Skip to content

පටුනට යන්න

“ගැළවීම අයිති යෙහෝවාටයි”

“ගැළවීම අයිති යෙහෝවාටයි”

“ගැළවීම අයිති යෙහෝවාටයි”

ජාතික අර්බුදයක් ඇති වූ විට හා ලොව කම්පිත කරවන තත්වයන් උද්ගත වූ විට ජනයා ආරක්ෂාව හා රැකවරණය පතන්නේ තම තමන්ගේම රටේ ආණ්ඩුවලින්. තවද මහජනයාගේ සහයෝගය ලබාගැනීමේ අරමුණින් ආණ්ඩු විසින්ද විවිධ වැඩසටහන් දියත් කරනු ලබනවා. එම වැඩසටහන් මගින් පුබුදුවාලන දේශ ප්‍රේමී හැඟීම් වඩ වඩාත් උත්සන්න වන විට දේශානුරාගී උත්සව පැවැත්වීමට ඇති නැඹුරුවාවද වැඩි වන අතර ඒවා එන්න එන්නම උද්‍යෝගිමත් ස්වභාවයක් ගන්නවා.

ජාතික අර්බුදයකදී රට වැසියන් අතර දේශ ප්‍රේමී හැඟීම් පුබුදුවාලන විට බොහෝවිට ඔවුන්ට හැඟෙන්නේ ඔවුන් අතර එකමුතුකමක් ඇති බවයි. තමන් ශක්තිමත්ය යන හැඟීමද ඔවුන්ට පහළ විය හැකියි. ප්‍රජාවේ සියලුදෙනා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හා එකිනෙකාගේ අවශ්‍යතාවන් ගැන උනන්දු වීමට එමගින් පෙලඹීමක් ඇතිවීමටද පුළුවන්. කොහොම නමුත්, “අනිත් සෑම හැඟීමකින්ම සිදු වන්නාක් මෙන් දේශ ප්‍රේමී හැඟීම්වලින්ද භයානක ප්‍රතිඵල අත් විය හැකි” බව ද නිව් යෝක් ටයිම්ස් සඟරාවේ සඳහන් වෙනවා. “එම හැඟීම් පාලනය කරගන්නේ නැත්නම් ඒවායින් ඉතා හානිකර මෙන්ම අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.” දේශානුරාගී හැඟීම් දේශානුරාගී ක්‍රියා බවට පෙරළුණු විට රටේ ඇතමෙකුගේ මහජන නිදහස හා ආගමික නිදහස සීමා කරවන තත්වයන්ද උද්ගත විය හැකියි. එවැනි අවස්ථාවලදී සැබෑ ක්‍රිස්තියානීන්ට විශේෂයෙන්ම පීඩනයක් එල්ල වෙනවා. එමනිසා තම විශ්වාසයන් පාවා දීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. එසේ නම්, ලොව පුරාම එවැනි වාතාවරණයක් පවතින අවස්ථාවකදී ඔවුන් හැසිරිය යුත්තේ කෙසේද? තීක්ෂ්ණ බුද්ධිය ඇතුව කටයුතු කිරීමටත් දෙවි කෙරෙහි වූ අඛණ්ඩතාව රැකීමටත් ඔවුන්ට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

“නුඹ ඒවාට නමස්කාර නොකරන්න”

සමහරවිට දේශ ප්‍රේමී හැඟීම් ප්‍රකාශ කරන ප්‍රසිද්ධ ක්‍රමයක් වන්නේ කොඩියට ආචාර කිරීමයි. එහෙත් තාරකා වැනි අහසේ තිබෙන දේවල මෙන්ම පොළොවේ තිබෙන දේවල ලාංඡන ඒවායේ බොහෝවිට දක්නට තිබෙනවා. එවැනි දේවලට නමස්කාර කිරීම සම්බන්ධයෙන් තමාට හැඟෙන ආකාරය පිළිබඳව දෙවි මෙසේ ප්‍රකාශ කරනවා. ‘නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත්, පහළ පොළොවෙහිවත්, පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද නුඹේ දෙවි වන මා ප්‍රතිවාදීන් නොඉවසන [තනි භක්තිය ඉල්ලා සිටින, NW] දෙවිකෙනෙකු වන බැවිනි.’—නික්මයාම 20:4, 5, නව අනුවාදය.

