‘බයිබලයේ සැඟවුණු පණිවිඩයක්!’—විශාරද ඇසින්
‘බයිබලයේ සැඟවුණු පණිවිඩයක්!’—විශාරද ඇසින්
ඊශ්‍රායෙලයේ අගමැති වූ යිෂ්ෂාක් රාබින් 1993දී ඝාතනයට ලක් විය. ඊට වසර දෙකකට පසුව මාධ්‍යවේදියෙකු වූ මයිකල් ඩ්‍රොස්නින් අරුම පුදුම පුවතක් හෙළි කළේය. එනම්, මෙම අපරාධය සිදු වනවා කියා ඔහු කලින්ම දැන සිටි බවය! අගමැතිට අනතුරු අඟවන්න වසරකට ආසන්න කාලයක් පුරා ඔහු මහත් ප්‍රයත්නයක් දැරූ බවත් කවරෙකුවත් එය පිළි නොගත් බවත් ඔහු කියයි. ඔහු පවසන ආකාරයට පරිගණක යන්ත්‍රයක් භාවිත කරමින් මෙම පුදුමාකාර අනාවැකිය හෙළි කළේය. කොතැනක තිබිලද මෙම ගුප්ත පණිවිඩය ඔහු සොයාගත්තේ? මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් ලියා ඇති බයිබලයෙන්ය!
බයිබලයේ මෙවන් ගුප්ත පණිවිඩයක් ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරන පොත් පත් හා ලිපි රැසක් ඉන් අනතුරුව පළ විය. මින් පසු බයිබලය දේවානුභාවයෙන් ලත් ග්‍රන්ථයක්යයි අනුමාන කළ නොහැකි බවද ඔවුන්ගේ විශ්වාසයයි. මෙවැනි ගුප්ත පණිවිඩයක් සැබවින්ම බයිබලයේ ඇද්ද? බයිබලය දේවානුභාවයෙන් ලත් පොතක් බව ඔප්පු කිරීමට මෙවන් සාක්ෂි අවශ්‍යද?
අලුත් අදහසක්ද?
නැහැ. කබාලා නම් වූ ඉපැරණි සම්ප්‍රදායානුකූල යුදෙව් ගුප්තවාදය වටා මෙම සංකල්පය ගෙතී ඇත. පොතක් සාමාන්‍යයෙන් කියවන ආකාරයට බයිබලය කියවූ විට ලැබෙන අර්ථය එහි අන්තර්ගත සැබෑ අර්ථය නොවේ කියා කබාලාව උගන්වන අය පවසයි. ඔවුන්ගේ අදහසට අනුව හෙබ්‍රෙව් බයිබලයේ තිබෙන එක් එක් අකුර ඇත්තෙන්ම දෙවි යොදාගෙන තිබෙන්නේ විශේෂ සංකේත ලෙසයි. මෙම සංකේත පැහැදිලිව වටහාගත් විට විශේෂිත පණිවිඩයක් හෙළි වෙයි. සෑම හෙබ්‍රෙව් අකුරක්ම හා ඒවා බයිබලයේ ඇති ස්ථානය දෙවි නියම කර ඇත්තේ විශේෂ අරමුණක් ඇතුවයි.
මැවීම වාර්තා කරන උත්පත්ති පොත ලියා තිබෙන හෙබ්‍රෙව් අකුරුවලට ඉමහත් බලයක් ඇති බව මෙම යුදෙව් ගුප්තවාදය උගන්වන්නන් විශ්වාස කරන බව මේ සම්බන්ධ පර්යේෂණ පවත්වන්නාවූ ජෙෆ්රි සටිනෝවර් පවසයි. ඔහු කියන අන්දමට “කෙටියෙන් කිව්වොත් උත්පත්ති පොතේ වාර්තාව නිකම්ම යම් දෙයක් පිළිබඳ සාමාන්‍ය විස්තරයක් පමණක් නෙවෙයි. ඊට අමතරව එය තුළින් දෙවිගේ මනසේ සැලැස්ම පවා අපට දැකබලා ගත හැකියි.”
