Skip to content

පටුනට යන්න

ඔබට ගැඹුරු අරුතකින් යුත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

ඔබට ගැඹුරු අරුතකින් යුත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

ඔබට ගැඹුරු අරුතකින් යුත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට වැදගත් මෙන්ම දිගු කාලීන යමක් අර්ථවත් වේද? ඒ ගැන දැනගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් විසින්ම මෙම විශේෂ අවස්ථාවට එක් කළ අර්ථය අපි මුලින් සලකා බලමු.

යේසුස් සිය ප්‍රේරිතයන් 12දෙනා සමඟ පො.යු. 33 නීසාන් 14වෙනිදා සන්ධ්‍යාවේ යෙරුසලමෙහි උඩුමහල් කාමරයක රැස් වූයේ වාර්ෂික පාස්කුව පැවැත්වීමටය. ඔවුන් පාස්කු භෝජනය අවසන් කළ පසු, ද්‍රෝහියෙකු බවට පත් වූ යූදස් යේසුස්ව පාවා දීමට කාමරයෙන් පිටව ගියේය. (යොහන් 13:21, 26-30) එවිට යේසුස් විසින් ඉතිරි ප්‍රේරිතයන් 11දෙනාට “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” පිළිගන්වන ලදි. (1 කොරින්ති 11:20, NW) “මා සිහි කිරීම පිණිස මේක කරන්න” කියා යේසුස් තම අනුගාමිකයන්ට අණ කළ බැවින්, එය සිහි කිරීම වශයෙන්ද හැඳින්විය හැක. ක්‍රිස්තියානීන්ට සිහි කිරීමට අණ කර තිබෙන එකම උත්සවය මෙය පමණකි.—1 කොරින්ති 11:24.

වෙබ්ස්ටර්ස් ශබ්දකෝෂයට අනුව, සිහි කිරීමක් යනු “මතකයේ තබාගැනීම” හෝ “මතකය අවදි කර තැබීම” සඳහා උපකාරවත් වන්නකි. විශේෂ පුද්ගලයෙකු හෝ සැලකිය යුතු යමක් සිහි කිරීමට නැතහොත් සැමරීමට ජනයා බොහෝ ස්ථානවල ස්මාරක ඉදි කරති. නැතහොත් විශේෂ දිනයන් නියම කරති. මේ අවස්ථාවේදී යේසුස් පිහිටෙව්වේ සැමරීමේ භෝජනයකි. මෙම භෝජනය, අතිවැදගත් වූ එම දිනයේ සිදු වූ අතිවිශේෂ සිද්ධීන් ගැන මතකයේ තබාගැනීමට ඔහුගේ ගෝලයන්ට උපකාරවත් වන ආධාරකයක් වනු ඇත. යේසුස් එම රාත්‍රියේදී සිදු කළ දෙයෙහි සහ විශේෂයෙන්ම ඔහු භාවිත කළ සංකේතවල ගැඹුරු අර්ථය, මෙම සිහි කිරීමේ භෝජනයේ නිරීක්ෂකයන් වන්නාවූ අනාගත පරම්පරාවට සිහිගන්වනු ඇත. යේසුස් භාවිත කළේ කුමන සංකේතද? එමෙන්ම ඒවාවලින් අර්ථවත් වූයේ කුමක්ද? පොදු යුගයේ 33 එම රාත්‍රියේදී සිදු වූ දේ පිළිබඳ බයිබල් වාර්තාව දැන් අපි පරීක්ෂා කර බලමු.

ශුද්ධ සංකේතයන්

“ඔහු රොටියක් ගෙන ස්තුති කොට, එය කඩා ඔවුන්ට දෙමින්, ‘ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙයින් නියෝජනය කරන්නේය. මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න’ යයි කීවේය.”ලූක් 22:19, NW.

යේසුස් රොටි ගෙන “මාගේ ශරීරය මෙයින් නියෝජනය කරන්නේය” කියා පැවසූ විට, එම මුහුන් නුමුසු රොටිවලින් නියෝජනය කරන්නේ හෝ සංකේතවත් කරන්නේ, “ලෝකයේ ජීවනය උදෙසා” දුන් පාපයෙන් තොර තමාගේම මාංසික ශරීරය බව ඇඟෙව්වේය. (යොහන් 6:51, NW) සමහර බයිබල් පරිවර්තනවල “මාගේ ශරීරය මේය [ග්‍රීක් බසින්, එස්-ටින්]” කියා සඳහන් වුවත්, තේයගේ ග්‍රීක්-ඉංග්ලිෂ් ලෙක්සිකොන් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්හි සඳහන් වන්නේ එස්-ටින් නම් මෙම ග්‍රීක් ක්‍රියාපදයෙන් බොහෝවිට අර්ථවත් වන්නේ යමක් “අඟවන, දක්වන, අදහස් කරන” බවය. මින් කියාපාන්නේ, යමක් නියෝජනය කරන හෝ සංකේතවත් කරන බවයි.—මතෙව් 26:26, NW පාද සටහන.

