පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
මිනිසාගේ මනස කියවීමට සාතන් වන යක්ෂයාට හැකියාව තිබේද?
අපට ස්ථිර වශයෙන්ම කිව නොහැකි වුවත් පෙනෙන ප්‍රකාරයට සාතන්ටවත් ඔහුගේ භූතයන්ටවත් අපේ සිතුවිලි දැනගැනීමට හැකියාවක් නැත.
සාතන්ව විස්තර කිරීමට දී ඇති නම් ගැන සලකා බලන්න. ඔහුව හඳුන්වා තිබෙන්නේ සාතන් (විරුද්ධකාරයා), යක්ෂයා (අපහාස කරන්නා), සර්පයා (මුළාකරවන්නා හා සමාන පදයක්), වරදට පොලඹවන්නා සහ බොරුකාරයා වශයෙනි. (යෝබ් 1:6; මතෙව් 4:3, NW; යොහන් 8:44; 2 කොරින්ති 11:3; එළිදරව් 12:9) සාතන්ට මනස් කියවීමට හැකියාවක් තිබෙන බව ඔහුව විස්තර කිරීමට භාවිත කර ඇති මෙම නම් එකකින්වත් අඟවන්නේ නැත.
කෙසේ වුවද, ඊට වෙනස්ව යෙහෝවා දෙවිව හඳුන්වා තිබෙන්නේ ‘සිත් සෝදිසි කරන’ තැනැත්තා වශයෙනි. (හිතෝපදේශ 17:3; 1 සාමුවෙල් 16:7; 1 ලේකම් 29:17) “ඔහු [යෙහෝවා] ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. ඔහුගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ ඔහුය” කියා හෙබ්‍රෙව් 4:13හි ප්‍රකාශ කරයි. යෙහෝවා තම පුත් යේසුස්ට සිත් සෝදිසි කිරීමේ හැකියාව දී තිබීම පුදුමයක් නොවේ. නැවත නැඟිටුණාවූ යේසුස් මෙසේ ප්‍රකාශ කළේය. ‘වකුගඩු සහ සිත් සොයා බලන තැනැත්තා මම වෙමි. මම ඔබ එකිනෙකාට ඔබේ ක්‍රියා අනුව දෙන්නෙමි.’—එළිදරව් 2:23, NW.
මිනිසුන්ගේ සිත් හා මනස් සෝදිසි කිරීමට සාතන්ට හැකි බව බයිබලයේ නොපවසයි. ක්‍රිස්තියානීන් ‘[සාතන්ගේ] උපායන් නොදැන සිටිනවා නොවේ’ කියා ප්‍රේරිත පාවුල් අපට සහතික කර තිබීම වැදගත් කාරණයකි. (2 කොරින්ති 2:11) එබැවින් අප කොහෙත්ම නොදන්නා යම් විශිෂ්ට හැකියාවක් සාතන්ට තිබෙන්නේයයි අප බිය විය යුතු නැත.
කෙසේ නමුත්, මින් පවසන්නේ අපගේ විරුද්ධකාරයා වන සාතන්ට අපේ දුර්වලකම් හා අඩු පාඩු අවබෝධ කරගත නොහැකි බව නොවේ. මානව චර්යාව අධ්‍යයනය කිරීමට සාතන්ට සියවස් ගණනාවක් තිබී ඇත. අප හැසිරෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමට, අප යෙදෙන්නේ කවර විනෝදාස්වාදයන්වලද යන්න නිරීක්ෂණය කිරීමට හෝ අප කතා කරන්නේ කවර දේවල් ගැනද යන්න දැනගැනීමට මනස් කියවීමේ හැකියාවක් ඔහුට තිබීම අවශ්‍ය නැත. අපේ මුහුණේ ඉරියව්වෙන්ද, අප හැසිරෙන ආකාරයෙන්ද අපේ සිතුවිලි හෝ හැඟීම් පිළිබඳ යම් ඉඟියක් දීමට හැක.
එහෙත් සාතන් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ ඒදන් උයනේදී ඔහු යොදාගත් උපක්‍රම වන බොරුව, රැවටීම හා අසත්‍ය තොරතුරුමය. (උත්පත්ති 3:1-5) තම මනසේ තිබෙන දේ සාතන්ට දැනගත හැකි වෙයි කියා ක්‍රිස්තියානීන් බිය නොවිය යුතු වුවද, ඔහු තම සිත තුළට කුමන සිතුවිලි දැමීමට උත්සාහ කරයිද යන්න ගැන ඔවුන් සැලකිලිමත් විය යුතුයි. ඔහුට වුවමනා වන්නේ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ‘මනස් දූෂ්‍ය කරගෙන, සත්‍යය අහිමි කරගන්නවා’ දැකීමටය. (1 තිමෝති 6:5, NW) සාතන්ගේ ලෝකය මගින් දූෂිත තොරතුරු හා විනෝදාස්වාදයන් කන්දරාවක් ගොඩ ගසා තිබීම පුදුමයක් නොවේ. මෙම මාරාන්තික ආක්‍රමණයෙන් පහර නොලැබීමට නම් ක්‍රිස්තියානීන් ‘ගැලවීම නමැති ආරක්ෂා තොප්පිය’ පැළඳ තම මනස් ආරක්ෂා කරගත යුතුය. (එෆීස 6:17) ඔවුන් මෙය කරන්නේ බයිබල් සත්යයන්වලින් තම මනස් පුරවාගනිමින් හා සාතන්ගේ ලෝකයේ සිදු වන පහත් ක්‍රියාවලට අනවශ්‍ය ලෙස පැටලීමට නොයෑමෙනි.
සාතන් භයානක සතුරෙකි. එහෙත් අප තුළ ඔහු හෝ ඔහුගේ භූතයන් කෙරෙහි අනිසි බියක් තිබිය යුතු නැත. යාකොබ් 4:7හි [NW] අපට මෙසේ සහතික කරයි. “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.” අප මෙම අවවාදය අනුගමනය කරනවා නම් යේසුස් කියූ ලෙස සාතන්ට අප කෙරෙහි බලයක් නැත කියා පැවසීමට අපට හැකි වනු ඇත.—යොහන් 14:30, NW.