නපුර ජයගෙන ඇද්ද?
නපුර ජයගෙන ඇද්ද?
යහපත් සහ නපුරු බලවේග අතර මුළු විශ්වයටම බලපෑම් කරන අරගලයක් පවතිනවාය යන අදහස නිසා, ඉතිහාසයේ සෑම යුගයකම පාහේ විසූ ලේඛකයන් හා දාර්ශනිකයන් නිමක් නැති විවිධ අනුමාන කිරීම් ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් දෙවි හා යක්ෂයා අතර පවතින ගැටුම පිළිබඳ නිවැරදි ඉතිහාසය වාර්තා වී ඇති පොතක් තිබෙනවා. ඒ තමයි බයිබලය. මෙම ගැටුමට අයත් වන වාද විෂයන් මොනවාද කියා එහි හෙළි කර තිබෙන අතර, එම ගැටුමේදී සැබවින්ම ජයගෙන ඇත්තේ කවුද යන්න නිවැරදිව නිශ්චය කරගැනීමට අවශ්‍ය තොරතුරුද එහි සපයනවා.
මුල් මිනිසාගේ සහ ස්ත්‍රියගේ මැවීමෙන් ටික කලකට පසු, අදෘශ්‍යමාන ආත්ම මැවිල්ලක් වන සාතන් නමැති යක්ෂයා දෙවිගේ පාලනයට එරෙහිව අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ කෙසේද? දෙවි තමා මැවූ ජනයාගෙන් යම් යහපත් දේවල් සඟවන බවත් දෙවිගෙන් ස්වාධීනව කටයුතු කළොත් මිනිසාට වඩා යහපත් ජීවිතයක් ගත කළ හැකි බවත් ඔහු සූක්ෂ්ම ලෙස කියා සිටියා.—උත්පත්ති 3:1-5; එළිදරව් 12:9.
පසුව, කුලදෙටු යෝබ්ගේ කාලයේදී සාතන් තවත් වාද විෂයක් ඉස්මතු කළා. දෙවි කෙරෙහි යෝබ්ට තිබූ අඛණ්ඩතාව බිඳ හෙළීමට වෑයම් කරමින් සාතන් මෙසේ පැවසුවා. “හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.” (යෝබ් 2:4) එය කොතරම් පුළුල් ප්‍රකාශයක්ද කියා සිතා බලන්න. යෝබ්ගේ නම භාවිත නොකර “මනුෂ්‍යයා” යන පොදු යෙදුම භාවිත කිරීමෙන් සාතන් මුළු මනුෂ්‍ය සංහතියේම අඛණ්ඩතාව පිළිබඳව සැක පහළ කළා. වෙනත් ආකාරයකින් පවසනවා නම්, ඔහු කියා සිටියේ මෙයයි. ‘මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය බේරගන්න ඕනෑම දෙයක් කිරීමට සූදානම්. මට අවස්ථාවක් දෙන්න. එතකොට දෙවිව අත්හැර යන්න ඕනෑම කෙනෙකුව පොලඹවන්න මට පුළුවන්.’
දෙවි සහ සාතන් අතර ඇති ගැටුමේදී ජය අත් වී තිබෙන්නේ කාටද යන කාරණය නිශ්චය කරගත හැක්කේ මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාගැනීමෙනුයි. මිනිසාට සාර්ථක ලෙස තමාවම පාලනය කරන්න පුළුවන්ද? සැබෑ දෙවිව අත්හැර යෑමට සෑම කෙනෙකුවම පොලඹවන්න යක්ෂයාට පුළුවන් වී තිබෙනවාද?
මිනිසුන්ට පුළුවන්ද සාර්ථකව තමන්වම පාලනය කරන්න?
