දැන් දැනෙන සුරක්ෂිතභාවය සදාකාලයටම සුරක්ෂිතව සිටීම
දැන් දැනෙන සුරක්ෂිතභාවය සදාකාලයටම සුරක්ෂිතව සිටීම
සුරක්ෂිතභාවය බොහෝවිට අත් කරගත නොහැකි දෙයක් වන්නේත්, එය ලැබුණත් එය තාවකාලික වන්නේත් මන්ද? ඊට හේතුව සුරක්ෂිතභාවයයැයි අපට හැඟෙන දෙය පදනම්ව ඇත්තේ සිත්හි මවාගත් දෙයක් මත නිසාද? එනම්, අපට ලැබිය හැකි දෙයකට වඩා ලබන්ට කැමති දෙයක් මත නිසාද? එවන් මායාවක් අප ජීවත් වන්නේ සිහින ලෝකයක බව අඟවයිද?
අනාරක්ෂිතභාවය ඇතුළු ජීවිතයේ යථාර්ථය ඉවතලා ලස්සන, ලස්සන සුරක්ෂිත වටපිටාවකට ඇතුල් වෙන්ටත් එම සිහිනය බිඳ දමන ඕනෑම දෙයක් නොතැකීමටත් මනඃකල්පිතය මනසට ඉඩහරී. එහෙත්, බොහෝවිට සිදු වන්නේ, සැබෑ ලෝකයේ ප්‍රශ්න ගැටලු සිහින ලෝකයට කඩා වැද සුරක්ෂිතභාවයේ හැඟීම් කුරිරු ලෙස පාගා පොඩි කර දමා සිහින මවන්නාව බැරෑරුම් කල්පනාවකට ඇද දැමීමයි.
දැන් අපි සුරක්ෂිතභාවය සඳහා මිනිසා යොමු වන එක් අංගයක් සලකා බලමු. එනම්, භූගෝලීය පිහිටීමයි. උදාහරණයක් හැටියට, විශාල නගරයක් බලාපොරොත්තු දනවන, හොඳ හැටි විනෝද වීමට අවස්ථා සලසන, පසුම්බිය තර කරගත හැකි තරමට පඩි ලැබෙන, උසස් පන්නයේ නවාතැන් සපයන තැනක් බව පෙනෙන්ට තිබිය හැකිය. එසේය, පුල පුලා බලා සිටි සුරක්ෂිතභාවයට පාර එය බව පෙනිය හැකිය. එහෙත් එම දෘෂ්ටිය යථාර්ථවාදීද?
පිහිටීම—විශාල නගරයක්ද? ලොකු සිහිනයක් පමණක්ද?
දියුණු වෙමින් පවතින රටවල, විශාල නගරවලට සංක්‍රමණය වීමට වූ ආකර්ෂණය ඇති කරන්නේ මනඃකල්පිත දේවල් සිතේ ඇති කරවන දැන්වීම් පළ කිරීමෙනි. එවන් දැන්වීම් පිටුපස සිටින සංවිධාන අනිවාර්යයෙන්ම ඔබේ සුරක්ෂිතභාවයට වඩා ඔවුන්ගේ වෙළඳාම ගැන තකති. ඔවුහු සැබෑ ලෝකයේ තිබෙන ප්‍රශ්න ගැටලු හංගා සුරක්ෂිතභාවය ඇති සාර්ථකත්වයේ මුහුණුවරක් මවා පාති. මෙසේ, සුරක්ෂිතභාවය ඔවුන්ගේ දැන්වීමෙන් ප්‍රචාරය කළ භාණ්ඩය හා විශාල නගරය හා බැඳි දෙයක් බවට පත් වෙයි.
