පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
“යේසුස්ගේ නාමයෙන්” වැනි දෙයක් නොපවසමින් දෙවි වෙත යාච්ඤාවෙන් ළඟාවීම උචිතද?
බයිබලයේ පෙන්වා දෙන පරිදි යෙහෝවා වෙත යාච්ඤාවෙන් ළඟාවීමට කැමැත්තක් දක්වන්නාවූ ක්‍රිස්තියානීන් එසේ කළ යුත්තේ යේසුස්ගේ නාමයෙනි. යේසුස් තම අනුගාමිකයින්හට මෙසේ පැවසුවේය. “මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.” ඔහු ඊට මෙසේද එක් කළේය. “ඔබ මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත් පුත්‍රයා තුළ පියාණන් මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ට කරන්නෙමි. ඔබ විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ට කරන්නෙමි.”—යොහන් 14:6, 13, 14.
එක් ශාස්ත්‍රීය ග්‍රන්ථයක (Cyclopedia of Biblical, Theological, and Ecclesiastical Literature) යේසුස්ගේ අද්විතීය තනතුර ගැන සඳහන් කරමින් මෙසේ පවසා තිබිණි. “මැදහත්කරු වන යේසුස් ක්‍රිස්තුස් තුළින් යාච්ඤාව යොමු වනුයේ දෙවිට පමණකි. ඒ නිසා සාන්තුවරයන්ගෙන් හා දේවදූතයන්ගෙන් අයැදීම නිෂ්ප්රයෝජන දෙයක් වනවා පමණක් නොව එසේ කිරීම දේවාපහාසයකි. යම් මැවිල්ලක් කොතරම් උසස් වුවත් එයට කෙරෙන සියලු ආකාරයේ නමස්කාරයන් සැලකෙන්නේ රූප වන්දනා කිරීමේ ගණයෙහිලාය. මෙම ක්‍රියාව දෙවිගේ පරිශුද්ධ නීතිය තුළ තදින්ම තහනම් කර තිබේ.”
යමෙක් තම සතුටට බෙහෙවින් දායක වන දෙයක් අද්දැකීමෙන් අනතුරුව “යේසුස්ගේ නාමයෙන්යයි” නොපවසමින් “ස්තුතියි යෙහෝවා” කියා පැවසුවහොත් කුමක් කිව හැකිද? එසේ කිරීම නුසුදුසුද? අනිවාර්යයෙන්ම නැත. ක්‍රිස්තියානියෙකු භයානක අන්තරාවකට ගොදුරු වී මෙසේ මොරගැසුවායයි සිතන්න. “යෙහෝවා මට උදව් කරන්න!” මෙහිදී “යේසුස්ගේ නාමයෙන්” කියා නොපැවසූ නිසාම තම සේවකයාට උදව් කිරීම යෙහෝවා ප්‍රතික්ෂේප කරාවීයි කියා සිතීම උගහටය.
කෙසේවෙතත්, දෙවි සමඟ වුවද නිකම්ම ශබ්ද නඟා කතා කළ පමණින් එය යාච්ඤාවක් ලෙස ගණන් නොගැනෙන බව සැලකිල්ලට ගත යුතුය. උදාහරණයක් ලෙස, සිය සහෝදරයා වූ ආබෙල්ව මරණයට පත් කිරීම නිසා යෙහෝවාගේ විනිශ්චය ලැබුවායින් අනතුරුව කායින් මෙසේ පැවසීය. “මාගේ [වරද වෙනුවෙන් දෙනු ලැබූ, NW] දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය. බැලුව මැනව, ඔබ අද දවසෙහි භූමිතලයෙන් මා එළෙවුවේය. මමද ඔබ ඉදිරියෙන් සැඟවෙන්නෙමි. පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි. තවද මා සම්බ වෙන කවරෙක් නුමුත් මා [නිශ්චිත වශයෙන්ම, NW] මරන්නේය.” (උත්පත්ති 4:13, 14) මෙහිදී කායින් තම අදහස් ප්‍රකාශ කළේ යෙහෝවාට වුවත් ඇත්තෙන්ම ඔහු තම හැඟීම් පිට කළේ පාපයේ අමිහිරි ප්‍රතිඵල වෙනුවෙන් කෙරෙන පැමිණිල්ලක් ලෙසිනි.
