Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා සැලකිල්ල ලබමින්

යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා සැලකිල්ල ලබමින්

ජීවිත කතාව

යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා සැලකිල්ල ලබමින්

පැවසුවේ ෆේ කිං විසිනි

මගේ දෙමාපියන් කරුණාවන්ත අය වුණත් අනිකුත් බොහෝදෙනා මෙන්ම ඔවුන්ද ආගම ගැන කොහෙත්ම තැකුවේ නැහැ. මගේ අම්මා මෙහෙම කියනවා මට මතකයි. “දෙවි කෙනෙක් ඉන්නම ඕනෙ. නැත්නම් කවුද මල් හැදුවේ? කවුද ගස් හැදුවේ?” ඒත් ඉන් එහාට ඒ ගැන කිසි දෙයක් හොයලා බැලුවේ නැහැ.

මගේ තාත්තා 1939දී මිය යනකොට මට වයස අවුරුදු 11යි. මමයි අම්මායි එංගලන්තේ දකුණු මැන්චෙස්ටර්හි ස්ටොක්පෝට්වල ජීවත් වුණා. මගේ මැවුම්කරු ගැන වැඩියෙන් දැනගන්නයි මට ඕන වෙලා තිබුණේ. බයිබලය ගැන මුකුත් දැනගෙන හිටියේ නැතත් මම බයිබලයට ගරු කළා. ඒ නිසා මම තීරණය කළා එංගලන්ත සභාවට ගිහින් ඒකේ මොනවාද උගන්වන්නේ කියලා බලන්න.

දේවමෙහෙයන් මට එතරම් අර්ථවත් වුණේ නැතත් සුවිශේෂයන් කියෙව්වහම යේසුස්ගේ වචනවලින් බයිබලය සැබෑ විය යුතු බව මට හොඳටම පැහැදිලි වුණා. මම ඒ කාලේ බයිබලය කියෙව්වේ නැති එක පුදුමයක් කියලා මට හිතුණා. ඊට පස්සේ වුණත්, අපේ පවුලේ හිතවතියක් මට ‘අලුත් ගිවිසුමේ’ අලුත් පරිවර්තනයක් දුන්නත් ඒක කියවන්න මට වෙලාවක් තිබුණේ නැහැ.

කොරියානු යුද්ධය 1950දී පටන්ගත්ත අවස්ථාවේ ඇත්තෙන්ම මම කල්පනා කරන්න පටන්ගත්තා. දෙවන ලෝක මහා යුද්ධය වගේම මේ ගැටුමත් ව්‍යාප්ත වෙයිද? එහෙම වුණොත් මගේ සතුරන්ට ප්‍රේම කරන්න කියා යේසුස් දුන් අණට මම කීකරු වෙන්නේ කොහොමද? ඒත් මගේ රට මිනිස්සු ආක්‍රමණය කරන්න පටන්ගත්තොත් ඔවුන්ව නවත්වන්න කිසි දෙයක් නොකර බලාගෙන ඉන්න මට පුළුවන්ද? එහෙම කළොත් ආයි කතා දෙකක් නැහැ මගේ වගකීම මම පැහැර හැරියා වෙනවා. ව්‍යාකූල තත්වයක හිටියත් මම හොඳටම දැනගෙන හිටියා මගේ ප්‍රශ්න සේරටම බයිබලයේ උත්තර තියෙන බව. ඒත් ඒවා හොයාගන්නේ කොහොමද කොහෙන්ද කියන එක ගැන මම දැනගෙන හිටියේ නැහැ.

ඕස්ට්‍රේලියාවේදී සත්‍යය සොයමින්

මගේ අම්මායි මායි 1954දී ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න තීරණය කළා. මගේ අක්කා (ජීන්) හිටියේ එහේ. මම බයිබලය ගැන උනන්දුවක් දැක්වුව බවත්, පල්ලි ගිය බවත් ජීන් දැනගෙන හිටිය නිසා මාව මුණගැහෙන්න කියලා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කිව්ව බව ඈ මට අවුරුදු කීපයකට පස්සේ කිව්වා. ඔවුන් ගැන මං හිතන්නේ මොකක්ද කියලා දැනගන්න ඇයට වුවමනා වුණා. “ඔවුන්ගේ පැහැදිලි කිරීම් හරිද වැරදිද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි අඩුම තරමින් ඔවුන්ට යම් දේවල් පැහැදිලි කරන්න හරි පුළුවන්. පල්ලියේ ඒක කරන්නේ නැහැ” කියලා ඇය මට කිව්වා.