මීළඟට ඇති උදාහරණය සලකා බලන්න. දුම්පානය කිරීම ඇත්තෙන්ම වෙහෙසී හරිහම්බ කරගත් මුදල් පුළුස්සා දැමීමක් බව ඉතා පැහැදිලිව දක්වමින් එක්තරා බටහිර අප්‍රිකානු රටක අධිකාරීහු දැන්වීම් පුවරු එල්ලූහ. එය දුම්පානයට එරෙහිව රටවැසියන්ට අනතුරු ඇඟවීමේ ව්‍යාපාරයක එක් අංගයක් විය. මේ සම්බන්ධයෙන් දුම්වැටි නිෂ්පාදකයෝ සහ විකුණන්නෝ නිකම් සිටියෝද? නැත. දුම්පානය කරන්නෝ සන්තෝෂය හා සාර්ථකත්වය ලබන ආකාරය පෙන්වන දර්ශනීය දැන්වීම් පුවරු ඔවුහු ඉතා දක්ෂ ලෙස නිර්මාණය කළෝය. ඊට අමතරව, එක්තරා දුම්වැටි සමාගමක් එහි සේවකයන්ට විච්චූර්ණ ඇඳුම් හා දිලිසෙන බේස්බෝල් තොප්පි අන්දවා, ඔවුන් ලවා වීදි පුරා සිටින තරුණයන්ට දුම්වැටි බෙදා දෙනු ලැබීය. ඔවුන්ව දිරිගැන්වූයේ, “බීලා බලන්න” කියායි. මෙම තරුණයන්ගෙන් වැඩිදෙනෙකු පැමිණ තිබුණේ පිටිසර ගම්වලිනි. මොවුහු සටකපට දැන්වීම්වලට හුරු පුරුදු අය නොවූහ. එබැවින් එම ආරාධනාවට අසු වූහ. ඔවුහු දුම්පානයට ඇබ්බැහි වූහ. තරුණ ගැමියන් මේ විශාල නගරයට ඇදී ආවේ, ඔවුන්ගේ පවුල්වලට මූල්‍යමයව සපයමින් සුරක්ෂිතභාවය සොයාගැනීමටය.
වුණේ වෙන දෙයකි. ප්‍රයෝජනවත් අරමුණක් උදෙසා පාවිච්චි කළ හැකිව තිබූ මුදල් වැඩිහරියක් මෙසේ පුළුස්සා දැමුණි.විශාල නගරයට පැමිණ සාර්ථක වීම පිළිබඳ ප්‍රචාරය සැමවිටම ඇරඹෙන්නේ වෙළෙන්දන්ගෙන්ම නොවේ. නැවත තමන්ගේ ගමට යෑමට ලැජ්ජාවෙන් පසු වන ජනයාගේ කටින්ද මෙම දුරුපරික්ෂාව පැමිණේ. තමන් අසාර්ථක වූවායැයි නොපෙන්වීමට නගරයේදී තමන් ලැබුවායැයි කියන ධනය හා අත් කරගැනීම් ගැන ඔවුහු පුරසාරම් දොඩති. කෙසේවෙතත්, ඔවුන් අත් කරගත්තැයි කියන තත්වය වෙත ඉතා සමීප බැල්මක් හෙළූ විට හෙළි වන්නේ, ඔවුන්ගේ ගමේ ජීවිතයත් දැන් ජීවන රටාවත් අතර වෙනසක් නැති බවය. ඔවුහුද අනෙක් නගර වැසියන් මෙන් මුදල් වෙනුවෙන් විශාල පොරබැදීමක යෙදී සිටිත්.
විශේෂයෙන්ම විශාල නගරවලට සුරක්ෂිතභාවය සොයා අලුතින් පැමිණෙන්නෝ නගරයේ සිටින ප්‍රතිපත්තියක් නැති අයගේ ගොදුරු බවට පත් වෙති. ඒ කෙසේද? සාමාන්‍යයෙන්, මේ නවකයන්ට කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අවස්ථාවක් නැත. එමෙන්ම ඔවුන්ගේ පවුල්වල අය සිටින්නේද බොහෝ දුර බැහැරය. එමනිසා, ද්‍රව්‍යවාදී නාගරික ජීවිතයේ උගුල්වලින් වැළකී සිටීමට උපකාර කළ හැකි උපදේශකයෙක් ඔවුන්ට නොමැති විය හැක.
