Skip to content

පටුනට යන්න

පිළිතුරු ඇතමුන් ලබාගත් අයුරු

පිළිතුරු ඇතමුන් ලබාගත් අයුරු

පිළිතුරු ඇතමුන් ලබාගත් අයුරු

මිලියන ගණන් ජනයා යාච්ඤා ඉදිරිපත් කරති. සමහරෙකු තරයේ විශ්වාස කරන්නේ තම යාච්ඤාවලට පිළිතුරු ලැබෙන බවය. තවත් අය තම යාච්ඤාවලට ඇත්තටම සවන් දෙනවාද යන්න ගැන සැකයෙන් පසු වෙති. තවත් සමහරුන් පිළිතුරු සෙව්වද, තම ඉල්ලීම් දෙවිට යාච්ඤාවක් තුළින් ඉදිරිපත් කිරීම ගැන කල්පනා කර නැත.

සැබෑ දෙවිව “යාච්ඤා අසන තැනැත්තා” ලෙස බයිබලය හඳුන්වා දෙයි. (ගීතාවලිය 65:2) ඔබ යාච්ඤා කරන කෙනෙක් නම්, ඔබේ යාච්ඤා යොමු වන්නේ සැබෑ දෙවි වෙතටය යන්න ගැන ඔබට ස්ථිරද? ඔබ ඉදිරිපත් කරන යාච්ඤා ඔහු විසින් පිළිතුරු දෙනු ඇති යාච්ඤාද?

පෘථිවියේ දස දෙසින් පැමිණෙන බොහෝදෙනෙකු එම ප්‍රශ්නවලට උත්තර දී ඇත්තේ ඔව් යනුවෙනි! ඔවුන්ට පිළිතුරු ලැබුණේ කෙසේද? ඔවුන් ඉගෙනගත්තේ මොනවාද?

දෙවි—ඔහු කවුද?

පෘතුගාලයේ සිටි ගුරුවරියක අධ්‍යාපනය ලැබුවේ කන්‍යා සොහොයුරියන්ගෙන් හා පූජකයන්ගෙන්ය. ඇය සිය ආගම පිළිපැද්දේ ඉමහත් අවංකකමකිනි. ඇයට කලින් වැදගත්යයි උගන්වා තිබුණු පිළිවෙත් පල්ලිය වෙනස් කරමින් අත්හැරිය විට ඇය ව්‍යාකූලත්වයට පත් වූවාය. විදේශගත වීමේ ප්‍රතිඵලයක් ලෙස පෙරදිග වන්දනා ක්‍රම ගැන ඇය දැනුවත් වූ අතර, එකම සැබෑ දෙවි කෙනෙක් සිටීද යන්න ඇයට ප්‍රශ්නයක් විය. ඇය නමස්කාරයේ යෙදිය යුත්තේ කෙසේද? බයිබලයෙහි සඳහන් දේවල් ගැන ඇය ඇගේ පූජකයාගෙන් විමසූ විට, ඇගේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, ප්‍රතිඵලයක් ලෙස ඇගේ බලාපොරොත්තු සුන් විය.

මෙම ගුරුවරිය විසූ නගරයේ කතෝලික සභාව විසින් පත්‍රිකාවක් බෙදාහරිනු ලැබ තිබිණ. එහි බැතිමතුන්ට අවවාද කර තිබුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ සංවාද පවත්වන්නට එපා කියාය. එනමුත් ඇගේ ප්‍රශ්නවලට ඒ වන විටත් උත්තර ලැබී තිබුණේ නැත. දිනක් සාක්ෂිකාර ස්ත්‍රීන් දෙදෙනෙකු ඇගේ නිවසට පැමිණි විට, ඇය සවන් දුන් අතර, අසන්නට ලැබුණු දේ ඇගේ සිත්ගත්තේය. ඔවුන් සමඟ ඇය කතාබහ කළ මුල්ම අවස්ථාව වූයේ එයයි.

