Skip to content

පටුනට යන්න

යාකොබ් ආත්මික සාරධර්ම අගය කළා

යාකොබ් ආත්මික සාරධර්ම අගය කළා

යාකොබ් ආත්මික සාරධර්ම අගය කළා

යාකොබ්ගේ ජීවිතය විපත්ති සහ අරගලවලින් පිරුණු එකක්. ඔහුගේ නිවුන් සහෝදරයාගේ දරුණු කෝපය නිසා තම පණ බේරාගැනීම සඳහා පලා යෑමට යාකොබ්ට සිදු වෙනවා. කපටි උපක්‍රමයක් හේතුවෙන් තම පෙම්වතිය වෙනුවට වෙනත් ස්ත්‍රියක් සමඟ විවාහ වීමට ඔහුට සිදු වන අතර, අවසානයේදී භාර්යාවන් හතරදෙනෙකුත් සමඟ ගැටලු රැසකට මුහුණ දීමට ඔහුට සිදු වෙයි. (උත්පත්ති 30:1-13) ඔහුගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා මිනිසෙකුට ඔහු වසර 20ක් සේවය කරනවා. දේවදූතයෙකු සමඟ පොරබැදීමේදී සුව කළ නොහැකි ආබාධයකට ඔහු ලක් වෙනවා. ඔහුගේ දියණියව දූෂණය කරනු ලබන අතර, පුත්‍රයන් සමූල ඝාතනයක් සිදු කරනවා. තවද ඔහුගේ ප්‍රියතම පුත්‍රයාවද බිරිඳවද ඛේදනීය ලෙස අහිමි වීම නිසා ඔහු දුකින් කඳුළු සලයි. සාගතයක් නිසා මහලු වියේදී තම රට හැර යෑමට ඔහුට බල කරනු ලබන අතර, තමා ජීවත් වූ කාලය “ස්වල්පව දුක්ඛිතව තිබුණේය” යයි ඔහු ප්‍රකාශ කරයි. (උත්පත්ති 47:9) ඒ සියල්ල සිදු වුවත්, යාකොබ් දෙවිව විශ්වාස කරන ආත්මික මනුෂ්‍යයෙක්. ඔහු විශ්වාසය ගොඩනඟා ගෙන තිබුණේ වැරදි කෙනෙකු කෙරෙහිද? යාකොබ්ගේ අද්දැකීම් සමහරක් සලකා බැලීමෙන් කුමන පාඩම් ඉගෙනගත හැකි වේද?

තම සහෝදරයාට වඩා බොහෝ සෙයින් වෙනස්ව

තම සහෝදරයා සමඟ එකඟ නොවීමට හේතුව වූයේ, යාකොබ් අනර්ඝ ආත්මික දේවල් අගය කිරීම සහ ඒසව් ඒවා සුළු කොට තැකීමයි. ආබ්‍රහම් සමඟ දෙවි ඇති කරගත් ගිවිසුම හා බැඳි පොරොන්දුව කෙරෙහි යාකොබ් අවධානය යොමු කළ අතර උරුමක්කාරයන් හැටියට දෙවි තෝරාගත් පවුල බලා කියා ගැනීමට ඔහු මහත් කැපවීමකින් වැඩ කළා. ඒ නිසා යෙහෝවා ඔහුට ‘ප්‍රේම කළා.’ යාකොබ් “නිර්දෝෂ” [NW] කෙනෙක් වුණා. එම යෙදුමෙන් සදාචාරමය අතින් උසස් තත්වයක සිටීම අඟවයි. ඊට හාත්පසින්ම වෙනස්ව, ඒසව් තම ආත්මික උරුමය කොතරම් සුළු කොට සැලකුවාද කිවහොත්, ඔහු එය සොච්චමකට යාකොබ්ට විකුණුවා. දිව්‍ය අනුමැතිය ඇතුව යාකොබ් තමාට අයිති දෙය ඉල්ලමින් තම සහෝදරයාට ලැබිය යුතුව තිබූ ආශීර්වාදය ලබාගත් විට, ඒසව් කොතරම් කෝපයට පත් වුණාද කිවහොත් පළිගැනීමට පවා ඔහු කල්පනා කළා. එවිට යාකොබ්ට සිදු වුණා තමා ආශා කළ හැම දෙයක්ම අත්හැර යන්න. එහෙත්, ඉන්පසුව සිදු වූ දෙයින් ඔහුට හැකි වුණා ඔහුගේ සිතේ තිබුණු දුකින් මිදෙන්න.—මලාකී 1:2, 3; උත්පත්ති 25:27-34; 27:1-45.

