Skip to content

පටුනට යන්න

යෙහෝවා ඔබව කිසිසේත් අත්හරින්නේ නැහැ

යෙහෝවා ඔබව කිසිසේත් අත්හරින්නේ නැහැ

යෙහෝවා ඔබව කිසිසේත් අත්හරින්නේ නැහැ

යුදයේ ක්‍රිස්තියානීන් දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔවුන් ජීවත් වූ පරිසරයේ සිටියේ ධන සම්පත්වලට බොහෝ ආශාවක් දැක්වූ අයයි. ඔවුන්ටද මෙම ආශාව ඇතිවීමට එරෙහිව සිටීමට ලොකු සටනක් කරන්න සිදු වුණා. ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වන විට යෙහෝවා පැවසූ මෙම වදන් පාවුල් යුදයේ ක්‍රිස්තියානීන්ව දිරිගැන්වීම සඳහා නැවතත් පැවසුවා. “මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5; ද්විතීය කතාව 31:6) මෙම ලිපිය ලැබූ යුදයේ ක්‍රිස්තියානීන් දෙවිගේ එම පොරොන්දුවෙන් දිරිගැන්වීමක් ලැබුවාට කිසිම සැකයක් නැහැ.

‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලයක’ ජීවත් වන අපටත් ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දීමට ඉහත කී එම පොරොන්දුවෙන් ශක්තියක් ලබාගත හැකියි. (2 තිමෝති 3:1) අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ කැමැත්තට අනුව ක්‍රියා කරනවා නම් ඕනෑම අසීරු තත්වයක් යටතේදී ඔහු අපව රැකබලා ගන්න බව ස්ථිරයි. උදාහරණයක් ලෙස කෙනෙකුට තමන්ගේ ජීවනෝපාය අහිමි වන අවස්ථාවකදී යෙහෝවා ඉහත කී පොරොන්දුව ඉටු කරන ආකාරය ගැන සලකා බලමු.

අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සිදු වූ විට

ලෝකය පුරාම රැකියා නොමැති අයගේ සංඛ්‍යාව වැඩි වෙනවා. “රැකියා නොමැතිකම අද සමාජයේ තිබෙන ලොකු ප්‍රශ්නයක්” කියා පෝලන්ත සඟරාවක සඳහන් වුණා. මේ ප්‍රශ්නය කාර්මික රටවල පවා පොදු දෙයක් වී තිබෙනවා. උදාහරණයක් හැටියට, ආර්ථික සහයෝගිතා හා සංවර්ධනය සඳහා වූ සංවිධානයේ සාමාජික රටවල පවා 2004 වන විට රැකියා නොමැතිකම “මිලියන 32කින් ඉහළ ගොස් තිබෙන අතර, මෙය 1930 ගණන්වල මහා ආර්ථික පරිහානිය පැවති කාලයටත් වඩා වැඩියි.” වර්ෂ 2003 දෙසැම්බර් මාසය අගදී පෝලන්තයේ සංඛ්‍යා ලේඛන කාර්යාලයෙන් නිකුත් කරන ලද වාර්තාවකට අනුව මිලියන තුනකට රැකියා නොමැති අතර මෙයින් “සියයට 18ක්ම රැකියා කරන වයසේ පසු වන අයයි.” තවත් වාර්තාවක පෙන්නුම් කරන පරිදි 2002 වන විට දකුණු අප්‍රිකාවේ රැකියා නොමැති අයගේ ගණන සියයට 47.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හදිස්සියේම රැකියා අහිමි වීම අද බොහෝදෙනෙකු අද්දකින බියකරු අද්දැකීමක්. මේ තත්වයට සමහර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද මුහුණ දීමට සිදු වී තිබෙනවා. අපි ඕනෑම කෙනෙකු ‘විපත්තිවලටද බලාපොරොත්තු නොවූ සිදුවීම්වලටද’ මුහුණ පෑ හැකියි. (දේශනාකාරයා 9:11, NW) “මාගේ සිතේ දුක් වැඩිව තිබේ” කියා ගීතිකාකරුවෙකු වන දාවිත් පැවසුවාක් මෙන් සමහර අවස්ථාවලදී අපත් පවසන්න පුළුවන්. (ගීතාවලිය 25:17) එවැනි අසීරු අවස්ථාවන්ට හොඳින් මුහුණ දීමට ඔබට පුළුවන්ද? එවැනි අසීරුතා ඔබ සිතන ආකාරයට හා දෙවි සමඟ තිබෙන ඔබේ සම්බන්ධතාවට මෙන්ම ඔබේ ආර්ථිකයටද බලපාන්න පුළුවන්. හදිස්සියේම ඔබේ රැකියාව අහිමි වුවහොත් ඔබේ දෙපයින් නැඟී සිටින්න ඔබට පුළුවන්ද?