ජාතික කොඩියට ආචාර කිරීමෙන් හෝ එය ඉදිරියේ දණ නැමීමෙන් අදහස් කරනවාද අප යෙහෝවා දෙවිට තනි භක්තිය දෙන්න අසමත් වෙනවා කියා? පාළුකරයේ සිටියදී, ගෝත්‍ර තුනකින් යුත් කණ්ඩායම් අනුව බෙදී සිටි පුරාණ ඉශ්‍රායෙලිතයන් කඳවුරු බැඳ සිටියේ තම තමන්ගේ කණ්ඩායමට අයත් “ධජය” අසල බව ඇත්තයි. (ගණන් කථාව 2:1, 2) ධජය සඳහා භාවිත කර ඇති හෙබ්‍රෙව් වචන පිළිබඳව මක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියාහි පවසන්නේ මෙසේයි. “‘ධජය’ යන වචනයෙන් අපේ මනසට සාමාන්‍යයෙන් නැඟෙන අදහස කොඩිය වුවත් මෙම හෙබ්‍රෙව් වචන එකකින්වත් එවැනි දෙයක් අදහස් නොකරයි.” තවද ඉශ්‍රායෙලිතයන් තමන් භාවිත කළ ධජ පරිශුද්ධ වස්තූන් ලෙස සැලකුවේවත්, ඒවායේ භාවිතය වටා කේන්ද්‍රගත වූ උත්සව පැවැත්වුවේවත් නැහැ. ඒවා සාදා තිබුණේ ජනයා එක්රැස් විය යුත්තේ කොතැනද යන්න පිළිබඳව මඟ පෙන්වීමක් සැපයීමට පමණයි. ඒවායින් යම් ප්‍රායෝගික අරමුණක් ඉටු කළ බව පැහැදිලියි.

මණ්ඩපයේ හා සාලමොන් ගොඩනැඟූ දේවමාළිගාවේ කෙරුබ්වරුන්ගේ රූප තිබුණද ඒවායේ ප්‍රධාන අරමුණ වූයේ ස්වර්ගයේ වෙසෙන කෙරුබ්වරුන් පිළිබඳව විස්තරයක් සැපයීමයි. (නික්මයාම 25:18; 26:1, 31, 33; 1 රාජාවලිය 6:23, 28, 29; හෙබ්‍රෙව් 9:23, 24) මෙම කලා කෘතීන් නිර්මාණය කර තිබුණේ නමස්කාරය සඳහා නොවන බව පැහැදිලි වන්නේ සාමාන්‍ය ජනයාට දැකගත හැකි ස්ථානවල ඒවා නොතිබුණා යන කාරණයෙන්. තවද, දේවදූතයන්ට නමස්කාර නොකළ යුතු බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.—කොලොස්සි 2:18; එළිදරව් 19:10; 22:8, 9.

ඉශ්‍රායෙලිතයන් පාළුකරයේ සිටියදී මෝසෙස් සෑදූ පිත්තල සර්පයා ගැනත් සිතා බලන්න. එම රූපය යමක් සංකේතවත් කළා. තවද එය අනාවැකිමය අතින් වැදගත්කමක් ඉසිලුවා. (ගණන් කථාව 21:4-9; යොහන් 3:14, 15) එයට භක්ත්‍යාදරය පිරිනැමුවේවත් නමස්කාර කළේවත් නැහැ. නමුත් මෝසෙස්ගේ කාලයට සියවස් ගණනාවකට පසුව, ඉශ්‍රායෙලිතයන් නුසුදුසු ලෙස එම රූපයට නමස්කාර කරන්න පටන්ගත්තා. එයට සුවඳ දුම් ඔප්පු කිරීමට පවා පෙලඹුණා. එමනිසා යූදාහි රජු වන හෙසකියා එය කැබලි කොට විනාශ කර දැමුවා.—2 රාජාවලිය 18:1-4.