සිහිනයක් මාර්ගයෙන් ස්වර්ගය හා පොළොව අතර තිබූ ඉණිමඟක් නොහොත් ගල් පඩි පෙළක් ඔස්සේ දේවදූතයන් නඟින හා බසින ආකාරය යාකොබ්ට පෙන්වූ දෙවි යාකොබ්ව හා ඔහුගේ වංශය තමා ආරක්ෂා කරන බව කියා සිටියා. “පොළොවේ සියලු ගෝත්‍රයෝ ඔබ සහ ඔබේ වංශය කරණකොටගෙන [අනිවාර්යයෙන්ම, NW] ආශීර්වාද ලබන්නෝය. බලව, මම ඔබ සමඟ සිටිමි, ඔබ යන සියලු තැන්හිදී ඔබ ආරක්ෂා කර නැවත මේ දේශයට ඔබ පමුණුවන්නෙමි. මක්නිසාද මා විසින් ඔබට කී දෙය සිදු කරන තුරු ඔබ අත් නොහරින්නෙමි.”—උත්පත්ති 28:10-15.

එමගින් මොන තරම් නිසැකකමක් ඇති වෙන්න ඇද්ද! ආබ්‍රහම්ටත් ඊසාක්ටත් දුන්නාවූ පොරොන්දු මාර්ගයෙන් යාකොබ්ගේ පවුලට ආත්මික අතින් ආශීර්වාද බොහොමයක් ලබා දෙනු ඇති බව යෙහෝවා සහතික කළා. දෙවිගේ අනුමැතිය ඇති අයට උපස්ථාන කිරීමට දේවදූතයන්ට හැකි බව යාකොබ්ට දැනගන්නට සලස්වනු ලැබූ අතර, දිව්‍ය රැකවරණය ලැබෙන බවද ඔහුට පොරොන්දු කරනු ලැබුවා. මේවා කෘතඥපූර්වකව පිළිගත් යාකොබ් යෙහෝවාට විශ්වාසවන්තව සිටීමට පොරොන්දු වුණා.—උත්පත්ති 28:16-22.

යාකොබ් ඒසව්ගේ උරුමය කොයිම අන්දමකින්වත් බලෙන් පැහැරගත්තේ නැහැ. දරුවන් දෙදෙනා ඉපදෙන්නත් කලින්, ‘වැඩිමලා බාලයාට මෙහෙ කරන’ බව යෙහෝවා කියා සිටියා. (උත්පත්ති 25:23) එහෙත් යමෙකු මෙසේ ඇසිය හැකියි. ‘දෙවිට තිබුණානේ යාකොබ්ව මුලින් ඉපදෙන්න සලස්වන්න?’ එහෙත් ඉන් අනතුරුව සිදු වූ දේවල්වලින් වැදගත් සත්‍යයන් අවබෝධ කරගත හැකි වෙනවා. තමන්ට ආශීර්වාද ලබාගැනීමට අයිතියක් තිබෙනවායයි සිතන අයට දෙවි යම් විශේෂ අනුග්‍රහයක් පෙන්වා ආශීර්වාද කරන්නේ නැහැ. නමුත් ඔහු මහත් කරුණාව පෙන්වන්නේ තමන් තෝරාගන්නා අයටයි. එබැවින් කුලුඳුල්කමේ උරුමය හිමි වූයේ යාකොබ්ට මිසක එය කිසිසේත් අගය නොකළ ඔහුගේ වැඩිමල් සහෝදරයාට නොවෙයි. ජාතියක් හැටියට ස්වාභාවික යුදෙව්වරුන් ඒසව් හා සමාන ස්වභාවයක් විදහා පෙන්වූ නිසා, ඔවුන් වෙනුවට ආත්මික ඊශ්‍රායෙල්ව තෝරාගනු ලැබුවා. (රෝම 9:6-16, 24) අද දිනත් යෙහෝවා සමඟ යහපත් සම්බන්ධතාවක් ඇති වන්නේ නිකම්ම ලැබෙන උරුමයකින් නොවේ. යමෙක් දේවභය ඇති පවුලක හෝ එවැනි පරිසරයක් තුළ ඉපදුණත් එවන් දෙයක් ඇති වේයයි බලාපොරොත්තු විය නොහැකියි. දිව්‍ය ආශීර්වාද ලබන්ට කැමති සියල්ලෝම, සැබවින්ම ආත්මික දේවල් අගය කරමින් භක්තිවන්තකම පෙන්වීමට වෙර දැරිය යුතුයි.