මාව මුණගැහෙන්න ආව බිල් සහ ලින්ඩා ස්කනයිඩ යන යුවළ හරිම හොඳ යුවළක්. හැට ගණන්වල අවසාන භාගයේ හිටිය ඔවුන් වසර ගණනාවක් පුරා සාක්ෂිකරුවන් වෙලා ඉඳලා තියෙනවා. ඇඩිලේඩ්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙහෙයවූ ගුවන්විදුලි මධ්‍යස්ථානයෙහි ඔවුන් වැඩ කර තිබූ අතර IIවන ලෝක මහා යුද්ධයේදී ඕස්ට්‍රේලියාවේ දේශනා සේවය තහනම් කරලා තිබුණ කාලයේදී ඔවුන් පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන් වුණා. බිල් සහ ලින්ඩා මට හුඟාක් උපකාර කළත් මම විවිධ ආගම් ගැන සෝදිසි කරන එක නතර කළේ නැහැ.

සේවා ස්ථානයේ මිතුරියක් මාව එවැන්ජලිස්ත බිලි ග්‍රේයම්ගේ රැස්වීමකට එක්කගෙන ගියා. ඊට පස්සේ අපි කීපදෙනෙක් පූජකයෙකුව හමු වෙන්න ගියහම ඔහු අපිට කිව්වා ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. ඉතින් මම හිත තුළ වද දෙමින් තිබුණ ප්‍රශ්නය ඇහැව්වා. “කෙනෙක් ක්‍රිස්තියානියෙකු හැටියට ඉන්න ගමන් යුද්දෙට ගිහින් සතුරන්ව මරනවා නම් ඔවුන්ට ප්‍රේම කරන්නේ කොහොමද?” එතන හිටිය හැමෝම එකපාරටම දොඩමලු වුණා. මේ ප්‍රශ්නය ඒ හැමදෙනාටම වද දීලා තියෙන හැඩයි! එතකොට පූජකයා කිව්වා “ඒකට උත්තරේ මං දන්නේ නැහැ. මම තාම ඒ ගැන හිතනවා” කියලා.

මේ අතරතුර, බිල් සහ ලින්ඩා එක්ක මම බයිබලය පාඩම් කරමින් හිටියා. වර්ෂ 1958 සැප්තැම්බර්වලදී මම බව්තීස්ම වුණා. මගේ ගුරුවරුන්ගේ ආදර්ශය අනුගමනය කරන්න මම තීරණයක් ගත්තා. ඉතින් ඊළඟ අවුරුද්දේ අගෝස්තු වෙනකොට මම පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියක වශයෙන් ස්ථාවර පුරෝගාමි සේවයට ඇතුල් වුණා. මාස අටකට පස්සේ විශේෂ පුරෝගාමියක ලෙස හවුල් වෙන්න කියලා මට ආරාධනයක් ලැබුණා. මගේ සහෝදරිය වූ ජීනුත් ඇගේ පාඩම්වල ප්‍රගතියක් ලබලා බව්තීස්ම වුණ බව දැනගන්න ලැබීම මොන තරම් ප්‍රීතියක්ද!

ප්‍රස්තාවේ දොරටුවක් විවෘත වී

මම සිඩ්නිවල සභාවක සේවය කරමින්, නිවාස බයිබල් පාඩම් කීපයක්ම පවත්වමින් හිටියා. දිනක් මට එංගලන්ත සභාවේ විශ්‍රාම ගිය දේවගැතියෙකුව මුණගැසුණා. ලෝකේ අන්තිමය ගැන ඔවුන්ගේ සභාවේ උගන්වන්නේ මොනවද කියලා මම ඔහුගෙන් ඇහැව්වා. ඔහු අවුරුදු 50ක් පුරා පල්ලියේ ධර්මය උගන්වලා තිබුණ බව කිව්වත් ඔහුගේ පිළිතුරෙන් මම පුදුමයට පත් වුණා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තරම් මට බයිබල් දැනුමක් නැති නිසා ඒ කාරණය ගැන පර්යේෂණයක යෙදෙන්න කාලය මිඩංගු කරන්න මට සිද්ධ වෙයි.”