මානසිකව බිඳවැටෙන විට

“රැකියාව අහිමි වීම දරාගන්න වැඩියෙන්ම අපහසු වන්නේ පිරිමින්ටයි.” ඊට හේතුව ආදි කාලයේ පටන්ම පුරුෂයා පවුලට සපයන්නා ලෙස සලකන නිසා බව මනෝවිද්‍යාඥයෙකු වන යානූෂ් වීට්ස්හයින්සික් පවසයි. ඔහු පවසන පරිදි මෙවැනි තත්වයකට මුහුණ දී සිටින පිරිමියෙකුගේ සිතුවිලි තිබෙන්නේ කැලඹුණු තත්වයකයි. සමහර අවස්ථාවලදී ඔහු කෝපයෙන් ක්‍රියා කරන අතර තවත් අවස්ථාවලදී ඔහු මුහුණ දී තිබෙන තත්වයෙන් මිදෙන්න බැහැයි කියා සිතමින් කලකිරීමට පත් වෙයි. රැකියාවක් අහිමි වන පියෙකුට තම ආත්ම ගරුත්වය නැති වන අතර ඔහු “පවුලේ අය සමඟ නිතර අඬ දබර කරගනියි.”

දරු දෙදෙනෙකුගේ පියෙක් වන ඇඩම්ට ඔහුගේ රැකියාව අහිමි වූ විට දැනුණු ආකාරය ගැන ඔහු මෙසේ පවසයි. “මම සුළු දේවලට පවා කලබල වුණා. මට කිසි දෙයක් රුස්සන්නේ නැතුව ගියා. මගේ භාර්යාවටත් හදිස්සියේම රැකියාව නැතුව ගියා. මට වෙන කිසි දෙයක් ගැන හිතන්න බැරි වුණා. මගේ ඔළුවේ නිතරම වැඩ කළේ මම රැකියාවක් හොයාගන්නේ කොහොමද, භාර්යාවයි දරුවනුයි බලාගන්නේ කොහොමද කියන කාරණයයි. මේ ගැන කොච්චර හිතුවාද කියනවා නම් මම රෑට හීනෙන් දැක්කේත් ඒ වගේ දේවල්.” රිෂාඩ් හා මැරියෝලා යුවළට එක දරුවෙක් හිටියා. ඔවුන්ගේ ආදායම් මාර්ගය නැතුව ගියා. ඔවුන් ලොකු බැංකු ණයක් අරගෙන තිබුණා. ඒ ගැන මැරියෝලා මෙසේ පැවසුවා. “මම හැම තිස්සේම හිටියේ නොසන්සුන් තත්වයක. අපි ඒ බැංකු ණය ගත්තු එක මහ මෝඩකමක් කියලා හිතුණා. ඒ ණය ගත්තු එක ගැන මම මටම දොස් කියාගත්තා.” ඒ වගේ තත්වයකට මුහුණ දෙනකොට කේන්තිය, කනස්සල්ල හා කලකිරීම් වැනි හැඟීම්වලින් අපව යටපත් වෙන්න පුළුවන්. අපිට ඇති වන එවැනි අහිතකර සිතුවිලි පාලනය කරගන්නේ කොහොමද?