මිදි යුෂ කුසලාන පිළිබඳ සත්‍යයද එයම විය. යේසුස් මෙසේ පැවසීය. “මේ කුසලානය, ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් ඇති කළ අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය.”ලූක් 22:20, NW.

මතෙව්ගේ වාර්තාවේ සඳහන් වන පරිදි කුසලාන සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ මෙසේය. “මෙය පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ ‘ගිවිසුමේ රුධිරය’ නියෝජනය කරන්නේය.” (මතෙව් 26:28, NW) යේසුස් විසින් කුසලානෙහි වූ වයින් භාවිත කරනු ලැබුවේ ඔහුගේ රුධිරය නියෝජනය කිරීමක් වශයෙන් හෝ රුධිරයේ සංකේතයක් වශයෙනි. ඔහු වැගිරෙවූ රුධිරය ආලේප ලත් ගෝලයන් සඳහා ‘අලුත් ගිවිසුමකට’ පදනම සැපයුවේය. ඔවුන් රජවරුන් හා පූජකයන් වශයෙන් ඔහු සමඟ ස්වර්ගයෙහි පාලනය කරනු ඇත.—යෙරෙමියා 31:31-33; යොහන් 14:2, 3; 2 කොරින්ති 5:5; එළිදරව් 1:5, 6; 5:9, 10; 20:4, 6.

මුද්‍රිකපමගින් සිහිගන්වනු ලබන තවත් දෙයක් වන්නේ යේසුස් වැගිරෙවූ රුධිරය “පව් කමාව” ලබා දීම සඳහාද පදනම සපයනු ඇති බවය. මේ මාර්ගයෙන් පංගුකාරයන්ට ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන් වශයෙන් ස්වර්ගික ජීවනය ලැබීම සඳහා ප්‍රස්තාව විවෘත වේ. සිහි කිරීමේදී රොටි සහ වයින්වලට පංගුකාරයන් වන්නේ ස්වර්ගික කැඳවීමක් ඇති මෙම සීමාසහිත සංඛ්‍යාව පමණක් බව පැහැදිලියි.—ලූක් 12:32; එපීස 1:13, 14; හෙබ්‍රෙව් 9:22; 1 පේතෘස් 1:3, 4.

එහෙත්, අලුත් ගිවිසුමට අයත් නොවන යේසුස්ගේ සියලු අනුගාමිකයන් ගැන කුමක් කිව හැකිද? මොවුහු ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි රජකම් කිරීමට නොව පාරාදීස පොළොවේ සදා ජීවනය භුක්ති විඳීමට බලා සිටින ස්වාමීන්ගේ “වෙනත් බැටළුවෝ” වෙත්. (යොහන් 10:16; ලූක් 23:43; එළිදරව් 21:3, 4) “මහත් සමූහයක්” වශයෙන් ‘දිවා රාත්‍රියේ [දෙවිට] පරිශුද්ධ සේවයක් පිරිනමමින්’ සිටින මෙම ඇදහිලිවන්ත ක්‍රිස්තියානීහු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී අගය දක්වන නිරීක්ෂකයෝ වීමට සතුටු වෙති. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු වචනයෙන් හා ක්‍රියාවෙන් මෙසේ හඬ නඟති. “ගැලවීම ගැන අපි, සිංහාසනය මත හිඳගෙන සිටින අපේ දෙවිටත් බැටළු පැටවාටත් ණයගැතිව සිටිමු.”—එළිදරව් 7:9, 10, 14, 15, NW.

කොපමණ වරක්ද?

“මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න.”ලූක් 22:19, NW.

ක්‍රිස්තුස්ගේ මරණය නොකඩවා සිහි කිරීම සඳහා කොපමණ වරක් එය පැවැත්විය යුතුද? යේසුස් ඒ ගැන විශේෂයෙන්ම පැවසුවේ නැත. කෙසේවුවද, ඊශ්‍රායෙල්වරුන් වාර්ෂිකව නීසාන් 14වෙනිදා පාස්කුව පැවැත්වූ දිනයේම යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිහිටෙවූ නිසා සිහි කිරීමද එයාකාරයෙන්ම සැමරිය යුතු බව ඔහු අදහස් කළා විය හැකියි. එදා ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදීම වාර්ෂිකව පැවැත්වූවා සේම ක්‍රිස්තියානීහුද පාපයේ හා මරණයේ වහල්භාවයෙන් මිදීම වාර්ෂිකව පවත්වති.—නික්මයාම 12:11, 17; රෝම 5:20, 21, NW.