මින් වැඩි කල් යෑමට මත්තෙන් පකිස්ථානයේ සේවය කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන්ව කැඳෙව්වා. තනිකඩ පිරිමින් හෝ විවාහක ජෝඩු මිසක තනිකඩ කාන්තාවන්ව යවන්නේ නැති බව නොදැන මම ඉල්ලුම් කළා. මගේ ඉල්ලුම් පත්‍රය බෘක්ලින් ශාඛා කාර්යාලයට යවා තිබුණ බව පැහැදිලියි. මොකද ඉන්දියාවේ බොම්බායේ (දැන් මුම්බායි) පුරප්පාඩුවක් තිබෙනවා, කැමති නම් භාරගන්න කියලා ඉක්මනින්ම මට ලියුමක් ලැබුණා. ඒ 1962දීයි. මම කැමති වෙලා මාස 18ක් බොම්බායේ හිටියා. ඊට පස්සේ අලාහාබාද්වලට මාරු වුණා.

මම ඉක්මනින්ම හින්දි ඉගෙනගන්න පටන්ගත්තා. මේ ඉන්දියානු භාෂාවේ සාමාන්‍යයෙන් අකුරු ලියන විදිහටම උච්චාරණය කරන නිසා ඉගෙනගන්න එක ඒතරම් අමාරු කාර්යයක් වුණේ නැහැ. කොහොමවුණත්, අමාරුවෙන් ඒ නිවැසියන්ගේ භාෂාවෙන්ම කතා කරන්න මම වෙහෙසෙද්දී, ඉංග්‍රීසියෙන් කියන්න කියලා ඔවුන් මට කියද්දී හුඟක් වෙලාවට මම කලකිරුණා. ඒත් මේ අලුත් රට පුදුම මෙන්ම උනන්දුවක් ඇති කරන අභියෝගයන් එල්ල කළා. ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් හිටිය සෙසු සාක්ෂිකරුවන්ගේ ඇසුරෙන් මම සතුටක් ලැබුවා.

මගේ මුල් කාලයේදී මම විවාහය ගැන සිතුවත් බව්තීස්ම වෙන කාලේ වෙනකොට යෙහෝවාගේ සේවයෙහි වැඩියෙන් නිරත වෙලා හිටිය නිසා ඒ ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. කොහොමවුණත් ආපහු ජීවන සහකරුවෙකුගේ අවශ්‍යතාව හැඟෙන්න පටන්ගත්තා. ඒත් මගේ විදේශීය පැවරුම අත්අරින්නත් අකමැති වුණ නිසා මම ඒ කාරණය ගැන යෙහෝවාට යාච්ඤා කළා. ඊට පස්සේ ඒ ගැන වැඩිය හිතුවේ නැහැ.

අනපේක්ෂිත ආශීර්වාදයක්

ඒ කාලේදී එඩ්වින් ස්කිනර් ඉන්දියාවේ ශාඛා කාර්යාලයේ වැඩ බලමින් සිටියා. ඔහු චීනයේ සේවයට පැවරුම් ලැබුව හැරල්ඩ් කිං, ස්ටැන්ලි ජෝන්ස් සහ තවත් ඇදහිලිවන්ත සහෝදරයන් හුඟදෙනෙකුත් එක්ක 1946දී ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැලේ අටවන පංතියට සහභාගි වෙලා තිබුණා. * ෂැංහයිහි දේශනා කළ නිසා හැරල්ඩ්ව සහ ස්ටැන්ලිව 1958දී හුදෙකලා සිරභාරයක රඳවනු ලැබුවා. හැරල්ඩ්ව 1963දී නිදහස් කළහම එඩ්වින් ඔහුට ලිපියක් යැව්වා. හැරල්ඩ් ඒකට පිළිතුරක් යැව්වේ එක්සත් ජනපදයටත්, බ්‍රිතාන්‍යයටත් ගොස් නැවතත් හොං කොංවලට ගියාට පස්සෙයි. ඒකේ ඔහු විවාහ වෙන්න කැමති බවත් සඳහන් කරලා තිබුණා. හිරේ ඉන්නකොට ඒ ගැන යෙහෝවාට යාච්ඤා කළ බවත්, හොඳ භාර්යාවක් වෙන්න පුළුවන් සාක්ෂිකාරියක්ව දන්නවාද කියලාත් ඔහු එඩ්වින්ගෙන් අහලා තිබුණා.