මනුෂ්‍යයන් අවුරුදු දහස් ගණනාවක් පුරා විවිධ පාලන ක්‍රම අත්හදා බලා තිබෙනවා. ඉතිහාස ගමනේදී එසේ අත්හදා බැලූ පාලන ක්‍රම කිහිපයක් වන්නේ රාජාණ්ඩු, රදළ ආණ්ඩු, ප්රජාතන්ත්රවාදී, ඒකාධිපති, ෆැසිස්ට් සහ කොමියුනිස්ට් වැනි විවිධ ආණ්ඩු ක්‍රමයි. අත්හදා බැලීම සඳහා නිරන්තර අවශ්‍යතාවක් ඇති වී තිබීම යන කාරණයෙන් පමණක්ම, එම විවිධ පාලන ක්‍රම අසාර්ථක වී ඇති බව ඔප්පු වන්නේ නැද්ද?
“රෝම ජනයා විසින් නොදැනුවත්වම පාහේ මහා පරිමාණයෙන් පරිපාලන අත්හදා බැලීමක් සිදු කරනු ලැබීය” කියා එච්. ජී. වෙල්ස් 1922දී ප්‍රකාශයට පත් වූ ලෝකයේ ඉතිහාසයක් (සිංහලෙන් නොමැත) නමැති කෘතියේ සඳහන් කරනවා. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ මෙසේයි. “පරිපාලනය නිරතුරුවම වෙනස් විය. එය කිසිවිටෙක ස්ථාවරව පැවතුණේ නැත. අත්හදා බැලීම එක අතකින් අසාර්ථක වූවායයි පැවසිය හැකිය. අනික් අතට, අත්හදා බැලීම තවමත් අවසන් වී නැතැයි කියා පැවසිය හැකිය. එමෙන්ම එදා පරිපාලන කටයුතු හා සම්බන්ධව රෝම ජනයාට මුහුණ දීමට සිදු වූ උභතෝකෝටික ප්‍රශ්නම, වර්තමානයේ යුරෝපය සහ අමෙරිකාව තවමත් නිරාකරණය කිරීමට වෑයම් කරමින් සිටී.”
විසිවන සියවස පුරාම පාලනය සම්බන්ධව දිගින් දිගටම අත්හදා බැලීම් සිදු කෙරුණා. එම සියවස අවසානයේදී වෙන කවරදාකටත් වඩා ප්රජාතන්ත්රවාදී පාලනයට තැනක් ලැබී තිබුණා. ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිපත්තිවලට අනුව නම් එවැනි පාලනයකදී සෑම පුරවැසියෙකුටම එම ආණ්ඩු ක්‍රමය තුළ තැනක් ලැබිය යුතුයි. නමුත් මිනිසාට දෙවි නැතුව සාර්ථකව පාලනය කිරීමට පුළුවන් බව ප්රජාතන්ත්රවාදයෙන් ඔප්පු වී තිබෙනවාද? ඉන්දියාවේ හිටපු අගමැති ජවහර්ලාල් නේරු ප්රජාතන්ත්රවාදය විස්තර කළේ යහපත් දෙයක් ලෙසයි. නමුත් “මම එසේ කියන්නේ වෙනත් පරිපාලන ක්‍රම ඊට වඩා අන්ත හින්දයි” කියා ඔහු තවදුරටත් පැවසුවා. ප්‍රංශයේ හිටපු ජනාධිපති වැල්යෙරි ගිස්කා ඩෙස්ටැං පැවසුවේ, “නියෝජ්‍ය ප්රජාතන්ත්රවාදය හා සම්බන්ධ අර්බුදයකට අප මුහුණ දෙමින් සිටිනවා” කියායි.