වැදගත් සිද්ධියක් වාර්ෂිකව සැමරීම පිළිබඳ සංකල්පය ඇත්තෙන්ම අසාමාන්‍ය දෙයක් නොවේ. උදාහරණයක් වශයෙන්, යුවළක් තම විවාහ සංවත්සරය පවත්වන දිනය හෝ ජාතීන් තම ඉතිහාසගත වැදගත් සිදුවීමක් සමරන දිනය කල්පනා කර බලන්න. සාමාන්‍යයෙන් එම සැමරීම් සිදු කෙරෙන්නේ වසරකට වරක් එම සිදුවීම සිදු වූ දිනයේදීය. ක්‍රිස්තුස්ගේ මරණයෙන් සියවස් කීපයකට පසු නාමික ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු සෑම වසරකම නීසාන් 14වෙනිදා පමණක් යේසුස්ගේ මරණය සිහි කළ නිසා ඔවුන්ව හැඳින්වූයේ “දාහතරවෙනිදා සමරන්නන්” යන අර්ථය ඇති ක්වාර්ටෝඩෙසිමන්වරුන් කියාය.

සරල වුවද අතිවැදගත්

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කිරීමෙන් ‘ස්වාමීන් පැමිණෙන තුරු ඔහුගේ මරණය ප්‍රකාශ කරමින් සිටීමට’ යේසුස්ගේ ගෝලයන්ට හැකි වනු ඇති බව ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. (1 කොරින්ති 11:26) මෙබැවින්, මෙම සැමරීම යේසුස්ගේ මරණය තුළින් දෙවිගේ අරමුණ ඉටු කිරීමෙහිලා සිදු කරන වැදගත් කාර්යභාරය වටා කේන්ද්‍රගත වී ඇත.

මරණය දක්වා විශ්වාසවන්තව සිටීම මගින් යෙහෝවා දෙවි ඥානවන්ත හා ප්‍රේමණීය මැවුම්කරුවෙකු මෙන්ම ධර්මිෂ්ඨ පරමාධිපතියෙකු බව යේසුස් ක්‍රිස්තුස් තහවුරු කළේය. ආදම් අසමත් වුවත්, සාතන් කියූ දේවලට පටහැනිව, දරුණු පීඩා මධ්‍යයේ පවා දෙවිට විශ්වාසවන්තව සිටීමට මිනිසාට හැකි බව යේසුස් ඔප්පු කළේය.—යෝබ් 2:4, 5.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මගින් යේසුස්ගේ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයද කෘතඥපූර්වකව සිහි කිරීමට සලස්වයි. දරුණු පීඩා මැද පවා යේසුස් තම පියාට සම්පූර්ණයෙන්ම කීකරුව සිටියේය. මෙබැවින් ආදම්ගේ පාපය නිසා සිදු වූ අතිවිශාල පාඩුව මකා දැමීමට තම පරිපූර්ණ ජීවිතය ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. යේසුස්ම පැහැදිලි කළ පරිදි, ඔහු පැමිණියේ ‘බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටය.’ (මතෙව් 20:28) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යේසුස් කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම තම පව්වලට කමාව ලබාගැනීමට සහ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් යෙහෝවාගේ මුල් අරමුණට එකඟව සදාකාල ජීවනය ලබාගැනීමට හැකිය.—රෝම 5:6, 8, 12, 18, 19; 6:23; 1 තිමෝති 2:5, 6. *

මේ සියල්ලෙන් මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සඳහා ප්‍රස්තාවක් සලසන යෙහෝවාගේ අසීමිත යහපත්කම හා මහත් කරුණාවද හුවා දැක්වේ. බයිබලයේ මෙසේ පවසයි. “දෙවිගේ ප්‍රේමය අප කෙරෙහි ප්‍රකාශ වූයේ, අප ඔහුගේ ඒකජාතක පුත්‍රයා මාර්ගයෙන් ජීවනය ලබන පිණිස, දෙවි ඔහුව ලෝකයට එවූ කාරණයෙන්ය. ඒ ප්‍රේමයෙන් අදහස් වන්නේ, අප දෙවිට ප්‍රේම කළ බව නොව, නමුත් ඔහු අපට ප්‍රේම කර අපේ පාප උදෙසා, සමඟි කිරීම සඳහා වූ පූජාවක් ලෙස තමාගේ පුත්‍රයාව එවූ බවය.”—1 යොහන් 4:9, 10, NW.