දුම්පානය කිරීමේ මර උගුලට ෂෝස්වියේ හසු වූයේ නැත. තවදුරටත්, නාගරික ජීවිතය ඔහුගෙන් බල කර ඉල්ලා සිටින දේවල් දීමට තමන්ට නොහැකි බවද ඔහු තේරුම්ගත්තේය. නගරයට දිය හැකි හොඳම දෙය නම්, ලොකුම ලොකු ඉටු කරගත නොහැකි හීනයන් පමණි. නගරය තුළ ඔහුට සැබෑ සුරක්ෂිතභාවය නොතිබූ බව ඔහු වටහාගත්තේය. ඔහු ඒ ජීවිතයට අයිති නැත. හිස්කමේ, පහත්බවේ හා අසාර්ථකත්වයේ හැඟීම් ඔහුව පාගා දැමුවේය. අවසානයේදී උඩඟු මාන්නය පසෙකලා ඔහු නැවත ගමට ගියේය.
ගම්මු සමච්චල් කරයි කියා ඔහු සැක කළේය. එහෙත්, ඔහුගේ පවුලේ උදවිය හා සැබෑ මිතුරෝ හද පිරි සතුටින් ඔහුව පිළිගත්තෝය. ඔහුගේ පවුලේ අයගේ උණුසුම, ගමේ සුන්දර වූ හුරු පුරුදු වටපිටාව හා ක්‍රිස්තියානි සභාවේ සිටින ඔහුගේ මිතුරන්ගේ ආදරය වැනි දේට ස්තුතිවන්ත වන්ට බොහෝ සිහින නපුරු සිහිනයක් පමණක් කළ විශාල නගරයේ සිටිනවාට වඩා සුරක්ෂිතභාවයක් ඔහුට හැඟුණි. ඔහු තම පියා සමඟ මහන්සි වී හේනේ වැඩ කළේය. ඔහුවත් ඔහුගේ පවුලේ උදවියවත් පුදුමයට පත් කරමින් නගරයේදී ඉතිරි කරගත් මුදලට වඩා වැඩි මුදලක් හම්බ කරගන්ට ඔහුට හැකි විය.
මුදල්—සැබෑ ගැටලුව කුමක්ද?
මුදල් ඔබට සුරක්ෂිතභාවයේ හැඟීමක් ලබා දෙයිද? කැනඩාවේ පදිංචි ලිස් මෙසේ සඳහන් කරන්නීය. “අපව කනස්සල්ලෙන් නිදහස් කරන්න සල්ලිවලට පුළුවන්ය කියලා තරුණ අවධියේදී මං හිතුවා.” මුදල් අතින් අගහිඟකමක් නැති කෙනෙකු හා පෙමින් බැඳුණු ඇය, වැඩි කල් නොගොස් ඔහු හා විවාහ විය. ලිස්ට සුරක්ෂිතභාවයක් හැඟුණාද? ඇය මෙසේ කියයි. “විවාහ වුණාට පස්සේ, අපිට ලස්සන ගෙයක් කාර් දෙකක් එහෙම තිබුණා. අපේ ආර්ථික තත්වයට අනුව අපි කැමති ඕනෑම ද්‍රව්‍යමය දෙයක්, ඒ කියන්නේ ගමන් බිමන්, විනෝද සවාරි, විනෝදාස්වාදය වැනි ඕනෑම දෙයක් කරන්න අපිට අවස්ථාව ලැබුණා. පුදුමේ කියන්නේ, ඒ ඔක්කොම තිබිලත් මම සල්ලි ගැන කරදර වුණා.” ඊට හේතුව? “අපිට නැති වෙන්නත් ගොඩාක් දේවල් තිබුණා. ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ, සුරක්ෂිතභාවය හැඟෙන්නේ අඩුවෙන් කියන එකයි. සල්ලි, කරදරවලින් නැත්නම් කනස්සල්ලෙන් නිදහසක් ගෙනාවේ නැහැ.”
