ඔබේ ශුභසිද්ධියට බලපාන අධ්‍යාත්මිකත්වය
ඔබේ ශුභසිද්ධියට බලපාන අධ්‍යාත්මිකත්වය
ඔබේ ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම සඳහා ඔබ වැඩිපුර කාලයක් ගත කරනවා විය හැකියි. සෑම දවසකම නිදාගැනීමට පැය අටකුත්, ඉවුම් පිහුම් හා ආහාර ගැනීම සඳහා පැය ගණනාවකුත් එමෙන්ම තමන්ට ජීවත් වීමට තැනක් සොයාගැනීමට හා කෑම බීම සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් ඉපයීමට පැය අටක් හෝ ඊට වඩා වැඩි කාලයක් රැකියාවක නිරත වීම සඳහාත් යොදවනවා විය හැකියි. යම් විටක ඔබ අසනීප වුණොත් ඔබ කාලය හා මුදල් වැය කර වෛද්‍යවරයෙකු මුණගැසෙනවා හෝ එසේත් නැත්නම් පාරම්පරික බෙහෙත් හේත් කරනවා විය හැකියි. ඔබේ නිවස පිරිසිදු කිරීමට, ස්නානය කිරීමට සහ සමහරවිට නිතිපතා ව්‍යායාම කිරීමට පවා ඔබ පෙලඹෙන්නේ ඔබේ සෞඛ්‍යය ගැන ඔබ උනන්දුවක් දක්වන නිසයි.
එහෙත් හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීමට ඔබේ ශාරීරික අවශ්‍යතා ගැන සැලකිලිමත් වනවාට වඩා වැඩි යමක් ඇතුළත්. ඔබේ ශුභසිද්ධියට දායක වන තවත් ප්‍රබල යමක් තිබේ. වෛද්‍ය පර්යේෂණවලට අනුව පෙන්නුම් කරන්නේ ඔබේ ශාරීරික සෞඛ්‍යය හා අධ්‍යාත්මික හෙවත් ආත්මික සෞඛ්‍යය අතර සමීප බැඳීමක් තිබෙන බවයි. ඔබේ ආත්මික සෞඛ්‍යයේ අඩු වැඩිවීම ඔබේ ශාරීරික සෞඛ්‍යය කෙරෙහි බලපාන බව පැහැදිලියි.
ඍජු බැඳීමක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙඩ්ලේ ජී. පීච් පැවසුවේ මෙසේයි. “මේ සම්බන්ධව මුලින්ම ඉදිරිපත් කළ විශ්වාස කළ හැකි පර්යේෂණ වාර්තාවල පෙන්නුම් කරන්නේ යහපත් සෞඛ්‍ය තත්වයක් හා වර්ධනය කරගත් අධ්‍යාත්මිකත්වයක් අතර ඍජු බැඳීමක් තිබෙන බවයි.” මෙම සොයාගැනීම් ගැන ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය ජර්නලය පළ කළ අදහස නම් “ආගම දහම කෙරෙහි ලැදිකමක් දැක්වීම . . . රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් සාමාන්‍ය මට්ටමක පවත්වාගැනීමට දායක වෙනවා
පමණක් නොව . . . මහ අන්ත්‍රයේ පිළිකා රෝග සෑදීමේ ප්‍රවණතාව අඩුවීමටද හේතු වන බවයි.”ඒ හා සමානව 2002දී බර්ක් නගරයේ පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් එක්සත් ජනපදයේ 6,545දෙනෙකු තෝරාගෙන සමීක්ෂණයක් කරන ලදි. එම සමීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ මෙයයි. “ආගමික මෙහෙයන්ට ඉඳ හිට සහභාගි වූ හෝ කොහෙත්ම සහභාගි නොවූ අයට වඩා සතියකට වරක් එවැනි මෙහෙයන්ට සහභාගි වූ අය වැඩි කල් ජීවත් වූ බවයි.” මෙම අධ්‍යයනය මෙහෙයවූ බර්ක්හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පොදු සෞඛ්‍ය පාසැලේ ප්‍රධාන කතුවරයා හා මහාචාර්යවරයා වන ඩග් ඕමන් පැවසුවේ, “දුම්පානය කිරීම සහ ව්‍යායාම කිරීම ඇතුළු සෞඛ්‍ය පුරුදු මෙන්ම සමාජීය සම්බන්ධතා සැලකිල්ලට ගැනීමෙන් පසුව පවා මේ කාණ්ඩ දෙක අතර වෙනසක් දැකගත හැකි වුණා” කියායි.
