පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
අවි ආයුධ ළඟ තබාගැනීමට සිදු වෙන රැකියාවක් භාරගත් ක්‍රිස්තියානියෙකුට දෙවි ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට පුළුවන්ද?
තම පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දෙවි දුන් වගකීම ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් බැරෑරුම්ව සලකනවා. (1 තිමෝති 5:8) ඒ වුණත් සමහර රැකියා තුළින් බයිබල් ප්‍රතිපත්ති පැහැදිලිවම උල්ලංගනය වන නිසා ඒවා මඟ හැරිය යුතුයි. සූදුව සම්බන්ධ වන රැකියා, රුධිරයේ අනිසි භාවිතය හා සම්බන්ධ වන රැකියා සහ දුම්කොළ නිෂ්පාදන භාවිත කිරීමට අනුග්‍රහය දක්වන රැකියා මේවාට ඇතුළත් වෙනවා. (යෙසායා 65:11; ක්‍රියා 15:29; 2 කොරින්ති 7:1; කොලොස්සි 3:5) සමහර රැකියා බයිබලය කෙළින්ම තහනම් කරන්නේ නැහැ. නමුත් ඒ රැකියා කිරීමෙන් කෙනෙකුට තමාගේම හෝ වෙනත් අයගේ හෘදය සාක්ෂිය පලුදු කළ හැකියි.
තුවක්කුවක් හෝ වෙනත් ආයුධයක් ළඟ තබාගැනීමට අවශ්‍ය කරන රැකියාවක් කරනවාද නැද්ද යන්න කෙනෙකු පෞද්ගලිකව ගත යුතු තීරණයක්. කෙසේ වුවත් ඒ වගේ රැකියාවක් තෝරාගැනීමෙන් ලේ වරදට හසුවීමේ අවදානමට කෙනෙක් තමාවම නිරාවරණය කරගන්නවා. එමනිසා කෙනෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගැනීමේ වගකීම පිළිගැනීමට තමාට වුවමනාද කියා ක්‍රිස්තියානියෙක් යාච්ඤා කිරීමෙන් පසු හොඳින් සිතා බලා තීරණය කළ යුතුයි. සමහරවිට එවැනි රැකියාවක් කරන කෙනෙකුට සතුරු ප්‍රහාරයකදී තුවාල වීමට හෝ මරණයට පත්වීමට හෝ ඉඩ තිබෙනවා.
ඔහු ගන්න තීරණය අනිත් අයටත් බලපාන්න පුළුවන්. උදාහරණයකට ක්‍රිස්තියානියෙකුගේ ප්‍රධාන වගකීම වෙන්නේ දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමයි. (මතෙව් 24:14) ආයුධයක් දරමින් රැකියාවක් කරන කෙනෙකුට පුළුවන්ද “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” කියා අනිත් අයට උගන්වන්න? (රෝම 12:18) තම දරුවන් හෝ පවුලේ වෙනත් අය ගැන කුමක් කිව හැකිද? නිවසක පිස්තෝලයක් තබාගෙන සිටීම ඔවුන්ගේ ජීවිතවලටද අනතුරුදායක විය හැකියි. ඒ විතරක් නෙවෙයි මේ කාරණය සම්බන්ධයෙන් තමා ගන්න තීරණය නිසා සමහරුන් බාධාවට පත් වෙයි කියා කියන්න බැරිද?—පිලිප්පි 1:10.
මේ අන්තිම දවස්වල ජීවත් වෙන මිනිසුන් එන්න එන්නම “දරුණු, යහපතට ප්‍රේම නොකරන” අය බව පැහැදිලියි. (2 තිමෝති 3:1, 3) මෙය දැනගෙනත් කෙනෙක් ආයුධයක් දරාගෙන කරන රැකියාවක් තෝරාගැනීම නිසා එවැනි පුද්ගලයන් එක්ක ගැටීමට සිදු වුණොත් ‘ඔහුට විරුද්ධව කිසි චෝදනාවක් නැති බව’ පවසන්න පුළුවන්ද? (1 තිමෝති 3:10) එහෙම කියන්න බැහැ. මේ හේතුව නිසා කෙනෙකුට කාරුණික ලෙස බයිබල් උපදෙස් දීමෙන් පසුවත් ඔහු දිගටම එවැනි රැකියාවක යෙදුණොත් එවැනි කෙනෙක් “නිදොස්” කෙනෙක් කියා සභාව මඟින් සලකනු ලබන්නේ නැහැ. (1 තිමෝති 3:2; තීතස් 1:5, 6) එවැනි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් සභාව තුළ කිසිම විශේෂ වරප්‍රසාදයක් දැරීමට සුදුසුකම් ලබන්නේ නැහැ.
යේසුස් තම ගෝලයන්ට සහතික වුණේ ඔවුන් තම ජීවිතවල මුල් තැන දේවරාජ්‍යයේ කාරණාවලට දුන්නොත් තම අවශ්‍යතා සපුරාගැනීම ගැන උවමනාවට වඩා වැඩියෙන් කනස්සලු වීමට ඔවුන්ට අවශ්‍ය නැති බවයි. (මතෙව් 6:25, 33) ඇත්තෙන්ම අපි යෙහෝවා දෙවි කෙරෙහි අපේ පූර්ණ විශ්වාසය තැබුවොත් අපට මේ සහතිකය තිබෙනවා “ඔහු [අප] උසුලන්නේය; ඔහු කිසිකලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.”—ගීතාවලිය 55:22.