සුරක්ෂිතව සිටීමට තරම් මුදලක් ඔබ සතුව නැතැයි කියා ඔබට සිතෙයි නම් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘සැබෑ ගැටලුව කුමක්ද? ගැටලුව මුදල් මදිකමද? එසේ නැත්නම් මුදල් බුද්ධිමත් ලෙස පාලනය නොකිරීමද?’ තම අතීතය පුබුදුවන ලිස් මෙසේ කියයි. “මං කුඩා කාලයේදී අපේ පවුලේ ගැටලුව වුණේ සල්ලි හරියට පාලනය නොකිරීම බව මම දැන් තේරුම් අරගෙන තියෙනවා. අපි බඩු ගත්තේ ණයට. ඉතිං හැම වෙලේම හිටියේ ණය බරින්. ඒ නිසා අපි ජීවත් වුණේ කනස්සල්ලෙන්.”
කෙසේවෙතත්, අද ඔවුන්ට එතරම් මුදලක් නොතිබුණත්, ලිස් හා ඇගේ ස්වාමි පුරුෂයා වඩා සුරක්ෂිතභාවයකින් පසු වෙයි. ඔවුහු දෙවිගේ වචනයේ ඇති සත්‍යතා ඉගෙනගනිද්දී, මුදල් පිළිබඳ පොලඹවනසුලු දේවලට ඇහුම්කන් දීම නවතා, “මට ඇහුම්කන් දෙන තැනැත්තේ සුවසේ වාසය කොට, විපතට භය නොවී, නිශ්චලව සිටින්නේය” වැනි දෙවිගේ ප්‍රඥාවන්ත වදන් වලට ඇහුම්කන් දෙන්ට පටන්ගත්හ. (හිතෝපදේශ 1:33) ලොකු බැංකු ගිණුමකින් දිය හැකිවාට වඩා අරුතක් ජීවිතයට අත් කරගැනීමට ඔවුන්ට වුවමනා විය. දැන් ඔවුහු ඈත රටක මිෂනාරිවරුන් හැටියට සේවය කරන අතර යෙහෝවා දෙවි නුදුරු අනාගතයේදී මුළු පොළොවටම ගෙනෙන සුරක්ෂිතභාවය ගැන දුප්පත් පොහොසත් සැමෝටම උගන්වති. එම ඉගැන්වීමේ වැඩය උතුම් අරමුණක් හා මිල කළ නොහැකි සාරධර්ම කරණකොටගෙන ලබා දෙන, ගැඹුරු ඇතුළාන්ත තෘප්තියක් හා ශක්තියක් සපයන්නකි. එය මුදලට ලබාගත නොහැක.
මේ මූලික සත්‍යය මතක තබාගන්න. ද්‍රව්‍යමය අතින් ධනවත් වෙනවාට වඩා දෙවි කෙරෙහි ධනවත් වීම වැඩියෙන් වටී. ශුද්ධ ලියවිල්ල පුරාම කාවද්දවා තිබෙන්නේ, ධන සම්පත් ලබාගන්නවා වෙනුවට යෙහෝවා සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගැනීම ගැනයි. එය රැකගැනීම සඳහා ඇදහිලිවන්තව දෙවිගේ කැමැත්ත දිගටම කිරීම අවැසිය. ‘දෙවි කෙරෙහි පොහොසත් වීමට හා ස්වර්ගයේ වස්තු’ රැස් කරගැනීමට ක්‍රිස්තුස් යේසුස් අපට දිරිගැන්වීය.—ලූක් 12:21, 33.
තත්වය—කොහෙන් නිම වෙයිද?