අපට එවැනි අහිතකර සිතුවිලි පාලනය කරගත හැකි ආකාරය ගැන බයිබලයේ මෙසේ උපදෙස් දෙනවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7) දෙවිට යාච්ඤා කිරීමෙන් “දෙවිගේ සමාදානය” එනම් සන්සුන් මනසක් ඇතුව ක්‍රියා කිරීමට අපට අවශ්‍ය මානසිකත්වයක් ලබාගැනීමට අපට යෙහෝවා උපකාර කරනවා. නමුත් මෙය රඳා පවතින්නේ යෙහෝවායි අපියි අතර තිබෙන සම්බන්ධය මතයි. ඇඩම්ගේ භාර්යාව වන ඉරේනා මෙහෙම පැවසුවා. “අපි යෙහෝවාට යාච්ඤා කරලා අපේ තත්වය ගැන කිව්වා. අපි ජීවත් වන ක්‍රමය තවත් සරල කරගන්න යන ආකාරය ගැනත් කිව්වා. මගේ මහත්තයා සාමාන්‍යයෙන් ඉක්මනටම කලබල වෙලා දුක් වෙන කෙනෙක්. නමුත් හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා කියලා එයා ශුභවාදීව හිතන්න පටන්ගත්තා.”

හදිස්සියේම ඔබේ රැකියාව අහිමි වුණොත් යේසුස් කන්ද උඩ දේශනාවේදී දුන් මේ උපදෙස් හොඳින් අදාළ කරගත හැකි තත්වයක ඔබ සිටිනවා කියා කිව හැකියි. “කුමක් කන්නේද කුමක් බොන්නේද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න. . . . පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” (මතෙව් 6:25, 33) රිෂාඩ් සහ මැරියෝලා ඔවුන්ට ඇති වන දුක් ගැහැටවලට හොඳින් මුහුණ දීම සඳහා මේ උපදෙස අදාළ කරගත්තා. මැරියෝලා අතීතය මතක් කරමින් මෙහෙම පැවසුවා. “මගේ මහත්තයා මට හැම තිස්සේම කියපු දෙයක් තමයි යෙහෝවා අපිව කවදාවත් අත්හරින්නේ නැහැයි කියලා. මේක මට ලොකු සැනසීමක් වුණා.” ඇගේ ස්වාමිපුරුෂයා ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දක්වමින් පැවසුවේ මෙසේයි. “අපි දෙන්නා නොකඩවාම යෙහෝවාට යාච්ඤා කළා. මේ නිසා අපි යෙහෝවාටත් ඒ වගේම අපි දෙන්නාට දෙන්නාත් ගොඩාක් ළං වුණා. ඇත්තටම අපිට ඒක ලොකු සහනයක් වුණා.”

ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දීමට දෙවිගේ බලයද අපට උපකාර සපයනවා. දෙවිගේ බලයේ උපකාරයෙන් වර්ධනය කරගත හැකි ගුණාංගයක් වන ආත්ම දමනය නිසා එවැනි අවස්ථාවලදී සන්සුන්ව කටයුතු කළ හැකියි. (ගලාති 5:22, 23) සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අපට ඒ උපකාරය ලැබෙන්නේ නැහැයි කියා. නමුත් “ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට . . . ශුද්ධාත්මය” හෙවත් ඔහුගේ බලය දෙන බව යේසුස් පොරොන්දු කළා.—ලූක් 11:13; 1 යොහන් 5:14, 15.