උත්පත්ති පොතෙන් විශේෂ පණිවිඩයක් දැනගන්න ලැබුණායයි කියා පෑ කෙනෙකි, 13වන සියවසේ ස්පාඤ්ඤයේ විසූ කබාලාව හා සම්බන්ධ ආගමික නායකයෙකු වූ බක්යා බෙන් ඇෂර්. ඔහු මෙම පණිවිඩය අනාවරණය කළේ කෙසේද? උත්පත්ති පොතේ මුල් අකුරේ සිට අකුරු 42ක පරතරයකින් පිහිටි අකුරු තෝරාගෙන එක්කාසු කිරීමෙනි. නිශ්චිත පරතරයකින් ඇති අකුරු තෝරාගැනීමේ මෙම ක්‍රමය අද බයිබලයේ ගුප්ත පණිවිඩ සොයන්නෝද භාවිත කරති.
පරිගණකයේ පිහිට!
අද පවතින පරිගණක යුගයට පෙර මෙලෙස බයිබලය සෝදිසි කිරීම ඉතා දුෂ්කර විය. නමුත් දැන් පුදුමාකාර සොයාගැනීම් කර ඇති බව කිහිපදෙනෙක් කියා සිටිති. සංඛ්‍යාන විද්‍යාව (ඉංග්‍රීසියෙන්) යන සඟරාවේ, 1994හි අගෝස්තු මාසයේ පළ වූ ලිපියක බයිබලයේ අන්තර්ගත අතිවිශේෂ පණිවිඩ ගණනාවක් හෙළි වී ඇතැයි සඳහන් කෙරුණි. යෙරුසලමෙහි හෙබ්‍රෙව් සරසවියෙහි මහාචාර්යවරයෙක් වූ එලියාහු රිප්ස් හා ඔහුට සහයෝගය දැක්වූ සෙසු පර්යේෂකයන් කිහිපදෙනෙකුගේ අදහස්ද මෙම ලිපියේ පළ විය. ඔවුහු හෙබ්‍රෙව් බයිබලයේ උත්පත්ති පොතේ පිටපතක් ලබාගෙන එහි වචන අතර තිබූ හිස් තැන් ඉවත් කළ බව කීහ. මෙයින් සාදාගත් අකුරු රාශියෙන් කලින් සඳහන් කළ ක්‍රමයටම සම පරතරයකින් පිහිටි අකුරු වෙන් කොට තෝරාගත්හ. මේ ආකාරයට ඔවුහු රබ්බිවරුන් (යුදෙව් ආගමික නායකයන්) 34දෙනෙකුගේ නම් ඇතුළුව ඔවුන්ගේ උපන් දින, අභාවප්‍රාප්ත වූ දින වැනි තවත් තොරතුරුද සොයාගත් බව පවසති. a නැවත නැවත ඔවුන් මෙම පරීක්ෂණ පැවැත්වීය. ඉන් අනතුරුව ඔවුන්ගේ නිගමනය වූයේ කුමක්ද? ගණිතමය සම්භාවිතාවට අනුව මේ ආකාරයට බයිබලය තුළ තොරතුරු ගැබ්ව තිබීම අහම්බෙන් විය හැකි දෙයක් නොවන බවයි. තවද, ඒ වෙනුවට එය බයිබලය දිව්‍ය ආනුභාවයෙන් ලිවූ බවටත් උත්පත්ති පොතේ මෙම තොරතුරු ඕනෑකමින් සඟවා ඇති බවටත් මෙය සාක්ෂියක් කියා කරුණු දක්වති.