ජාතික කොඩි නිකම්ම ප්‍රයෝජනවත් අරමුණක් උදෙසා සෑදූ සංකේත කියා පැවසිය හැකිද? ඇත්තෙන්ම ඒවායින් සංකේතවත් කරන්නේ කුමක්ද? “පක්ෂපාතිත්වය නියෝජනය කරන හා භක්ත්‍යාදරය පිරිනමන ප්‍රධාන වස්තුවක් වන කොඩිය ජාත්‍යාලයේ ප්‍රධාන සංකේතයකි.” මෙසේ පැවසුවේ ජේ. පෝල් විලියම්ස් නම් කතුවරයායි. දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා පවසන්නේ, “කොඩිය කුරුසය වගේම පරිශුද්ධ වස්තුවකි” යන්නයි. කොඩිය රට නියෝජනය කරන සංකේතයක්. එමනිසා එය ඉදිරියේ දණ නැමීම හෝ එයට ආචාර කිරීම, රටට හෝ ජාතියට භක්ත්‍යාදරය පිරිනැමීම සඳහා කරන ආගමික චාරිත්‍රයක් ලෙස සැලකිය හැකියි. එවැනි ක්‍රියාවකින් පෙන්වන්නේ ආරක්ෂාව හෙවත් ගැළවීම සඳහා තමා රඳා පවතින්නේ රටේ ආණ්ඩුව මත බවයි. රූප වන්දනාව සම්බන්ධයෙන් බයිබලයේ පවසන දේ සලකා බලන විට මෙය පිළිගත නොහැකි ක්‍රියාවක් බව පැහැදිලියි.

“ගැළවීම අයිති යෙහෝවාටයි” කියා ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් වෙනවා. (ගීතාවලිය 3:8, NW) මනුෂ්‍ය ආයතනවලින් හා ඒවායේ සංකේතවලින් ආරක්ෂාව හෝ ගැළවීම ලැබිය හැකි බව විශ්වාස නොකළ යුතුයි. “මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න” කියා ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට අවවාද කළා. (1 කොරින්ති 10:14) මුල් ක්‍රිස්තියානීන් රටට හා ජාතියට භක්ත්‍යාදරය පිරිනමන ක්‍රියාවලින් මුළුමනින්ම වැළකී සිටියා. එක්තරා කෘතියක (Those About to Die) ඩැනියෙල් පී. මැනික්ස් පැවසුවේ මෙසේයි. “රෝම අධිරාජ්‍යයාගේ ප්‍රතිමාවට පුද පූජා ඔප්පු කිරීම . . . මුල් ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කළා. එය බොහෝදුරට අදදින කොඩියට ආචාර කිරීම ප්‍රතික්ෂේප කිරීම හා සමාන ක්‍රියාවකි.” වර්තමානයේ සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙනුත් මෙය ඇත්තක්. යෙහෝවාට තනි භක්තිය පිරිනැමීමට තිබෙන ආශාව නිසා ඔවුන් ඕනෑම රටක ජාතික කොඩියට ආචාර කිරීමෙන් වැළකී සිටිනවා. මෙසේ කිරීමෙන් ඔවුන් දෙවිට මුල් තැන දෙනවා. ඒ අතරතුර ඔවුන් ආණ්ඩුවලටත් එහි පාලකයන්ටත් ගෞරවය දීමට අමතක කරන්නේ නැහැ. ඔව්, රජයේ “උසස් බලධාරීන්ට” යටත් වෙන්න වගකීමක් තිබෙන බව ඔවුන් පිළිගන්නවා. (රෝම 13:1-7, NW) එහෙත් ජාතික ගීය වැනි දේශානුරාගී ගී ගායනා කිරීම පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ සපයන්නේ කිනම් මඟ පෙන්වීමක්ද?

ජාතික ගී යනු කුමක්ද?