සිහි කිරීම සැබවින්ම සුවිශේෂ වූ සැමරීමකි! එය සරලව පැවතිය හැකි එකක් වන අතර, ලොව පුරා ඕනෑම තත්වයක් යටතේ පහසුවෙන් සැමරීමට පුළුවන. කෙසේවෙතත්, එයින් සංකේතවත් කරන දේ කොතරම් ගැඹුරුද කිවහොත්, එහි වැදගත්කම බොහෝ කලක් පුරා සිතට ගැඹුරින් කාවැදී ඇත.

ඔබට ඉන් අර්ථවත් වන දේ

ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තම පූජනීය මරණය සිදු වෙන්න ඉඩහැරියේ ඔහුටත් ඔහුගේ පියාණන් වූ යෙහෝවාටත් අතිවිශාල පාඩුවක් සිදු කරගනිමින්ය. පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස් මරණයට පත් වූයේ අප සියල්ලන් මෙන් ඔහු එය උරුම කරගෙන සිටි නිසා නොවේ. (රෝම 5:12; හෙබ්‍රෙව් 7:26) ඔහුට මිය නොයා සදහටම ජීවත් වීමට හැකියාව තිබිණ. ඔහු ඉඩ නොහැරියා නම් බලෙන් හෝ ඔහුගේ ජීවිතය නැති කිරීමට හැකියාවක් නොතිබිණ. ඔහු මෙසේ පැවසීය. “කිසිවෙක් [මගේ ජීවිතය] මාගෙන් පැහැරගන්නවා නොව, මාගේම කැමැත්තෙන් මම එය දෙමි.”—යොහන් 10:18, NW.

එහෙත්, යේසුස් කැමැත්තෙන්ම තම පරිපූර්ණ මිනිස් ජීවිතය පරිත්‍යාගයක් ලෙස ඉදිරිපත් කළ නිසා ‘ඔහු තම මරණය මාර්ගයෙන්,මරණය ඇති කරන්න හැකියාව ඇති තැනැත්තා වන යක්ෂයාව නැති කර දමන්නේය. එමෙන්ම, මරණයට භයෙන් තමුන්ගේ මුළු ජීවිතය පුරාම වහල්කමට යටත්ව සිටි සියල්ලන්ව ඔහු නිදහස් කරන්නේය.’ (හෙබ්‍රෙව් 2:14, 15, NW) තමන්ව මරණයට ගොදුරු වෙන්න ඉඩහළ ආකාරය ඔහුගේ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය සඳහා තවත් සාක්ෂියකි. ඔහු වේදනා විඳ, මිය යන ආකාරය සම්බන්ධයෙන් හොඳින් දැන සිටියේය.—මතෙව් 17:22; 20:17-19.

එදා මෙදා තුර උතුම්ම ප්‍රේමය පෙන්වා තිබෙන්නේ අපේ ස්වර්ගික පියා වන යෙහෝවා බවද සිහි කිරීමේ උත්සවයෙන් අපට සිහිගන්වයි. ගෙත්සෙමන උයනේදී යේසුස්ගේ ‘බලවත් හැඬීම’ අසා සිටීම හා ‘කඳුළු’ දැකීම මෙන්ම ඔහු කුරිරු සතුටක් ලබන්නන්ගේ කස පහරට ලක් වන අන්දමත් දරුණු ලෙස ඇණගැසීමත් සෙමින් සෙමින් සිදු වන ඔහුගේ වේදනාකාරී මරණයත් දැකීම, ‘ඉතා ගැඹුරු ලෙස ස්නේහය දක්වන, දයාන්විත’ කෙනෙකු වන යෙහෝවාගේ සිතට මොන තරම් වේදනාවක් ගෙන දෙන්න ඇද්ද! (හෙබ්‍රෙව් 5:7; යාකොබ් 5:11, NW පාද සටහන; යොහන් 3:16; 1 යොහන් 4:7, 8) මේ වන විට සියවස් ගණනාවක් ගතව තිබෙතත්, ඒ පිළිබඳ සිතුවිල්ල මනසේ ඇඳෙන සැනෙකින් බොහෝදෙනෙකුගේ සිතේ වේදනාවක් හටගන්නේය.