සුරක්ෂිතභාවයට මඟ සමාජ හිනිමඟ නැඟීමයි කියා සිතීමට ඔබ පෙලඹේ නම් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘සැබෑ සුරක්ෂිතභාවය තිබෙන්නේ හිනිමඟේ කොයි හිනිපෙත්තේ සිටින්නා ළඟද? එය අත් කරගැනීමට මම කොපමණ ඉහළට නැඟිය යුතුද?’ සාර්ථක රැකියාවක් ව්‍යාජ සුරක්ෂිතභාවයේ හැඟීමක් ලබා දිය හැකිය. එමගින්,
බලාපොරොත්තු කඩ වෙන්ටද පුළුවන. වැටී දරුණු අතක් පයක් කඩාගෙන හෝ බේරුණොත් ඇතිය!මිනිසුන් ඉදිරියේ නමක් ඇති කරගන්නවාට වඩා දෙවි ඉදිරියේ හොඳ නාමයක් ඇති කරගැනීම සුරක්ෂිතබවක් ලබා දෙන බව සැබෑ ජීවිත අද්දැකීම් හෙළි කරයි. සදාකාල ජීවනයේ ත්‍යාගය මිනිසුන්ට දිය හැක්කේ යෙහෝවාට පමණි. එය ලබාගැනීමට නම්, අපේ නම සමාජයේ රන් අකුරෙන් ලියවාගන්නවා වෙනුවට දෙවිගේ ජීවන පොතෙහි ලියවාගැනීම අත්‍යවශ්‍යය.—නික්මයාම 32:32; එළිදරව් 3:5.
සිහින මැවීම නවතා, ඔබේ වත්මන් තත්වය ගැන ඔබ තක්සේරු කරන්නේ කෙසේද? අනාගතයෙන් ඔබට අවංකවම බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? කිසිවෙකුට සෑම දෙයක්ම උරුම කරගත නොහැකිය. එක්තරා ඥානවන්ත ක්රිස්තියානිවරයෙකු කීවේ, “ජීවිතය කියන්නේ අරක නැත්තම් මේක මිස, අරකයි මේකයි දෙකම නොවෙයි කියල මම ඉගෙනගත්තා” කියායි. මොහොතකට නවතින්න! කොටුවේ තිබෙන “බෙනින්හිදී කියූ කතන්දරයක්” කියන කොටස කියවන්න.
දැන් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මගේ ජීවිතයේ වැදගත්ම ඉලක්කය මොකක්ද? ඒ වෙත ළඟා විය හැකි කෙටිම මඟ මොකක්ද? මම සිටින්නේ දිග අනාරක්ෂිත අතුරු පාරකද? මට ඇත්තටම ඕනෑ කරන යථාර්ථවාදී දේවල් ලබාගැනීමට මීට වඩා සංකීර්ණභාවයෙන් අඩු මාවතක් තියෙනවාද?
ද්‍රව්‍යමය දේ ආත්මික දේ සමඟ සන්සන්දනය කර ඒවා අතර ඇති සාපේක්ෂ වටිනාකම ගැන උපදෙස් දුන්නායින් පසු, ඇස ‘පැහැදිලිව [සරලව, NW]’ නැතහොත් “නාභිගතව” තබාගන්නා ලෙස යේසුස් පැවසීය. (මතෙව් 6:22, NW පාදසටහන) ජීවිතයේ වඩා වැදගත්ම දේවල් වන්නේ දෙවිගේ නාමය හා ඔහුගේ රාජ්‍යය වෙත නාභිගත කර ඇති ආත්මික සාරධර්ම හා ඉලක්කයන් බව ඔහු පැහැදිලි කළේය. (මතෙව් 6:9, 10) අනිකුත් දේවල් වටිනාකමෙන් අඩු දේවල්ය. හරියට එල්ලයෙන් පිට තිබෙන දේවල් සේය.