ඇගේ ප්‍රශ්න කන්දරාවට පිළිතුරු ලබාගැනීම සඳහා මෙම ස්ත්‍රිය සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තාය. සෑම සතියකම ඔවුන්ගෙන් ඇසීමට ඇය දීර්ඝ ප්‍රශ්න ලැයිස්තුවක් පිළියෙළ කළාය. දෙවිගේ නාමය කුමක්ද, සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙකු පමණක්ද, නමස්කාරයේදී රූප භාවිතයට ඔහුගේ අනුමැතිය තිබෙනවාද යන කාරණා මෙන්ම තවත් බොහෝ දෑ දැනගන්නට ඇයට වුවමනා විය. ඇයට ලැබුණු සෑම පිළිතුරක්ම පෞද්ගලික මත නොව නමුත් බයිබලය මත පදනම් ඒවා බව ඇය දුටුවාය. එමනිසා ඇය ඉගෙනගත් දේ පිළිගත්තේ පුදුමයෙන් හා ඉමහත් සතුටකිනි. ක්‍රමක්‍රමයෙන් ඇගේ ප්‍රශ්න රාශියට පිළිතුරු ලැබිණ. “සැබෑ නමස්කාර කරන්නන්” සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස් පැවසුවාක් මෙන්, අද දින ඇය යෙහෝවාට ආත්මයෙන් හා සත්‍යතාවෙන් නමස්කාර කරන්නීය.—යොහන් 4:23.

ශ්‍රී ලංකාවේ වෙසෙන පවුලක් නිතිපතා එකට බයිබලය කියෙව්වද, ඔවුන් වැදගත්යයි සැලකූ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු ලැබුණේ නැත. ඔවුන්ට උපකාර අවශ්‍ය වුවද, එම උපකාර ලබා දීමට ඔවුන්ගේ පූජකයා සමත් වූයේ නැත. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකාරියන් දෙදෙනෙක් ඔවුන්ව හමුවීමට පැමිණි අතර, එම පවුලට කියවීම සඳහා උපකාරවත් වූ බයිබල් ප්‍රකාශන තබා ගියෝය. පසුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම පවුලට බයිබලය සම්බන්ධයෙන් පැනනැඟී තිබුණු ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු ලබා දුන් විට, ඔවුහු බයිබල් පාඩමකට එකඟ වූහ. ඔවුන් සිය පාඩම තුළින් ඉගෙනගත් දේ ඔවුන් තුළ ඉමහත් උනන්දුවක් ඇති කිරීමට හේතු විය.

කෙසේවෙතත්, කුඩා කල සිට පල්ලියෙන් ලද ආභාසය නිසා පියාණන් “එකම සැබෑ වූ දෙවි” බව යේසුස් ක්‍රිස්තුස් පැවසූ වදන් පිළිගැනීම බිරිඳට ගැටලුවක් විය. (යොහන් 17:1, 3) ඇයට උගන්වා තිබුණේ යේසුස් හා පියාණන් එක සමාන බවත්, මෙම “අභිරහස” ප්‍රශ්න නොකළ යුතු බවත්ය. කිසිවක් කර කියාගත නොහැකිව මහත් අවංකකමකින් ඇය යෙහෝවාගේ නාමය භාවිත කරමින් ඔහුට යාච්ඤා කර ඉල්ලා සිටියේ යේසුස් කවුද කියා ඇයට පෙන්වා දෙන ලෙසටය. ඊළඟට ඇය අදාළ ශුද්ධ ලියවිලි පද යළිත් පරීක්ෂා කර බැලුවාය. (යොහන් 14:28; 17:21; 1 කොරින්ති 8:5, 6) එවිට ඇගේ ඇස්වල කඩතුරාව ඉවත් වී, ඇයට පැහැදිලිව දැකගත හැකි වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ පිය වූද, අහසේ හා පොළොවේ මැවුම්කරු වූද යෙහෝවා, සැබෑ දෙවි වන බවය.—යෙසායා 42:8; යෙරෙමියා 10:10-12.

දුක් වේදනා පවතින්නේ මන්ද?

