මුල් පිටුවෙන්
යහපත් සමාජයක් බිහි කරන ගුණධර්ම
දවසක් ක්‍රිස්ටිනාට අමතක වෙලා දාලා ගිය කලු පාට බෑග් එකක් හම්බ වුණා. ඇය අවුරුදු විස්සක් වැඩ කළත් හම්බ කරන්න බැරි තරම් මුදලක් ඒකේ තිබුණා. බෑග් එකේ අයිතිකරුව ඇය දන්නවා. ඇය මොනවා කරයිද? ඒ ඔබ නම් ඔබ මොනවා කරයිද? ඔබේ පිළිතුරෙන් ඔබේ අවංකකමත් ඔබ ගුණධර්ම කොයි තරම් අගය කරන කෙනෙක්ද කියලත් දැනගන්න පුළුවන්.
මොනවද මේ ගුණධර්ම කියන්නේ? ගුණධර්ම කියන්නේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන පෙන්වා දෙන වැදගත් ප්‍රතිපත්තිවලට. අවංකකම, සමාව දීම, ප්‍රේමය, ආත්ම දමනය, අන් අයගේ නිදහසට ගරු කිරීම හා ජීවිතය අගනා දෙයක් ලෙස සැලකීම වැනි දේ එයට ඇතුළත්. ඒවා අපේ හැසිරීමට, ඉලක්කවලට හා අන් අය සමඟ ඇති බැඳීම්වලට බලපානවා. දරුවන්ව යහමඟ යවන්න උදව් වෙන්නෙත් ඒ ගුණධර්මයි. ඒවා අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරනවා. ඒත් කනගාටුවට කාරණයක් වෙන්නේ දවසින් දවස ඒවා අභාවයට යෑමයි.
අභාවයට යන ගුණධර්ම
ගුණධර්ම ගැන තරුණයන් හිතන විදිහ දැනගන්න 2008දී ඇමරිකාවේ සමීක්ෂණයක් කළා. එහිදී ඔවුන් පැවසූ අදහස් ගැන ඩේවිඩ් බෲක්ස් පුවත්පතකට මෙසේ පැවසුවා. “ඔවුන් සදාචාරය සම්බන්ධයෙන් හිතන දේවල් හා කියපු දේවල් හරිම කනගාටුදායකයි.” ඒ තරුණයන් බොහෝදෙනෙක් දූෂණය හා මිනී මැරීම වගේ දේවල් වැරදියි කියලා පිළිගත්තා. ඒත් “බීමත්ව රිය පැදවීම, පාසලේදී වංචා කිරීම හා කෙනෙක්ට ද්‍රෝහි වීම වගේ දේවල් වැරදි දේවල් විදිහට සැලකුවේ නැහැ.” එක් තරුණියක් කිව්වේ “මං නම් කෝකද හරි කෝකද වැරදි කියලා හිතහිත ඉන්නේ නැහැ” කියලයි. හුඟදෙනෙක් දැරුවේ මේ වගේ අදහසක්. ‘ඔයාට හරියි කියලා හිතෙන දේ කරන්න.’ ඒ විදිහට හිතන එක හරිද?—The New York Times.
ආදරය, කරුණාව පෙන්වන්න අපිට හැකියාවක් තියෙනවා. ඒත් අපේ ‘සිත රැවටිලිකාරයි.’ කොහොමහරි බලන්නේ ‘තමන්ගේ ආශාව ඉටු කරගන්න.’ (යෙරෙමියා 17:9) අද සමාජයේ ගුණධර්ම පහත වැටෙන්න හේතුවත් ඒකයි. මේ ගැන බයිබලයේ හුඟ කාලයකට කලින් සඳහන් වී තිබුණේ ‘අවසාන කාලයේ මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන’ අය වන බවයි.—2 තිමෝති 3:1-5.
