Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, යෙහෝවා ඔබේ වැඩ අමතක කරන්නේ නැහැ!

යෞවනයෙනි, යෙහෝවා ඔබේ වැඩ අමතක කරන්නේ නැහැ!

යෞවනයෙනි, යෙහෝවා ඔබේ වැඩ අමතක කරන්නේ නැහැ!

“ඔබේ වැඩද ඔබ ශුද්ධ තැනැත්තන්ට කළ සහ කරමින් සිටින උපස්ථානයෙන් ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10, NW.

1. යෙහෝවා ඔබේ සේවය අගය කරන බවට හෙබ්‍රෙව් හා මලාකී පොත්වලින් පෙන්නුම් කරන්නේ කෙලෙසද?

ඔබ කවදා හරි මිත්‍රයෙකු වෙනුවෙන් කළ කාරුණික දෙයකට කිසිම ස්තුතියක් නොලැබූ අවස්ථාවක් අද්දැක තිබෙනවාද? ත්‍යාගශීලීව කරන දෙයක් වෙනත් කෙනෙකු සුළු කොට තකනවා නම්, එසේ නැතහොත් එය සම්පූර්ණයෙන්ම අමතක කර දමනවා නම්, ඉමහත් වේදනාවක් දැනෙන්න පුළුවන්. හැබැයි, අප යෙහෝවාට මුළු ආත්මයෙන්ම සේවය පිරිනමද්දී, අප අද්දකින දෙය ඊට වඩා කොච්චර වෙනස්ද! බයිබලයෙහි පවසන්නේ මෙලෙසයි. “ඔබේ වැඩද ඔබ ශුද්ධ තැනැත්තන්ට කළ සහ කරමින් සිටින උපස්ථානයෙන් ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ නැත.” (හෙබ්‍රෙව් 6:10) එයින් අදහස් කරන්නේ මොනවාදැයි සිතා බලන්න. ඔබ මෙතෙක් යෙහෝවාගේ සේවය තුළ කර ඇති දේ හා කරමින් සිටින දේ අමතක කර දැමීම යෙහෝවා සලකන්නේ ඔහු අතින් සිදු වන අධර්මිෂ්ඨ ක්‍රියාවක් නැතහොත් පාපයක් ලෙසයි. මොන තරම් කෘතඥපූර්වක දෙවි කෙනෙක්ද!—මලාකී 3:10.

2. යෙහෝවාට සේවය කිරීමට ලැබී ඇති ප්‍රස්තාව ඇත්තටම සුවිශේෂ යමක් වන්නේ කුමක් නිසාද?

2 කෘතඥතාවෙන් පිරි මෙම දෙවිට නමස්කාර කරන්නත්, ඔහුට සේවය කරන්නත් ඔබට තිබෙන්නේ සුවිශේෂ ප්‍රස්තාවක්. ලොව වටා සිටින බිලියන හයක පමණ ජනගහනය හා සසඳද්දී, සෙසු ඇදහිලිවන්තයන්ව සිටින්නේ මිලියන හයක් පමණ වන නිසා, ඇත්තෙන්ම ඔබට ලැබී තිබෙන මෙම වරප්‍රසාදය හරිම විරල එකක්. එපමණක්ද නොව, ඔබ ශුභාරංචියේ පණිවිඩයට සවන් දී ඊට ප්‍රතිචාරය දක්වමින් සිටින බවට වූ කාරණයෙන් පැහැදිලි වන්නේ යෙහෝවා ඔබ කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වන බවයි. යේසුස් පැවසුවේ, “මාව එවූ පියාණන් තමා වෙත ඇදගන්නා කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක” කියායි. (යොහන් 6:44, NW) ඔව්, ක්‍රිස්තුස්ගේ පූජාවෙන් ප්‍රයෝජන නෙළාගැනීමට යෙහෝවා පුද්ගලයන්ට පෞද්ගලික මට්ටමින් උපකාර කරනවා.

ඔබ සතු සුවිශේෂ වූ වරප්‍රසාදය වෙනුවෙන් කෘතඥ වීම

3. යෙහෝවාට සේවය කිරීමේ වරප්‍රසාදය සඳහා තමන් තුළ ඇති කෘතඥතාව කෝරාගේ පුතුන් පළ කළේ කෙසේද?

3 පසුගිය ලිපියේ සාකච්ඡා කළ ආකාරයට යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කිරීමට ඔබට තිබෙන්නේ අද්විතීය ප්‍රස්තාවක්. (හිතෝපදේශ 27:11) මෙය ඔබ කිසිම විටෙක සුළු කොට නොතැකිය යුතු දෙයක්. යෙහෝවාට සේවය කිරීමේ තම වරප්‍රසාදය සඳහා තමන් තුළ ඇති වූ කෘතඥතාව කෝරාගේ පුතුන් දේවානුභාවයෙන් ලියූ ගීතිකාවකින් පළ කළා. අපට කියවන්නට තිබෙන්නේ මෙලෙසයි. “ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවිගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.”—ගීතාවලිය 84:10.