පොදු යුගයට පෙර 5වන සියවස තරම් ඈතක පවා ග්‍රීක් දර්ශනවාදී ප්ලේටෝ ප්රජාතන්ත්රවාදයේ දුර්වලතාවක්
හඳුනාගෙන තිබුණා. දේශපාලනික මත පිළිබඳ ඉතිහාසයක් (සිංහලෙන් නැත) යන පොතට අනුව, “ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවලටම සුවිශේෂී වූ ගැටලුවක් වන දේශපාලනඥයන්ගේ නූගත්කම සහ අදක්ෂබව” ඔහු විවේචනයට ලක් කළා. ආණ්ඩුවේ තනතුරු හෙබවීමට සුදුසුකම් ඇති දක්ෂ පුද්ගලයන් සොයාගැනීමට තිබෙන අපහසුතාව ගැන අද බොහෝ දේශපාලනඥයන් මැසිවිලි නඟනවා. “විශාල ගැටලු තිබෙද්දී ඒවා හැසිරවීමට අවශ්‍ය දක්ෂතාව නායකයන්ට නොමැති බව හෙළි වන විට [ජනයාගේ] කෝපය ඇවිස්සෙනවා” කියා ද වෝල් ස්ට්‍රීට් ජ’නල්හි සඳහන් වුණා. එහි තවදුරටත් මෙසේ පවසා තිබුණා. “නායකයන්ගෙන් මඟ පෙන්වීම අපේක්ෂාවෙන් සිටියදී ඔවුන් දෙගිඩියාවෙන් කටයුතු කරන බවත් දූෂ්‍ය ක්‍රියාවන් සිදු කරන බවත් දකින [ජනයාට] දැනෙන්නේ හරිම පිළිකුලක්.”දැන් පුරාණ ඊශ්‍රායෙල්හි සාලමොන් රජුගේ පාලනය ගැන සිතා බලන්න. යෙහෝවා දෙවි සාලමොන්ට අසමසම ප්‍රඥාවක් දුන්නා. (1 රාජාවලිය 4:29-34) වසර 40ක් පුරා විහිදී ගිය සාලමොන්ගේ පාලන සමයේදී ඊශ්‍රායෙල් ජාතිය අත් දුටුවේ කුමනාකාර ප්‍රතිඵලද? බයිබලය මෙසේ පිළිතුරු සපයනවා. “යූදාවරුද ඊශ්‍රායෙල්වරුද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය. ඔවුහු කමින් බොමින් ප්‍රීති වෙමින් පසු වූහ.” වාර්තාව තවදුරටත් මෙසේද පවසනවා. “සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඊශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුව සේ වාසය කළෝය.” (1 රාජාවලිය 4:20, 25) ශ්‍රේෂ්ඨතම පාලකයා වන අදෘශ්‍යමාන යෙහෝවා දෙවිගේ දෘශ්‍යමාන නියෝජිතයා ලෙස ප්‍රඥාවන්ත රජෙකු සිටීම නිසා ඊශ්‍රායෙල් ජාතිය වෙන කවර යුගයකටත් වඩා ස්ථාවර, සෞභාග්‍යවත් සහ ප්‍රීතිමත් කාලයක් අද්දුටුවා.
මනුෂ්‍යයාගේ පාලනය සහ දෙවිගේ පාලනය අතර දක්නට ලැබෙන්නේ කොතරම් විශාල පරතරයක්ද! ඇත්තටම, පාලනය හා සම්බන්ධ වාද විෂයේදී සාතන්ට ජය අත් වී තිබෙන බව කිසිවෙකුට පැවසිය හැකිද? කොහෙත්ම බැහැ. මන්ද ප්‍රොපේත යෙරෙමියා ඉතා නිවැරදිව මෙසේ පැවසුවා. “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම [පියවර මෙහෙයවීමටවත්, NW] අයිති නැත.”—යෙරෙමියා 10:23.
සැබෑ දෙවිව අත්හැර යන්නට සෑම කෙනෙකුවම පොලඹවන්න යක්ෂයාට පුළුවන්ද?