යෝබ් නමැති මනුෂ්‍යයා ඉතා දරුණු ලෙස දුක් වේදනා වින්දේය. කුණාටුවකින් ඔහුගේ දරු දැරියන් සියල්ලන්ම මිය ගිය අතර, ඔහු දුගියෙක් බවට පත් වූයේය. මහත් වේදනාවක් ගෙන දෙන රෝගයකින්ද ඔහු පහර ලැබූ අතර, බොරු මිතුරන්ගෙන් එල්ල වූ පීඩන දරාගැනීමටද ඔහුට සිදු විය. මෙම අද්දැකීම් සියල්ල මැද, යෝබ්ගේ මුවින් යම් අපරීක්ෂාකාරී වදන් කිහිපයක් පිට විය. (යෝබ් 6:3) එනමුත් දෙවි ඔහුගේ තත්වය සැලකිල්ලට ගත්තේය. (යෝබ් 35:15) යෝබ්ගේ සිතෙහි නියම තත්වය ඔහු දැන සිටි අතර, යෝබ්ට අවශ්‍ය වූ උපදෙස් සැපයීය. අද දිනත් ඔහු ජනයාහට එවැනිම දෙයක් කරයි.

මොසැම්බික් රටේ වෙසෙන කාස්තෲගේ අම්මා මිය යන විට ඔහු අවුරුදු දහයක් වයසැති ළාබාලයෙකි. ඔහුට දැනුණු ශෝකය දරාගත නොහැකි තරම්ය. “අම්මා මැරුණේ ඇයි? අපිව අත්හැරල ගියේ ඇයි” යන්න ඔහුට ප්‍රශ්නයක් විය. දේවභයැති දෙමාපියන් ඔහුව ඇති දැඩි කර තිබුණත්, එම අවස්ථාවේදී ඔහු සිටියේ ඉමහත් වියවුල්සහගත තත්වයකයි. ඔහුගේ මනසට හා හදවතට යම් අස්වැසිල්ලක් ලබාගත හැක්කේ කොහෙන්ද? චිචේවා භාෂාවෙන් තිබුණු කුඩා බයිබලයක් කියවා එහි අදහස් ඔහුගේ අයියලා සමඟ සාකච්ඡා කිරීමෙන් ඔහුට සැනසීම ලැබුණේය.

කාස්තෲ ක්‍රමානුකූලව වටහාගත්තේ ඔහුගේ අම්මා මිය ගියේ දෙවි අතින් සිදු වූ යම් අයුක්තියක් නිසා නොව නමුත් උරුම කරගත් අසම්පූර්ණකම නිසා බවයි. (රෝම 5:12; 6:23) ඔහුට වැඩිම සැනසීමක් ලැබුණේ බයිබලයේ සඳහන් නැවත-නැඟිටීමේ බලාපොරොත්තුවෙනි. මන්ද තම මව ආපසු දැකබලා ගැනීමේ නිසැක විශ්වාසයට පදනම ඉන් සැපයූ බැවිනි. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) කනගාටුවට කරුණක් නම්, අවුරුදු සතරක් තරම් කෙටි කලකට පසු ඔහුගේ පියාද මිය යෑමයි. එනමුත් එම අවස්ථාවේ එම වියෝව දරාගැනීමට කාස්තෲ වඩාත් හොඳ මානසිකත්වයකින් සිටියේය. අද දින, යෙහෝවාට ප්‍රේම කරන ඔහු, තම ජීවිතය දෙවිගේ සේවය සඳහා පක්ෂපාතව යොදවයි. දැන් ඔහු ප්‍රීතියෙන් සිටින බව ඔහුව හඳුනන කොයි කාටත් පැහැදිලිව පෙනේ.

