“සාන්තුවරයන්” වෙත ඇදී යෑමේ නව ප්‍රවණතාව
“සාන්තුවරයන්” වෙත ඇදී යෑමේ නව ප්‍රවණතාව
“වික්‍රමාන්විත පුද්ගලයන් ගැන නිතර නිතර අහන්න ලැබෙද්දී එය කරදරයක් මෙන් අපට හැඟුණ අවදිය මතකද? එහෙත් සැප්. 13වෙනිදා තෙරේසා මව්තුමියගේ අවමංගල්‍ය උත්සවය දෙස බලා සිටි අමෙරිකානුවන් මිලියන 4.2ට නම් එය කරදරයක් මෙන් හැඟුණ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. සැප්තැම්බර් 5වෙනිදා ඈ මියගිය දා සිට, ඇයව සාන්තුවරියක් කරන ලෙස ඉල්ලමින් ජනයා වතිකානුව කලඹා තිබුණා. එහෙත් එය එලෙසින්ම වේදැයි සමහරුන් තුළ සැකයක් පහළ වී තිබෙනවා.”—සන්-සෙන්ටිනෙල්, එක්සත් ජනපදය, 1997 ඔක්තෝබර් 3.
කතෝලික මිෂනාරිවරියක වූ තෙරේසා මව්තුමියගේ මානව හිතවාදී, ත්‍යාගශීලී සේවය බොහෝදෙනා සලකන්නේ නියම ශුද්ධවන්තභාවය පිළිබිඹු කිරීමක් හැටියටයි. අන්‍යාගම්වලද සැදැහැවත් පුද්ගලයන් සිටිනවා. එසේවුවත්, රෝමානු කතෝලික සභාවෙන් පත් කරනු ලබන සාන්තුවරයන්ට මෙන් ඔවුන්ට නිල වශයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.
දෙවන ජුවාම් පාවුලු පාප් විසින් සිය පාප් ධුරය මේ දක්වා හෙබවූ කාලපරිච්ඡේදය පුරා, 300කට ආසන්න පිරිසක් නිල වශයෙන් සාන්තුවරයන් ලෙස පත් කරනු ලැබ තිබෙනවා. මෙම සංඛ්‍යාව 20වන සියවසේදී අන් සියලු පාප්වරුන් විසින් පත් කරන ලද සංඛ්‍යාවට වඩා වැඩියි. a කතෝලිකයන් අතර එතරම් ප්‍රචලිත වී නැති “සාන්තුවරයන්ට” පවා මෙතරම් භක්තියක් පුදන්නේ මන්ද?
නොටර් ඩෑම් විශ්වවිද්‍යාලයේ දේවධර්මවේදි ලෝරන්ස් කනිංහම් මෙසේ පැහැදිලි කරයි. “ලෝකයේ තිබිය හැකි ශුද්ධභාවය යන සංකල්පය ගැන ජනයා උනන්දුවෙන් සිටියි. සාන්තුවරයන් සිටීමෙන් පෙනෙන්නේ, අදදින පවා සැදැහැවත් දිවියක් ගත කිරීමේ හැකියාව තිබෙන බවයි.” ඊට අමතරව, දෙවි වෙත පිවිසීමට “සාන්තුවරයන්ට” විශේෂ වරප්‍රසාදයක් තිබෙන බැවින් ජීවත්වන්නවුන් උදෙසා බලපෑමෙන් යුත් මැදිහත්කරුවන් වීමට ඔවුන්ට හැකි බව පැවසෙනවා. “සාන්තුවරයෙකු” සතුව තිබූ දේ හෝ ඔහුගේ ශරීරයේ ධාතු කොටස් සොයාගත් විට ඒවායින් බලය නිකුත් වන බව විශ්වාස කරන බොහෝදෙනා ඒවාට වන්දනාමාන කරයි.
කතෝලික ලබ්ධිය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්, 16වන සියවසේ පළ කළ කැටිකිස්ම් ඔෆ් ද කවුන්සිල් ඔෆ් ට්‍රෙන්ට්හි මෙවැනි තීන්දුවක් දැක්වේ. “අපගේ නිගමනය වන්නේ ‘ස්වාමීන් තුළ සැතපී’ ඉන්න සාන්තුවරුන්ට ගරුබුහුමන් කිරීම, ඔවුන්ගේ මැදිහත් වීම අයැද සිටීම, ඔවුන් සතුව තිබූ ශුද්ධ දේවල් හා ඔවුන්ගේ අළුවලට වැඳුම් පිදුම් කිරීම යුක්තිසහගත බවයි. මේවායින් දෙවිගේ මහිමය වැඩි කරනවා මිසක් අඩු කිරීමක් සිදු නොවෙයි. තවද ඉන් ක්‍රිස්තියානියෙකුගේ බලාපොරොත්තුවටද නව ජීවයක් ලැබෙන අතර එය තව තවත් ශක්තිමත් වෙනවා. එමෙන්ම ඔහුට ඔවුන්ගේ ශ්‍රද්ධාවන්ත ගති පැවතුම් අනුකරණය කිරීමටද එමගින් දිරියක් ලැබෙනවා.” (The Catechism of the Council of Trent, 1905) සැබෑ ක්‍රිස්තියානීන්ට ඇත්තෙන්ම වුවමනා වන්නේ සුචරිතවත් ජීවිත ගත කිරීමටයි. එමෙන්ම දෙවි වෙත සුදුසු අන්දමින් ළඟාවීමටත්, දිව්‍යමය උපකාරය ලැබීමටත් ඔවුන්ට අවශ්‍යයි. (යාකොබ් 4:7, 8) එසේනම්, දෙවිගේ වචනයට එකඟව සැබෑ සාන්තුවරුන් ලෙස සුදුසුකම් ලබන්නේ කවරෙක්ද? එමෙන්ම ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද?
[පාදසටහන]
a මියගිය රෝමානු කතෝලිකයෙකුව නිල වශයෙන් සාන්තුවරයෙකු ලෙස පත් කරන විට ඔහුව පිළිගනු ලබන්නේ, මුළු විශ්වයේම වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සෙකු ලෙසයි.