දෙවිව අත්හැර යන්න සෑම කෙනෙකුවම පොලඹවන්න පුළුවන් බවට කළ තම ප්‍රකාශය සැබෑ බව ඔප්පු කිරීමට සාතන්ට හැකි වී තිබෙනවාද? ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි යුගයට පෙර විසූ විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්රීන්ගේ නම් ගණනාවක් හෙබ්‍රෙව් නමින් හැඳින්වෙන බයිබල් පොතේ 11වන පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඉන්පසු ඔහු ප්‍රකාශ කරන්නේ මෙසේයි. ‘මම තව කුමක් කියම්ද? ගිඩියොන්ද බාරාක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද ප්‍රොපේතවරුන්ද ගැන කියන්ට කල් මදිය.’ (හෙබ්‍රෙව් 11:32) දෙවිගේ මෙම පක්ෂපාත සේවකයන්ව පාවුල් විස්තර කරන්නේ ‘මහත් සාක්ෂිකාර සේනාවක් [වලාකුළක්, NW]’ ලෙසයි. (හෙබ්‍රෙව් 12:1) මෙහිදී ‘වලාකුළ’ සඳහා භාවිත කර ඇති ග්‍රීක් වචනයෙහි අර්ථය වන්නේ නියමිත ප්‍රමාණයකින් සහ හැඩයකින් යුත් පැහැදිලි ස්වරූපයක් ගන්නා තනි වලාකුළක් නොවන මුත් කිසිදු හැඩයක් නොගන්නා දැවැන්ත වලාකුළක් යන්නයි. එම සැසඳීම යෝග්‍ය එකක්. මන්ද අතීතයේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් කොතරම් විශාල සංඛ්‍යාවක් සිට ඇද්ද කිව්වොත් ඔවුන් හරියට දැවැන්ත වලාකුළක් හා සමානයි. ඔව්, ගෙවී ගිය සියවස්වලදී ගණන් කළ නොහැකි ජන සංඛ්‍යාවක් ඔවුන්ගේ නිදහස් කැමැත්ත යොදාගනිමින් යෙහෝවා දෙවිට පක්ෂපාත වීමට තෝරාගෙන තිබෙනවා.—යෝෂුවා 24:15.
අපේ කාලයේදී දක්නට ලැබෙන්නේ කුමක්ද? විසිවන සියවසේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරුණු හිංසා පීඩාවලට හා විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත්, දැන් ලෝ වටා ඔවුන්ගේ සංඛ්‍යාව දශලක්ෂ හයකට වඩා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව, දශලක්ෂ නවයක් පමණ සංඛ්‍යාවක් ඔවුන් සමඟ ඇසුරු කරමින් සිටින අතර, ඒ අයගෙන් බොහෝදෙනෙක් ස්ථිර පියවර ගනිමින් සිටින්නේ දෙවි සමඟ කුලුපග මිත්‍රත්වයක් ගොඩනැඟීමටයි.
යෙහෝවාට ද්‍රෝහිවීමට මනුෂ්‍යයන්ව පොලඹවන්න පුළුවන්ය යන සාතන්ගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත පිළිබඳව හොඳම සාක්ෂි සැපයුවේ දෙවිගේම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. වධකණුවක් මත දරුණු වේදනාව අද්දකින විට පවා ඔහුගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට නොහැකි වුණා. යේසුස් තම අන්තිම හුස්ම හෙළූ විට ඔහු හඬනඟා පැවසුවේ, “පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාර දෙමි” කියායි.—ලූක් 23:46.