දැන් තිබෙන බොහෝ කැමරාවලට ළඟත් දුරත් ස්වයංක්‍රීයව නාභිගත කිරීමේ හැකියාව තිබේ. ඔබේ නැඹුරුවාවත් එයමද? දකින සෑම දෙයක් වෙතම ඔබේ අවධානය “නාභිගත” කිරීමට ඔබ නැඹුරුවාවක් දක්වනවාද? එනම් දකින දකින දේවල් වැදගත්, ප්‍රයෝජනවත් හා සිහින මැව්වොත් ලබාගත හැකියයි සිතන දේවල් ලෙස සැලකීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වේද? මෙය යම් දුරකට හෝ ඔබ සම්බන්ධයෙන් සැබෑවක් වේ නම්, ක්‍රිස්තියානීන්ගේ වැදගත්ම ඉලක්කය වන දේවරාජ්‍යය වෙනත් දේවල් අතරේ වැටී ඊට එරෙහිව ඔබේ අවධානය ලබාගැනීමට ඒ දේවල් වලි කනු ඇත. මේ සම්බන්ධයෙන් යේසුස්ගේ ප්‍රබල අනුශාසනාව වූයේ මෙයයි. “පළමුව ඔහුගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්න. අනිකුත් සියලු දේත් ඔබට එකතු කරනු ලබන්නේය.”—මතෙව් 6:33, NW.
දැනුත් සදාකාලයටත් සුරක්ෂිතව
අපගේ හා අප ප්‍රේම කරන අයගේ සුභසාධනය වෙනුවෙන් අපි සැවොම සිහින මවන්නෙමු. කෙසේවෙතත්, අප අසම්පූර්ණය, ජීවත් වන්නේ අසම්පූර්ණ ලෝකයකය, ඇත්තේ සීමිත ආයුෂ ප්‍රමාණයක්ය යන කාරණා, අප අත් කරගැනීමට කැමති යථාර්ථවාදී අපේක්ෂාවන් සීමා කිරීමට බල කරයි. දැනට අවුරුදු දහස් ගණනාවකට පෙර බයිබල් ලේඛකයෙක් මෙසේ පැවසුවේය. “නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධ වෙන බව දුටිමි.”—දේශනාකාරයා 9:11.
සමහර අවස්ථාවලදී අප කොතරම් ජීවිතයේ කාරණාවල ගිලී සිටිනවාද කිවහොත්, අපි කවුද, සැබෑ සුරක්ෂිතභාවයේ හැඟීම ඇති කරගැනීම සඳහා අපට අවශ්‍ය කරන්නේ මොනවාද යන්න අපට අමතක වේ. මේ ඉපැරණි ඔවදන් සලකා බලන්න. “ධන සම්පත්වලට ඇලුම්වන්නා ධන සම්පතින්වත්, වස්තුවට ඇලුම්වන්නා වස්තුවෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. දේශනාකාරයා [ධර්මදේශකයා] 5:10, 12, න.අ.) එසේ නම්, ඔබේ සුරක්ෂිතභාවය රඳා තිබෙන්නේ කොහේද?
මෙයද නිසරු දෙයකි. කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුවසේ සැතපිය හැකිය. එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත.” (ඔබේ තත්වයත් ෂෝස්වියේගේ යථාර්ථවාදී නොවූ සිහිනයට ටිකක් හෝ සමාන නම්, ඔබේ සැලසුම් වෙනස් කරගැනීමට ඔබට හැකිද? ෂෝස්වියේගේ පවුලේ උදවිය හා ක්‍රිස්තියානි සභාවේ සිටි ඔහුගේ මිතුරන් වැනි ඔබට ඇත්තටම ප්‍රේම කරන අය ඒ දේ කිරීමට ඔබට උදව් කරාවි. ඔබෙන් අනිසි වාසි ලබාගැනීමට උත්සාහ කිරීමට ඉඩ ඇති නන්නාඳුනන නාගරික ජනයා වෙනුවට, ඔබේම හුරු පුරුදු වටපිටාවේ ඔබට ආදරය කරන අය අතරේ සිටීමෙන් ඔබට වඩා වැඩි සුරක්ෂිතභාවයක් අද්දැකිය හැකිය.