ලාබන් විසින් සාදරයෙන් පිළිගනු ලැබේ

තම නෑදෑයන් අතරින් බිරිඳක් සොයාගැනීමට පදන්-අරාමයට පැමිණි යාකොබ්ට ළිඳක් අසලදී තම ඥාති සොහොයුරිය වූ රාකෙල්ව මුණගැහුණා. ඇය ලාබන්ගේ දියණිය වූ අතර ඇය රැගෙන ආ සතුන්ට බොන්න වතුර ලබා දීමට යාකොබ් ළිඳ මත තිබූ විශාල ගල ඉවත් කළා. * රාකෙල් ඉක්මනින් දුව ගොස් යාකොබ්ගේ පැමිණීම ගැන නිවසේ අයට දැනුම් දුන් අතර, ඔහුව හමුවීමට ලාබන් ඉක්මනට ආවා. ආබ්‍රහම්ගේ සේවකයාගෙන් තම පවුලට ලැබුණු වස්තු ගැන ලාබන් කල්පනා කරමින් සිටියා නම්, ඔහුගේ බලාපොරොත්තු සුන් වන්නට ඇති. මන්ද යාකොබ් පැමිණ සිටියේ හිස් අතිනුයි. නමුත් පෙනෙනාකාරයට ඔහු තමාට වාසි ලබාගත හැකි කඩිසර කුලී වැඩකරුවෙක් බව ලාබන් දුටුවා.—උත්පත්ති 28:1-5; 29:1-14.

යාකොබ් තමාට සිදු වූ දේවල් විස්තර කළා. කුලුඳුල්කමේ උරුමය ලබාගැනීමට තමා යෙදූ උපාය ගැන ඔහු සඳහන් කළාද නැද්ද යන්න පැහැදිලි නැති වුවත්, “මේ සියලු කරුණු” ඇසුවායින් පසුව “සැබවින් ඔබ මාගේ ඇට සහ මාංසය” යයි ලාබන් පැවසුවා. එක් විශාරදයෙකු පවසන පරිදි මෙය යාකොබ්ට එහි නතර වීම සඳහා කළ උණුසුම් ඇරයුමක් විය හැකියි. එසේ නැතහොත් ලේ නෑකම නිසා ඔහුව ආරක්ෂා කිරීමට තමා බැඳී සිටි බව ලාබන් පිළිගත් බවට කළ ප්‍රකාශයක් විය හැකියි. තත්වය කුමක්වුවත්, තම බෑනාගෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරය ගැන ලාබන් විගස කල්පනා කරන්න පටන්ගත්තා.

ඉදිරි වසර 20 පුරාවටම බලපාන කාරණයක් ගැන ලාබන් සඳහන් කළා. ඔහු මෙහෙම කිව්වා. “ඔබ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩ කරන්ට යුතුද? ඔබේ කුලී කොපමණ වන්නේදැයි මට කියන්න.” ලාබන් කරුණාවන්ත මාමා කෙනෙකු ලෙස පෙනුණත්, ඔහු යාකොබ් සමඟ සේවා ගිවිසුමක් ඇති කරගැනීමෙන් ඔවුන් අතර තිබූ ලේ නෑකම පසෙක තබමින්, යාකොබ්ව කුලී වැඩකරුවෙකුගේ තත්වයට පත් කළා. පෙමින් බැඳී සිටි යාකොබ් “ඔබේ බාල දියණිය වූ රාකෙල් උදෙසා සත් අවුරුද්දක් ඔබට වැඩ කරන්නෙමියි” කියා පිළිතුරු දුන්නා.—උත්පත්ති 29:15-20.

