Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

යොවුන් දරුවට නීති දමද්දී

යොවුන් දරුවට නීති දමද්දී

ප්‍රශ්නය

දාපු ‘නීති තද වැඩියි’ කියලා යොවුන් දරුවා හිතනවා. ඒත් බුරුලක් දුන්නොත් ‘දරුවා නරක් වෙයි’ කියලා දෙමව්පියෝ හිතනවා.

අම්මේ තාත්තේ, දරුවට සාධාරණ නීති දාන්න ඔයාලට අයිතියක් තියෙනවා. ඒත් ඔයාලා දාන නීති වධයක් විදිහට දරුවා හිතන්නේ ඇයි කියලා මුලින්ම බලමු. a

ඇයි එහෙම වෙන්නේ?

වැරදි අදහස: යොවුන් දරුවන් සාමාන්‍යයෙන් නීතිවලට කැමති නෑ. ඒක එයාලගේ හැටි.

මේකයි ඇත්ත: දෙමව්පියෝ සාධාරණ විදිහට නීති දාලා ඒ ගැන දරුවට තේරුම් කරලා දුන්නොත් ඒවා පිළිපදින්න එයා අදිමදි කරන එකක් නෑ.

දරුවා නීතිවලට විරුද්ධ වෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. ඒත් දෙමව්පියන් ‘නීතියක් දැම්මොත් දැම්මමයි’ යන මතයේ ඉන්නවා නම් හෝ දරුවගේ වයසට ගැළපෙන්නැති නීති දානවා නම් එයා ඒවට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දෙයක් නොදැනුවත්වම වෙන්න පුළුවන්. ඒ ගැන අපි බලමු.

  • නීතියක් දැම්මොත් දැම්මමයි. නීතියක් දාන්නේ දරුවගේ ආරක්ෂාවට. ඒක හරියට වාහනයක ආසන පටිය පැළඳීමෙන් ලැබෙන ආරක්ෂාවට සමානයි. ඒත් ඒ නීති ගැන දරුවට හැඟෙන දේ කියන්න ඉඩ දුන් නැත්නම් එයාට දැනෙන්නේ එයාව පුටුවකට තියලා ගැටගහලා වගෙයි. ඒකෙන් වෙන්නේ දෙමව්පියන් එපා කියපු දේම හොරෙන් හරි කරන්න දරුවා පෙලඹෙන එකයි.

  • වයසට ගැළපෙන්නෑ. “කට වහගෙන කිව්ව දේ කරන්න.” එහෙම පුංචි ළමයෙකුට කිව්වට නව යොවුන් දරුවෙකුට එහෙම කියලා හරියන්නෑ. එයාට හේතු පෙන්නලා දෙන්න ඕනෙ. මතක තියාගන්න, ඔබේ නව යොවුන් දරුවාට ළඟදීම තනියම ජීවත් වෙන්නත් බැරෑරුම් තීරණ ගන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ යටතේ ඉන්න මේ ටික කාලෙදි හොඳට හිතලා තීරණ ගන්න එයාට උදව් කරන්න.

ඒත් දාන හැම නීතියක්ම දරුවා හිතන්නේ වධයක් විදිහට නම් . . .

මොනවද කරන්න පුළුවන්?

දරුවා පිටින් නොපෙන්නුවට නීතිවලට අකමැති නෑ. ඒ නිසා නීති දාන්න. හැබැයි ඒ නීති දැම්මේ ඇයි කියලා එයා තේරුම්ගත්ත බවට නිසැක වෙන්න. “දාපු නීතිය දරුවට පැහැදිලි නම්, තමන්ට කරදරයක් නොවන විදිහට දෙමව්පියන් ඒ ගැන හොයලා බලනවා කියලා දරුවා දන්නවා නම් එයාලා අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලෙන්න තියෙන ඉඩකඩ අඩුයි” කියලා පොතක සඳහන් වෙනවා. (Letting Go With Love and Confidence) අනික් අතට ඕනෑවට වඩා නිදහස දෙනවා නම් ඒකෙන් පේන්නේ දෙමව්පියන් දරුවා ගැන සැලකිලිමත් නැහැ කියලයි. ඒ වගේ දරුවෙක් හිතුමතේට වැඩ කරන එක පුදුමයක් නෙමෙයි.—හිතෝපදේශ 29:15 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

නීතියක් දැම්මම ඒ ගැන අදහස් උදහස් කියන්න එයාලට ඉඩ දෙන්න. උදාහරණෙකට ගෙදර එන්න ඕන වෙලාව ගැන නීතියක් දැම්මම ඒකෙ යම් වෙනසක් කරන්න කියලා දරුවා ඉල්ලුවොත් ඒකට ඇහුම්කන් දෙන්න. තමන් කියන දේටත් දෙමව්පියන් ඇහුම්කන් දුන්නා කියලා දරුවට දැනුණොත් ඒ නීතියට අකමැති වුණත් ඒක පිළිපදින්න එයා කැමති වෙයි.—යාකොබ් 1:19 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

තීරණයක් ගන්න කලින් මේකත් මතක තියාගන්න. සාමාන්‍යයෙන් දරුවා බලන්නේ ලැබෙන නිදහසට වඩා වැඩි නිදහසක් ලබාගන්න. ඒත් දෙමව්පියෝ කැමති, පුළුවන් නම් ටිකක් අඩුවෙන් නිදහස දෙන්න. ඒ නිසා දරුවගේ ඉල්ලීම් ගැන හොඳට හිතලා බලන්න. දරුවා වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද? මේ වෙලාවෙදි නිදහසක් දෙන්න පුළුවන්ද? නිදහස ටිකක් වැඩිපුර දෙන්න පුළුවන් නම් ඇයි අදිමදි කරන්නේ?—උත්පත්ති 19:17-22 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඔබ දරුවගේ හැඟීම් ගැන තේරුම්ගන්නවා වගේම දරුවත් ඔබේ හැඟීම් තේරුම්ගන්න ඕනෙ. ඒ නිසා ඔබට හැඟෙන විදිහත් දරුවට කියන්න. ඒකෙන් ඔබ කරන්නේ තමන්ගේ ආසාව ඉටු කරගන්නවා වගේම අනිත් අය ගැන සැලකිලිමත් වෙන්නත් දරුවට උගන්වන එකයි.—1 කොරින්ති 10:24 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අන්තිමට ඔබ තීරණයක් අරගෙන ඒ ගැන දරුවට පැහැදිලි කරන්න. දෙමව්පියෙනි, ඔබ මේ විදිහට කරන කොට දරුවා ඔබේ තීරණයට අකමැති වුණත් ‘මං කිව්ව දේත් අම්මලා ඇහැව්වනේ’ කියලා එයා සතුටු වෙයි. යොවුන් දරුවා ඉන්නේ වැඩිහිටියෙක් වෙන්න පුහුණුව ලබන කාලෙක කියලා අමතක කරන්න එපා. සාධාරණ නීති දාලා එයත් එක්ක ඒ ගැන සාකච්ඡා කරද්දී ඔබ කරන්නේ වගකීමෙන් වැඩ කරන වැඩිහිටියෙක් වෙන්න එයාට උදව් කරන එකයි.—හිතෝපදේශ 22:6 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

a මෙහි ඇති ප්‍රතිපත්ති යෞවනියන්ටත් අදාළයි.