තවදුරටත් මෙම ක්‍රමය වර්ධනය කරමින් මාධ්‍යවේදී ඩ්‍රොස්නින් තනිවම වෙනත් පරීක්ෂණ කිහිපයක් පැවැත්විය. ඔහු හෙබ්‍රෙව් බයිබලයේ මුල් පොත් පහම යොදාගත්තේය. ඔහු කියන ආකාරයට ඔහුට සම්බ වුණ විශේෂිත දෙය: යිෂ්ෂාක් රාබින්ගේ නම. එය සොයා ගත් ආකාරය: බයිබලයේ මුල් පොත් පහ අකුරු 4,772කින් සමන්විත හරස් පේළි ගණනාවකට බෙදීමෙනි. එම පේළිවල අග අකුරු, එනම් 4,772 වැනි අකුරු සියල්ල පහළට කියවාගන යන විට ඔහුට යිෂ්ෂාක් රාබින්ගේ නම සම්බ විය. මෙම පහළට ගලා ගිය අකුරු ඛණ්ඩය හා සම්බන්ධ වූ හරස් පේළි කිහිපයක් ඇත. හෙබ්‍රෙව් බයිබලයට අනුව ඉන් එක් පේළියක සඳහන්ව ඇත්තේ “ඝාතකයා ඝාතනය කරයි” යන්නය. (ද්විතීය කථාව 4:41, 42)
ද්විතීය කථාව 4:41, 42හි සඳහන් කරන්නේ අත් වැරැද්දකින් මිනිසෙකුව මරුමුවට පත් කළ අය ගැනයි. මෙය අහම්බෙන් සොයාගත් දෙයක් කියා බොහෝ අය ඩ්‍රොස්නින්ව විවේචනයට ලක් කර ඇත. මෙම විද්‍යානුකූල නොවන ක්‍රමය යොදාගෙන ඕනෑම පොතක මෙවැනි දේවල් සොයාගත හැකියයි ඔවුන් කියා සිටියේය. මෙම විවේචනය හමුවෙහි ඩ්‍රොස්නින් නොසැලී සිටියේය. ඔහු ප්‍රතිඋත්තර දෙමින් මෙසේ පැවසීය: “එහෙනං අගමැති කෙනෙකුගේ ඝාතනය මෝබි ඩික් පොතෙහි හොයලා මට පෙන්නන්න. (මෝබි ඩික් යනු ඉංග්‍රීසි නවකථා පොතකි) එතකොට මං ඕගොල්ලන්ගේ කතාව විශ්වාස කරන්නං.”
ආනුභාවය ලත් බවට සාක්ෂියක්ද?
මෙම අභියෝගය පිළිගත්තේ ඕස්ට්‍රේලියාවේ ජාතික සරසවියට සම්බන්ධ බ්‍රෙන්ඩන් මැකේ නම් මහාචාර්යවරයාය. පරිගණක යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් ඩ්‍රොස්නින්ගේ ක්‍රමය අනුගමනය කරමින් ඔහු මෝබි ඩික් පොත සෝදිසි කළේය. b ඔහුගේ “සොයාගැනීම්” කිමෙක්ද? ඉන්දිරා ගාන්ධි, කනිෂ්ඨ මාර්ටින් ලූතර් කිං, ජෝන් එෆ්. කෙනඩි, ඒබ්‍රහැම් ලින්කන් ඇතුළු කිහිපදෙනෙකුගේ ඝාතන මෙම පොතේ කලින් සඳහන් කර තිබූ බවයි. ඒ පමණක්ද? නෑ! තවත් විශේෂ ඝාතනයක් පිළිබඳ “පුරෝකථනයක්” තිබිණ. ඒ කාගෙ මරණයද කියා සිතන්න පුළුවන්ද? යිෂ්ෂාක් රාබින්ගේ!
මේ ගැනද සුපරීක්ෂාකාරි වෙමින් මහාචාර්ය මැකේ, රිප්ස් හා ඔහුගේ සගයන්ගේ සොයාගැනීම්වලට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කර ඇත. පැමිණිලිකරු පවසන්නේ කුමක්ද? ඔවුන්ගේ සොයාගැනීම් දිව්‍ය මඟ පෙන්වීමෙන් සැඟවුණු පණිවිඩයක් මත රඳා පවතිනවා වෙනුවට එයට හේතු වී ඇත්තේ ඔවුන් මෙම පරීක්ෂණවලට යොදාගත් උපක්‍රමයි. එනම් ඔවුන්ට කැමති විදිහට ඔවුන් අකුරු ඇතුළත් කර තිබීමයි. මේ ගැන විශාරදයන් අතර තවමත් වාදයක් පවතී.
හෙබ්‍රෙව් භාෂාවෙන් ලිවූ “මුල්” හෝ “සම්මත” පිටපත්වල සැඟවුණු පණිවිඩයක් තිබෙනවායයි කීම සම්බන්ධයෙන් තවත් ගැටලුවක්ද ඇත. “උත්පත්ති පොතේ සාමාන්‍යයෙන් පිළිගත් පිටපතක්” ඔවුන් භාවිත කළ බව රිප්ස් සහ ඔහුගේ කණ්ඩායම පවසයි. ඩ්‍රොස්නින්ද මෙසේ කියයි: “හෙබ්‍රෙව් භාෂාවෙන් දැන් පවතින බයිබල් සියල්ලම එක සමානයි.” මෙය හරිද? නොයෙක් පැරණි පිටපත් පදනම් කරගත් එකිනෙකට වෙනස් හෙබ්‍රෙව් බයිබල් ගණනාවක් ඇත. එම පැරණි පිටපතක් සාමාන්‍ය ආකාරයෙන් කියූ විට ඒවායේ අරුත එකමයි. නමුත් අකුරෙන් අකුරට සසඳා බැලූ කල ඒවා වෙනස්.
