ගන්නවා. මට ඔහුගේ සිනාමුසු මූණ මැවී පෙනෙනවා වගේ. ඒ වගේම ඔහුගේ සුපුරුදු හිනාවත් මට තාම ඇහෙනවා වගෙයි. යෙහෝවාගේ උපකාරය නිසාත් මගේ ආදරණීය ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමය නිසාත් ඒ කනගාටුදායක කාලපරිච්ඡේදය මට ගෙවාගන්න පුළුවන් වුණා. පාරාදීසයේදී මට චාල්ස්ව මුණගැහෙන ඒ කාලය එන තෙක් මම ආසාවෙන් බලාගෙන සිටිනවා.

දිගටම සේවය කරමින්

මගේ ජීවිතයේ මම ලබපු ලොකුම ප්‍රීතිය තමයි මගේ මැවුම්කරුට සේවය කරන්න ලැබීම. පසුගිය අවුරුදු ගණනාව පුරාම මම ‘යෙහෝවා යහපත් බව රස බලා දැනගෙන’ තිබෙනවා. (ගීතාවලිය 34:8) මට ඔහුගේ ප්‍රේමය දැනී තිබෙන අතර ඔහුගේ සැලකිල්ල මම අද්දැක තිබෙනවා. මට මගේම දරුවා අහිමි වුණත් සත්‍යය තුළ ගමන් කරන දූවරුන් සහ පුතුන් ඉතාලිය පුරාම මට සිටිනවා. ඔවුන් මගෙත් යෙහෝවාගෙත් හදවත් ප්‍රීතිමත් කරනවා.

මම නිතරම කරන්න ආසම වැඩය තමයි අනිත් අයට මගේ මැවුම්කරු ගැන කතා කිරීම. ඒ නිසයි මම තවමත් දේශනා කරමින් බයිබල් පාඩම් පවත්වන්නේ. මගේ සෞඛ්‍ය තත්වය නිසා මට වැඩිපුර යමක් කරන්න බැහැ කියල මම සමහර වෙලාවට දුක් වෙනවා. නමුත් යෙහෝවා මට කරන්න පුළුවන් දේ ගැන දන්නවා. ඒ වගේම මම කරන දේ යෙහෝවා අගය කරන අතර ඔහු මට ආදරෙයි කියන එකත් මම දන්නවා. (මාක් 12:42) මම ගීතාවලිය 146:2හි සඳහන් වගන්තිවලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. “දිවි හිමියෙන් යෙහෝවාට ප්‍රශංසා කරන්නෙමි; මා පවතින තෙක් මාගේ දෙවිට ප්‍රශංසා ගී කියන්නෙමි.” *

[පාදසටහන්වල]

^ 5 ඡේ. මගේ සහෝදරයෙක් වන ආන්ජෙලෝ කාට්න්සාරෝගේ අද්දැකීම 1975 අප්‍රියෙල් 1 වොච්ටවර් කලාපයේ 205-7 දක්වා පිටුවල පළ වී තිබෙනවා.

^ 28 ඡේ. ඇගේ ජීවිත කතාව කියවීමට 1971 මැයි 1 ද වොච්ටවර් කලාපයේ 277-80 දක්වා පිටු බලන්න.

^ 41 ඡේ. මේ ලිපිය ලියන අතරතුරේදී, ඒ කියන්නේ 2005 ජූලි 16වන දා සහෝදරි බෙනාන්ටී මිය ගියා. ඒ වෙන කොට ඇයට වයස අවුරුදු 96.

[13වන පිටුවේ පින්තූරය]

කාමීල්

[14වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1931දී අපි විවාහ වූ දවස

[14වන පිටුවේ පින්තූරය]

අම්මා මුලදී උනන්දුවක් නොදැක්වුවත් පසුව මුළු පවුලම බයිබලය පාඩම් කරන්න ඕනේ කියලා කිව්වා

[15වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1946දී සහෝදර නෝර් සමඟ ගිලියද් පාසැලේදී

[17වන පිටුවේ පින්තූරය]

චාල්ස් සමඟ ඔහුගේ මරණයට ටික කලකට පෙර