එහෙමනම් අපේ සිත හරියි කියලා කියන දේ විශ්වාස කරනවාට වඩා සිතේ තත්වය ගැන සෝදිසි කර බැලිය යුතුයි. බයිබලයේ සඳහන් වෙන්නේ “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙකි” කියලයි. (හිතෝපදේශ 28:26) අපේ සිත අපිට හරි මඟ පෙන්වීම් ලබා දෙන්න නම් එය ගුණධර්මවලින් පෝෂණය කරලා තියන්න ඕනේ. ඒ වගේ ගුණධර්ම ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන් කොහෙන්ද? නැණවත් හා ඍජු උපදෙස් ඇති බයිබලය මේ සඳහා බොහෝදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
කිසිදා වෙනස් නොවන ගුණධර්ම
බයිබලයේ සඳහන් ගුණධර්ම සලකා බලද්දී පෙනී යන්නේ ඒවා අපිටම දුන් ඒවා කියලයි. ප්‍රේමය, කරුණාවන්තකම, ත්‍යාගශීලිකම සහ අවංකකම වැනි ගුණාංග හතරක් සලකා බලමු.
“ඔබ අනිත් අයට ප්‍රේමය පෙන්වනවා නම් සතුට ඔබේ දොරට තට්ටු කරයි” කියා පොතක සඳහන් වෙනවා. සතුටින් ඉන්න නම් අපිට ආදරය ඕනෙමයි.—Engineering Happiness—A New Approach for Building a Joyful Life.
බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.” (කොලොස්සි 3:14) එහි මෙහෙමත් සඳහන් වෙනවා. ‘මට ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.’—1 කොරින්ති 13:2.
එවැනි ප්‍රේමයක් ඇති වෙන්නේ ලිංගික ආකර්ෂණය නිසාවත් නිකම්ම හැඟීම් නිසාවත් නෙමෙයි. එවැනි ප්‍රේමයක් අපිට තියෙනවා නම් කිසිම දැන හැඳුනුම්කමක් නැති කෙනෙකුට පවා කරදරයක් වුණ අවස්ථාවක අපි උපකාර කරන්න පෙලඹෙනවා. ඒ ගැන බයිබලයේ මේ විදිහට සඳහන් වෙනවා. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත. ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විඳදරාගනියි.”—1 කොරින්ති 13:4-7.
පවුලක් තුළ ප්‍රේමය නැත්නම් පවුලේ හැමෝම දුක් විඳිනවා. විශේෂයෙන්ම එය බලපාන්නේ දරුවන්ටයි. පුංචි කාලයේදී ශාරීරික හා මානසික පීඩාවලට මෙන්ම ලිංගික හිරිහැරවලට මුහුණ දුන් මොනිකා නමැති කාන්තාව මෙහෙම කියනවා. “පුංචි කාලේ මට කාගෙවත් ආදරය ලැබුන්නෑ.” නමුත් ඇයට අවුරුදු 15ක් වෙද්දී ඇය තම ආච්චියි සීයයි ළඟට ගියා. ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්.
“මම අවුරුදු දෙකක් එයාලත් එක්ක හිටියා. මං ලැජ්ජාශීලී කෙනෙක් වුණත් අනිත් අයට ආදරයෙන් සලකන්න එයාලා මට ඉගැන්නුවා. මං ගැන කලකිරෙන්නේ නැතුව හොඳ හැඟීමක් ඇතුව වැඩ කරන විදිහත් එයාලා මට ඉගැන්නුවා” කියලා මොනිකා තවදුරටත් පැවසුවා. ඇය දැන් ඇගේ සැමියත් දරුවන් තිදෙනාත් සමඟ බයිබලයේ තියෙන පණිවිඩය අනිත් අයට කියා දීමෙන් ප්‍රේමය පෙන්වනවා.