“ජාතික ගී දේශානුරාගී හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් වන අතර බොහෝදුරට රට වැසියන්ට හා පාලකයන්ට ආරක්ෂාව හා මඟ පෙන්වීම සපයන මෙන් දෙවියන්ට කරන ඇයදීමක්ද එහි ඇතුළත් කර තිබෙනවා” කියා දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා පවසනවා. ඇත්තෙන්ම කියනවා නම්, ජාතික ගීයක් කියන්නේ ජාතිය වෙනුවෙන් පවසන යාතිකාවක් හෝ ආගමික ගීතිකාවක්. සාමාන්‍යයෙන්, ජාතියේ අඛණ්ඩ පැවැත්ම හා සෞභාග්‍යය පිළිබඳව එහි ඉල්ලීමක් කර තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් යාච්ඤාවක ස්වරූපයකින් ප්‍රකාශ කරන එවැනි අදහස්වලට එකඟ විය යුතුද?

ප්‍රොපේත යෙරෙමියා ජීවත් වුණේ දෙවිට නමස්කාර කරනවායයි පැවසූ සෙනඟක් අතරෙයි. එහෙත් යෙහෝවා ඔහුට මෙසේ අණ කළා. ‘ඔබ වනාහි මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න. ඔවුන් උදෙසා විලාපද යාච්ඤාද ඔප්පු නොකරන්න. මට කන්නලව්ද නොකරන්න. මක්නිසාද මම ඔබේ බසට කන් නොදෙන්නෙමි.’ (යෙරෙමියා 7:16; 11:14; 14:11) යෙරෙමියාට මෙසේ අණ කරනු ලැබුවේ මන්ද? ඔහු ජීවත් වූ සමාජයේ මිනිස්සු සොරකම්, මිනීමැරුම්, පරදාර සේවනය, බොරුවට දිවුරීම හා රූප වන්දනාව වැනි ක්‍රියාවල ඇලී ගැලී සිටි නිසයි.—යෙරෙමියා 7:9.

යේසුස් ක්‍රිස්තුස් අපට ආදර්ශයට ගත හැකි යමක් පැවසුවා. එය සඳහන් වන්නේ මෙසේයි. “මම ඔවුන් ගැන අයදිමි. මම අයැදින්නේ ලෝකය ගැන නොව, නමුත් ඔබ මට දුන් අය ගැනය.” (යොහන් 17:9, NW) “මුළු ලෝකය නපුරාට යටත්” බවත් ‘එය පහ වී යන’ බවත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (1 යොහන් 2:17; 5:19, න.අ.) එසේ නම්, එවැනි ක්‍රමයක අඛණ්ඩ පැවැත්ම සඳහාත් එයට සෞභාග්‍යය අත් කර දීම සඳහාත් ආසිරි පතමින් යාච්ඤා කිරීම, ක්‍රිස්තියානියෙකුට හෘදය සාක්ෂියට එකඟව කළ හැකිද?

සෑම ජාතික ගීයකම දෙවියන්ට ආයාචනයක් ඉදිරිපත් නොකරන බව ඇත්තයි. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන ආකාරයට, “ජාතික ගීවල පළ කරන අදහස් එකිනෙකට වෙනස් වේ. පාලකයා වෙනුවෙන් කරන යාතිකා, ජාතියේ උන්නතියට තුඩු දුන් ගැටුම් හෝ උද්ඝෝෂණ . . . මෙන්ම දේශානුරාගී අදහස් ඒවායේ ඇතුළත් කර තිබේ.” නමුත් දෙවිව සතුටු කිරීමට වෑයම් කරන අයට ඕනෑම ජාතියක් විසින් සිදු කරන ලද යුද්ධ හෝ කැරලිගැසීම් පිළිබඳව සතුට ප්‍රකාශ කළ හැකිද? සැබෑ නමස්කාරකයන් පිළිබඳව යෙසායා පුරෝකථනය කළේ මෙලෙසයි. “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය.” (යෙසායා 2:4) තවද,“අපි මාංසයෙන් ගමන් කළත්, අප යුද්ධ කරන්නේ මාංසයේ ආකාරයට නොවේ. මන්ද, අප කරන යුද්ධයේ ආයුධ මාංසික ඒවා [නොවේ]” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා.—2 කොරින්ති 10:3, 4, NW.