ඉන්දියාවේ විවාහයන් වැඩිහරියක් සිදු කෙරුණේ යෝජනා තුළින් නිසා එවැනි සැලසුම් තමන්ටත් කරලා දෙන්න කියා නිතරම එක එක්කෙනා එඩ්වින්ට පැවසුවා. ඒත් ඔහු හැම වෙලාවෙම ඒ දේවල්වලට පැටලෙන්නේ නැතුව හිටියා. ඒ නිසා හැරල්ඩ්ගේ ලිපිය ඔහු රූත් මකේට දුන්නා. ඇගේ ස්වාමිපුරුෂයා වූ හෝමර් සංචාරක අවේක්ෂකයෙකුව සිටියා. අවුරුදු ගානක් සත්‍යයේ ඉන්න මිෂනාරිවරයෙක් භාර්යාවක් හොයනවා කියලා රූත් මට ලිව්වා. ඔහුට ලියන්න කැමතිද කියලා ඈ මගෙන් අහලා තිබුණා. සහෝදරයා කවුද කියලාවත්, ඔහු ගැන මුකුත් විස්තරයක්වත් ඈ මට කිව්වේ නැහැ.

සහකරුවෙක් ඉල්ලලා මං කළ යාච්ඤාව ගැන යෙහෝවා ඇරෙන්න වෙන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම ඉස්සරවෙලාම කළේ ඒ අදහසට එකඟ නොවෙන එකයි. කොහොමවුණත්, ඒ ගැන වැඩිපුර හිතනකොට යෙහෝවා අපේ යාච්ඤාවලට අපි හිතන විදිහට පිළිතුරු දෙන්නේ කලාතුරකින් කියලා මට හිතුණා. ඉතින් මම ආපහු රූත්ට ලියලා, ඒ සහෝදරයාව බඳින්නම ඕන කියලා මට කියන්නේ නැත්නම් විතරක් ඒ සහෝදරයාට කියන්න මට ලියන්න කියලා මම කිව්වා. හැරල්ඩ් කිංගේ දෙවෙනි ලිපිය ආවේ මටයි.

හැරල්ඩ් චීනයේ හිරෙන් නිදහස් වුණාට පස්සේ නොයෙකුත් පුවත්පත්වල සහ සඟරාවල ඔහුගේ ඡායාරූපය සහ කතන්දරය පළ වෙලා තිබුණා. මේ වෙනකොට ලෝකෙ පුරාම ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියත් මගේ සිතට කාවැදුණේ ඔහුගේ ඇදහිලිවන්ත දිව්‍යාණ්ඩු සේවය ගැන වාර්තාවයි. ඉතින් අපි මාස පහක් ලිපි හුවමාරු කරගත්තා. ඊට පස්සේ මම හොං කොංවලට ගියා. අපි 1965 ඔක්තෝබර් 5වෙනි දා විවාහ වුණා.

අපි දෙන්නාටම ඕන වුණේ විවාහ වෙලා දිගටම පූර්ණ-කාලීන සේවයේ රැඳෙන්නයි. අපි වයසට යද්දී අනිත් හැම දේටම වඩා මිත්‍රත්වය සඳහා අවශ්‍යතාව අපිට දැනුණා. කල් යද්දී හැරල්ඩ්ට මගේ ආදරය වැඩි වුණා. ඔහු මිනිසුන් සමඟ මෙන්ම අපේ සේවයේදී පැන නැඟුණ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරද්දී පෙන්නපු කරුණාව සහ සැලකිල්ල දැක්කහම ඔහුට ගැඹුරු ගෞරවයක් දක්වන්න මම පෙලඹුණේ නිතැතින්මයි. වසර 27ක් පුරා අපි සතුට පිරි විවාහයක් භුක්ති වින්ද අතර යෙහෝවාගේ හස්තයෙන් බොහෝ ආශීර්වාද ලැබුවා.