සාතන් තමන් සතු බලය පූර්ණ ලෙස යොදාගනිමින් මනුෂ්‍යයන්ව තම අණසක යටතේ තබාගැනීමට වෑයම් කරනවා. ඔහු ඒ සඳහා උපයෝගී කරගන්නේ වැරදි පෙලඹීම් සහ හිංසා පීඩා වැනි දේවල්. මිනිසුන්ව වරදට හසු කරගැනීම සඳහා ‘මාංසයේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව සහ ජීවිතයේ අහංකාරකම [බොරු ආටෝපය ප්‍රදර්ශනය කිරීම, NW]’ යොදාගනිමින් සාතන් වෑයම් කරන්නේ යෙහෝවාට ද්‍රෝහිවීමට මිනිසුන්ව පොලඹවන්නයි. එසේත් නැත්නම් යෙහෝවාට ළංවීමෙන් ඔවුන්ව වළක්වන්නයි. (1 යොහන් 2:16) සාතන් කර ඇති තවත් දෙයක් වන්නේ ‘දෙවිගේ ස්වරූපය වූ ක්‍රිස්තුස්ගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස නොඇදහිලිකරුවන්ගේ සිත් අන්ධ කිරීමයි.’ (2 කොරින්ති 4:4) ඒ වගේම, තර්ජන කිරීමෙන් සහ මනුෂ්‍යයන්ට ඇති භය අතකොළුවක් කරගනිමින්ද තම අභිමතාර්ථය ඉටු කරගැනීමට ඔහු පසුබට වන්නේ නැහැ.—ක්‍රියා 5:40.
එහෙත් දෙවිගේ පැත්තෙහි සිටින අය යක්ෂයාට පරාජය වන්නේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවිව දැන හඳුනාගෙන, ‘මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද ඔහුට ප්‍රේම කරනවා.’ (මතෙව් 22:37) යේසුස් ක්‍රිස්තුස්ගේ මෙන්ම තවත් අසීමිත ජන සංඛ්‍යාතයකගේ බිඳ හෙළිය නොහැකි පක්ෂපාතකම හේතුවෙන්, සාතන් නමැති යක්ෂයා අන්ත පරාජයකට පත් වී ඇති බව ඔප්පු වී තිබෙනවා.
අනාගතයේදී කුමක් සිදු වේවිද?
මනුෂ්‍යයන් සදහටම විවිධ ආණ්ඩු ක්‍රම අත්හදා බලමින් සිටීවිද? ප්‍රොපේත දානියෙල් අනාවැකියකින් පැවසුවේ මෙසේයි. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය. . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:44, 45ආ) ස්වර්ගයේ දෙවි පිහිටුවන රාජ්‍යය ස්වර්ගීක ආණ්ඩුවක්. එහි පාලකයා වන්නේ යේසුස් ක්‍රිස්තුස්. යේසුස් තම අනුගාමිකයන්ට යාච්ඤාවේදී සඳහන් කරන්න කියා ඉගැන්වූයේ එම රාජ්‍යය ගැනයි. (මතෙව් 6:9, 10) එම රාජ්‍යය මගින් ‘[මතු පැමිණෙන] සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී’ සියලු මිනිස් ආණ්ඩු විනාශ කිරීමට නියමිතයි. ඉන් අනතුරුව එහි පාලනය මුළු පොළොව පුරාම විහිදෙනු ඇති.—එළිදරව් 16:14, 16.
සාතන්ට සිදු වනු ඇත්තේ කුමක්ද? එම අනාගත සිදුවීම බයිබලයේ විස්තර කරන්නේ මෙසේයි. “[යෙහෝවාගේ දූතයෙක්] යක්ෂයාද සාතන්ද වූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය. ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රා කළේය.” (එළිදරව් 20:1-3) යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය ඇරඹෙන්නේ අක්‍රියාශීලී තත්වයක් සංකේතවත් කරන පාතාලයට සාතන්ව හෙළීමෙන් පසුවයි.
එවිට මෙම පොළොව මොනතරම් ප්‍රියජනක තැනක් වේවිද! දුෂ්ටකම සහ එය ඇති කරන සියලුදෙනාම සදහටම නැති වේවි. “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:9-11) කිසිම මිනිසෙකුගෙන්වත් සතෙකුගෙන්වත් ඔවුන්ගේ සාමයට තර්ජන ඇති වන්නේ නැහැ. (යෙසායා 11:6-9) ගෙවී ගිය අතීතයේදී නොදැනුවත්කම හේතුවෙන් සහ යෙහෝවාව දැන හඳුනාගැනීමට ප්‍රස්තාවක් නොලැබීම හේතුවෙන් සාතන්ගේ පැත්ත ගෙන සිටි මිලියන ගණනකට පවා නැවත නැඟිටීමක් ලැබෙනවා. ඉන් අනතුරුව, දෙවි විසින් ඔවුන්ට අධ්‍යාපනයක් දෙනු ලබනවා.—ක්‍රියා 24:15.