ජාතික ගීයකින් සාමාන්‍යයෙන් ජාතික අභිමානයේ හැඟීම් ප්‍රකාශ කෙරෙනවා. එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස්ය යන හැඟීමට දිරි දෙන කිසිම අදහසක් ශුද්ධ ලියවිල්ලේ සොයාගත නොහැකියි. ඇරියෝපගයේ කතාවක් දෙන විට ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා. “මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස, [යෙහෝවා දෙවි] එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.” (ක්‍රියා 17:26, NW) “දෙවි සියල්ලන්ටම එක හා සමානව [සලකයි.] . . . මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය” යනුවෙන් ප්‍රේරිත පේතෘස් පැවසුවා.—ක්‍රියා 10:34, 35, NW.

බයිබලය පිළිබඳව තමන්ට ඇති අවබෝධය හේතුකොටගෙන කොඩියට ආචාර කිරීම හා දේශානුරාගී ගී ගායනා කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින්න ඇතමෙක් පෞද්ගලිකව තීරණය කර තිබෙනවා. එහෙත් මෙවැනි කාරණා හා සම්බන්ධ ගැටලුවකට කෙළින්ම මූණ දෙන විට ඔවුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?

ගෞරවාන්විතව වැළකී සිටිමු

පුරාණ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තම අධිරාජ්‍යයේ බලය තහවුරු කරගැනීම සඳහා දූරා සමභූමියේ විශාල රන් රූපයක් ඉදි කළා. ඉන්පසු එම රූපය කැප කිරීම සඳහා උත්සවයක් පැවැත්වූ අතර ඔහුගේ දිසාපතීන්ට, අධිපතීන්ට, ආණ්ඩුකාරයන්ට, විනිශ්චයකරුවන්ට හා වෙනත් උසස් නිලධාරීන්ට එයට පැමිණෙන මෙන් ආරාධනා කළා. සංගීතය වාදනය කිරීමට පටන්ගත් විගසම රූපය ඉදිරියේ බිම වැටී එයට නමස්කාර කළ යුතුයයි රැස් වී සිටි සියලුදෙනාටම දැනුම් දී තිබුණා. එක්රැස් වී සිටි සෙනඟ අතරේ ෂද්‍රක්, මේෂක් හා අබේද්නෙගෝ නම් වූ හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාද සිටියා. මෙම ආගමික ක්‍රියාවට තමන් හවුල් නොවන බව ඔවුන් පෙන්වූයේ කෙසේද? සංගීතය වාදනය කිරීමට පටන්ගත් විට රැස් වූ සියලුදෙනාම රූපය ඉදිරියේ බිම වැටී නමස්කාර කළ නමුත් හෙබ්‍රෙව් තරුණයන් තිදෙනා දිගටම සිටගෙන සිටියා.—දානියෙල් 3:1-12.

අද බොහෝවිට කොඩියට ආචාර කරන්නේ අත ඉදිරියට දික් කිරීමෙන් හෝ නළල නැත්නම් පපුව මත අත තැබීමෙන්. විශේෂ ඉරියව්වකින් සිටිය යුතු අවස්ථාද තිබෙනවා. සමහර රටවල පාසැල් සිසුන්ට දණ නමා කොඩිය සිඹින්නද සිදු වෙනවා. අන් අය කොඩියට ආචාර කරන අතරතුර සැබෑ ක්‍රිස්තියානීන් නිශ්ශබ්දව සිටගෙන සිටීමෙන් පෙන්වන්නේ ඔවුන් නිකම්ම ගෞරවාන්විත නිරීක්ෂකයන් කියායි.