ප්‍රේමය යටපත් වෙන්න හේතු වෙන දෙයක් තමයි ධනය රැස් කරන්න තියෙන ආශාව. සමහරු හිතන්නේ ජීවිතය කියන්නේ සල්ලි සහ විනෝදය කියලා. හැබැයි අධ්‍යයනවලින් පෙනෙන්නේ සල්ලි ගොඩක් තිබුණ කියලා සතුට වැඩි වෙන්නේ නැහැ කියලයි. ඇත්තටම සල්ලි පස්සේ දුවන අයට ඉතුරු වෙන්නේ දුකයි කනස්සල්ලයි. මෙය සත්‍යයක් කියලා බයිබලයේ කියලා තියෙන මේ දෙයින් පැහැදිලියි. “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි. මෙයද මහා නිෂ්ඵලකමකි.” (දේශනාකාරයා 5:10) බයිබලයේ මේ වගේ අවවාදයකුත් දීලා තියෙනවා. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න.”—හෙබ්‍රෙව් 13:5.
“කඩේකට ගිහිල්ලා සතුට මිල දී ගන්න පුළුවන් නම් කොච්චර හොඳද?” කියලා ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය විසින් පළ කරපු ලිපියක සඳහන් වුණා. “ඒ අදහස විහිළුවක් වගේ පෙනුණත් ඔබ යමක් මිල දී ගත්තේ වෙන කෙනෙක්ට දෙන්න නම් ඔබ ඇත්තටම මිල දී ගන්නේ සතුට.” වෙනත් විදිහකින් කියනවා නම් එයින් අදහස් වෙන්නේ ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා කියලයි.
බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.
අපිට අනිත් අය වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම දේ අපේ කාලය හා ශක්තියයි. කැරන්ගේ අද්දැකීම සලකා බලන්න. දවසක් කාන්තාවක් ඇගේ දියණියන් දෙදෙනා සමඟ ඔවුන්ගේ වාහනේ කැඩිලා මඟ ඉන්නවා ඇය දැක්කා. මවට සහ එක් දුවෙකුට ගුවන් තොටුපොළට යන්න තිබුණා. ඔවුන් කුලී රථයකට කතා කර තිබුණත් එය ඇවිත් තිබුණෙත් නැහැ. ගුවන් තොටුපොළට යන්න විනාඩි 45ක පමණ කාලයක් ගත වුණත් කැරන් තම වාහනේ ඔවුන්ව ගෙනියන්න කැමති වුණා. කැරන් නැවත එන විට අනිත් දුව තවමත් කාර් එකට වී ඉන්නවා දැක්කා.
“මගේ මහත්තයා මඟ එනවා” කියලා ඇය කිව්වා.
“ආ, ඒක හොඳයි. මං අපේ ආගමේ රැස්වීම් ශාලාව සුද්ද කරන්න යන ගමන්” කියලා කැරන් කිව්වා.
“ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ද?” කියලා ඇය ඇහුවා.
“ඔව්” කියලා කැරන් ඇයත් එක්ක ටිකක් කතා කළා.
සති කිහිපයකට පස්සේ කැරන්ට ලිපියක් ලැබුණා. ඒ ලියුමේ මෙහෙම ලියලා තිබුණා. “ඔයා අපිට කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපිට වෙලාවට යන්න පුළුවන් වුණේ ඔයා නිසයි. මගේ අක්කා කිව්වා ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා. ඔයා අපිට හොඳින් සැලකුවේ ඇයි කියලා මට දැන් තේරෙනවා. මගේ අම්මා සාක්ෂිකරුවෙක්. මම සාක්ෂිකරුවෙක් වුණත් නමස්කාර කටයුතුවලට එච්චර උනන්දු නැහැ. මම ඉක්මනින්ම ඒ අඩුපාඩුව හදාගන්න උත්සාහ කරනවා.” උදව් කරන්න ලැබුණේ තවත් සාක්ෂිකරුවන් දෙන්නෙක්ට කියලා දැනගත්තම කැරන්ට දැනුණු සතුටට “ඇඬුණා” කියලා කැරන් පැවසුවා.