විවාහ ගිවිසගැනීම සිදු කරනු ලැබුවේ මනාලියගේ පවුලට දායාදයක් ගෙවීමෙනුයි. දූෂණය කරනු ලැබූ කන්‍යාවන් සඳහා ගෙවිය යුතු මිල රිදී ෂෙකෙල් 50ක් බව පසුව මෝසෙස්ගේ නීතියේ සඳහන් වුණා. විශාරද ගෝර්ඩන් වෙනම් තරයේ කියා සිටින්නේ මෙය “මනාලියක වෙනුවෙන් ගෙවනු ලැබූ උපරිම දායාදය” වුවත් බොහෝවිට “ඊට වඩා අඩුවෙන්” ගෙවනු ලැබූ බවයි. (ද්විතීය කථාව 22:28, 29) යාකොබ්ට එවැනි මිලක් ගෙවීමට හැකි වූයේ නැහැ. ඔහු අවුරුදු හතක් ලාබන්ට සේවය කිරීම සඳහා ඉදිරිපත් වුණා. “පුරාතන බැබිලෝනීය කාලවලදී තාවකාලික කුලී වැඩකරුවන්ට මසකට ෂෙකෙල් බාගයක් හා ෂෙකෙලයක් අතර මුදලක් (සම්පූර්ණ වසර හතක් තුළ ෂෙකෙල් 42ත් 84ත් අතර ප්‍රමාණයක්) ගෙවනු ලැබූ බැවින් රාකෙල්ව විවාහ කරගැනීම සඳහා යාකොබ් ලාබන්ට ඉතා වටිනා දායාදයක් ඉදිරිපත් කළා” යයි වෙනම් කියා සිටියි. ලාබන් විගස ඊට එකඟ වුණා.—උත්පත්ති 29:19.

යාකොබ් රාකෙල්ට ඉතා ප්‍රේම කළ බැවින් සත් අවුරුද්ද ඔහුට “ස්වල්ප දවසක්” මෙන් වුණා. ඉන්පසුව, ලාබන් ද්‍රෝහිකමක් කරාවීයි කියා කිසිසේත් නොසිතමින්, යාකොබ් මුහුණු ආවරණයක් පැළඳ සිටි තම මනාලියව බාරගත්තා. තමා රාත්‍රිය ගත කළේ රාකෙල් සමඟ නොව ඇගේ සහෝදරි වූ ලෙයා සමඟ බව පසුදා උදෑසන දැනගත් විට ඔහු මොන තරම් කම්පනයට පත් වෙන්න ඇද්ද! “ඔබ මට කළ මේ දෙය කුමක්ද? මා ඔබට මෙහෙ කළේ රාකෙල් උදෙසා නොවේද? කුමක් හෙයින් මට වංචා කළෙහිදැයි” යාකොබ් කෝපයෙන් ඇසුවා. ලාබන් ඊට මෙහෙම උත්තර දුන්නා. “වැඩිමහල් තැනැත්තියට පළමුවෙන් බාල තැනැත්තිය සරණපාවා දීම අපේ රටේ නොකෙරෙයි. මැගේ සතිය සම්පූර්ණ කරන්න. එවිට තව සත් අවුරුද්දක් මා ළඟ කරන වැඩ නිසා අපි අනික් තැනැත්තියද ඔබට දෙන්නෙමු.” (උත්පත්ති 29:20-27) කරකියාගන්න දෙයක් නැතුව කොටු වෙලා සිටි යාකොබ්ට රාකෙල්ව ලබාගැනීමට නම් එම කොන්දේසිවලට යටත් වීම හැර වෙන කළ හැකි කිසිම දෙයක් තිබුණේ නැහැ.