වර්තමානයේ පවතින ඉපැරණිතම සම්පූර්ණ හෙබ්‍රෙව් මැසරීට් පිටපත හඳුන්වන්නේ ලෙනින්ග්‍රැඩ් කෝඩෙක්ස් යන නමිනි. එය සකස් කරනු ලැබුවේ පො.යු. 1000දී පමණය. බොහෝ බයිබල් පරිවර්තනය කර ඇත්තේ මෙය මූලාශ්‍ර කරගෙනයි. ඩ්‍රොස්නින් සහ රිප්ස් යොදාගත්තේ කෝරෙන් නම් වූ වෙනත් පිටපතකි. යුදෙව් ඕතඩොක්ස් පූජකයෙක් වන හාර්වඩ් සරසවියෙහි ගණිතඥයෙක් වන ෂ්ලෝමෝ
ස්ටර්න්බර්ග්, ලෙනින්ග්‍රැඩ් පිටපත හා “කෝරෙන් පිටපත සන්සන්දනය කළ විට ද්විතීය කථාව පොතේ විතරක් අකුරු තිබෙන ස්ථානවල වෙනස්කම් 41ක් තියෙනවා” යයි කියයි. හෙබ්‍රෙව් බයිබලයේ කොටස් කිහිපයක් ඇති මළ මුහුදු ලියවිලි අවුරුදු 2000ක් පමණ පැරණියි. මේවායේ අකුරු යොදාගෙන තිබෙන ආකාරය පසුව සකස් කළ මැසිරීට් පිටපත්වලට වඩා හාත්පසින්ම වෙනස්. පසු කාලවල පිටපත් සාදන විට හෙබ්‍රෙව් භාෂාවේ ස්වර අකුරු නොතිබෙන හෙයින් ඒවා තිබිය යුතු ස්ථාන දැක්වීමට විශේෂ සලකුණු යොදාගත්හ. නමුත් ඉපැරණි පිටපත්වල මෙවන් සලකුණු දක්නට නොලැබේ. ඒ වෙනුවට ස්වර ශබ්දය කුමක්ද කියා නොදැන සිටියත් වචන ශබ්ද කිරීමට හැකි වන සේ සමහර පිටපත්වලට විවිධාකාර අකුරු එකතු විය. ඊට වෙනස්ව තවත් සමහර පිටපත්වල මෙවන් අකුරු යොදාගත්තේ ඉතාමත්ම අල්ප වශයෙනි. අද පවතින මෙම පැරණි ලියවිලි පරීක්ෂා කිරීමෙන් මුල් අර්ථයෙහි වෙනසක් වී නැති බව ස්ථිරයි. එහෙත් භාවිත කර ඇති අකුරු හා ඒවා තබා ඇති ස්ථාන පිටපතින් පිටපතට බෙහෙවින් වෙනස්.බයිබලයේ පණිවිඩයක් සැඟවී තිබීමට නම් එක් වෙනස් නොවන පිටපතක් තිබිය යුතුයයි අපේක්ෂා කිරීම සාධාරණයි. එක අකුරක්වත් එහා මෙහා වූවොත් ඉහත සඳහන් ආකාරයට රහස් පණිවිඩ සොයාගැනීම කෙරෙහි එම වෙනස බෙහෙවින් බලපායි. බයිබලයේ පණිවිඩය දෙවි ආරක්ෂා කර ඇත. නමුත් ඔහු සෑම අකුරක්ම මුල් ආකාරයටම පවත්වාගැනීමට උත්සාහ කර නැත. මෙවැනි සුළු දේවල් පිළිබඳව දෙවි තුළ අනිසි ඇල්මක් ඇති බව කිසිසේත් පෙනෙන්ට නැත. කාරණා මෙසේ තිබියදී බයිබලය තුළ දෙවි සඟවා ඇති ගුප්ත පණිවිඩයක් නොමැති බව පැහැදිලියි.—යෙසායා 40:8; 1 පේතෘස් 1:24, 25.