ප්‍රේමණීයයන් නැති වී ඇති බොහෝදෙනෙකු සැනසිල්ල ලබාගන්නේ කාස්තෲට සැනසිල්ලක් ගෙන දුන් බයිබල් සත්‍යතා මාර්ගයෙනි. දුෂ්ට මිනිසුන්ගේ ක්‍රියා නිසා ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන ඇතැම් අය යෝබ් මෙන් මෙසේ අසති. ‘දුෂ්ටයන් ජීවත් වන්නේ මන්ද?’ (යෝබ් 21:7) පිළිතුරු වශයෙන් දෙවි තම වචනය මාර්ගයෙන් පවසන දේට ජනතාව සැබවින්ම සවන් දෙන විට, දෙවි කාරණා හසුරුවන ආකාරය ඇත්තටම ඔවුන්ගේ යහපතට හේතුවක් වන බව ඔවුහු ඉගෙනගනිති.—2 පේතෘස් 3:9.

එක්සත් ජනපදයේ ඇති දැඩි වූ බාබරා යුද්ධයේ භීෂණය පෞද්ගලිකව අද්දුටු කෙනෙක් නම් නොවීය. එනමුත්, ඇය ඇති දැඩි වූ ලෝකය නිතරම පැවතියේ සටන් මැදය. දිනපතා පුවත්වල යුද්ධවලදී සිදු වූ බිහිසුණු දේවල් වාර්තා විය. පාසැලේදී ඇය කළ පාඩම්වලදී, ඉතිහාසයේ සිද්ධීන් නොසිතන ආකාරයකින් දිගහැරුණු ආකාරය ඇයව ව්‍යාකූල කළේය. මෙයට හේතු වූයේ කුමක්ද? සිදු වන දේ ගැන දෙවිට යම් තැකීමක් තිබෙනවාද? දෙවි කෙනෙකු සිටින බව ඇය විශ්වාස කළත්, ඔහු ගැන පැවති ඇගේ හැඟීම් අවුල් ජාලයක් විය.

කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය සම්බන්ධයෙන් බාබරාට තිබුණු බලාපොරොත්තු ක්‍රමානුකූලව වෙනස් වූයේය. ඇය ඔවුන්ට සවන් දී ඔවුන් සමඟ බයිබලය පාඩම් කළාය. ඇය රාජ්‍ය ශාලාවක රැස්වීම්වලටද ගියාය. ඔවුන්ගේ විශාල සමුළුවකට යන්නට පවා ඇයට අවස්ථාව ලැබිණ. එපමණක්ද නොව, ඇය ප්‍රශ්න ඇසූ විට, විවිධ සාක්ෂිකරුවන්ගෙන් විවිධ උත්තර ඇයට ලැබුණේ නැති බවද ඇය සැලකිල්ලට ගත්තාය. ඔව්, සාක්ෂිකරුවෝ එකම දේ කතා කළෝය. එසේ වූයේ ඔවුන්ගේ අදහස් බයිබලය මත පදනම් වූ නිසාය.

සාක්ෂිකරුවෝ බයිබලයෙන් ලබාගත් සාක්ෂි උපයෝගි කරගනිමින් ලෝකය එහි පාලකයා වන සාතන් නමැති යක්ෂයාගේ බලපෑමට හසු වී ඇති බවත්, ඔහුගේ ආත්මය හෝ ස්වභාවය පිළිබිඹු කරන බවත් පෙන්නුම් කළෝය. (යොහන් 14:30; 2 කොරින්ති 4:4; එපීස 2:1-3; 1 යොහන් 5:19) බාබරාව ව්‍යාකූල කළාවූ සිද්ධීන් බයිබලයෙහි පුරෝකථනය කර තිබූ බව ඔවුහු පැහැදිලි කර දුන්නෝය. (දානියෙල් 2, 7 සහ 8වන පරිච්ඡේද) දෙවිට තමාගේ කැමැත්තට අනුකූලව අනාගතයේ සිදු වන දේවල් දැකගැනීමට හැකියාවක් තිබෙන නිසා, එම සිද්ධීන් ඔහු විසින් පුරෝකථනය කර තිබිණ. එම සිද්ධීන්ගෙන් සමහරක් දෙවි විසින් සිදු කරන ලද ඒවා විය. තවත් ඒවාට ඔහු ඉඩ දී තිබුණේය. බයිබලය අපගේ කාලයේදී සිදු වන යහපත් මෙන්ම නපුරු දේවල් ගැන පුරෝකථනය කරන බවත්, ඒවායෙන් අර්ථවත් වන දේ පැහැදිලි කරන බවත් සාක්ෂිකරුවෝ බාබරාට පෙන්වා දුන්නෝය. (මතෙව් 24:3-14) ධර්මිෂ්ඨකම පවතිනු ඇති හා දුක් වේදනා පහව යනු ඇති අලුත් පොළොවක් පිළිබඳ බයිබලයේ පොරොන්දුද ඔවුහු ඇයට පෙන්වා දුන්නෝය.—2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.

මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කිව යුත්තේ යෙහෝවා දෙවි නොවේ කියා බාබරා තේරුම්ගත්තාය. තවද ජනයා දෙවිගේ ආඥා නොසලකා හරින්නට තීරණය කරන විට, ඔහුගේ ආඥාවලට කීකරු වන්නට කියා ඔවුන්ට බල කරමින් දුක් වේදනා වළක්වන්නට ඔහු කටයුතු නොකරන බවද ඇය කෙමෙන් කෙමෙන් වටහාගැනීමට පටන්ගත්තාය. (ද්විතීය කථාව 30:19, 20) අපට සදහටම සන්තෝෂයෙන් ජීවත් වන්නට දෙවි විසින් විධිවිධාන යොදවා තිබුණත්, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වන්නට අප සමත්ද කියා නිරූපණය කර පෙන්වීමට ඔහු ප්‍රස්තාවක් ලබා දෙමින් සිටියි. (එළිදරව් 14:6, 7) දෙවි බලාපොරොත්තු වන දේ ඉගෙනගෙන, ඒවාට එකඟව ජීවත් වන්නට බාබරා සිතින් අදිටන් කරගත්තාය. තවද යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගැනීමේදී දැකගත හැකි ආකාරයේ ප්‍රේමයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන බවද දැකීමට ඇයට හැකි විය.—යොහන් 13:34, 35.

ඇයට උපකාරවත් වූ දේවලින් ප්‍රයෝජන ගැනීමට ඔබටද පුළුවන.

අර්ථවත් ජීවිතයක්

සාර්ථක ජීවිතයක් ගත කරනවාක් මෙන් පෙනෙන අය පවා ව්‍යාකූල කරවන ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටිනවා ඇති. නිදසුනකට, බ්‍රිතාන්‍යයේ වෙසෙන තරුණයෙක් වන මැතිව් සෑහෙන කාලෙක සිට සැබෑ දෙවි හා ජීවිතයේ අරමුණ සොයන්නට දැඩි ආශාවකින් පසු වූයේය. ඔහුගේ පියා මිය ගියේ මැතිව්ට වයස අවුරුදු 17ක් වෙද්දීය. අනතුරුව, මැතිව් සංගීතය හදාරමින් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබුවේය. ඉන් අනතුරුව ඔහු ලැබූ අද්දැකීම්වලින් තව තවත් ඔහුට අවබෝධ වූයේ තම ද්‍රව්‍යවාදී ජීවන රටාව කොතරම් නිෂ්ඵල එකක්ද යන්නයි. සිය නිවසින් පිට වී ලන්ඩන් නුවර ජීවත් වන්නට ගිය ඔහු එහිදී මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ පුරුද්දට හසු විය. ඒත් සමඟම සමාජ ශාලාවල විනෝද වන්නටත්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, භූතවාදය සහ සෙන් බුදුදහම හා වෙනත් දර්ශන හදාරන්නටත් ඔහු නැඹුරු වූයේය. මේ සියල්ලකම ඔහු නිරත වූයේ සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් සෙවීමට දැරූ උත්සාහයක් ලෙසිනි. කිසිවක් කර කියා ගත නොහැකිව ඔහු දෙවිට මොරගසා කීවේ තමාට සත්‍යය සොයන්නට උපකාර කරන ලෙසය.

