Skip to content

පටුනට යන්න

ඔබ කැමති දෙවිගෙන් කුමක් අසන්නද?

ඔබ කැමති දෙවිගෙන් කුමක් අසන්නද?

ඔබ කැමති දෙවිගෙන් කුමක් අසන්නද?

දස දෙසම පැතිරී සිටින ජනතාව ජීවිතය හා බැඳි බැරෑරුම් ප්‍රශ්න ගැන කල්පනා කරති. ඔබටත් එවැනි ප්‍රශ්න මතු වී තිබේද? බොහෝදෙනෙකු තම ප්‍රශ්න ආගමික උපදේශකයන්ට ඉදිරිපත් කර තිබුණද, සෑහීම ගෙන දෙන පිළිතුරු ඔවුන්ට ලැබී නැත. තවත් සමහරු මෙම ප්‍රශ්න ගැන පෞද්ගලිකව කල්පනා කරති. ඇතමුන් මඟ පෙන්වීම සඳහා යාච්ඤා කර ඇත. මෙසේ ඔබව ව්‍යාකූල කරවන යම් කාරණා පිළිබඳව දෙවිගෙන් ඇත්තටම පිළිතුරු ලබාගත හැකිද? බොහෝදෙනෙකු තමන් දෙවිගෙන් අසන්නට කැමතියයි කියන ප්‍රශ්න අතුරින් කිහිපයක් මතු දැක්වේ.

දෙවියනි, ඔබ ඇත්තටම කවුද?

මිනිසුන් සාමාන්‍යයෙන් දෙවිව සලකන ආකාරය හැඩගැසෙන්නේ ඔවුන්ගේ සංස්කෘතියට අනුවයි. එසේ නැතහොත් ඔවුන්ගේ දෙමාපියන්ගේ ආගම සහ සමහරවිට ඔවුන් පෞද්ගලිකව කරන තේරීමද බලපායි. ඇතැම්හු දේවත්වයේලා සලකන තැනැත්තාට නමක් දෙති. තවත් සමහරු නිකම්ම ඔහුට දෙවියන් කියා ආමන්ත්‍රණය කරති. මෙම කාරණය ඇත්තටම වැදගත්ද? තමා ගැනත් තම නාමය ගැනත් අපට තොරතුරු එළිදරව් කරන එකම සැබෑ දෙවි කෙනෙක් සිටීද?

මෙතරම් දුක් වේදනා පවතින්නේ මන්ද?

පුද්ගලයෙකු ගත කළ අපරීක්ෂාකාරී හෝ අනාචාරමය ජීවිතය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍යය දුර්වල වී ඇත්නම්, නැතහොත් ඒ හේතුවෙන් ඔහු දුගියෙකු වී ඇත්නම්, තමාට සිදු වී ඇති දේ ගැන ඔහු මැසිවිලි නඟනවා විය හැකිය. එනමුත්, තමා එලෙස දුක් විඳීමට හේතුව ඔහු හොඳටම දන්නවාද විය හැකිය.

කෙසේවෙතත්, තවත් සමහරු කිසිම වරදක් නොකළද දුක් ගාවිනාවලින් මහත් සේ මිරිකී සිටිති. සමහරුන්ට නිදන්ගත රෝග ඇත. තවත් සමහරුන් තම හිසට වහලක් ලබන්නටත්, තම පවුලේ අයගේ කුසගිනි නිවාලීමටත් කරන්නේ දැවැන්ත සටනකි. මිලියන සංඛ්‍යාතයක් අපරාධ, යුද්ධ, හිටිහැටියේම උද්ගත වන ප්‍රචණ්ඩකාරී ක්‍රියා, ස්වාභාවික විපත් හෝ බලධාරීන් අතින් අයුක්තිය විඳීම වැනි දේවලට ගොදුරු වී සිටිති.

එසේනම්, ‘එවැනි දේවල් මෙතරම් පුළුල්ව පැතිර පවතින්නේ මන්ද? මෙවැනි දුක් වේදනාවලට දෙවි ඉඩ දෙන්නේ ඇයි?’ යන ප්‍රශ්න බොහෝදෙනෙකු අසන්නේ මන්දැයි තේරුම්ගත හැකිය.

මා ජීවත්ව සිටින්නේ කුමටද? ජීවිතයේ අරමුණ කුමක්ද?

මෙවැනි ප්‍රශ්න බොහෝදුරට ඉස්මතු වන්නේ තම දෛනික ජීවිතය තුළින් සැබෑ තෘප්තියක් අද්දකින්නට අපොහොසත් වන පුද්ගලයෙකු තුළ හටගන්නා බලාපොරොත්තු සුන්බවිනි. බොහෝදෙනෙකු සම්බන්ධයෙන් මෙවැන්නක් සැබෑ වේ. තවත් මිලියන ගණනක් විශ්වාස කරන්නේ සෑම පුද්ගලයෙකුගේම ජීවිත ගමන දෙවියන් විසින් කලින්ම නියම කර ඇති බවයි. එම අදහසේ සැබෑවක් තිබේද? ඔබ වෙනුවෙන් යම් විශේෂ දෙයක් දෙවි අරමුණු කර ඇත්නම් එය කුමක්දැයි දැනගැනීමට ඔබ කැමති වනවාට සැකයක් නැත.

මෙලොවෙහි පළ වී ඇති සියලුම පොත් අතුරින්, දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද්දක් බව පැහැදිලිව පෙන්නුම් කරන එක පොතක් තිබේ. මෙම පොත එදා මෙදා තුර ලියා තිබෙන වෙනත් කිසිදු පොතකට වඩා වැඩි භාෂා ගණනාවකින් ලබාගත හැකිය. ඇත්තෙන්ම මිනිස්වර්ගයා සඳහා සැබවින්ම දෙවිගෙන් ලද පණිවිඩයක් සම්බන්ධයෙන් ඔබ එවන් දෙයක් අපේක්ෂා කරන බවට කිසිදු සැකයක් නැත. ඒ පොත වනාහි ශුද්ධ බයිබලය වේ. එහි පිටු තුළ අහසේ හා පොළොවේ මැවුම්කරු එනම් දෙවි, තමා කවුද යන්නත් තම නාමය කුමක්ද යන්නත් එළිදරව් කරයි. එම නාමය කුමක්ද කියා ඔබ දන්නවාද? දෙවි කෙබඳු ආකාරයේ පුද්ගලයෙකුද යන්න ගැන බයිබලයෙහි පවසන දේ ඔබ දන්නවාද? එමෙන්ම ඔබ දන්නවාද දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ ගැන එහි සඳහන් වන්නේ කුමක්ද කියා?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Chad Ehlers/Index Stock Photography

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Mountain: Chad Ehlers/Index Stock Photography