සිතා බලන්න, යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් පව්කාරයන් වන අප වෙනුවෙන් එවැනි ඉහළ මිලක් ගෙව්වා නොවේද! (රෝම 3:23) අප සෑම දිනකම අපේ පව්කාර ස්වභාවයේ වේදනාකාරී යථාර්ථයට හා අපේ අසම්පූර්ණකම්වලට මුහුණ දෙන්නෙමු. කෙසේවුවද, යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමේ පදනම මත දෙවිගෙන් සමාව අයැද සිටින්න අපට හැක. (1 යොහන් 2:1, 2) මෙය දෙවි සමඟ නිදහසේ කතා කිරීමට හා පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අපට හැකි කරවයි. (හෙබ්‍රෙව් 4:14-16; 9:13, 14) එපමණක්ද නොව සදහටම පාරාදීස පොළොවක ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව සිටීමටද අපට හැක. (යොහන් 17:3; එළිදරව් 21:3, 4) මේවා සහ තවත් ආශීර්වාද ගණනාවක්ම ලැබෙන්නේ ආත්ම පරිත්‍යාගශීලීව යේසුස් සිදු කළ ශ්‍රේෂ්ඨතම ක්‍රියාව නිසාය.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සඳහා අගය පෙන්වීම

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය “සියල්ල අබිබවා යන දෙවිගේ මහත් කරුණාව” අපූරු ලෙස විදහා දැක්වෙන අවස්ථාවක් බවට කිසිම සැකයක් නැත. එමෙන්ම යේසුස්ගේ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය නිසා කළ මිදීමේ පූජාව, ඇත්තෙන්ම යෙහෝවා දෙවි ‘නොමිලේ දුන්, අනර්ඝ දීමනාවකි.’ (2 කොරින්ති 9:14, 15, NW) යේසුස් ක්‍රිස්තුස් තුළින් දෙවිගේ යහපත්කම මෙලෙස විදහා දැක්වීම ඔබ හද පත්ලෙන්ම කෘතඥතාවේ හා අගය කිරීමේ හැඟීමක් හටගන්වන්නේ නැද්ද?

එසේ වන බවට නිසැක වන්න අපට හැකියි. එබැවින් යේසුස්ගේ මරණය අනුස්මරණය කිරීමේ අවස්ථාවට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ එක් රැස් වන මෙන් අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු. මෙම වසරේ අප්‍රියෙල් 16වෙනි බදාදා හිරු බැස යෑමෙන් පසු සිහි කිරීම පවත්වනු ලැබේ. ඉතා වැදගත් මේ අවස්ථාව පැවැත්වීමට නියමිත වේලාව හා ස්ථානය ඔබට දන්වන්න ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සතුටෙන් සිටිති.

[පාදසටහන]

^ 19 ඡේ. මිදීමේ මිලය පිළිබඳ වඩාත් ගැඹුරු විස්තරයක් ලබාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත බලන්න.

[6වන පිටුවේ කොටුව⁄පින්තූර]

“මාගේ ශරීරය මේය” හෝ “මාගේ ශරීරය මෙයින් නියෝජනය කරන්නේය.” මින් නිවැරදි එක කුමක්ද?

යේසුස් “දොරටුව මමය” කියා සහ “සැබෑ මිදි වැල මමය” කියා පැවසූ විට, පදගතාර්ථයෙන්ම ඔහු දොරටුවක් හෝ මිදි වැලක් කියා කවරෙක් හෝ නොසිතූහ. (යොහන් 10:7; 15:1; NW) එලෙසම, ද නිව් ජෙරූසලෙම් බයිබල්හි “මේ කුසලාන අලුත් ගිවිසුමය” කියා යේසුස් පැවසූ විට, පදගතාර්ථයෙන්ම අලුත් ගිවිසුම යනු කුසලාන බව අපි නිගමනය නොකරන්නෙමු. එලෙසම, රොටි ඔහුගේ ‘ශරීරයය’ කියා පැවසූ විටත් රොටිවලින් අදහස් වූයේ නැතහොත් සංකේතවත් වූයේ ඔහුගේ ශරීරය බවට සැකයක් නැත. මෙබැවින්, චාල්ස් බී. විලියම්ස් පරිවර්තනය පවසන්නේ මෙසේය. “මෙය මාගේ ශරීරය නියෝජනය කරයි.”—ලූක් 22:19, 20.

[5වන පිටුවේ පින්තූරය]

මුහුන් නුමුසු රොටි හා වයින් යේසුස්ගේ පව් රහිත ශරීරය හා වැගිරෙවූ රුධිරය සඳහා යෝග්‍ය සංකේතයන්

[7වන පිටුවේ පින්තූරය]

සිහි කිරීම, යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් පෙන්වූ මහත් ප්‍රේමය සිහිගන්වන්නකි