කතුවරයෙක් වන චාල්ස් ඩි. වෝනර් මේ වගේ අදහසක් කියලා තියෙනවා. ‘අපි අනිත් අයට උදව් කරනවා නම් ඒක අපතේ යන්නේ නැහැ. ඒකට ලැබෙන ප්‍රතිලාභය තමයි සතුට.’ ඒකට හේතුව දෙවියන් අපිව නිර්මාණය කළේ අනිත් අයට කරුණාව දයාව වැනි ඔහුගේ ගතිගුණ පෙන්වන්න පුළුවන් විදිහට මිසක් අපි ගැන විතරක් හිතන්න නෙමෙයි.—උත්පත්ති 1:27.
ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි වෙන්න නම් අවංකකම වැනි ගුණධර්ම තිබිය යුතුමයි. සමාජය තුළ වංකකම පැතිරිලා තියෙද්දී එය මිනිසුන් තුළ බියක් අවිශ්වාසයක් ඇති කරනවා. එය සමාජයේ පිරිහීමටත් හේතු වෙනවා.
බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. දෙවිගේ “ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ . . . නිර්දෝෂ ජීවිතයක් ගත කරන, සිතින් සත්‍යය පවසන තැනැත්තාටය.” (ගීතාවලිය 15:1, 2) අවංකකමත් අපි සලකා බැලූ අනිත් ගුණාංග වගේ අපි තුළ සෑමවිටම තිබිය යුතුම ගුණාංගයක්. අපි අවංක වෙන්නේ අපේ පහසුවට සහ වාසියට නෙමෙයි.
ලිපිය ආරම්භයේ සඳහන් කළ ක්‍රිස්ටිනාව ඔබට මතකද? ඇයට වැදගත් වුණේ දෙවියන්ගේ සිත සතුටු කරන්න මිසක් මුදල් නෙමෙයි. ඇයට ලැබුණු මුදල් සහිත බෑග් එක අයිතිකරුට දුන්නාම ඇගේ අවංකකම ගැන ඔහුට පුදුම හිතුණා. වැඩ පළේ අයිතිකරුටත් ඇගේ අවංකකම ගැන පැහැදීමක් ඇති වී ඇයට රැකියාවේ උසස් වීමක් ලබා දුන්නා. “ජීවිතයට ආදරයක් ඇති, දීප්තිමත් අනාගතයක් දැකීමට කැමති තැනැත්තා . . . වංචනික දේවල් පැවසීමෙන් වැළකී සිටිය යුතුයි” යන බයිබලයේ සඳහන් දේ කොයි තරම් සැබෑවක්ද කියා එම අද්දැකීමෙන් පැහැදිලි වෙනවා.—1 පේතෘස් 3:10.
යහපතුන්ගේ අඩිපාරේ යන්න
බයිබලයේ සඳහන් ගුණධර්ම පිළිපැදීමෙන් “යහපතුන්ගේ අඩිපාරේ” ගමන් කරන්න අපිට හැකි වෙන නිසා අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් අපිට කොයි තරම් ප්‍රේම කරනවාද කියලා ඉන් පැහැදිලි වෙනවා. (හිතෝපදේශ 2:20; යෙසායා 48:17, 18) ඒ මඟ පෙන්වීම් පිළිපැදීමෙන් අපි පෙන්වන්නේ දෙවියන්ට ඇති අපේ ප්‍රේමයයි. එය බොහෝ ආශිර්වාදවලටත් මඟ පාදනවා. බයිබලයේ මේ විදිහට පොරොන්දු වී තිබෙනවා. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න. එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.”—ගීතාවලිය 37:34.
බයිබලයේ උපදෙස් අනුව ජීවත් වෙන අයට ලැබෙන්නේ මොන තරම් ලස්සන අනාගතයක්ද! දුෂ්ටකම නැති සාමකාමී ලොවක ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් බයිබලයේ සඳහන් ගුණධර්ම ගැන සලකා බැලීම කොයි තරම් වටිනවද!