Skip to content

පටුනට යන්න

 අතීතයෙන් සටහනක්

ආගමේ නාමයෙන් සිදු වූ කුරිරුකම්

ආගමේ නාමයෙන් සිදු වූ කුරිරුකම්

ස්පාඤ්ඤයේ සිදු වූ මේ ඛේදනීය සිදු වීම පිටුපස පල්ලියේ බලපෑම තිබුණ බවට බොහෝ අය විශ්වාස කරනවා. එම කතාවෙන් බිඳක් දැන් බලමු.

ස්පාඤ්ඤ අධිරාජ්‍යයට අවශ්‍ය වුණේ එක නීති පද්ධතියක් යටතේ සියලුම රටවැසියන් ක්‍රිස්තියානි ආගම අදහනවා දකින්නයි. ඒ දේ කරන්න එහි ජීවත් වූ මුස්ලිම් වැසියන් බාධාවක් කියායි ඔවුන් සිතුවේ. ඒ නිසා ඔවුන් සමඟ විසීම දෙවියන් ඉදිරියේ පිළිකුල් දෙයක් කියා කියමින් මුස්ලිම් ජනයාව පිටුවහල් කරන්න ඔවුන් සැලසුම් කළා. *

බලහත්කාරයෙන් ආගමට හරවාගැනීම

අවුරුදු සිය ගණනක් මුස්ලිම් ජාතිකයන් කතෝලික අධිරාජ්‍යයේ පාලනය යටතේ අනෙක් ජනයා සමඟ සාමකාමීව ජීවත් වුණා. ඔවුන් ජීවත් වුණ පළාත්වල අයිතිවාසිකම් භුක්ති විඳින්නත් තමන්ගේ ආගම නිදහසේ අදහන්නත් ඔවුන්ට හැකියාව තිබුණා.

ඒත් 1492දී කතෝලික රජෙක් වූ ෆඩිනැන්ඩ් හා ඔහුගේ බිසව වූ ඉසබෙලා විසින් මුස්ලිම් පාලනය යටතේ තිබූ අවසන් රාජධානිය වූ ග්‍රනාඩා තම අණසකට යටත් කරගත්තා. යටත් කරගත් මුල් කාලයේදී මුස්ලිම් ජාතිකයන්ට කලින් තිබූ අයිතිවාසකම් යම් තාක් දුරකට භුක්ති විඳින්න ඉඩ දුන්නත් පසු කාලයේදී පාලකයන් කතෝලික ආගමට හැරෙන්න කියා ඔවුන්ට බල කළා. ඒත් මුස්ලිම් ජාතිකයන් ඊට විරුද්ධ වී 1499දී සටනක් දියත් කළා. ඒ සටන මැඩපවත්වන්න රජයේ හමුදා මැදිහත් වුණ අතර අවසානයේදී කතෝලික ආගම වැලඳගැනීම හෝ ඒ ප්‍රදේශයෙන් පලා යෑම හැර  වෙනත් විකල්පයක් ඔවුන්ට තිබුණේ නැහැ. කතෝලික ආගම වැලඳගත් මුස්ලිම් ජාතිකයන්ව ස්පාඤ්ඤයේ වැසියන් හැඳින්වූයේ මොරිස්කොස් ජාතිකයන් ලෙසයි.

“හොඳ ක්‍රිස්තියානීන්වත් හොඳ යටත්වැසියන්වත් නෙමෙයි”

වර්ෂ 1526 වන විට ස්පාඤ්ඤය පුරා ඉස්ලාම් ධර්මය තහනම් කළා. ඒ වුණත් බොහෝ මුස්ලිම් ජාතිකයන් රහසින් තම ආගම ඇදහුවා. බොහෝ තැන්වල ජීවත් වුණ කතෝලික ආගම වැලඳගත් මුස්ලිම් ජාතිකයන්ද ජීවත් වුණේ සුපුරුදු මුස්ලිම් චාරිත්‍ර වාරිත්‍ර පිළිපදිමිනුයි.