චීන මිනිසුන් කාර්යශීලී සෙනඟක් නිසා මම ඔවුන්ට හුඟක් කැමතියි. හොං කොංවල කතා කරන්නේ කැන්ටනීස් භාෂාවයි. මැන්ඩරින් භාෂාවට වඩා එම චීන ප්‍රාදේශීය භාෂාවේ හඬවල් හෝ ශබ්දයේ උස් පහත් වීම් හුඟක් තියෙන හින්දා ඉගෙනගන්න හරි අමාරුයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ මිෂනාරි නිවසෙන් හැරල්ඩ්ගෙයි මගෙයි ජීවිතය පටන්ගත්තාට පස්සේ අපි ඒ රටේ නොයෙක් ප්‍රදේශයන්ට පැවරුම් ලබා ඒවායෙහි සේවය කළා. ඇත්තෙන්ම අපි ඉතා සතුටෙන් හිටියත් 1976දී මට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ඇති වුණා.

සෞඛ්‍ය ගැටලුවලට සාර්ථකව මුහුණ දීම

මාස කීපයක්ම රුධිරය පිටවීමක් සිද්ධ වුණ නිසා මගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ඉක්මනින්ම පහළ බැස්සා. මට ශල්‍යකර්මයක් කරන්න අවශ්‍යව තිබුණා. ඒත් රෝහලේ වෛද්‍යවරුන් මට පැවසුවේ රුධිරය නැතුව ඒක කරන්න බැහැයි කියලායි. මොකද ඔවුන් එහෙම කළොත් හදිසි රුධිර ගැලීමක් නිසා ඇති වන කම්පනයෙන් මාව මැරෙන්න ඉඩ තිබුණ නිසයි. දවසක් වෛද්‍යවරු මගේ ලෙඩේ ගැන සාකච්ඡා කරනකොට හෙදියන් මගේ හිත වෙනස් කරන්න උත්සාහ කළේ මගේ ජීවිතය නිකරුණේ නැති කරගන්න මට අයිතියක් නැහැයි කියලායි. ඒ දවසේ කරන්න නියම කරලා තිබුණ ශල්‍යකර්මයන් 12න් 10ක්ම ගබ්සාවන්. ඒත් ඒ එක ගැබිනි කාන්තාවක්වත් තමන්ගේ දරුවාගේ ජීවිතය නැති කරන එක ගැන එක වචනයක්වත් කතා කළේ නැති බව මම දැක්කා.

අන්තිමේදී, හැරල්ඩ් රෝහලට ලියුමක් ලියලා කිව්වා මම මැරුණොත් ඒකෙ වගකීමෙන් ඔවුන්ව නිදහස් කරනවා කියලා. එතකොට වෛද්‍යවරු ශල්‍යකර්මය කරන්න එකඟ වුණා. මාව ශල්‍යාගාරයට ගෙනිහින් නිර්වින්දනයට සූදානම් කළා. කොහොමවුණත් අන්තිම මොහොතේ නිර්වින්දන වෛද්‍යවරයා ඒකට අකමැති වුණා. ඒ නිසා මාව ගෙදර යැව්වා.

ඊට පස්සේ අපි පෞද්ගලිකව ප්‍රතිකාර කරන නාරිවේදියෙකුව මුණගැසුණා. මගේ තත්වයේ බරපතළකම ගැන තේරුම්ගත්ත ඔහු අඩු වියදමකට ශල්‍යකර්මය කරලා දෙන්න ඉදිරිපත් වුණා. හැබැයි ඔහු අය කරන ගාන කාටවත් නොකියනවා නම් විතරයි කරන්න පොරොන්දු වුණේ. ඔහු රුධිරය නොදී සාර්ථක ලෙස ශල්‍යකර්මය කළා. මේ විශේෂ අවස්ථාවේදී හැරල්ඩ්ටත්, මටත් යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව සහ සැලකිල්ල ගැන හොඳටම පැහැදිලි වුණා.

වර්ෂ 1992දී හැරල්ඩ්ට දරුණු රෝගයක් වැලඳුණා. අපි ශාඛා කාර්යාලයේ පදිංචියට ගිය අතර එහිදී අපි දෙන්නම ස්නේහවන්ත සැලකිලි ලැබුවා. මගේ දයාබර සැමියා 1993දී එයාගේ භූමික ජීවිතය අවසන් කළා. එතකොට එයාට වයස අවුරුදු 81යි.