4. (අ) යෙහෝවාට නමස්කාර කිරීම නිසා තමන්ගේ නිදහස සීමා වෙනවායයි සමහරුන් සිතීමට හේතු විය හැක්කේ කුමක්ද? (ආ) යෙහෝවා තම සේවකයන්ව සැලකීමටත්, ඔවුන්ට විපාක දීමටත් උත්සුක වන කෙනෙක් බව පෙන්නුම් කරන්නේ කවර ආකාරයකින්ද?

4 ඔබේ ස්වර්ගික පියාණන්හට සේවය කිරීම සඳහා ලැබී ඇති වරප්‍රසාදය ගැන ඔබට හැඟෙන්නේ එලෙසද? ඇතැම් අවස්ථාවලදී යෙහෝවාට නමස්කාර කිරීම නිසා ඔබේ නිදහස සීමා වී ඇතැයි සිතෙන්නට පුළුවන්. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීම සඳහා යම් දුරකට ආත්ම-පරිත්‍යාගශීලී වෙන්න ඕනෑ බව නම් ඇත්තයි. කොහොම නමුත්, යෙහෝවා ඔබෙන් ඉල්ලා සිටින සෑම දෙයක්ම අන්තිමේදී හේතු වන්නේ ඔබේ යහපතටයි. (ගීතාවලිය 1:1-3) මීට අමතරව, යෙහෝවා ඔබ දරන වෑයම දකින අතර, ඔබේ විශ්වාසවන්තකම වෙනුවෙන් තමන් තුළ ඇති වන කෘතඥතාව පළ කරනවා. ඇත්තෙන්ම යෙහෝවා ‘ඕනෑකමින් ඔහුව සොයන අයට විපාක දෙන්නෙකු’ බව පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 11:6, NW) මෙසේ කිරීමට යෙහෝවා යම් යම් ප්‍රස්තා සොයමිනුයි ඉන්නේ. පුරාණ ඊශ්‍රායෙල්හි සිටි ධර්මිෂ්ඨ අනාගතවක්තෘ කෙනෙක් මෙසේ පැවසුවා. “යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය.”—2 ලේකම් 16:9.

5. (අ) යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිතක් ඇති බව ඔබට පෙන්නුම් කළ හැකි හොඳම විදිහක් නම් කරන්න. (ආ) ඔබේ ඇදහිල්ල ගැන අන් අයට කතා කිරීම අමාරු යමක් සේ පෙනී යා හැක්කේ මන්ද?

5 යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිතක් ඇති බව පෙන්නුම් කළ හැකි හොඳම විදිහක් තමයි ඔහු ගැන අන් අයට කතා කිරීම. ඔබේ පාසැලේ මිතුරන් කිහිපදෙනෙකුට ඔබේ ඇදහිල්ල ගැන කතා කරන්නට ඔබට කවදා හරි අවස්ථාවක් උදා වී තිබෙනවාද? මුලින්ම ඒ ගැන සිතද්දී ඒක ලොකු අභියෝගයක් සේ පෙනී යා හැකි නිසා යම් බියක් සැකක් දැනෙන්න පුළුවන්. ඔබ තුළ මෙවැනි ප්‍රශ්න හටගත හැකියි. ‘ඒ අය මට හිනහා වුණොත්? මගේ ආගම අමුතුම ආගමක් කියලා ඔවුන්ට හිතුණොත්?’ හැම කෙනෙකුම රාජ්‍ය පණිවිඩයට සවන් නොදෙන බව යේසුස් පිළිගත්තා. (යොහන් 15:20) හැබැයි, මින් අදහස් වන්නේ නැහැ, ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඔබව නින්දාවට පත් වන බව හෝ ඔබව ප්‍රතික්ෂේප කිරීම්වලට ලක් වන බව. ඇත්තෙන්ම, සමහරුන් තමන්ට සවන් දෙන බවත් තම විශ්වාසයන්ට ඇලී සිටීම හේතුවෙන් තමන්ගේ මිතුරන් තමන්ට වැඩියෙන් ගෞරව කිරීමට පවා නැඹුරු වන බවත් බොහෝ සාක්ෂිකාර තරුණයන්ට පෙනී ගොස් තිබෙනවා.

