Skip to content

පටුනට යන්න

පුංචි සිත් කලඹන පුවත්

පුංචි සිත් කලඹන පුවත්

“මගේ දුවට වයස අවුරුදු 11යි. එයා ප්‍රවෘත්ති බලන්න කැමති නැහැ. ඒකට හේතුව ප්‍රවෘත්ති බැලුවොත් එයා හීනෙන් භය වෙනවා. මනුස්සයෙක් පවුලේ කෙනෙකුගේ බෙල්ල කපලා මරපු ප්‍රවෘත්තියක් එයා බැලුවා. එදා රෑ එයා හීනෙන් දැක්කා එයාගේ බෙල්ල කපලා මරනවා.”—ක්වින්.

“මගේ ඥාති දුවට වයස අවුරුදු හයයි. වෙන පළාතක වෙච්ච සුළි කුණාටුවක් බලපු දුව, සති ගාණක් ගියාට පස්සෙත් හිටියේ භයෙන්. එයා හැමතිස්සෙම මට ෆෝන් කරකරා කියනවා ඒගොල්ලන්ගේ පළාතටත් සුළි කුණාටුවක් එන්න යන්නේ, එහෙම ආවොත් එයා මැරෙයි කියලා.”—පේජ.

ඔබේ දරුවාත් ප්‍රවෘත්ති බැලීමෙන් බිය වෙනවාද? එක් සමීක්ෂණයකදී දෙමාපියන්ගෙන් සියයට 40ක් පමණ කියා සිටියේ තම දරුවන් බලන ප්‍රවෘත්ති නිසා ඔවුන් බියට පත් වෙන බවයි. එවැනි දේවල් ඔවුන්ට හෝ පවුලේ කෙනෙකුට සිදු වෙයි කියා දරුවන් බිය වෙනවා.

මෙලෙස බිය වීමට එක් හේතුවක් වන්නේ වැඩිහිටියන්ට වඩා දරුවන් ප්‍රවෘත්තියක් තේරුම්ගන්නා ආකාරය වෙනස් වීමයි. උදාහරණයකට ප්‍රවෘත්තියක් නැවත නැවත ප්‍රචාරය වන විට කුඩා දරුවන් සිතන්නේ ඒ සිදුවීම නැවත නැවත සිදු වෙනවා කියායි.

අනික් කාරණය නම් සිත් කලඹන ප්‍රවෘත්ති බැලීමෙන් අවට ලෝකය ඉතා දරුණු තැනක් කියා සිතීමට දරුවා පෙලඹීමයි. අප ජීවත් වන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ බව ඇත්තයි. (2 තිමෝති 3:1) නමුත් නිතර නිතර සිත් කලඹන ප්‍රවෘත්ති බැලීමෙන් ලෝකයේ සිදු වන දේවල් ගැන දරුවා තුළ අනවශ්‍ය බියක් ඇති විය හැකියි. “වැඩියෙන් ප්‍රවෘත්ති බලන දරුවන්, ලෝකයේ පවතින සැබෑ තත්වයට වඩා එය දරුණු තැනක් කියා සිතීමටත් ලෝකයේ වැඩි වශයෙන් සිදු වන්නේ අපරාධ කියා සිතීමටත් පෙලඹෙන” බව මානව සුභසිද්ධිය ගැන සොයා බලන පදනමක් පවසයි.—Kaiser Family Foundation.

ඔබේ දරුවාත් ප්‍රවෘත්ති බැලීම නිසා අනවශ්‍ය බියකින් පසු වෙනවා නම් ඔබට කළ හැක්කේ කුමක්ද?

ආරක්ෂා කරන්න.

දරුවාගේ වයස, මානසික මට්ටම සහ සංවේදීතාව අනුව ඔහු බලන ප්‍රවෘත්ති සීමා කරන්න. අප ජීවත් වන්නේ තොරතුරු යුගයක නිසා අවට ලෝකය ගැන දරුවන් බොහෝ දේ දන්නවා විය හැකියි. ඒ නිසා ඔවුන් තුළ බියක් හෝ නොසන්සුන් බවක් තිබෙනවාද කියා සොයා බලන්න.

දැනුවත් කරන්න.

දරුවා ටිකෙන් ටික ලොකු වන විට ඔබත් ඔවුන් සමඟ එකට එකතු වී ප්‍රවෘත්ති නරඹන්න. යම් දේවල් ඉගැන්වීමට එය හොඳ අවස්ථාවක් විය හැකියි. යම් ප්‍රවෘත්තියක තිබෙන හොඳ පැති ගැන කතා කරන්න. උදාහරණයකට යම් ව්‍යසනයක් ගැන පෙන්නුවා නම් අසරණ වූ අයට ලබා දෙන සහන සේවා ගැන දරුවාගේ අවධානය යොමු කරන්න.

බිය නැති කරන්න.

