පොළොව—තාවකාලික වාසස්ථානයක්ද?
පොළොව—තාවකාලික වාසස්ථානයක්ද?
සති දෙකක් පුරා දැඩි මානසික පීඩනයක් යටතේ විභාගයකට මුහුණ දුන් ශිෂ්‍යාව විශිෂ්ට ලෙස සමත් වී ඇත. ඇයට දැනෙන්නේ මොනතරම් සහනයක්ද! දැන් කාලයක් පුරා ඉලක්ක කරගෙන සිටි රැකියාව ඇයට ලබාගැනීමට පුළුවන.
බොහෝදෙනෙකු මෙලොව ජීවිතය සලකන්නෙත් ඒ හා සමානවය. එනම්, සියලුදෙනාම තම සුදුසුකම් ඔප්පු කිරීම සඳහා මුහුණ දිය යුතු පරීක්ෂණයක් ලෙසය. ඉන් “සමත් වන” අයට මතු ජීවිතයේදී වඩාත් යහපත් තත්වයක් ලැබේවියයි ඔවුහු විශ්වාස කරති. අදදින බොහෝදෙනෙක් ජීවත් වෙන්නං වාලේ ජීවත් වෙති. මිනිසාට බලාපොරොත්තු විය හැක්කේ එවන් ජීවිතයක් පමණක් නම් එය ඇත්තෙන්ම කනගාටුදායකය. උදාහරණයක් වශයෙන් බයිබල් චරිතයක් වන යෝබ් ගැන සිතා බලන්න. ඔහු තම ජීවිතයේ වැඩි කාලයක් පුරා හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටියේය. තවද සැප සම්පත් අතින්ද ඔහුට කිසිම අඩුවක් තිබුණේ නැත. එහෙත් ඔහු පවා මෙසේ කීමට පෙලඹිණ. “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.”—යෝබ් 14:1.
බොහෝදෙනෙකුගේ විශ්වාසය පිළිබිඹු කරමින්, නව කතෝලික විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කරයි. “දෙවිගේ අභිප්‍රාය වන්නේ මිනිසා ස්වර්ගික තේජස අත් කරගන්නවා දැකීමයි. . . . මිනිසා නියම සන්තෝෂය අත් කරගන්නේ ඔහු ස්වර්ගික සැප භුක්ති වින්දොත් පමණයි.” අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිස්තු සභාව විසින් කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, ඒ සඳහා සහභාගි වූ අයගෙන් සියයට 87ක්ම මරණින් පසු තමන් ස්වර්ගයට යනවායයි විශ්වාස කරන බවය.
මෙලොව අත්හැර වඩාත් යහපත් ස්ථානයකට යෑමේ බලාපොරොත්තුව ක්‍රිස්තියානි නොවන බොහෝදෙනෙකු තුළ පවා තිබේ. උදාහරණයකට, මුස්ලිම්වරුන් බලා සිටින්නේ ස්වර්ගික පාරාදීසයකට ඇතුල් වීමටය. චීනයේ හා ජපානයේ ශුද්ධ භූමි නිකායට (පියෝ ලෑන්ඩ් සෙක්ට්) අයත් බෞද්ධ බැතිමතුන් විශ්වාස කරන්නේ, තමන් “අමීඩා” කියමින් දිගින් දිගටම ජප කළොත් ශුද්ධ භූමියේ හෙවත් බස්නාහිර පාරාදීසයේ ඔවුන්ට නැවත ඉපදිය හැකි බවය. එහිදී ඔවුන්ට සදාකාලික සැප භුක්ති විඳිය හැකි බව ඔවුහු විශ්වාස කරති. අමීඩා යනු නොනිමි ආලෝකයේ බුදුන්ට දී ඇති නමය.
දැනට ලෝකයේ වැඩියෙන්ම පරිවර්තනය කර තිබෙන හා බෙදාහැර තිබෙන ශුද්ධ ග්‍රන්ථය වන බයිබලයෙහි පොළොව ගැන සඳහන් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් බව දැනගැනීමට ලැබීම උනන්දුවට කාරණයකි. පොළොවෙන් මිදී වෙනත් ස්ථානයකට යා යුතු බවවත්, පොළොව වෙනත් ස්ථානයකට මං විවර කරන දොරටුවක් පමණක් වන බවවත් එහි කොතැනකවත් සඳහන් වී නැත. ඒ වෙනුවට, “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය” කියා එහි පවසා ඇත. (ගීතාවලිය 37:29) “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය” යන යේසුස්ගේ සුප්‍රසිද්ධ කියමනද බයිබලයෙහි අපට කියවීමට තිබේ.—මතෙව් 5:5.
පොළොව මත ජීවිතය තාවකාලික එකක් බවට වූ පොදු පිළිගැනීමෙන් අඟවන්නේ මරණය සැපවත් මතු ජීවිතයකට දොරටුවක් වන බවය. එය සැබෑවක් නම් මරණය ආශීර්වාදයක් වශයෙන් සැලකිය යුතුයි. නමුත් මිනිසා සාමාන්‍යයෙන් මරණය සලකන්නේ එලෙසද? ඊට වෙනස්ව, ඔවුන් තම ජීවිත දීර්ඝ කරගැනීමට වෑයම් කරන්නේ නැද්ද? සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් හොඳ සෞඛ්‍ය තත්වයක් භුක්ති විඳිනවා නම් හෝ සුරක්ෂිත ජීවිතයක් ගත කරනවා නම් ඔවුන් මිය යෑමට අකමැති බව අද්දැකීමෙන් ඔප්පු වී තිබේ.
නමුත් අදදින පොළොව දුෂ්ටකමෙන් හා දුක් වේදනාවෙන් පිරී පවතින නිසා, සැබෑ සාමය හා සන්තෝෂය සොයාගත හැක්කේ ස්වර්ගයේදී පමණක් බව බොහෝදෙනෙක් විශ්වාස කරති. ස්වර්ගය සැමදා සාමයෙන් හා සතුටින් පිරි ස්ථානයක් වූවාද? එහි කිසිදාක දුෂ්ටකම් හෝ ගැටුම් පැවතියේ නැද්ද? මතු ජීවිතයක් බලාපොරොත්තු විය හැක්කේ ස්වර්ගය වැනි ස්ථානයක පමණක්ද? මෙම ප්‍රශ්නවලට බයිබලය සපයන පිළිතුරු දැනගැනීම සඳහා කරුණාකර ඊළඟ ලිපිය කියවන්න. සමහරවිට එම තොරතුරු කියවීමෙන් පසු ඔබ පුදුමයට පත් විය හැක.