ඔබේ ඇදහිල්ල දුර්වල වෙන්න ඉඩ දෙන්න එපා

හදිස්සියේ රැකියාව අහිමි වූ විට මේරූ ක්‍රිස්තියානියෙකුට පවා මුලදී මෙය දරාගැනීමට අපහසු වෙන්න පුළුවන්. ඒත් අපි කවදාවත් අපේ ඇදහිල්ල දුර්වල වීමට එවැනි තත්වයකට ඉඩ දීම හොඳ නැහැ. උදාහරණයක් ලෙස මෝසෙස් අවුරුදු 40දී මුහුණ දුන් තත්වය ගැන සිතා බලන්න. රජ මාලිගාවේ සැපවත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වුණා. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එදා ඊජිප්තු වැසියන් පහත් රැකියාවක් ලෙස ගණන් ගත් බැටළුවන් බලාගැනීමේ කාර්යය ඔහුට කරන්න සිදු වුණා. (උත්පත්ති 46:34) මෝසෙස්ට මේ අලුත් තත්වයට හැඩගැහෙන්න සිදු වුණා. මෝසෙස් ඔහුගේ ජීවිතයේ ඊළඟ 40දී යෙහෝවාට කැමති විදිහට තමන්ව හැසිරවීමටත් අනාගතයේදී ඔහු භාර දීමට යන අලුත් කාර්යයන්වලට ඔබින ලෙස තමන්ව සූදානම් කිරීමටත් ඔහුට ඉඩහැරියා. (නික්මයාම 2:11-22; ක්‍රියා 7:29, 30; හෙබ්‍රෙව් 11:24-26) මොන තරම් කරදරවලට මුහුණ දෙන්න සිදු වුණත් මෝසෙස් යෙහෝවා එක්ක තිබුණු ඔහුගේ සම්බන්ධයට හානි වෙන්න ඒවාට ඉඩ දුන්නේ නැහැ. ඔහු යෙහෝවාගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටියා. අපිටත් කොච්චර ප්‍රශ්න ගැටලු ආවත් දෙවි සමඟ තියෙන අපේ සම්බන්ධයට හානියක් කිරීමට ඒවාට ඉඩ නොදෙමු.

හදිස්සියේම රැකියාව නැතිවීම ඇත්තටම ඉතාම බියකරු අද්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වුණත් යෙහෝවා හා ඔහුගේ සෙනඟ සමඟ තිබෙන අපේ සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමට මෙය හොඳම කාලයයි. අපි කලින් සඳහන් කළ ඇඩම් නම් තැනැත්තාට හැඟුණේ එහෙමයි. ඔහු මෙසේ පැවසුවා. “මගේ භාර්යාවගෙයි මගෙයි රැකියා අහිමි වුණු වෙලාවේ රැස්වීම්වලට නොගිහින් ඉන්නවත් සේවයේ යන එක අඩු කරන්නවත් අපි කොහොමටවත් හිතුවේ නැහැ. දිගටම දෙවිගේ සේවයේ නිරත වෙලා හිටිය නිසා අනාගතය ගැන වුවමනාවට වඩා කනස්සලු නොවී ඉන්න අපිට පුළුවන් වුණා.” රිෂාඩ්ටත් හැඟුණේ ඒ හා සමානවයි. “අපි රැස්වීම් හා දේවසේවය අතපසු කර තිබුණා නම් අපිට කවදාවත් මේ ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ලැබෙන එකක් නැහැ. අපි ඒවා අතපසු කළා නම් අපිට ජීවිතයේ ඉතුරු වෙන්නේ කනස්සල්ල විතරයි. දෙවි ගැන අනිත් අය එක්ක කතා කරද්දී අපි දිරිගැන්වුණා. ඒ වගේම අප ගැනම අවධානය යොමු කරනවාට වඩා දෙවිගේ කාරණාවලට අවධානය යොමු කරන්නත් හැකි වුණා.”—ෆිලිප්පි 2:4.

රැකියාව ගැන වුවමනාවට වඩා කනස්සලු නොවී ඔබට දැන් තිබෙන අමතර කාලය රැස්වීම්වලට සහභාගි වීමට, බයිබලයේ කාරණා අධ්‍යයනය කිරීමට, සභාවෙන් සැලසුම් කරන ක්‍රියාවල හවුල් වීමට හෝ සේවය වැඩි කිරීමට පාවිච්චි කළ හැකියි. රැකියාවක් නැති කෙනෙකුට බොහෝ කාලය තියෙනවා. කාලය නිකරුණේ කා දමනවාට වඩා ඔබට මේ කාලයේ “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න” පුළුවන්. මෙලෙස කාලය වැය කිරීමෙන් ඔබටත් ඒ වගේම ඔබගේ රාජ්‍ය පණිවිඩයට ඇහුම්කන් දෙන මොළොක් ගුණැති පුද්ගලයන්ටත් එය මහත් ප්‍රීතියක් වනවාට සැකයක් නැහැ.—1 කොරින්ති 15:58.