“යෙහෝවා ඔයාට උපකාර කරයි”

6, 7. (අ) අවුරුදු 17ක් වයසැති එක් තරුණියකට ඇගේ පාසැලේ මිතුරියන්ට සාක්ෂි දරන්නට හැකි වූයේ කෙසේද? (ආ) ජෙනිෆර්ගේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

6 එහෙත් ඔබේ ඇදහිල්ල ගැන එඩිතරව කතා කරන්න ධෛර්යය උපදවාගත හැක්කේ කොහොමද? ඔබේ ආගම ගැන කවුරු හරි යමක් අසන විට, අවංකව හා ඍජුව පිළිතුරු දීමට කල් තියාම තීරණය නොකරන්නේ මන්ද? අවුරුදු 17ක් වයසැති ජෙනිෆර්ගේ අද්දැකීම සලකා බලන්න. ඇය මෙසේ පවසයි. “මම පාසැලේ කෑම කනකොට, මගේ මේසයේ වාඩි වෙලා හිටපු ගැහැනු ළමයි කතා කර කර හිටියේ ආගම නමැති විෂයයි. එතකොට එක් කෙනෙක් මගෙන් ඇහුවා මම මොන ආගමේද කියලා.” පිළිතුරු දෙන එක ගැන ජෙනිෆර්ට බියක් දැනුණාද? “ඔව් මට බියක් දැනුණා. ඒ අය කොහොම ප්‍රතික්‍රියා කරයිද කියලා මම දැනගෙන සිටියේ නැහැනේ” කියා ඇය පිළිගනියි. ඉතින්, ජෙනිෆර් මොකක්ද කළේ? “මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා ඒ ගැහැනු ළමයින්ට කිව්වා. මුලින්ම ඔවුන්ට පුදුමයක් දැනුණා වගේ තේරුණා. මං හිතන හැටියට ඔවුන් හිතුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන්නේ අමුතුම කට්ටියක් කියලා. ඒ හින්දා ඒගොල්ලන් මගෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්තා. මේකෙන් මට පුළුවන් වුණා ඔවුන්ට තිබුණු සමහරක් වැරදි වැටහීම් නිවැරදි කරන්න. ඒ දවසෙන් පස්සෙත්, කලින් කලට සමහරක් ගැහැනු ළමයි ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් දෙකක් අහනවා.”

7 තමා විශ්වාස කරන දේ ගැන එඩිතරව කතා කරන්නට ලැබුණු ඒ ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගත් නිසා ජෙනිෆර්ට යම් කනගාටුවක් දැනුණාද? නැහැ, කොහොමටවත් නැහැ! “කෑම කන වේලාව ඉවර වුණහම, මට ලොකු සතුටක් දැනුණා” කියලා ඇය පවසනවා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇත්තටම මොන වගේ කට්ටියක්ද කියන එක ගැන දැන් ඒ ගැහැනු ළමයින්ට වඩාත් පැහැදිලි අදහසක් තියෙනවා.” ජෙනිෆර්ට දෙන්න තියෙන්නේ ඉතාමත් සරල උපදෙසක්. “පාසැලේ මිතුරන්ට හෝ ගුරුවරුන්ට සාක්ෂි දරන්න ඔයාට අමාරුයි කියලා හිතෙනවා නම්, ඉක්මනින් කෙටි යාච්ඤාවක් කියන්න. යෙහෝවා ඔයාට උපකාර කරයි. සාක්ෂි දරන්න ඔයාට ලැබුණු ප්‍රස්තාව හොඳින් පාවිච්චි කරපු එක ගැන ඔයාට ලොකු සතුටක් දැනේවි.”—1 පේතෘස් 3:15.

8. (අ) නෙහෙමියා අනපේක්ෂිත තත්වයකට මුහුණ දුන් විට යාච්ඤාව ඔහුට උපකාරවත් වූයේ කෙසේද? (ආ) යෙහෝවාට නිශ්ශබ්දව කෙටි යාච්ඤාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය විය හැකි පාසැලේදී ඉස්මතු විය හැකි ඇතැම් තත්වයන් මොනවාද?

8 ඔබේ ඇදහිල්ල ගැන සාක්ෂියක් දරන්න ප්‍රස්තාවක් උදා වන විට යෙහෝවාට “කෙටි යාච්ඤාවක් කියන්න” කියා ජෙනිෆර් යෝජනා කළ බව සැලකිල්ලට ගන්න. පර්සියානු රජු අර්තක්ෂස්තාගේ කුසලාන දරන්නාවූ නෙහෙමියා යම් අනපේක්ෂිත තත්වයකට මුහුණ දුන් විට කළේද ඒ දෙයයි. යුදෙව්වන් සිටි අසරණ තත්වය ගැනද යෙරුසලමේ පවුර හා දොරටු සුන් බුන් වී තිබීම ගැනද ආරංචි වූ විට නෙහෙමියා ශෝක වූ බව කාටත් පැහැදිලිව පෙනුණා. නෙහෙමියා කනස්සල්ලෙන් මෙන් සිටිනවා දුටු රජ ඔහුට තිබූ ප්‍රශ්නය මොකක්ද කියා නෙහෙමියාගෙන් ඇහුවා. පිළිතුරු දීමට පෙර නෙහෙමියා මඟ පෙන්වීම ඉල්ලමින් යාච්ඤා කළා. ඊළඟට ඔහු යෙරුසලමට ආපහු යන්න අවසර ඉල්ලූ අතර ගරා වැටුණු නගරය යළිත් ගොඩනැඟීමට උපකාරත් නිර්භීතව ඉල්ලා සිටියා. නෙහෙමියාගේ ඉල්ලීමට අර්තක්ෂස්තාගෙන් අවසර ලැබුණා. (නෙහෙමියා 2:1-8) මොකක්ද පාඩම? ඔබේ ඇදහිල්ල ගැන සාක්ෂියක් දරන්න ප්‍රස්තාවක් උදා වෙද්දී ඔබට යම් බියක් දැනෙනවා නම් නිශ්ශබ්දව යාච්ඤා කිරීම සඳහා ඔබට ලැබී තිබෙන ප්‍රස්තාවෙන් එවෙලෙහිම ප්‍රයෝජන ගන්න. පේතෘස් ලීවේ මෙසේයි. “[යෙහෝවා] ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7, NW; ගීතාවලිය 55:22.

“උත්තර දීමට නිතරම සූදානම්ව”

9. අවුරුදු 13ක් වයසැති ලියාට යෞවන අය අසන ප්‍රශ්න පොතේ පිටපත් 23ක් ලබා දෙන්නට හැකි වුණේ කෙසේද?

9 තවත් අද්දැකීමක් සලකා බලමු. අවුරුදු 13ක් වයසැති ලියා යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු * යන පොත පාසැලේදී දහවල් කෑම විවේකයේදී කියවමින් සිටියා. ඇය මෙසේ පවසයි. “අවට හිටපු අය මා දිහා බලාගෙනයි හිටියේ. වැඩි වේලාවක් ගියේ නැහැ මං වටේ සෑහෙන පිරිසක් එක් රොක් වුණා. ඊට පස්සේ පොතේ තියෙන දේවල් ගැන ප්‍රශ්න අහන්න පටන්ගත්තා.” ඒ දවස නිම වෙද්දී, ගැහැනු ළමයි හතරදෙනෙක් යෞවන අය අසන ප්‍රශ්න පොතේ පිටපත් ඔවුන්ට ලබා දෙන මෙන් ලියාගෙන් ඉල්ලා සිටියා. වැඩි කාලයක් යන්න කලින් ඒ ගැහැනු ළමයින් ඒ පොත වෙනත් අයටත් පෙන්නලා තිබෙනවා. ඊට පස්සේ ඒ අයටත් ඕනෙ වෙලා තිබෙනවා පොතේ පිටපතක් ලබාගන්න. ඊට පස්සේ උදා වූ සති කිහිපය තුළදී ලියා ඇගේ පාසැල් මිතුරියන්ට හා ඔවුන්ගේ මිතුරියන්ට යෞවන අය අසන ප්‍රශ්න පොතේ පිටපත් 23ක් ලබා දුන්නා. තමා කියවමින් සිටි පොත ගැන මුලදී කිහිපදෙනෙක් ප්‍රශ්න ඇසූ විට, එඩිතරව පිළිතුරු දෙන එක ලියාට ලෙහෙසි පහසු දෙයක් වුණාද? කොහෙත්ම නැහැ! “මට මුලදී භයක් දැනුණා” කියා ඇය පිළිගන්නවා. “කොහොමවුණත්, මම යාච්ඤා කළා. එතකොට මට තේරුණා යෙහෝවා මාත් එක්ක ඉන්නවා කියලා.”

10, 11. යෙහෝවා ගැන දැනගන්න සිරියානු හමුදාපතියෙකුට උපකාර කිරීමට තරුණ ඊශ්‍රායෙල් ජාතික ගැහැනු ළමයෙකුට හැකි වූයේ කෙසේද? ඉන් පසුව ඔහු මොන වෙනස්කම්ද කළේ?

10 ලියාගේ අද්දැකීම ගැන කියවද්දී, ඔබට මතක් වෙනවා ඇති සිරියාවට වහලියක ලෙස ගෙන ගිය තරුණ ඊශ්‍රායෙල් ජාතික ගැහැනු ළමයෙකුට මුහුණ දෙන්න සිදු වූ ඒ හා සමාන තත්වයක්. සිරියානු හමුදාපතියෙකු වූ නාමන් ලාදුරු රෝගියෙක්. මෙම කුඩා දැරියට ඇගේ ඇදහිල්ල ගැන එඩිතරව කතා කරන්නට අවස්ථාව සලසා දුන් එම සංවාදය ආරම්භ කරන්නට ඇත්තේ ඔහුගේ භාර්යාව විසින් විය හැකියි. දැරිය මෙසේ පැවසුවා. “මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුව කරනවා ඇත.”—2 රාජාවලිය 5:1-3.

11 මෙම දැරියගේ නිර්භීතකම හේතුවෙන් “ඊශ්‍රායෙල්හි සිටින දෙවි මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙක් නැති බව” නාමන් දැනගත්තා. ඒ විතරක් නොව, ‘යෙහෝවාට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පු නොකරන’ බවටත් ඔහු සිතින් නියම කරගත්තා. (2 රාජාවලිය 5:15, 17) එම කුඩා දැරියගේ එඩිතරකමට යෙහෝවා ආශීර්වාද කළ බව සහතිකයි. අද දින සිටින යෞවන අය සඳහාත් ඔහුට එවන් දෙයක් කරන්න පුළුවන් වනවා පමණක් නොව ඔහු එසේ කරන බවටද කිසිම සැකයක් නැහැ. එවැන්නක් සැබෑ බව ලියා පෞද්ගලිකව අද්දැක්කා. කල් යත්ම, ඇගේ පාසැලේ මිතුරියන් සමහරදෙනෙක් ඇය ළඟට ඇවිත්, යෞවන අය අසන ප්‍රශ්න පොතෙහි තමන් හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් උපදෙස් සපයා ඇති බව ඇයට පැවසුවා. ලියා මෙසේ පවසයි. “එමගින් යෙහෝවා ගැන තවත් ඉගෙනගන්න අන් අයට උපකාර කරන්න විතරක් නොවෙයි ඔවුන්ගේ ජීවිතය වෙනස් කිරීමට උපකාර කරන්නද මට හැකි වූ බව මම දැන සිටි නිසා මට ලොකු සතුටක් දැනුණා.”

12. ඔබේ ඇදහිල්ලට හේතු සැපයීමට අවශ්‍ය ශක්තිය ලබාගත හැක්කේ කෙසේද?

12 ජෙනිෆර් සහ ලියාට සමාන අද්දැකීම් ඔබටද තිබිය හැකියි. පේතෘස් ඉදිරිපත් කළ අවවාදය අනුගමනය කරන්න. ඔහු ලිව්වේ ක්‍රිස්තියානියෙකු ‘[තමා] තුළ ඇති බලාපොරොත්තුවට හේතුවක් [තමාගෙන්] ඉල්ලා සිටින සියලුදෙනා ඉදිරියේ හේතු දැක්වීමට නිතරම සූදානම්ව’ සිටිය යුතු බවයි. “නමුත් මෘදු ගුණැතිව සහ ගැඹුරු ගෞරවයෙන් යුක්තව එසේ කරන්න” කියාද ඔහු පැවසුවා. (1 පේතෘස් 3:15, NW) ඔබට එවැනි දෙයක් කළ හැක්කේ කෙසේද? “සම්පූර්ණ නිර්භීතකමින්” දේශනා කරන්න උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කළ මුල් සියවසේ ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අනුකරණය කරන්න. (ක්‍රියා 4:29, NW; 4:30, පැ.අ.) ඊළඟට ඔබේ විශ්වාසයන් ගැන අන් අය සමඟ කතා කරද්දී එඩිතර වන්න. සමහරවිට ලැබෙන ප්‍රතිඵලවලින් ඔබ පුදුමයට පත් වේවි. ඊටත් වඩා, ඔබ යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරනු ඇති.

වීඩියෝ පට සහ විශේෂ ව්‍යාපෘති

13. සාක්ෂියක් දැරීම සඳහා ඇතැම් යෞවනයන් ප්‍රයෝජනයට ගෙන ඇති ප්‍රස්තාවන් මොනවාද? (20 සහ 21වන පිටුවල කොටු බලන්න.)

13 යෞවනයන් බොහෝදෙනෙක් පාසැල් මිතුරන්ට හෝ ගුරුවරුන්ට තම ඇදහිල්ල ගැන කරුණු පැහැදිලි කිරීමට වීඩියෝ පට භාවිත කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී, පාසැලේදී කරන ව්‍යාපෘතින් යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා ප්‍රස්තාවන් කරගෙන තිබෙනවා. නිදසුනකට, අවුරුදු 15ක් වයසැති යෙහෝවාගේ සාක්ෂිකාර තරුණයන් දෙදෙනෙකුට ලෝක ඉතිහාස පාඩමේ පැවරුමක් ලෙස ලෝකයේ ආගම්වලින් එකක් ගැන වාර්තාවක් ලියන්න ලැබුණා. දෙදෙනාම එකතු වී දේවරාජ්‍යය ප්‍රකාශ කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන පොත භාවිත කරමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වාර්තාවක් පිළියෙළ කළා. * මෙම පැවරුමට විනාඩි පහක වාචික වාර්තාවක්ද ඇතුළත් වී තිබුණා. ඉන්පසුව, ගුරුතුමා හා ශිෂ්‍යයන් ඇසූ ප්‍රශ්න කොතරම් ප්‍රමාණයකට උත්තර දෙන්න සිදු වුණාද කියනවා නම් මේ තරුණයන් දෙදෙනාට පංතිය ඉදිරියේ අමතර විනාඩි 20ක් ගත කරන්නට සිදු වුණා. සති කිහිපයකට පසුව පවා, ඔවුන්ගේ පංතියේ මිතුරන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන දිගින් දිගටම ප්‍රශ්න ඇසුවා.

14, 15. (අ) මනුෂ්‍යයන්ට භයවීම මලපතක් වන්නේ මන්ද? (ආ) අන් අය සමඟ ඔබේ විශ්වාසයන් බෙදාගැනීම ගැන ඔබට නිසැකකමක් දැනිය යුත්තේ මන්ද?

14 ඉහත දක්වා ඇති අද්දැකීම්වලින් පෙනී යන පරිද්දෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස ඔබේ විශ්වාසයන් හා ඔබ පිළිගන්නා දේ ගැන අන් අයට කීමෙන් මහඟු ආශීර්වාද භුක්ති විඳිය හැකියි. යෙහෝවාව දැනහඳුනා ගැනීමට අන් අයට උපකාර කිරීමේ වරප්‍රසාදය හා ප්‍රීතිය ඔබෙන් සොරාගන්නට මිනිසුන් කෙරෙහි ඇති විය හැකි බියට ඉඩ දෙන්න එපා. බයිබලයෙහි පවසන්නේ මෙලෙසයි. “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය. එහෙත් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්නා සුරක්ෂිතව සිටියි.”—හිතෝපදේශ 29:25.

15 ඔබේ මිතුරන්ට බෙහෙවින්ම අවශ්‍ය කරන දෙයක් ක්‍රිස්තියානි යෞවනයෙකු වන ඔබ සතුව තිබෙන බව මතක තබාගන්න. ඒ තමයි, මේ කාලයේදී හොඳම ආකාරයෙන් ජීවත් වීමේ මඟත් අනාගතයේදී සදාකාල ජීවනය නමැති පොරොන්දුවත්. (1 තිමෝති 4:8) නිදසුනකට එක්සත් ජනපදයෙන් ලැබුණු මෙම සිත්ගන්නා වාර්තාව සලකා බලන්න. සාමාන්‍යයෙන් ඒ රටේ ජනතාව උදාසීන හෝ ලෞකික දේවලට බර වූ අය කියලා සිතන්නට පුළුවන්. එනමුත්, පැවැත්වූ ජනමත විචාරණයකින් හෙළි වුණේ යෞවනයන්ගෙන් අඩක්ම ආගමික විශ්වාසයන් බැරෑරුම් දෙයක් හැටියට සලකන බව සහ ආගමික විශ්වාසයන් ඔවුන්ගේ ජීවිතයට “බෙහෙවින් බලපාන බව” තුනෙන් එකක්ම පිළිගන්නා බවයි. ලෝකයේ වෙනත් ප්‍රදේශවලද ඒ හා සමාන තත්වයක් තිබෙන්නට පුළුවන්. එමනිසා, සමහරවිට බයිබලය ගැන ඔබට කියන්නට තිබෙන දේට සවන් දෙන්න ඔබේ පාසැලේ මිතුරන් සතුටු විය හැකියි.

යෞවනයෙකු හැටියට යෙහෝවාට ළං වන්න

16. යෙහෝවා ගැන අන් අයට කතා කිරීමට අමතරව ඔහුව සතුටු කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

16 ඇත්තෙන්ම, යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කිරීම සඳහා ඇතුළත් වන්නේ ඔහු ගැන අන් අයට කතා කිරීම පමණක් නොවෙයි. ඔබේ හැසිරීම ඔහුගේ ප්‍රමිතිවලට එකඟ වීමද අවශ්‍යයි. ප්‍රේරිත යොහන් ලීවේ මෙසේයි. “දෙවිට ප්‍රේම කිරීම යනු අප ඔහුගේ ආඥා පැවැත්වීමය. එහෙත් ඔහුගේ ආඥා උසුලන්න අමාරු නොවේ.” (1 යොහන් 5:3, NW) ඔබ යෙහෝවාට ළං වෙනවා නම් මෙය සැබෑවක් බව ඔබට අද්දකින්න පුළුවන්. ඔබට එය කළ හැක්කේ කොහොමද?

17. යෙහෝවාට ළං වන්නට ඔබට හැක්කේ කෙසේද?

17 බයිබලය හා බයිබලය පදනම් කරගෙන ලියා ඇති ප්‍රකාශන කියවීමට කාලය ගන්න. යෙහෝවා ගැන දැනගන්න දැනගන්න, ඔහුට කීකරු වෙන්නත් අන් අයට ඔහු ගැන කතා කරන්නටත් ලෙහෙසි වෙයි. “යහපත් මිනිසෙක් තමාගේ සිතෙහි වූ යහපත් වස්තු ගබඩාවෙන් යහපත් දේ පිටතට ගෙන එයි. . . . මන්ද, මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි” කියා යේසුස් පැවසුවා. (ලූක් 6:45, NW) එමනිසා ඔබේ හදවත යහපත් දේවලින් පුරවාගන්න. මේ සම්බන්ධයෙන් ඉලක්ක කිහිපයක් තබාගත්තොත් හොඳ නැද්ද? සමහරවිට ඉදිරි සතියේ සභා රැස්වීම්වලට සූදානම් වෙන්න ඔබ දරන උත්සාහයේදී තව දියුණු වෙන්න ඔබට පුළුවන්. කෙටි නමුත් හද පත්ලෙන්ම නැඟෙන අදහසක් ඉදිරිපත් කිරීමෙන් රැස්වීමට සහභාගි වීම ඔබේ ඊළඟ ඉලක්කය විය හැකියි. හැබැයි, වැදගත්ම දේ වන්නේ, ඔබ ඉගෙනගන්නා දේ ක්‍රියාවට නැංවීමයි.—පිලිප්පි 4:9.

18. ඔබ යම් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නද ඔබට කුමක් ගැන නිසැක විය හැකිද?

18 යෙහෝවාට සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාද දිගු කල් පවතී. ඇත්තෙන්ම ඒවා සදාකාලිකයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීම නිසා ඉඳ හිට යම් විරුද්ධවාදිකම් හෝ නින්දා අපහාසවලට මුහුණ දෙන්න ඔබට සිදු වන බව ඇත්තයි. එහෙත් මෝසෙස් ගැන සිතන්න. බයිබලය පවසන්නේ “ඔහු විපාකය ලැබීම ගැන ඕනෑකමින් බලා සිටි” බවයි. (හෙබ්‍රෙව් 11:24-26, NW) යෙහෝවා ගැන ඉගෙනගන්නත් ඔහු ගැන කතා කරන්නත් ඔබ දරන වෑයමට යෙහෝවා ඔබට ආශීර්වාද කරන බවට නිසැක වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔහු ‘ඔබේ වැඩද ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද කවදාකවත් අමතක’ කරන්නේ නැහැ.—හෙබ්‍රෙව් 6:10, NW.

[පාදසටහන්වල]

^ 9 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

^ 13 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි—සිංහලෙන් නොමැත.

ඔබට මතකද?

• යෙහෝවා ඔබේ සේවය අගය කරන බව ඔබට නිසැක විය හැක්කේ මන්ද?

• පාසැලේදී සාක්ෂි දැරීමෙන් ඇතැම් අය සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ කවර ක්‍රමවලින්ද?

• පාසැලේ මිතුරන්ට සාක්ෂි දරන්න අවශ්‍ය ශක්තිය ඔබට ලබාගත හැක්කේ කෙසේද?

• යෙහෝවාට ළං වන්න ඔබට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ කොටුව⁄පින්තූර]

ළාබාල දරුදැරියෝ පවා යෙහෝවාට ප්‍රශංසා කරති!

පාසැලේදී සාක්ෂියක් දරන්න හිරිමල් වියේ දරුදැරියන්ටද පුළුවන්කම ලැබී තිබෙනවා. මෙම අද්දැකීම් කිහිපය සලකා බලන්න.

දස හැවිරිදි ඇම්බර් පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. දවසක් ඇගේ පංතියේ, දෙවන ලෝක මහා යුද්ධයේදී නාට්සිවරුන් යුදෙව්වන්ට විරුද්ධව ගත් අමානුෂික ක්‍රියාමාර්ග ගැන සඳහන් පොතක් හදෑරුවා. ඇම්බර් තීරණය කළා දම් ත්‍රිකෝණ (Purple Triangles) නමැති වීඩියෝ පටය ඇගේ ගුරුතුමීට දෙන්න. නාට්සි පාලන සමයේදී පීඩා ලැබූ අය අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද සිටි බව දැනගැනීමෙන් ඒ ගුරුතුමිය පුදුමයට පත් වුණා. ඇය මුළු පංතියටම එම වීඩියෝ පටය පෙන්නුවා.

ඇලෙක්සාට වයස අවුරුදු අටක් වෙද්දී, තමාට පංතියේ නත්තල් සාදයට සහභාගි වෙන්න බැරි හේතුව පැහැදිලි කරමින් මුළු පංතියටම ලියුමක් ලිව්වා. ඇය කළ දේ ඇගේ ගුරුතුමියගේ හිතට කොතරම් කාවැදුණාද කියලා කියනවා නම්, ඇගේ පංතිය ඉදිරියේ හා වෙනත් පංති දෙකක් ඉදිරියේ එම ලියුම ශබ්ද නඟා කියවන්නට ඇලෙක්සාට අවස්ථාව දුන්නා. එම ලිපියේ අවසානයේ මෙසේ සඳහන් කර තිබුණා. “මගේ විශ්වාසයන්වලට වඩාත් වෙනස් විශ්වාසයන් ඇති අයට ගෞරව කරන්න මට උගන්වා තිබෙනවා. ඒ වගේම නත්තල් උත්සවයට සහභාගි නොවන්න මා ගෙන ඇති තීරණයට ඔබ ගෞරව කරන නිසා මම ඔබ සැමටත් ස්තුති කියන්න කැමතියි.”

පළමුවන ශ්‍රේණියට ඇතුල් වීමෙන් කෙටි කලකට පසු එරික් මගේ බයිබල් කතන්දර පොත පාසැලට ගෙන ගිහින්, තම පාසැලේ අයට එය පෙන්වන්න අවසර ඉල්ලා සිටියා. ඔහුගේ ගුරුතුමිය මෙසේ පැවසුවා. “මට ඊට වඩා හොඳ අදහසක් තියෙනවා. ඔයාට පුළුවන්නේ ඔය පොතෙන් පංතියට කතන්දරයක් කියලා දෙන්න.” එරික් එසේ කළා. ඉන්පසුව, ඒ පොතේ පිටපතක් ඕනෑ සෑම කෙනෙකුටම අත් උස්සන්න කියා ඔහු ආරාධනා කළා. ගුරුතුමිය ඇතුළුව 18දෙනෙක් අත් ඉස්සුවා! එරික්ට දැන් හිතෙනවා ඔහුට විශේෂ සාක්ෂි දැරීමේ බලප්‍රදේශයක් තිබෙනවා කියා.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සහ අධ්‍යාපනය * යන විවරණිකාව ලැබීම ගැන නව හැවිරිදි විට්නි කෘතඥ වෙනවා. “හැම අවුරුද්දකම මගේ ගුරුවරුන්ට මගේ අම්මා සාමාන්‍යයෙන් මේ විවරණිකාව දෙනවා. හැබැයි මේ අවුරුද්දේ මම තමයි ඒක දුන්නේ. ඒ විවරණිකාව හින්දා මගේ ගුරුතුමිය මාව ‘සතියේ හොඳම ශිෂ්‍යාව’ ලෙස නම් කළා.”

[පාදසටහන්වල]

^ 56 ඡේ. මෙහි සඳහන් සෑම ප්‍රකාශනයක්ම පළ කරනු ලබන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනි.

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

තම ඇදහිල්ල ගැන කතා කිරීමට ඇතැමුන් යොදාගෙන ඇති අවස්ථා

පාසැල් වාර්තාවක් හෝ ව්‍යාපෘතියක් පිළියෙළ කරන්නට සිදු වෙද්දී සාක්ෂි දැරීමට අවස්ථාව සලසා දෙන විෂයක් ඇතැමුන් තෝරාගෙන තිබෙනවා

ඇතැමුන් පංතියේදී සාකච්ඡා කරනු ලබන විෂයකට අදාළ වන වීඩියෝ පටයක් හෝ ප්‍රකාශනයක් තම ගුරුවරයාට ලබා දී තිබෙනවා

ඇතැම් යෞවනයන් විවේක කාලයේදී බයිබලය හෝ බයිබලය මත පදනම් වූ ප්‍රකාශනයක් කියවමින් සිටි විට වෙනත් යෞවනයන් ඔවුන් වෙතට පැමිණ ප්‍රශ්න අසා තිබෙනවා

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවාට සේවය කරන්න අවශ්‍ය පුහුණුව අද්දැකීම් ලත් අය මාර්ගයෙන් යෞවනයන්ට ලබාගත හැකියි