සිත කලඹන ප්‍රවෘත්තියක් බැලූ විට දරුවාට එය කෙසේ බලපෑවාද කියා දැනගැනීමට උත්සාහ කරන්න. එක් පියෙක් මෙසේ පැවසුවා. “ප්‍රවෘත්තියක් බැලුවම ඒ ගැන පුතාට පැහැදිලි කරලා දෙනවා. අනතුරක් ගැන පෙන්නුවොත් ඒකට අපි අරන් තියෙන ආරක්ෂිත පියවර මොනවද කියලත් කියලා දෙනවා. උදාහරණයකට එක දවසක් ගෙයක් ගින්නෙන් විනාශ වෙනවා ප්‍රවෘත්තිවලට පෙන්නුවා. අපේ ගේත් ඒ විදිහේ ගින්නකින් විනාශ වෙයි කියලා පුතා භය වුණා. ඉතිං අපිට සිද්ධ වුණා හදිසි ගින්නක් ඇති වුණොත් ඉක්මනින්ම ඒක දැනගන්න අපේ ගෙදර සවි කරලා තියෙන උපකරණ පුතාට පෙන්නන්න. ඊටපස්සේ එයාගේ භය නැති වුණා.”

අන්තයට නොයන්න.

පර්යේෂකයන් පවසන්නේ යම් අය ප්‍රවෘත්තියක් බැලූ විට ඒ ගැන අනවශ්‍ය ලෙස සිතමින් අන්තයටම යන බවයි. උදාහරණයකට දරුවෙකුව පැහැරගත් සිද්ධියක් බැලුවා නම් තමාගේ දරුවා සිටින්නේ ඊටත් වඩා අනතුරක කියා සිතමින් ළත වෙයි. අවට ලෝකයේ සිදු වන දේවල් ගැන කල්පනාකාරී වීම හොඳයි. ඒත් විද්වතුන් පවසන්නේ එවැනි ප්‍රවෘත්ති බැලීමෙන්, ඉතා කලාතුරකින් සිදු විය හැකි දෙයක් ගැන අනවශ්‍ය ලෙස බිය වීමට පෙලඹිය හැකි බවයි.—හිතෝපදේශ 22:3, 13.

ප්‍රවෘත්ති ගැන දෙමව්පියන් අන්තයට යනවා නම් ඔවුන් අනවශ්‍ය බියකින් පෙළීමට එය හේතු විය හැකියි. දරුවන්ටත් එය බලපෑ හැකියි. උදාහරණයකට 2005දී අවුරුදු 11ක් වයසැති දරුවෙක් ඇමරිකාවේ යූටාහි ඇති කඳුකරයක අතරමං වුණා. එම දරුවාව සෙවීමට ආරක්ෂක භට පිරිසක් පැමිණියත් දරුවා සිතුවේ ඒ අය තමන්ව පැහැරගැනීමට එනවා කියායි. ඒ නිසා ඔහු බියෙන් සැඟවී සිටියා. දින හතරක් පුරා කෑමක් හෝ බීමක් නොමැතිව සැඟවී සිටි දරුවාව සොයාගන්නා විට ඔහු සිටියේ ඉතාමත් දුර්වල තත්වයකයි. නමුත් ඇත්තෙන්ම එවැනි පැහැරගැනීමක් සිදු වන අනුපාතය 3,50,000කින් එකකටත් වඩා අඩුයි. දරුවා තුළ තිබූ අනවශ්‍ය බිය නිසා ඔහුට නිරපරාදේ දුක් විඳීමට සිදු වුණා.

“වයස අවුරුදු තුනත් හතත් අතර දරුවන් බිය වන්නේ ස්වභාවික විපත් සහ හදිසි අනතුරු ගැන සඳහන් ප්‍රවෘත්තිවලටයි. වයස අවුරුදු අටත් දොළහත් අතර දරුවන් බිය වන්නේ අපරාධ සහ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් ඇතුළත් ප්‍රවෘත්තිවලටයි.”—Kaiser Family Foundation

මෙයින් ඉගෙනගත හැකි පාඩම නම් ඔබ මෙන්ම දරුවන්ද ප්‍රවෘත්ති ගැන සමබර ආකල්පයක් තබාගත යුතු බවයි. ඇත්තෙන්ම යමක් ප්‍රවෘත්තියක් ලෙස සලකන්නේ එය සාමාන්‍යයෙන් සිදු නොවන සිද්ධියක් නිසයි.

අපරාධ, ප්‍රචණ්ඩ ක්‍රියා සහ ස්වභාවික විපත් වැනි දේවල් අපගේ කාලයේ සිදු වන සාමාන්‍ය දේවල්. නමුත් ප්‍රවෘත්ති බැලීම නිසා දරුවා තුළ ඇති වන අනවශ්‍ය බිය නැති කර දැමීමට ඉහත සාකච්ඡා කළ කරුණු හතර ඔබට ප්‍රයෝජනවත් වෙයි.