මුලින් ගත වූ අවුරුදු හත මෙන් නොව ඊළඟ අවුරුදු හත ඉතා අමිහිරි කාලයක් වූවා. ලාබන්ගේ කුරිරු වංචනික ක්‍රියාව නොසලකාහැරීමට යාකොබ්ට හැකි වන්නේ කොහොමද? ඊට සහයෝගය දැක්වූ ලෙයා ගැන කුමක් කිව හැකිද? තමා කළ දෙයින් ලෙයාගෙත් රාකෙල්ගෙත් අනාගතය අවුල්සහගත වීම ගැන ලාබන් කිසිසේත් තැකුවේ නැහැ. ඔහු කල්පනා කළේ තමාට ලැබෙන වාසිය ගැන විතරයි. රාකෙල් වඳව සිටියදී, ලෙයාට එක ළඟ එක පුතුන් හතරදෙනෙකුම ලැබුණා. මේ නිසා කලින් ලෙයාව නොරිස්සූ රාකෙල්ට දැන් ඇය ගැන ඊර්ෂ්‍යාවක්ද ඇති වුණා. පසුව දරුවන් ලබාගැනීමේ දැඩි ආශාවකින් පෙළුණු රාකෙල්, තමා වෙනුවෙන් දරු ගැබක් දැරීමට තම සේවිකාවව යාකොබ් වෙතට යැව්වා. තරඟෙට මෙන් ලෙයාද එම දේම කළා. අවසානයේදී යාකොබ්ට භාර්යාවන් 4දෙනෙකුත් දරුවන් 12දෙනෙකුත් සිටි අතර, ඔහුගේ පවුල තුළ සමඟිය හා සන්තෝෂය නම් දකින්ට ලැබුණේ නැහැ. එසේ වුවත් යෙහෝවා යාකොබ්ගෙන් විශාල ජාතියක් හටගැනීමට සැලැස්සුවා.—උත්පත්ති 29:28–30:24.

යෙහෝවා නිසා පොහොසත් වෙයි

පරීක්ෂා තිබුණත්, පොරොන්දු වූ පරිදි යෙහෝවා තමා සමඟ සිටි බව යාකොබ්ට දැනුණා. ලාබන්ටත් එය දැනුණා. මන්දයත් යාකොබ් පැමිණි අවස්ථාවේදී තමා සතුව සිටි සතුන් ස්වල්පය යාකොබ්ගේ රැකවරණය යටතේ ගණනින් බොහෝ සෙයින් වැඩි වී තිබුණා. යාකොබ් යනවාට අකමැති වූ ලාබන්, වැඩිදුරටත් සේවය කිරීම සඳහා ඔහුට අවශ්‍ය කුලිය සඳහන් කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියා. ලාබන්ගේ රැළේ ඉපදෙන අසාමාන්‍ය වර්ණ ඇති සතුන්ව තමාට දෙන මෙන් යාකොබ් ඉල්ලා සිටියා. ඒ ප්‍රදේශයේ සිටින බැටළුවන් සාමාන්‍යයෙන් සුදු පාට බවත්, එළුවන් කලු හෝ තද දුඹුරු පාට බවත්, වර්ණ, තිත් හා ලප ඇත්තේ උන්ගෙන් ස්වල්පදෙනෙකුට පමණක් බවත් සඳහන් කර තිබෙනවා. ඉතින් තමාට ලාභයක් ලැබෙනවායයි සිතමින් ඊට කැමැත්තෙන්ම එකඟ වූ ලාබන් යාකොබ් බලාගත්තු රැළවල් සමඟ මිශ්‍ර නොවන ලෙස, යම් සලකුණු තිබූ ඔහුගේ සත්වයන්ව වහාම එතැනින් ඉවත් කළා. පුරාණයේ සිටි එඬේරුන්ට අලුත උපන් පැටවුන් සියදෙනෙකුගෙන් පැටවුන් විසිදෙනෙක් කුලිය වශයෙන් අනිවාර්යයෙන් ගෙවනු ලැබුවා. එතරම් ලාභයක්වත් මෙම ගනුදෙනුවෙන් යාකොබ්ට නොලැබෙන බව ලාබන් සිතන්නට ඇති. නමුත් ලාබන් සිතූ දේ වැරදියි. මන්දයත් යාකොබ් සමඟ යෙහෝවා සිටියා.—උත්පත්ති 30:25-36.

දිව්‍ය මඟ පෙන්වීම යටතේ අවශ්‍ය කරන පාට තිබූ හොඳ තර සත්තු බෝ කරගැනීමට යාකොබ්ට හැකි වුණා. (උත්පත්ති 30:37-42) සත්තු බෝ කිරීම ගැන ඔහුට නිවැරදි දැනුමක් තිබුණේ නැහැ. කෙසේවෙතත්, “විද්‍යානුකූලව පැහැදිලි කරනවා නම්, ලප ඇති පැටවුන් බිහි කිරීම සඳහා යටපත් වන (නිලීන) ජාන සතු තනි පාට සත්වයන් අතර සාර්ථක බෝ කිරීමක් සිදු කිරීමෙන් අවශ්‍ය කරන ප්‍රතිඵල ලබාගත හැකි අතර, එවන් ජාන ඇති සතුන්ව හඳුනාගත හැකි වන්නේ ඉතා හොඳින් වර්ධනය වීමට උන්ට තිබෙන හැකියාවෙනි. එම හැකියාව දෙමුහුන් දිරිය යනුවෙන් හැඳින්වේ” යයි විශාරද නේහම් සාර්නා පැහැදිලි කරයි.