ඔබට යමක් කමක් තිබේ නම්, ලිස් හා ඇගේ ස්වාමි පුරුෂයා කළා සේ ඔබේ ජීවිත රටාවත් වෙනස් කරගන්ට ඔබටත් හැකිද? එසේ කරමින් ඔවුන් මෙන්, දුප්පත් පොහොසත් සැමෝටම සැබෑ සුරක්ෂිතභාවය අත් කරගත හැකි දේවරාජ්‍යය පිළිබඳව ඉගෙනගැනීමට ජනයාට උදව් කරමින් වැඩි කාලයක් හා ශක්තියක් ඒ සඳහා වැය කළ හැකිද?
ඔබ සමාජයේ හෝ රැකියාවේ ඉහළ තත්වයක් හෝ තනතුරක් පසු පස හඹා යමින් සිටී නම්, එසේ කිරීමට ඔබව පොලඹවන්නේ කුමක්ද කියා අවංක ආත්ම සෝදිසියක් කිරීමට ඔබ කැමති විය හැකිය. ඔබට ලබාගත හැකි යම් යම් පහසුකම් ජීවිතයේ සතුට වැඩි කිරීමට හේතු විය හැකි බව ඇත්තකි. ඒ අතරම, තිරසාර සුරක්ෂිතභාවය ගෙනා හැකි එකම මාධ්‍යය වන දේවරාජ්‍යය වෙත ඔබේ දෘෂ්ටිය දිගටම නාභිගත කර තබාගත හැකිද? යේසුස්ගේ වචන නැවත මතක් කරගන්න. “ගැනීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබේ.” (ක්‍රියා 20:35, NW) ක්‍රිස්තියානි සභාවේ විවිධ ක්‍රියාකාරකම්වල ඔබ හොඳින් නිරත වේ නම්, ඔබට විපාකදායී සුරක්ෂිතභාවයක් අද්දැකිය හැකිය.
යෙහෝවා හා ඔහුගේ රාජ්‍යය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන අය දැනුදු හද උණුසුම් කරන සුරක්ෂිතභාවයක් අද්දකින අතර, අනාගතයේදී ලැබෙන පූර්ණ සුරක්ෂිතභාවය කෙරෙහිද නෙත් හෙළා සිටිති. ගීතිකාකරු මෙසේ කීවේය. “[යෙහෝවාව] නිතර මා ඉදිරියෙහි තබාගතිමි. [ඔහු] මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල් වෙන්නෙමි. එබැවින් මාගේ සිත සන්තෝෂ වේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව [සුරක්ෂිතව] වසන්නේය.”—ගීතාවලිය 16:8, 9.
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බෙනින්හිදී කියූ කතන්දරයක්
මේ කතන්දරය දහස් වාරයක් විවිධ ස්වරූපවලින් කියා තිබේ. මේ මෑතකදී, බටහිර අප්‍රිකාවේ බෙනින් නමැති රටේ වෙසෙන මහලු ගැමියෙක් බාලයන් කිහිපදෙනෙකුට එම කතන්දරය මෙලෙස කීවේය.
පිට රටක සිට දියුණු වෙමින් පවතින මේ රටට පැමිණි ව්‍යාපාරික ක්ෂේත්රය පිළිබඳ විශේෂඥයෙකු වූ මේ උගතාට වෙරළට ගොඩබට මසුන් මරන්නෙක් මුණ ගැහෙනවා. ඔහු වේලාසනින් ආවේ ඇයිදැයි උගතා මසුන් මරන්නාගෙන් අසනවා. තව වේලාවක් මුහුදේ සිටීමට ඔහුට හැකියාව තිබුණත්, හොද්දට ඇති තරම් මසුන් අල්ලාගත් නිසා පැමිණි බව මසුන් මරන්නා කියනවා.
“ඔහේ ඉතුරු කාලෙන් මොකද කරන්නේ?” උගතා ඇසුවා.
“මම හොද්දට ඇති තරම් මාළු ටිකක් අල්ලගෙන, දරුවොත් එක්ක ටිකක් සෙල්ලම් කරලා, ඉර අව්ව වැඩි වෙනකොට ටිකක් නිදාගෙන, රෑට කට්ටියත් එක්ක එක්කහු වෙලා කෑම කාලා, රෑ වෙලා මයෙ යාළුවන් එක්ක සිංදුවක් දෙකක් කියල විනෝද වෙනවා.” මසුන් මරන්නා එහෙම උත්තර දුන්නා.
