Skip to content

පටුනට යන්න

අසාධාරණ ලෝකයක්!

අසාධාරණ ලෝකයක්!

අසාධාරණ ලෝකයක්!

අපි ජීවත් වෙන්නේ අසාධාරණ ලෝකයක බව අපි කවුරුත් දන්නවා. අපිට කොතරම් හොඳ හැකියාවන් තිබුණත් කොතරම් හොඳින් අපගේ ජීවිත සැලසුම් කළත් අපේ අනාගතය ගැන අපිට ස්ථිර වෙන්න නම් බැහැ. ප්‍රඥාවන්ත සලමොන් රජු පැවසූ දෙය කොයිතරම් සැබෑද! “කෑම ඥානවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් සාර්ථකත්වය දක්ෂයන්ටවත් නෙවෙයි.” ඒ ඇයි? සලමොන්ම ඊට පිළිතුරු දෙන්නේ මේ විදිහටයි. “කාලය සහ ප්‍රස්තාව ඔවුන් සියල්ලන්වම පාලනය කරයි.”—දේශනාකාරයා 9:11, ද නිව් ඉංග්ලිෂ් බයිබල්.

“නපුරු කාලය හදිසියෙන් පැමිණි විට”

සලමොන් කිවූ ලෙස “කාලය සහ ප්‍රස්තාව” අපි සියලුදෙනාටම බලපානවා. වැරදි වෙලාවක වැරදි තැනේ සිටීමෙන් අපගේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු සැණෙකින් බිඳ වැටෙන්න පුළුවන්. සලමොන් පැවසුවා වගේ “නපුරු කාලය හදිසියෙන් පැමිණි විට” අපි “නපුරු දැලකට අසූ වූ මසුන් මෙන්ද මලපතකට අසුවූ පක්ෂීන් මෙන්ද” වෙනවා. (දේශනාකාරයා 9:12) මිලියන ගණනක් ගොවීන් තමන්ගේ පවුල් රැකගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වගා කටයුතුවල නියැලෙනවා. ඒ වුණත් නිසි කලට වැස්ස නොමැති වීම නිසා “නපුරු කාලය” ඔවුන්ට බලපාන අතර වගා පාළුවීම නිසා ඔවුන්ගේ වෙහෙස අපතේ යනවා.

ලෝක ප්‍රජාවගේ උපකාර ඔවුන්ට ලැබෙන බව ඇත්තක්. ඒත් ඒවා ලැබෙන්නෙත් අසාධාරණ විදිහටයි. ඊට එක් උදාහරණයක් ප්‍රසිද්ධ සහනාධාර ආයතනයකින් නිකුත් වූ වාර්තාවකින් පැහැදිලි වෙනවා. මෑත වසරකදී සාගතය තුරන් කිරීම සඳහා දැරූ ප්‍රයත්නයකදී “මුළු අප්‍රිකානු මහාද්වීපයටම ලැබුණේ ගල්ෆ් යුද්ධය සඳහා වැය වූ මුදලින් පහෙන් එකක් පමණක්” බව එහි සඳහන් වුණා. මුළු මහාද්වීපයකම සිටි මිනිසුන්ගේ කුසගින්න නිවීම සඳහා වෙන් කළ මුදල මෙන් පස් ගුණයක් එක් රටක් සමඟ යුද්ධ කිරීම සඳහා වැය කිරීම කොයිතරම් අසාධාරණද! බොහෝදෙනෙක් ආර්ථික සමෘද්ධිය අද්දකින කාලයක පොළොවේ ජනගහනයෙන් හතරෙන් එකක් අන්ත දුගී භාවයෙන් පෙළීම හෝ ප්‍රතිකාර තිබියදීත් ඒවා ලබාගැනීමට නොහැකි වීම නිසා එක් වසරකට දරුවන් මිලියන ගණනක් මිය යෑම සාධාරණයි කියා ඔබ සිතනවාද? නැහැ, එය කොහෙත්ම සාධාරණ නැහැ!

“නපුරු කාලය හදිස්සියෙන් පැමිණි විට,” ‘කාලය සහ ප්‍රස්තාවට’ වඩා දේවල් අපට බලපානවා. අපගේ ජීවිත සම්පූර්ණයෙන්ම පාලනය කර අපට ඕනෑම දෙයක් කිරීමට බලය තිබෙන, අපට කොහෙත්ම පාලනය කළ නොහැකි පිරිස්ද සිටිනවා. රුසියාවේ බෙස්ලාන්වල 2004 අවසන් භාගයේදී සිදු වූ ඛේදවාචකය ඔබට මතකද? ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක භටයින් අතර ඇති වූ ඒ දරුණු ඝට්ටනයෙන් සියගණනක් අහිංසක මිනිසුන් මරුමුවට පත් වුණා. ඉන් වැඩිදෙනෙක් කුඩා දරුවන්. ඔවුන් එයට ගොදුරු වූයේ වැරදි වෙලාවේ වැරදි තැන සිටි නිසා බව ඇත්තයි. ඒත් මෙහිදී ඔවුන් අත්වින්ද ‘නපුරු කාලයට’ මූලික හේතුව මිනිස් ඝට්ටනයි.

අසාධාරණකම සැමදා පවතීද?

මේ වගේ අසාධාරණකම් ගැන කතා කරද්දී, “ඔය ඉතින් ජීවිතේ හැටි තමයි. ඒවා වෙනස් කරන්න කාටවත් බැහැ” කියා සමහරුන් කියන්න ඉඩ තිබෙනවා. එයට හේතු දක්වමින් ඔවුන් කියන්නේ බලවත් අය අසරණයන්ට හිරිහැර කරන තාක්කල්, ධනවතුන් හැමදාම දුප්පතුන්ගෙන් සූරා කන තාක්කල්, අසාධාරණකම් රජ කරන බවයි. ඒ වගේම ‘කාලය සහ ප්‍රස්තාවත්’ අප ජීවත් වන තාක්කල් අපිට බලපාන බව ඔවුන්ගේ මතයයි.

නමුත් හැමදාමත් ඒක එහෙම වෙන්නම ඕනද? තම හැකියාවන් ඥානවන්තව පාවිච්චි කරන අයට හොඳ ප්‍රතිඵල නෙළාගන්න පුළුවන් කාලයක් කවදාහරි උදා වෙයිද? මේ අසාධාරණ ලෝකයට සදාකාලික වෙනසක් ඇති කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? ඊළඟ ලිපිය මේ ගැන සාකච්ඡා කරනවා.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Man with a child: UN PHOTO 148426/McCurry/Stockbower

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

MAXIM MARMUR/AFP/Getty Images