ලැබූ ප්‍රතිඵල දුටු විට තම බෑනාට අයිති රේඛා, තිත්, මිශ්‍ර වර්ණ හෝ ලප ඇති සතුන් පිළිබඳ ගනුදෙනුව වෙනස් කිරීමට ලාබන් උත්සාහ කළා. ඔහු තමාට ලාභයක් සොයමින් සිටියා. නමුත් ලාබන් ගිවිසුම කොහොම වෙනස් කළත්, යෙහෝවා නිතරම යාකොබ්ගේ දියුණුව ගැන වගබලා ගත්තා. එම නිසා ලාබන්ට සිදු වුණේ දත්මිටි කාගෙන සිටීමටයි. තමාගේම දක්ෂතාවෙන් නොව යෙහෝවාගේ උපකාරයෙන් යාකොබ්ට ඉක්මනින්ම මහත් ධන සම්භාරයක්ද, එළු බැටළු රැළවල්ද, සේවකයන්ද ඔටුවන් සහ කොටළුවන්ද එක් රැස් කිරීමට හැකි වුණා. ඔහු පසු කලෙක රාකෙල්ටත් ලෙයාටත් මෙය පැහැදිලි කළා. “ඔබේ පියා මා රවටා මාගේ කුලී දස වරක් වෙනස් කළේය. එහෙත් මට හිංසාවක් කරන්න දෙවි ඔහුට ඉඩ නුදුන්නේය. . . . දෙවි ඔබේ පියාගේ ගවයන් අරගෙන මට දුන්නේය.” තවද ලාබන් කරමින් සිටි සියල්ල තමා දුටු බව යෙහෝවා යාකොබ්ට සහතික කළ අතර ඒ ගැන ඔහු කනස්සලු වීමට අවශ්‍ය නැති බවද දෙවි පැවසුවා. “ඔබේ රටටත් ඔබේ නෑයන් වෙතටත් හැරී යන්න, මම ඔබට යහපත කරන්නෙමි,” යයි දෙවි ඔහුට කීවා.—උත්පත්ති 31:1-13; 32:9.

කපටි ලාබන්ගෙන් අන්තිමට නිදහස් වූ යාකොබ්, තම මව්බිම බලා පිටත් වුණා. අවුරුදු 20ක් ගත වී තිබුණත්, ඔහු තවමත් සිටින්නේ ඒසව්ට භයෙනුයි. ඒසව් පුරුෂයන් හාරසීයක් සමඟ පැමිණෙමින් සිටින බව ඔහුට ආරංචි වූ විට ඔහුගේ භය තවත් වැඩි වුණා. යාකොබ්ට කුමක් කළ හැකි වේද? නිතරම දෙවි කෙරෙහි විශ්වාසය තැබූ ආත්මික පුද්ගලයෙකු වූ ඔහු ඇදහිලිවන්තව ක්‍රියා කළා. යෙහෝවාගේ ත්‍යාගශීලීභාවය ලබන්ට තමා නොවටින තැනැත්තෙක් බව පිළිගනිමින් ඔහු යාච්ඤා කළා. දෙවි දී තිබූ පොරොන්දු හේතුවෙන් තමාවත් තම පවුලේ අයවත් ඒසව්ගේ අතින් ගලවන ලෙසට ඔහු දෙවිගෙන් අයැද සිටියා.—උත්පත්ති 32:2-12.