ඔබේ පවුලට අවශ්‍ය දේ සැපයීම

දෙවිගේ කාරණාවල නියැලෙනවා කීමෙන් අදහස් කරන්නේ අපේ පවුලේ අයගේ අවශ්‍යතා නොසලකාහරිනවා කියන එක නෙවෙයි. අපි මේ ප්‍රතිපත්තිය මතක තබාගත යුතුයි. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකාහැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) “සභාවේ සිටින අපේ සහෝදරයන් අපට අවශ්‍ය දේවල් සැපයුවත් ක්‍රිස්තියානීන් හැටියට අපට වගකීමක් තිබෙනවා හැකි ඉක්මනින් රැකියාවක් සොයාගන්න” කියා ඇඩම් පැවසුවා. අපට ලැබෙන සෑම දෙයක්ම ලැබෙන්නේ යෙහෝවාගේ හා ඔහුගේ සෙනඟගේ කරුණාව නිසයි. නමුත් රැකියාවක් සොයාගැනීමේ මූලික වගකීම තිබෙන්නේ අපටයි. ඒ සඳහා මූලික පියවර ගත යුත්තේ අපමයි.

මූලික පියවරක් හැටියට ඔබට කළ හැක්කේ කුමක්ද? ඇඩම් මේ ගැන මෙසේ අදහස් දැක්වුවා. “දෙවි ආශ්චර්යවත් ලෙස රැකියාවක් සොයා දෙයි කියා හිතලා ඔබ අත බැඳගෙන පැත්තකට වෙලා ඉන්න එපා. ඔබ රැකියාවක් සොයන විට ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියා සුදුසු අවස්ථාවලදී හඳුන්වා දෙන්න. රැකියා දෙන අය සාමාන්‍යයෙන් සාක්ෂිකරුවන්ව අගය කරනවා.” රිෂාඩ් මෙහෙම අදහස් දැක්වුවා. “රැකියාවක් හොයාගන්න පුළුවන් තැනක් ගැන ඔබ දන්න හැමෝගෙන්ම අහන්න. පුවත්පත්වල හා ඇතැම් කර්මාන්ත ශාලාවල පළ කර තිබෙන “ඇබෑර්තු” පිළිබඳ දැන්වීම් ගැන සොයා බලන්න. එහෙමත් නැත්නම් දවසක් හෝ දවස් කිහිපයක් කරන්න පුළුවන් තාවකාලික රැකියා තිබෙනවාද කියා සොයා බලන්න. උත්සාහය අතහරින්න එපා දිගටම සොයන්න. සමහරවිට ඔබට කරන්න වෙන්නේ ඔබ පහත්යයි සලකන හෝ එසේත් නැත්නම් ඔබ ආස කරන රැකියාවක් නොවෙන්න පුළුවන්. රැකියා තෝරන්න එපා. ලැබෙන රැකියාවක් කරන්න.”

‘යෙහෝවා ඔබගේ උපකාරකයාය. ඔහු ඔබෙන් අහක්ව නොයයි. කිසිසේත් ඔබව අත් නොහරියි’ (හෙබ්‍රෙව් 13:5, 6) ඒ නිසා ඔබ වුවමනාවට වඩා කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. ගීතිකාකාර දාවිත් මෙසේ පැවසුවා. “ඔබේ මාර්ගය යෙහෝවාට භාර දෙන්න; ඔහු කෙරෙහි විශ්වාස කරන්න; ඔහු එය ඉෂ්ට කරන්නේය.” (ගීතාවලිය 37:5) ‘අපේ මාර්ග යෙහෝවාට භාර දෙනවා’ කීමෙන් අදහස් වන්නේ අසීරුතාවලට මුහුණ දීමට සිදු වුණත් අපි ඔහු කෙරෙහි විශ්වාසය තබමින් ඔහුගේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරනවා කියන එකයි.