කම්කරුවන්, කැටයම් ශිල්පීන් හා හොඳ බදු ගෙවන්නන් ලෙස මුස්ලිම්වරුගෙන් අධිරාජ්‍යයට බොහෝ ප්‍රයෝජන තිබුණා. ඒ නිසා ඔවුන් වචනයට පමණක් කතෝලික භක්තිකයන් වීම ගැන ස්පාඤ්ඤ ජාතිකයන් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒත් පල්ලිය ඔවුන්ගේ අවංකභාවය ගැන දිගින් දිගටම සැක කළා. ඒ නිසා රජය සහ සාමාන්‍ය ජනයා ඔවුන්ට සැලකුවේ අසාධාරණ ලෙසයි.

ඒත් වැඩි කල් නොගොස් රජය ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තා. 1567දී දෙවන ෆිලිප් රජ මොරිස්කොස් ජාතිකයන්ගේ භාෂාව, ඇඳුම්, චාරිත්‍ර වාරිත්‍ර තහනම් කළා. එයට විරුද්ධ වූ මොරිස්කොස් ජාතිකයන් කැරැල්ලක් දියත් කළ අතර ඉන් බොහෝදෙනෙක්ගේ ජීවිත පවා අහිමි වුණා.

වාර්තාවලට අනුව පීඩාවලට ලක් වූ මොරිස්කොස් ජාතිකයන් 3,00,000ක් පමණ ස්පාඤ්ඤයෙන් පලවාහැර තිබෙනවා

එම සිද්ධියත් සමඟම “මොරිස්කොස් ජාතිකයන් හොඳ ක්‍රිස්තියානීන්වත් හොඳ යටත්වැසියන්වත් නෙමෙයි” කියා ස්පාඤ්ඤ පාලකයන් තේරුම්ගත් බව ඉතිහාසඥයන් පවසනවා. ඒ නිසා ස්පාඤ්ඤ ජාතිකයන් සතුරන් හැටියට සැලකූ මුහුදු කොල්ලකරුවන්, ප්‍රංශයේ රෙපරමාදු භක්තිකයන් සහ තුර්කි ජාතිකයන්ට මොරිකොස් ජාතිකයන් සහයෝගය ලබාදෙනවා කියා ඔවුන් චෝදනා කළා. මොරිස්කොස් ජාතිකයන් කවදා හෝ තමන්ට විරුද්ධව නැඟී සිටියි යන බිය නිසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම රටින් පිටුවහල් කරන්න 1609දී තුන්වන ෆිලිප් රජ පියවර ගත්තා. * එදා පටන් වසර ගණනාවක් යනතුරුම මොරිස්කොස් ජාතිකයෙක් කියා සැක කළ සෑම කෙනෙක්ටම පීඩා කළා. එම කෲර ක්‍රියාමාර්ගය තුළින් තමයි ස්පාඤ්ඤය කතෝලික රාජ්‍යයක් බවට පත් වුණේ.

^ 4 ඡේ. 1492දී අයිබීරියානු අර්ධද්වීපයේ අවසන් මුස්ලිම් රාජධානිය ස්පාඤ්ඤ අධිරාජ්‍යය අතට පත් වුණාට පසුව කතෝලික ආගමට හැරුණු මුස්ලිම් ජාතිකයන්ව මොරිස්කොස් කියන නමින් හැඳින්වුවා.

^ 12 ඡේ. ඉතිහාසඥයන්ට අනුව අඩුම තරමින් ස්පාඤ්ඤයේ පාලකයන්ගෙන් එක්කෙනෙක් හෝ මොරිස්කොස් ජාතිකයන්ගේ ඉඩකඩම් රජයට පවරා ගැනීමෙන් විශාල ලෙස ලාභ ලැබුවා කියා වාර්තා වෙනවා.