සැඟවුණු පණිවිඩයක් මොකටද?
“[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) මෙසේ සඳහන් කිරීමෙන් පාවුල් අර්ථවත් කරන්නේ කුමක්ද? එනම් බයිබලයේ සරල, පැහැදිලි ඍජු පණිවිඩයක් තිබෙනවා කියායි. සමහරුන් එය පිළිපැදීමට මැළිවීම වෙනම දෙයක්. (ද්විතීය කථාව 30:11-14) බයිබලයේ විවෘතව දක්වා ඇති අනාවැකිවල ඉටුවීම එය ආනුභාවය ලත් බවට මොනතරම් කදිම සාක්ෂියක්ද! c මෙම අනාවැකි වටහාගැනීමට සැඟවුණු පණිවිඩ මෙන් අහම්බෙන් හෝ කෙනෙකුට අවශ්‍ය අන්දමට බයිබලයේ අකුරු සකස් කරගැනීම අවශ්‍ය නැත. තවද මේවා ‘කිසිවකුගේ අභිප්‍රායෙන්’ නැත්නම් පෞද්ගලික අර්ථදැක්වීම් තුළින් හෙළි වන්නේ නැත.—2 පේතෘස් 1:19-21.
“ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල” එය කළේ ‘ප්‍රයෝගයෙන් යොදන ලද ප්‍රබන්ධ අනුව නොවේ’ කියා ප්‍රේරිත පේතෘස් කීවේය. (2 පේතෘස් 1:16) බයිබලයේ සැඟවුණු පණිවිඩයක් ඇතැයි යන සංකල්පයට යුදෙව් ගුප්තවාදයෙහි මූලයන් ඇති අතර එය ‘ප්‍රයෝගකාරි’ උපක්‍රමද යොදාගනියි. මෙමගින් බයිබලයේ සැබෑ අරුත අපැහැදිලි වනවා පමණක් නොව එය ව්‍යාකූලද වෙයි. ගුප්තවාදය මගින් තේරුම්ගන්න උත්සාහ කරන එම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලම ගුප්තවාදය ද්වේෂසහගත දෙයක් ලෙස හඳුන්වයි.—ද්විතීය කථාව 13:1-5; 18:9-13.
දෙවිගේ පැහැදිලි උපදෙස් හා පණිවිඩය අපට දැනගන්න ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද! මේ ආකාරයෙන් මැවුම්කරු ගැන දැනුම ලබාගැනීම, පෞද්ගලික මතයක් මාර්ගයෙන් හෝ පරිගණක භාවිත කරමින් පදනමක් නැති අදහස් සිතේ මවාගැනීමට වඩා කොතරම් අනර්ඝද!—මතෙව් 7:24, 25.
[පාදසටහන්වල]
a ඉලක්කම් සංකේතවත් කිරීමට අකුරු භාවිත කළ හැකිවීම හෙබ්‍රෙව් හෝඩියේ විශේෂ ලක්ෂණයක්. ඒ නිසා ඔවුන් ඉහත කී දින සොයාගත්තේ බයිබලයේ ඉලක්කම් තිබුණු නිසා නොවෙයි නමුත් එහි අකුරු භාවිත කිරීමෙන්.
b හෙබ්‍රෙව් භාෂාවේ තවත් විශේෂත්වයකි ස්වර අකුරු නොතිබීම. අවට පාඨවල අර්ථයට අනුව ස්වර ඇතුළත් කළ යුතුය. ඒ හේතුවෙන් මෙම භාෂාවට ආවේණික වූ අවදානමක් ඇත. අවට පාඨ ගැන නොතකා අවශ්‍ය කරන ආකාරයට අක්ෂර ඇතුළත් කිරීමටද කෙනෙකුට අවස්ථාව ඇත. නිදසුනකට ඉංග්‍රීසි භාෂාවේ වචනයක් ලිවීමේදී නිශ්චිත ස්වර භාවිත කළ යුතුයි. එහෙයින් එවැනි භාෂාවක කෙනෙකුට කැමති විදිහට ස්වර යොදාගත නොහැක.
c බයිබලය දෙවිගෙන් බවටත් එහි අනාවැකි පිළිබඳවත් වැඩි විස්තර දැනගැනීමට Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සියලු ජනයා සඳහා පොතක් යන විවරණිකාව බලන්න.