බයිබලයේ මෙසේ පැවසේ. “දෙවි උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට [මහත්, NW] කරුණාව දෙන්නේය.” හුදු මනුෂ්‍යයෙකුට මෙන් නොසැලකිලිමත් අයුරින් මහෝත්තමයාණන්ට ඇමතීමෙන් නිශ්චිතවම පෙන්වන්නේ යටහත් පහත්කමේ ඌනතාවක් ඇති බවය. (යාකොබ් 4:6; ගීතාවලිය 47:2; එළිදරව් 14:7) එසේම යේසුස්ගේ කාර්යභාරය ගැන දෙවිගේ වචනයෙහි පවසන දෙය දැන දැනත් හිතාමතාම යේසුස් ක්‍රිස්තුස්ව පිළි නොගනිමින් යාච්ඤා කිරීම අගෞරවයකි.—ලූක් 1:32, 33.
මින් ඇඟවෙන්නේ යාච්ඤා කිරීමේදී අප එක්තරා විලාසයක් හෝ රීතියක් අනුගමනය කිරීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරන බව නොවේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම බලපාන කාරණය වන්නේ අපගේ සිතයි. (1 සාමුවෙල් 16:7) පොදු යුගයේ පළමු සියවසේ සිටි කොර්නේලියස් නම් වූ රෝම හමුදා නිලධරයෙක් ‘නිතරම දෙවිට යාච්ඤා කළේය.’ කොර්නේලියස් අන්‍යජාතික අචර්මච්ඡේදිතයෙක් වූ අතර යෙහෝවාට කැප වී සිටියේද නැත. ඒ නිසා ඔහු තම යාච්ඤා යේසුස්ගේ නාමයෙන් ඔප්පු කළායැයි සිතීම උගහටය. නුමුදු ඒවා “සිහිවීමක්කොට දෙවි ඉදිරියට පැමුණුණේය.” එසේ වූයේ මන්ද? කොර්නේලියස් ‘භක්තිවන්ත වූ . . . දෙවි කෙරෙහි භය ඇතිව සිටියාවූ . . . කෙනෙක්’ බව ‘සිත් සෝදිසි කරන්නා’ දුටු හෙයිනි. (ක්‍රියා 10:2, 4; හිතෝපදේශ 17:3) “නාසරිය යේසුස්” පිළිබඳව දැනුම ලබාගැනීම හේතුවෙන් කොර්නේලියස්ට ශුද්ධාත්මය ලැබුණු අතර යේසුස්ගේ බව්තීස්ම ලත් අනුගාමිකයෙක් බවට පත්වීමටද හැකි විය.—ක්‍රියා 10:30-48.
අවසාන වශයෙන් එළැඹිය හැකි නිගමනය නම්, දෙවි ඇහුම්කන් දෙන්නේ කිනම් යාච්ඤාවන්ටද කියා තීරණය කරන්නේ මනුෂ්‍යයන් නොවන බවය. යම් අවස්ථාවකදී ක්‍රිස්තියානියෙක් දෙවිව ඇමතීමේදී “යේසුස්ගේ නාමයෙන්” වැනි ප්‍රකාශයක් කිරීම ඔහුට අතපසු විය හැක. එසේ වුවහොත් ඔහු අනවශ්‍ය ලෙස තමාටම වරද පටවාගත යුතු නැත. මන්ද යෙහෝවා අපගේ අඩු පාඩුකම් ගැන හොඳින්ම දන්නා අතර ඔහු සෑදී පැහැදී සිටින්නේද අපට උපකාර කිරීමටය. (ගීතාවලිය 103:12-14) අප “දෙවිගේ පුත්‍රයා” කෙරෙහි ඇදහිල්ල තබනවා නම් “අප ඔහුගේ කැමැත්ත ලෙස කුමක් ඉල්ලුවත් ඔහු අපේ ඉල්ලීම අසන බවට” මුළුමනින්ම ස්ථිර වීමට අපට හැක. (1 යොහන් 5:13, 14, NW) එසේ වුවත්, විශේෂයෙන්ම අන්‍යයන්ව නියෝජනය කරමින් ප්‍රසිද්ධියේ කෙරෙන යාච්ඤාවලදී සත්‍ය ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබෙන ආකාරයට දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි කාර්යභාරය පිළිගනිති. එසේම තම යාච්ඤාවන් යේසුස් මාර්ගයෙන් දෙවි වෙත ඔප්පු කිරීම තුළින් ඔවුහු යේසුස්ව ගෞරවයට පත් කරලීමට කීකරුව වෑයම් කරති.