ආපසු එංගලන්තය බලා

හොං කොං බෙතෙල් පවුලේ සාමාජිකාවක් වීම සතුටක් වුණත් රස්නෙට සහ වාතයේ තෙතමනයට ඔරොත්තු දෙන එක එන්න එන්නම අමාරු වුණා. ඊට පස්සේ බලාපොරොත්තු වුණේ නැති විදිහට බෘක්ලින් ශාඛා කාර්යාලයෙන් මට සතුටුදායක ලිපියක් ලැබුණා. මගේ සෞඛ්‍ය තත්වය නිසා වැඩි පහසුකම් තියෙන ශාඛාවකට මාරු වෙන්න කැමතිද කියලා ඒකේ අහලා තිබුණා. ඉතින් 2000දී මම ආපහු එංගලන්තෙට ගිහින් ලන්ඩන්හි බෙතෙල් පවුලට එක් වුණා. ඇත්තෙන්ම මේක මොන තරම් ප්‍රේමණීය සැපයුමක්ද! මාව ආදරෙන් පිළිගත් අතර වෙනස් පැවරුම්වල වැඩ කිරීමෙන් මම ලොකු ප්‍රීතියක් ලබනවා. බෙතෙල් පවුලේ පුස්තකාලය සහ එහි ඇති පොත් 2000 බලා කියාගැනීමට සහාය වීමත් ඊට ඇතුළත්.

ඒ වගේම මම ලන්ඩන්වලදී රැස් වෙන චීන සභාව එක්ක ඇසුරු කරනවා. ඒත් මෙහේ දේවල් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. දැන් හොං කොංවලට වඩා වැඩියෙන් ප්‍රධාන රට වන චීනයේ ඉඳලායි මෙහෙට සෙනඟ එන්නේ. ඔවුන් කතා කරන්නේ මැන්ඩරින් භාෂාව නිසා දේශනා සේවයේදී අලුත් අභියෝගයකට මූණ දෙන්න වෙලා තියෙනවා. උසස් අධ්‍යාපනය හදාරන්න චීනයෙන් එන ශිෂ්‍යයන් එක්ක පවත්වන කදිම බයිබල් පාඩම් හුඟක් ගැන වාර්තාවන් රටේ හැම පැත්තකින්ම අහන්න ලැබෙනවා. වෙහෙසී වැඩ කරන ඒ අය තමන් ඉගෙනගන්න බයිබල් සත්‍යයන් අගේ කරනවා. ඔවුන්ට උපකාර කරන්න ලැබීම ප්‍රීතියක්.

මගේ අලුත් නිවහනේ නිස්කලංකව ඉන්න හුඟක් වෙලාවලදී මගේ ජීවිතය සතුටෙන් ගෙවිලා ගිය විදිහ ගැන මම හුඟක් වෙලාවට සිතන ගමන් යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව ගැන හැම වෙලේම පුදුමයට පත් වෙනවා. ඒක ඔහුගේ අරමුණට සම්බන්ධ හැම දෙයකම දකින්න තියෙනවා. ඔහුගේ සේවකයන්ට ඔහු වෙන වෙනම දක්වන සැලකිල්ලත් පැහැදිලිව පේන්න තියෙනවා. ඔහු මට පෙන්වූ ප්‍රේමණීය සැලකිල්ලට කෘතගුණ දක්වන්න මට ඕන තරම් හේතු තියෙනවා.—1 පේතෘස් 5:6, 7.

[පාදසටහන]

^ 19 ඡේ. මේ මිෂනාරිවරුන් දෙදෙනාගේ ජීවිත කතා පිළිබඳව 1963 මුරටැඹ ජූලි 15, 437- 42 දක්වා පිටුවල සහ 1965 දෙසැම්බර් 15, 756- 67 දක්වා පිටුවල පළ විය.—සිංහලෙන් නැත.

[24වන පිටුවේ පින්තූරය]

ඉන්දියාවේ සේවය කරමින්

[25වන පිටුවේ පින්තූර]

හැරල්ඩ් කිං 1963දී සහ 1950 ගණන්වලදී චීනයේ සේවය කරමින් සිටියදී

[26වන පිටුවේ පින්තූර]

1965 ඔක්තෝබර් 5වෙනි දා හොංකොංවල අප විවාහ වූ දිනයේදී

[26වන පිටුවේ පින්තූරය]

හොංකොං බෙතෙල් පවුලේ සාමාජිකයන් සමඟ. මැද සිටින්නේ ලියැං යුවළ දකුණු පැත්තේ සිටින්නේ ගැනවේ යුවළ