කොඩිය හා බැඳි දේශානුරාගී උත්සවයකදී සිටගෙන සිටීමෙන් පවා එයට සහභාගි වන බවක් අඟවනවා නම් කුමක් කළ යුතුද? උදාහරණයකට, පාසැල් භූමියේ තිබෙන කොඩි ගස ළඟට ගොස් එහි කොඩියට ආචාර කිරීම සඳහා එක් ශිෂ්‍යයෙක්ව තෝරාගෙන තිබෙනවායයි සිතන්න. මුළු පාසැලම නියෝජනය කරමින් ඔහු කොඩියට ආචාර කරන අතරතුර පංති කාමරයේ සිටින සිසුන් සීරුවෙන් සිටගෙන සිටිය යුතුයි. එවැනි අවස්ථාවකදී සිටගෙන සිටීමෙන් පවා පිළිබිඹු කෙරෙන්නේ කොඩියට ආචාර කිරීම සඳහා පාසැල් නියෝජිතයෙකුව යැවීම සම්බන්ධයෙන් අපත් එකඟ වන බවයි. අපි කුමන ඉරියව්වකින් සිටගෙන සිටියත් අඟවන්නේ අපි එම උත්සවයට එකඟ වන බවයි. එසේ නම්, ගෞරවාන්විත නිරීක්ෂකයන් වීමට කැමති අය නිශ්ශබ්දව ඉඳගෙන සිටිය යුතුයි. එවැනි උත්සවයක් ආරම්භ වීමට පෙර පංතියේ සියලුදෙනාම සිටගෙන සිටිනවා නම් තත්වය කුමක්ද? එහෙමනම්, දිගටම සිටගෙන සිටීමෙන් එම උත්සවයට සහභාගි වන බවක් ඇඟවෙන්නේ නැහැ.

පෙළපාළියක, පංති කාමරයක හෝ වෙනයම් ස්ථානයක සිටින අයට කොඩියට ආචාර කිරීමට හැකි වන සේ එය අල්ලාගෙන සිටීමට පමණක් අපෙන් ඉල්ලා සිටිනවායයි සිතන්න. එය ‘රූප ඇදහීමෙන් පලා දුවන්න’ යන බයිබල් ආඥාව පිළිපදිනවා වෙනුවට එවැනි උත්සවයකට අපේ පූර්ණ සහයෝගය දීම පිළිබිඹු කෙරේ. දේශානුරාගී පෙළපාළිවලට සහභාගි වීම ගැන කියන්න තිබෙන්නේද එම දේමයි. මන්ද පෙළපාළියකට සහභාගි වීමෙන් අදහස් කරන්නේ එමගින් ගෞරවය දෙන දේට අපිත් ගෞරවය දෙනවා කියායි. එනිසා සැබෑ ක්‍රිස්තියානීන් තම හෘදය සාක්ෂියට එකඟව එවැනි දෙයකට සහභාගි වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ජාතික ගීයක් වාදනය කරන විට එම ගීතයේ අදහස් සමඟ තමා එකඟ වන බව පෙන්වීමට කරන්න තිබෙන්නේ සිටගැනීම පමණයි. එවැනි අවස්ථාවලදී ක්‍රිස්තියානීන් දිගටම තම ආසනවල රැඳී සිටිනවා. නමුත් ඔවුන් සිටගෙන සිටින අවස්ථාවකදී ජාතික ගීය වාදනය කරනවා නම් විශේෂයෙන්ම ඉඳගැනීමට පියවර ගත යුතු නැහැ. මන්ද එවැනි අවස්ථාවකදී ඔවුන් සිටගෙන සිටින්නේ ජාතික ගීය වාදනය කරන නිසා නොවෙයි. අනික් අතට, සිටගෙන ගායනා කිරීම කණ්ඩායමකගෙන් අපේක්ෂා කෙරේ නම්, ගායනා නොකර නිකම්ම ගෞරවාන්විතව සිටගෙන සිටීමෙන් එම ගීයේ අදහස්වලට එකඟ වන බවක් ඇඟවෙන්නේ නැහැ.

“යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න”

මිනිසා විසින් සාදන ලද වස්තූන්වලට නමස්කාර කිරීමේ නිෂ්ඵලත්වය ගැන ගීතිකාකරු විස්තර කරන්නේ මෙසේයි. “ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාසය තබන සියල්ලොත් ඒවාට සමාන වන්නෝය.” (ගීතාවලිය 115:4-8) එසේ නම්, ජාතික කොඩිය ඇතුළුව නමස්කාරය සඳහා සාදන ලද ඕනෑම වස්තුවක් නිෂ්පාදනය කිරීමට කෙළින්ම සම්බන්ධ වන රැකියා යෙහෝවාගේ නමස්කාරකයන්ට සුදුසු නැහැ. (1 යොහන් 5:21) රැකියා ස්ථානයේදීත් කොඩිය පිළිබඳව යම් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී තමන් නමස්කාර කරන්නේ යෙහෝවාට මිසක කොඩියටවත් එයින් නියෝජනය කරන දේටවත් නොවන බව ක්‍රිස්තියානියෙකු ගෞරවාන්විතව පෙන්වා දිය යුතුයි.

උදාහරණයකට, රැකියා ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙන කොඩියක් එසවීමට හෝ පහළට ගැනීමට ස්වාමියා සේවකයෙකුගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. එසේ කරනවාද නැද්ද යන්න යමෙකු තීරණය කළ යුත්තේ ඒ හා බැඳි තත්වයන් පිළිබඳව තමන් දරන දෘෂ්ටිය පදනම් කරගෙනයි. කොඩිය එසවීම හා පහළට ගැනීම සිදු කෙරෙන අතරතුර වෙනත් අය සීරුවෙන් සිටීම හෝ කොඩියට ආචාර කිරීම ඇතුළත් විශේෂ උත්සවයක් පැවැත්වෙනවා නම් එවැනි ක්‍රියාවකින් පෙන්වන්නේ අපිත් උත්සවයට එකඟ වන බවයි.

අනික් අතට, කොඩිය එසවීමේදී හා පහළට ගැනීමේදී කිසිම උත්සවයක් නොපැවැත්වේ නම්, මෙය නිකම්ම ගොඩනැඟිල්ලේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර එය සූදානම් කිරීම, දොර අගුල් ඇරීම හා වැසීම මෙන්ම ජනෙල් ඇරීම හා වැසීම වැනි කාර්යයන් හා සමානයි. එවැනි අවස්ථාවකදී කොඩිය රටේ සංකේතයක් වන අතර එය එසවීම හෝ පහළට ගැනීම නිකම්ම ඔබේ දින චර්යාවට ඇතුළත් වන අමතර වගකීමක් පමණයි. එසේ කරනවාද නැද්ද යන්න, එකිනෙකා තම තමන්ගේ බයිබලය මත පුහුණු කරන ලද හෘදය සාක්ෂියට අනුව පෞද්ගලිකව ගත යුතු තීරණයක්. (ගලාති 6:5) වෙනත් කෙනෙකුට එම වගකීම පවරන මෙන් ස්වාමියාගෙන් ඉල්ලා සිටීමට යමෙකුගේ හෘදය සාක්ෂිය ඔහුව පෙලඹවිය හැකියි. නමුත් වෙනත් අයෙකු තීරණය කළ හැකියි උත්සවයකට සම්බන්ධ නොවන නිසා එම කාර්යය ඔහුට කරන්න පුළුවන් කියා. තීරණය කුමක් හෝ වේවා දෙවි ඉදිරියේ “යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න” සැබෑ නමස්කාරකයෙකුට පුළුවන් විය යුතුයි.—1 පේතෘස් 3:16.

ගිනි නිවන ස්ථාන, නගර සභා කාර්යාල සහ පාසැල් වැනි ස්ථානවල සාමාන්‍යයෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කෙරෙනවා. එවැනි ගොඩනැඟිල්ලක වැඩ කිරීම හෝ එයට ඇතුල් වීම ශුද්ධ ලියවිල්ලට පටහැනි නොවෙයි. මුද්දර, වාහනවල අංක තහඩු හෝ රජය විසින් සාදන ලද වෙනත් අයිතම මත කොඩියේ රූපයක් තිබිය හැකියි. නමුත් ඒවා භාවිත කිරීම භක්ත්‍යාදරය පිරිනමන බවක් අඟවන්නේ නැහැ. වැදගත් දේ වන්නේ කොඩියක් හෝ එහි පින්තූරයක් එම භාණ්ඩ මත දකින්න තිබීම නොව, නමුත් යමෙක් එම සංකේතය දෙස බලන ආකාරයයි.

බොහෝවිට දොර ජනෙල්, කාර්, ලියන මේස හා වෙනත් භාණ්ඩවල කොඩි දැකගැනීමට තිබෙනවා. කොඩියේ ලාංඡනය සහිත ඇඳුම් පැළඳුම් පවා විකිණීමට තිබිය හැකියි. සමහර රටවල එවන් ඇඳුම් ඇඳීම තහනම් කර තිබෙනවා. එය නීතියෙන් තහනම් කර තිබුණත් නැතත්, යමෙකු එවැනි ඇඳුම් අඳිනවා නම් ලෝකයෙන් වෙන්ව සිටීම හා සම්බන්ධව ඔහුගේ ස්ථාවරය ගැන කුමක් කිව හැකිද? යේසුස් ක්‍රිස්තුස් තම අනුගාමිකයන් පිළිබඳව කීවේ ‘මා ලෝකයට අයත් නොවන්නා සේම ඔවුහුද ලෝකයට අයත් නොවෙති’ යන්නයි. (යොහන් 17:16, NW) එවැනි ක්‍රියාවකින් සෙසු ඇදහිලිවන්තයන්ගේ හෘදය සාක්ෂියට ඇති කළ හැකි බලපෑම ගැනත් අමතක නොකළ යුතුයි. එය ඇතමෙකුගේ හෘදය සාක්ෂියට බාධා කළ හැකිද? ඇදහිල්ලේ ස්ථිරව සිටීමට අදිටන් කරගෙන සිටින ඔවුන්ගේ ස්ථාවරය දුර්වල විය හැකිද? පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළා. ‘ඔබ නිදොස්ව සහ අනුන්ව බාධාවට පත් නොකරන පිණිස වඩා වැදගත් දේවල් ස්ථිර කරගෙන සිටින්න.’—පිලිප්පි 1:10, NW.

‘සියල්ලන්ටම කරුණාවන්තව’

මෙම “අන්තරා සහිත කාලවල්” තුළදී ලෝක තත්වයන් වඩ වඩාත් නරක අතට හැරෙද්දී ජනයා අතර දේශ ප්‍රේමී හැඟීම් උත්සන්න වීම බලාපොරොත්තු විය හැකියි. (2 තිමෝති 3:1) ගැළවීම අයිති යෙහෝවාට පමණයි කියා දෙවිට ප්‍රේම කරන්නන් වන අපි අමතක නොකරමු! ඔහුට තනි භක්තිය දිය යුතුයි. යෙහෝවාගේ කැමැත්තට විරුද්ධව යමක් කිරීමට යේසුස්ගේ ප්‍රේරිතයන්ගෙන් ඉල්ලා සිටි විට ඔවුන් පිළිතුරු දුන්නේ, “පාලකයා හැටියට අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවිටය” කියායි.—ක්‍රියා 5:29, NW.

‘ස්වාමින්ගේ දාසයා කලහකාරයෙකු නොවේ. ඔහු සියල්ලන්ටම කරුණාවන්ත විය යුතුයි’ කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (2 තිමෝති 2:24, න.අ.) එමනිසා ක්‍රිස්තියානීන් කොඩියට ආචාර කිරීම හා ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ ගනිද්දී තම බයිබලය මත පුහුණු කරන ලද හෘදය සාක්ෂියට අවනත වෙනවා. ඒ අතරතුරම, ඔවුන් අන්‍යයන් සමඟ සාමකාමීව, ගෞරවාන්විතව හා කරුණාවන්තව කටයුතු කිරීමටද වෑයම් කරනවා.

[23වන පිටුවේ පින්තූරය]

අධිෂ්ඨානපූර්වක නමුත් ගෞරවාන්විතව හෙබ්‍රෙව්වරුන් තිදෙනා දෙවිව සතුටු කිරීමට තෝරගත්තා

[24වන පිටුවේ පින්තූරය]

දේශානුරාගී උත්සවයකදී ක්‍රිස්තියානියෙක් ක්‍රියා කළ යුත්තේ කෙසේද?