එවිට බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වුණා. අමුත්තෙක් වශයෙන් පෙනී සිටි දේවදූතයෙක්, රාත්‍රිය පුරා යාකොබ් සමඟ පොරබැද යාකොබ්ගේ කළවා සන්ධියට ගසමින් එය ආබාධිත තත්වයකට පත් කළා. දේවදූතයා තමාට ආශීර්වාද කරන තෙක් යාකොබ් ඔහුව අත්හැරියේ නැහැ. ‘තමාට ආශීර්වාදයක් ඉල්ලමින් ඔහු ඇඬූ’ බව අනාගතවක්තෘ හොෂෙයා පසුව ප්‍රකාශ කළා. (හොෂෙයා 12:2-4, නව අනුවාදය; උත්පත්ති 32:24-29) මීට පෙර දේවදූතයන් පෙනී සිටි අවස්ථාවන් ආබ්‍රහම්ගේ වංශය තුළින් ඉටු වෙන්ට තිබුණාවූ ආබ්‍රහම්ගේ ගිවිසුම හා සම්බන්ධ වූ බව යාකොබ් දැන සිටියා. එම නිසා දැඩි පොරබැදීමක යෙදෙමින් ඔහු තමාට ආශීර්වාදයක් ලබාගත්තා. මේ අවස්ථාවේදී දෙවි යාකොබ්ගේ නම ඊශ්‍රායෙල් යනුවෙන් මාරු කළා. එහි අර්ථය “(නොපසුබටව) දෙවි සමඟ පොරබදන්නා” නැතහොත් “දෙවි පොරබදයි” යන්නයි.

ඔබත් පොරබදන්ට කැමැත්තෙන් සිටිනවාද?

යාකොබ්ට ජයගැනීමට තිබූ තීරණාත්මක අවස්ථා වූයේ දේවදූතයෙකු සමඟ පොරබැදීම හා ඒසව් සමඟ නැවත එකතු වීම පමණක් නොවෙයි. එහෙත් ඔහු කෙබඳු ආකාරයේ පුරුෂයෙක්ද යන්න තේරුම්ගන්න මෙහි සලකා බැලූ සිද්ධීන් ප්‍රමාණවත් වෙයි. ඒසව් තම කුලුඳුල්කම රැකගැනීම සඳහා කුසගින්න ටිකක් දරාගන්න අසමත් වුණා. අනික් අතට යාකොබ් දේවදූතයෙකු සමඟ පොරබැදීමක පවා යෙදෙමින්, තම ජීවිත කාලය පුරාවටම ආශීර්වාද ලබාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරුවා. මේ නිසා දෙවි පොරොන්දු වූ පරිදි, යාකොබ් දිව්‍ය මඟ පෙන්වීම හා රැකවරණය ලබමින් මහත් ජාතියක ආරම්භකයාද මෙසියස්ගේ මුතුන් මිත්තෙකු බවටද පත් වුණා.—මතෙව් 1:2, 16.

සංකේතාත්මකව පොරබැදීමක යෙදෙමින්, යෙහෝවාගේ අනුග්‍රහය ලබන්ට වෙහෙසීමට ඔබ කැමැත්තෙන් සිටිනවාද? අද දින දෙවිගේ කැමැත්ත කරන්න කැමති අයගේ ජීවිත දුෂ්කරතා හා අභියෝගවලින් පිරී තිබෙන නිසා සමහරවිට නිවැරදි තීරණ ගැනීම ඉතාම දුෂ්කර දෙයක් වෙයි. කෙසේවෙතත්, යෙහෝවා අප ඉදිරියේ තබා තිබෙන දීමනාව ගැන අපට තිබෙන බලාපොරොත්තුව කෙසේ හෝ රැකගැනීමට යාකොබ්ගේ කදිම ආදර්ශයෙන් අපට විශාල දිරිගැන්වීමක් ලැබේ.

[පාදසටහන]

^ 9 ඡේ. යාකොබ්ගේ මව් වූ රෙබෙකා එලියේසර්ගේ ඔටුවන්ට වතුර පෙවූ අවස්ථාවට මෙම හමුවීම සමාන වුණා. එසේ කිරීමෙන් පසුව රෙබෙකා නිවසට දුව ගොස් අමුත්තාගේ පැමිණීම ගැන දැනුම් දුන්නා. තම සහෝදරියට තෑගි වශයෙන් ලැබී තිබුණු රන් ආභරණ දුටු ලාබන් එලියේසර්ව පිළිගැනීමට දිව ගියා.—උත්පත්ති 24:28-31, 53.

[31වන පිටුවේ පින්තූර]

යාකොබ් තම ජීවිත කාලය පුරාම ආශීර්වාද ලබාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරුවා