Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

විවිධ බයිබල් පරිවර්තනවල ගීතාවලිය පොත අංකනය කර තිබෙන ආකාරයේ වෙනසක් ඇත්තේ මන්ද?

ප්‍රථම වතාවට සම්පූර්ණ බයිබලය පරිච්ඡේද සහ පද වශයෙන් වෙන් කර ප්‍රකාශයට පත් කරන ලද්දේ 1553දීයි. එය රෝබ එස්ටියෙන්ගේ ප්‍රංශ බයිබල් පරිවර්තනයයි. ඒත් ගීතාවලිය පොත මීට කලින් සිටම පරිච්ඡේද සහ පද වශයෙන් වෙන් කර තිබී ඇති බවක් පෙනෙන්නට තිබේ. මන්දයත් එය සම්පාදනය කර ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් රචිත එක් එක් ගීතිකාවන්ගේ එකතුවකිනි.

තිබෙන සාක්ෂිවලට අනුව ප්‍රථමයෙන්ම යෙහෝවා පොදු ජන නමස්කාරයේ භාවිතය සඳහා ගීතිකා එකතුවක් සම්පාදනය කිරීමට දාවිත්ට මඟ පෙන්වීය. (1 ලේකම් 15:16-24) පසු කලෙකදී, පූජකයෙක් සහ “සමර්ථ ලියන්නෙක්” වූ එස්රා දැන් තිබෙන සම්පූර්ණ ගීතාවලිය පොත සම්පාදනය කිරීමේදී පුරෝගාමීව කටයුතු කරන්න ඇතැයි කියා විශ්වාස කෙරේ. (එස්රා 7:6) ඒ නිසාවෙන් ගීතාවලිය පොත සම්පාදනය කිරීමට පෙර එය තිබුණේ තනි තනි ගීතිකාවන් ලෙසයි.

ප්‍රේරිත පාවුල් තම පළමු මිෂනාරි සංචාරයේදී අන්තියෝකියෙහි (පිසිදියේ) සිනගෝගයේ කතාවක් ඉදිරිපත් කරන විට ගීතාවලිය පොතෙන් උපුටා දැක්වීය. ‘‘ඔබ මාගේ පුත්‍රයාය. අද මම ඔබේ පියා වුණෙමි’ කියා දෙවන ගීතිකාවේ ලියා තිබේ’ කියා ඔහු සඳහන් කළේය. (ක්‍රියා 13:33, NW) එම වචන අද තිබෙන බයිබල් තුළත් දෙවන ගීතිකාවේ හත්වන පදයෙහි ගීතා 2:7 දක්නට තිබේ. කෙසේ නමුත්, විවිධ බයිබල් පරිවර්තනයන්වල ගීතාවලිය පොත අංකනය කර තිබෙන ආකාරයෙහි වෙනස්කම් නැතුවාම නොවෙයි. මෙයට හේතුව වන්නේ සමහරක් පරිවර්තන හෙබ්‍රෙව් මැසරෙටික් ලියවිල්ල පදනම වශයෙන් යොදාගැනීමත් අනෙක් පරිවර්තන පො.යු.පෙ. දෙවන සියවසේ අවසන් කළ හෙබ්‍රෙව් ලියවිලිවල පරිවර්තනයක් වන ග්‍රීක් සෙප්ටූඅජින්ට් ලියවිල්ල පදනම වශයෙන් යොදාගැනීමත්ය. නිදසුන් වශයෙන්, බොහෝ කතෝලික බයිබල් පරිවර්තනය කර තිබෙන්නේ ලැටින් වල්ගේට් පිටපතෙනි. එහි ගීතාවලිය අංකනය කර තිබෙන්නේ සෙප්ටූඅජින්ට්හි තිබෙන ආකාරයටයි. නමුත් නව ලෝක පරිවර්තනය සහ අනෙකුත් පරිවර්තන යොදාගෙන තිබෙන්නේ හෙබ්‍රෙව් මැසරෙටික් ලියවිල්ලයි.

මෙහි තිබෙන විශේෂ වෙනස්කම් මොනවාද? හෙබ්‍රෙව් පිටපතෙහි අන්තර්ගත මුළු ගීතිකා ප්‍රමාණය 150යි. සෙප්ටූඅජින්ට් ලියවිල්ලේ ගීතා 9වෙනි සහ 10වෙනි ගීතිකා එක ගීතිකාවක් ලෙසත්, ගීතා 114 සහ 115වෙනි ගීතිකා එක ගීතිකාවක් ලෙසත් එකතු කර තිබේ. ඊට අමතරව, ගීතා 116වෙනි ගීතිකාව දෙකක් ලෙසටත් ගීතා 147වෙනි ගීතිකාව දෙකක් ලෙසටත් බෙදා ඇත. ගීතිකා ගණන එක සමාන වුවත් සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ ගීතිකා අංක ගීතා 10 සිට ගීතා 146 දක්වා අංකනය කර තිබෙන්නේ හෙබ්‍රෙව් ලියවිලිවලට වඩා එකක් පහළින්ය. ඒ නිසා සුප්‍රසිද්ධ ගීතිකාවක් වන ගීතිකා අංක ගීතා 23 සෙප්ටූඅජින්ට් පිටපතට අනුව අංකනය කර ඇති ලැටින් වල්ගේට් පරිවර්තනයක් වන ඩුඒ වර්ෂන්හි දක්වා තිබෙන්නේ ගීතිකා අංක ගීතා 22 ලෙසයි.

තවද, සමහර ගීතිකාවල පද අංකද පරිවර්තනයෙන් පරිවර්තනයට වෙනස් වීමට ඉඩ ඇත. එයට හේතුව කුමක්ද? සමහරක් පරිවර්තනවල “යුදෙව්වන් විසින් අනුගමනය කරන ලද ක්‍රමයක් වන ශීර්ෂ පාඨය පළමුවෙනි පදය ලෙස යොදාගෙන” තිබීමයි කියා මැක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියාහි පවසයි. අනෙක් පරිවර්තන එම ක්‍රමය අනුගමනය නොකරයි. ඇත්තෙන්ම, මාතෘකාව හෝ ශීර්ෂ පාඨය දික් වූ විට එය පද දෙකක් ලෙසට බොහෝදුරට ගණන් ගැනේ. එමනිසා ගීතාවලියේ පද ගණන ඒ ඒ අනුව වැඩි වී තිබේ.