තම ජීවිතයට ආත්මික මුහුණුවරක් ලබා දීම තුළින් අත් වන ප්‍රතිඵල ගැන ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය ජර්නලය පවසන්නේ මෙසේයි. “ඕස්ට්‍රේලියාවේ කරන ලද අධ්‍යයනවලින් සොයාගෙන තිබෙන පරිදි ආගමට ලැදි අය අතර තිබෙන විවාහ බන්ධනයන් ශක්තිමත්ය; මද්‍යසාරය හා අනිසි මත්ද්‍රව්‍ය භාවිතය අඩුයි; දිවි නසාගැනීම් සංඛ්‍යාව මෙන්ම එසේ කිරීමට ඇති වන පෙලඹීමද අඩුයි; කනස්සල්ල හා මානසික අවපීඩනය අඩුයි; එමෙන්ම ඔවුන් වඩාත් පරාර්ථකාමීයි.” මීට අමතරව එක්තරා වෛද්‍ය ජර්නලයක (The British Medical Journal) වාර්තා කරන්නේ “අධ්‍යාත්මික විශ්වාසයක් නැති පුද්ගලයන්ට වඩා ඉතා ශක්තිමත් අධ්‍යාත්මික විශ්වාසයන් තිබෙන පුද්ගලයන්ට තමන්ගේ ළඟම ඥාතියෙකුගේ මරණයෙන් ඇති වන්නාවූ දුකෙන් ඉක්මනින් හා සම්පූර්ණයෙන්ම මිදෙන්න පුළුවන්” බවයි.
ඇත්තටම හරි අධ්‍යාත්මිකත්වය හෙවත් ආත්මිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව විවිධ අදහස් උදහස් තිබේ. කෙසේවෙතත්, ඔබේ ආත්මිකත්වය ඔබේ ශාරීරික හා මානසික ශුභසිද්ධිය කෙරෙහි විශාල බලපෑමක් කරයි. ඒ පිළිබඳව හෙළි වී තිබෙන තොරතුරු, යේසුස් ක්‍රිස්තුස් අවුරුදු 2,000ට කලින් පැවසූ දේ හා සමඟ කදිමට ගැළපේ. ඔහු පැවසුවේ “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය” කියායි. (මතෙව් 5:3, NW) ඔබේ සෞඛ්‍යයට හා ප්‍රීතියට ඔබේ ආත්මික තත්වය බලපාන නිසා මෙවැනි ප්‍රශ්නයක් ඇසීම සාධාරණයි. ‘විශ්වාසය තැබිය හැකි ආත්මික මඟ පෙන්වීම ලබාගත හැක්කේ කොහෙන්ද? ඒ වගේම ආත්මික පුද්ගලයෙකු වීමට ඇතුළත් වන්නේ මොනවාද?’
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූප හිමිකම්: 18 වන පිටුව: Mao Tse-tung and Golda Meir: Hulton/Archive by Getty Images; Francis Ferdinand: From the book The War of the Nations; Hirohito, Lindbergh, & Einstein: U.S. National Archives photo; Stalin: U.S. Army photo; Roosevelt: Franklin D. Roosevelt Library; Churchill: The Trustees of the Imperial War Museum (MH 26392)