උගතා ඔහුට බාධා කරමින් මෙහෙම කිව්වා. “මේ උන්නැහේ, මට විශ්ව විද්‍යාලයේ උපාධියක් තියෙනවා, මං ඉගෙනගත්තේ ඔය වැනි කාරණා ගැන තමයි. ඔහේට උදව් කරන්න මං ලේස්තියි. හැබැයි තව වැඩි කාලයක් ඔහේ මුහුදේ ඉඳලා මාළු ඇල්ලුවා නම් තමයි හොඳ. එතකොට, ටිකක් වැඩියෙන් හම්බ කරලා ඔය ඔරුවට වඩා ලොකු බෝට්ටුවක් ගත්තෑකි. ලොකු බෝට්ටුවක් දියඹට දැම්මොත් තව වැඩියෙන් හම්බ කරතෑකි. එතකොට, ට්‍රෝලර් බෝට්ටු (මාදැල් යාත්‍රා) දෙක තුනක් මුහුදු යවතෑකි.”
“ඊට පස්සේ?” මසුන් මරන්නා ඇසුවා.
“ඊට පස්සේ, අතරමැදියෙක් ලවා මාළු විකුණා ගන්නවා වෙනුවට, ඔහේට පුළුහං කෙළින්ම මාළු පැක්ටේරියත් එක්ක ගාන කතා කරගන්ට, එහෙම නැත්තම් ඔහේගෙම මාළු පැක්ටේරියක් පටංගන්ට. ගමෙන් පිට වෙලා, කොටොනෞ, පැරීසිය නැත්තම් නිව්යෝක් නගරයට ගිහිල්ලා, එහෙ ඉඳන් ව්‍යාපාර කටයුතුත් කරතෑකි. ව්‍යාපාරය කොටස් වෙළඳපොළට දාලා හොඳ පොහොසතෙක් වෙන්නත් හිතලා බලන්ට ඔහේට පුළුවනි.”
“ඔය වැඩේට තව කොච්චර කාලයක් යයිද මහත්තයෝ?” අසා සිටි මසුන් මරන්නා ප්‍රශ්න කෙරුවා.
“සමහරවිට අවුරුදු 15ක් 20ක්.”
“ඉතිං ඉතිං ඊට පස්සේ?” මසුන් මරන්නා විමසුවා.
“එතකොට තමයි ජීවිතේ හොඳම හරිය පටන්ගන්නේ,” උගතා කිව්වා. “ඊට පස්සේ ඔහේට පුළුවනිනෙ විශ්‍රාම ගන්න. එතකොට නගරයේ සද්ද බද්දවලින් දුරු වෙලා ඈත ගමකට වෙලා ජීවත් වෙන්න බැරියැ.”
“ඊටත් පස්සේ මහත්තයෝ?” මසුන් මරන්නා අන්තිමට ඇසුවා.
“ඊට පස්සේ ඉතිං, හොද්දට ඇති තරම් මාළු ටිකක් අල්ලගෙන, දරුවොත් එක්ක ටිකක් සෙල්ලම් කරලා, ඉර අව්ව වැඩි වෙනකොට ටිකක් නිදාගෙන, රෑට කට්ටියත් එක්ක එක්කහු වෙලා කෑම කාලා, ඔහේගෙ යාළුවන් එක්ක සිංදුවක් දෙකක් කියලා විනෝද වෙන්න ඔහේට පුළුවනිනෙ” කියමින් මේ උගතා සාකච්ඡාව අවසන් කළා.
[7වන පිටුවේ පින්තූර]
උසස් වීමක් සුරක්ෂිතභාවය ගෙනෙයිද?
[8වන පිටුවේ පින්තූර]
සෙසු ක්‍රිස්තියානීහු ඔබේ සුරක්ෂිතභාවය ගැන සැබෑ උනන්දුවක් දක්වති