දහස් අවුරුදු පාලනයේ අවසානය වන විට මුළු පොළොවම පාරාදීසයක් බවට පරිවර්තනය වී තිබේවි. මනුෂ්‍යයා පරිපූර්ණත්වය කරා ගෙන යනු ලබයි. ඉන්පසු, සාතන්ව “ස්වල්ප කලකට” මුදනු ලබනවා. එසේ කරන්නේ දෙවිගේ පාලනයට විරුද්ධ වන අන් සියලුදෙනා සමඟම ඔහුවත් සදහටම විනාශ කරනු ලැබීම සඳහායි.—එළිදරව් 20:3, 7-10.
ඔබ ගන්නේ කාගේ පැත්තද?
විසිවන සියවස, සාතන් පොළොවේ මහත් විනාශයන් සිදු කළ කාලයක්. එහෙත් පොළොවේ පවතින තත්වයන් ඔහුට ජය අත් වී ඇති බව අඟවනවා වෙනුවට, අප ජීවත් වන්නේ මෙම දුෂ්ට ලෝකයේ අන්තිම දවස්වල බවට එය ලකුණක් වෙනවා. (මතෙව් 24:3-14; එළිදරව් 6:1-8) ජය අත් වී ඇත්තේ කාටද යන්න තීරණය කිරීම සඳහා, මිහිපිට පවතින දුෂ්ටකමේ ප්රබලත්වයවත් බහුතරයක් ඒ දෙස බලන විදිහවත් වැදගත් වන්නේ නැහැ. එම තීරණයට එළඹීම සඳහා වැදගත් වන්නේ හොඳම ආකාරයකින් පාලනය කරන්නේ කවුද හා යම් කෙනෙක් දෙවිට ප්‍රේමයෙන් පෙලඹී සේවය කර ඇද්ද යන කාරණායි. එම කාරණා දෙකේදීම ජය අත් වී තිබෙන්නේ යෙහෝවාටයි.
කාලයට ඉඩහැරීමෙන් දැනටමත් සාතන් වැරදි බව ඔප්පු වී තිබෙනවා නම්, දෙවි තවමත් දුෂ්ටකමට ඉඩහැර තිබෙන්නේ මන්ද? යෙහෝවා ඉවසමින් සිටින අතර ‘සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවා දකින්න ඔහු කැමති නැහැ.’ (2 පේතෘස් 3:9) ‘සියලු ආකාර මිනිසුන් ගලවනු ලැබීමත්, ඔවුන් සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමත්’ දෙවිගේ කැමැත්තයි. (1 තිමෝති 2:4, NW) බයිබලය අධ්‍යයනය කිරීමටත් ‘එකම සැබෑ දෙවි සහ ඔහු එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුම ලබාගැනීමටත්’ ඔබ දැනට ඉතිරි වී ඇති කාලය උපයෝගි කරගනියි කියා බලාපොරොත්තු වෙමු. (යොහන් 17:3, NW) ජයග්‍රාහී පැත්තේ ස්ථිරව සිටින මිලියන සංඛ්‍යාත ජනයා සමඟ එක්වීමට ඔබටත් පුළුවන් වන පිණිස, එම දැනුම ලබාගැනීමට ඔබට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටුයි.
[5වන පිටුවේ පින්තූර]
අඛණ්ඩතාව රැකීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සාතන්ගේ පරාජයට දායක වී තිබෙනවා
[7වන පිටුවේ පින්තූරය]
යෙහෝවාට පක්ෂපාත අය බොහෝදෙනෙක් ඔහුගේ පැත්තේ සිටිනවා