ඇඩම් හා ඉරේනා ඔවුන්ට අවශ්‍ය දේවල් සපයාගැනීමට රැකියාවක් ලෙස කළේ ජනෙල් සේදීම හා තරප්පු පේළි පිරිසිදු කිරීමයි. ඒ වගේම ඔවුන්ට ලැබෙන මුදල් ඔවුන් අරපරිස්සමින් පාවිච්චි කළා. ඔවුන් රැකියා තිබෙන තැන් නිතරම සොයා බැලුවා. “අපිට හරියටම උපකාර අවශ්‍ය වේලාවලදී අපට උපකාර ලැබුණා” කියා ඉරේනා පැවසුවා. ඇගේ ස්වාමිපුරුෂයා මෙසේ පැවසුවා. “අපි යාච්ඤාවෙන් දෙවිට කන්නලව් කර ඉල්ලූ දේවල්, දෙවිගේ කැමැත්තට අනුව කළ ඉල්ලීම් නෙවෙයි කියලා අපි අද්දැක්ක දේවලින් අපි තේරුම්ගත්තා. දෙවිගේ මඟ පෙන්වීම හා ප්‍රඥාව කෙරෙහි රඳා සිටීමටත් අපිට හරියි කියා හිතෙන දේවල් නොකර සිටීමේ ඇති අවශ්‍යතාවත් මෙයින් අපි ඉගෙනගත්තා. හොඳම දේ තමයි දෙවි දෙන විසඳුම කෙරෙහි ඉවසිල්ලෙන් බලා සිටීම.”—යාකොබ් 1:4.

රිෂාඩ් සහ මැරියෝලා සුළු රැකියාවන් කිහිපයක්ම කළා. ඒ අතරතුරේදී අවශ්‍යතා වැඩි ප්‍රදේශවලට ගිහින් සේවය කළා. “අපිට කන්න කිසිම දෙයක් නොතිබුණු දවස් තිබුණා. අපිට ඒ වගේ දවස්වලදී කොහොමහරි මුදල් හොයාගන්න හැකි වුණා. හොඳ වැටුපක් දෙනවා කිව්වත් අපි රැස්වීම්, දේවසේවය වැනි දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වලට බාධා වන රැකියා තෝරගත්තේ නැහැ. අපි ඉවසීමෙන් යෙහෝවා කෙරෙහි විශ්වාසයෙන් හිටියා” කියා රිෂාඩ් පැවසුවා. ඔවුන්ට ජීවත් වෙන්න තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් අඩු කුලියකට ලබාගන්න හැකි වුණා. ඒ විතරක් නෙවෙයි රිෂාඩ්ට රැකියාවකුත් ලැබුණා. ඔවුන් විශ්වාස කරන්නේ මේ සියල්ල එහෙම සිද්ධ වුණේ යෙහෝවා දේවල් හැසිරවූ නිසා කියායි.

කෙනෙකුට රැකියාවක් අහිමි වීම ඇත්තෙන්ම දරාගත නොහැකි දෙයක්. නමුත් යෙහෝවා ඔබව අත්හරින්නේ නැති බව අද්දකින්න මෙය කදිම අවස්ථාවක් නෙවෙයිද! යෙහෝවා ඔබව බලාගන්නවාට සැකයක් නැහැ. (1 පේතෘස් 5:6, 7) ඔහු අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් මෙසේ පොරොන්දු කර තිබෙනවා. “තැති නොගන්න; මක්නිසාද මම ඔබේ දෙවිය; ඔබ ශක්තිමත් කරන්නෙමි; එසේය, ඔබට පිහිට වන්නෙමි.” (යෙසායා 41:10) රැකියාව අහිමි වීම ඇතුළු ඔබට හදිස්සියේ මුහුණ දෙන්න වෙන ඕනෑම තත්වයකදී අධෛර්යය වෙන්න එපා. ඔබට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් සෑම දෙයක්ම කර ඉතුරු හරිය යෙහෝවාට බාර දෙන්න. යෙහෝවා කෙරෙහි ‘නිශ්චලව බලා සිටින්න.’ (විලාප ගී 3:26) එවිට ඔබට මහත් ආශීර්වාද ලැබෙනවාට සැකයක් නැහැ.—යෙරෙමියා 17:7.

[9වන පිටුවේ පින්තූරය]

රැස්වීම්, දේවසේවය වැනි දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් සඳහා කාලය යොදවන්න

[10වන පිටුවේ පින්තූර]

මුදල් අරපරිස්සමින් පාවිච්චි කරන්න. ලැබෙන රැකියාව කරන්න