දින දෙකකට පසු මැතිව් පැරණි මිතුරෙකු හමු වී තමා සිටින අසරණ තත්වය පහදා දුන්නේය. මෙම මිතුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කර තිබූ අයෙකි. ඔහු මැතිව්ට 2 තිමෝති 3:1-5 පෙන්නූ විට, බයිබලය අප අවට ලෝකය කොතරම් නිවැරදිව විස්තර කරනවාද යන්න ගැන දැක ඔහු පුදුමයට පත් වූයේය. කන්ද උඩ දේශනාව කියෙවූ විට, එහි අදහස් ඔහුගේ සිතට තදින්ම කාවැදුණේය. (මතෙව් 5-7 පරිච්ඡේද) මුලදී ඔහුට යම් සැකයක් තිබුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව විවේචනය කළ තොරතුරු කිහිපයක් කියවා තිබුණු නිසාය. එනමුත්, අන්තිමේදී ළඟපාතක පිහිටි රාජ්‍ය ශාලාවක රැස්වීම්වලට යන්නට ඔහු තීරණය කළේය.

තමා සවන් දුන් දෙයින් ලොකු සතුටක් ලැබූ මැතිව්, සභාවේ වැඩිමහල්ලෙකු සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තේය. වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු තේරුම්ගත්තේ තමා ඉගෙනගනිමින් සිටි දේ තමා සොයමින් සිටි දේ වූ බවයි. එනම් එය තමන් කලින් දෙවිට කළ යාච්ඤාවට පිළිතුර වූ බවයි. යෙහෝවා අප්‍රසන්න කරන පුරුදු අත්හැරිය විට ඔහු නොයෙකුත් ප්‍රයෝජනද අද්දිටීය. තවද දෙවි කෙරෙහි හිතකර බියක් ඔහු තුළ වර්ධනය වීමත් සමඟ, දෙවිගේ ආඥාවලට එකඟව තම ජීවිතය හැඩගැස්වීමට ඔහු මුළු සිතින්ම පෙලඹුණේය. එවැනි ජීවිතයක් සැබවින්ම අර්ථවත් එකක් වන බව මැතිව්ට අවබෝධ විය.—දේශනාකාරයා 12:13.

මැතිව් හෝ මෙම ලිපියේ සඳහන් අනික් අය සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් සොයයි යන්න දෛවය මගින් කලින්ම නියම වූ දෙයක් නොවීය. කෙසේවෙතත්, සිය ආඥාවලට කීකරු වන්නට සතුටින් තෝරාගන්නා සියලුදෙනාටම අදාළ වන ප්‍රේමණීය අරමුණක් යෙහෝවා දෙවිට තිබෙන බව ඔවුන්ට අවබෝධ විය. (ක්‍රියා 10:34, 35) යුද්ධයෙන් තොර, රෝගවල හා කුසගින්නේ ග්‍රහණයෙන් සහ මරණයේ ග්‍රහණයෙන් පවා නිදහස් වූ ලෝකයක සදාකාලික ජීවනය භුක්ති විඳීම මෙම අරමුණට ඇතුළත්ය. (යෙසායා 2:4; 25:6-8; 33:24; යොහන් 3:16) එවන් දෙයක් භුක්ති විඳීම ඔබේ ආශාවද? එය ඔබේ කැමැත්ත නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල බයිබලය මත පදනම්ව පවත්වන රැස්වීම්වලට යෑමෙන් සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයකට රහස ගැන වැඩිමනත් තොරතුරු ඔබට දැනගත හැකි වේ. එසේ කිරීමට ඔබට උණුසුම්ව ආරාධනා කෙරේ.

[7වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පෞද්ගලික නාමය භාවිත කරමින් ඔහුට උනන්දුවෙන් යාච්ඤා කරන්න

[7වන පිටුවේ පින්තූරය]

බයිබලයෙහි අන්තර්ගත දේවලට සැබවින්ම එකඟ වූ තොරතුරු උගන්වන අය සමඟ පාඩම් කරන්න

[7වන පිටුවේ පින්තූර]

රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යන්න

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Hiker: Chad Ehlers/Index Stock Photography