Skip to content

පටුනට යන්න

නිරෝගීව සිටින්න

නිරෝගීව සිටින්න

නිරෝගීව සිටීමෙන් පාසැල් වැඩකටයුතු හොඳින් කරගත හැකියි. ඒ වගේම ජීවිතය සතුටින් ගත කරන්නත් පුළුවන්.

ජීවිතය දෙවිගෙන් ලැබුණු වටිනා තෑග්ගක්. එය රැකගැනීම ඔබේ යුතුකමයි. (ගීතාවලිය 139:14) ඔබට වාහනයක් තිබෙනවා කියා සිතන්න. එය නඩත්තු නොකළොත් වැඩි කල් යන්න කලින් එය අබලන් වෙයි. ඔබේ ශරීරයත් ඒ හා සමානයි. එය හොඳින් රැකගත්තේ නැත්නම් ඔබට නිරෝගීව සිටිය නොහැකියි. නිරෝගීව සිටීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

විවේකය.

ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට ඔබේ පෙනුම මලානික වෙයි. අලස බවක් දැනෙයි. මානසික පීඩනයක් ඇති වෙයි. ඒත් ප්‍රමාණවත් නින්දක් ලැබුණු විට ඔබ ක්‍රියාශීලී පුද්ගලයෙක් වෙයි. ඒ වගේම ඔබගේ ශාරීරික හා මානසික වර්ධනය වේගවත් වන අතර ප්‍රතිශක්තියද ඉහළ යයි. ඔබට හොඳ මානසිකත්වයක් ඇතුව ක්‍රියා කිරීමටද හැකි වෙයි. ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම වැනි සුළු දෙයකින් ලැබෙන ප්‍රයෝජන කොපමණද කියා සිතා බලන්න.

යෝජනාවක්: හැකි නම් සෑම දිනකම එකම වේලාවකදී නින්දට යන්න.

පෝෂණය.

වයස අවුරුදු දහයත් දාහතත් අතර දරුවන්ගේ වැඩීම වේගවත්. ඒ වයස් කාණ්ඩය අතර සිටින බොහෝ පිරිමි දරුවන්ගේ බර ඒ කාලයේදී දෙගුණයක් දක්වා වැඩි වෙනවා. ගැහැනු දරුවන්ද ශීඝ්‍ර ලෙස වැඩෙනවා. ඒ නිසා පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර අවශ්‍යයි. ඔබත් පෝෂ්‍යදායී ආහාර ගන්නවාද කියා සිතන්න.

යෝජනාවක්: උදෑසන ආහාරය අතපසු කරන්න එපා. පන්තියේ වැඩවලට හොඳින් අවධානය දෙන්නත් උගන්වන දේ මතක තබාගන්නත් උදෑසන ආහාරය ඉතා වැදගත්.

ව්‍යායාම.

“ව්‍යායාමයෙන් ප්‍රයෝජන” ලැබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 4:8, පැරණි අනුවාදය) ව්‍යායාම් කිරීමෙන් ඔබේ මාංස පේශි හා අස්ථි ශක්තිමත් වන අතර ශරීරයේ බර පාලනය කරගැනීමටත් හැකි වෙයි. ඒ වගේම මානසික වර්ධනයටද, ප්‍රතිශක්තිය ඉහළ නැංවීමටද, මානසික පීඩනය අවම කරගැනීමටද හැකි වෙයි. ඔබ ආස කරන ව්‍යායාමයක යෙදීමෙන් ඔබට සතුටක්ද ලැබෙයි.

නිගමනය: ප්‍රමාණවත් නින්ද, නිසි පෝෂණය සහ ව්‍යායාම් මගින් ඔබට නිරෝගීව සිටිය හැකියි. එය ඔබේ පාසැලේ ක්‍රියාකාරකම් හොඳින් කිරීමට හැකියාවක් ලබා දෙයි. *

ඔබ දැනටමත් පරක්කු නැහැ. ඔබට කාලය ලැබෙන පරිදි ව්‍යායාම් කිරීමට පුරුද්දක් ඇති කරගන්න. ඔබ කොතරම් කාලයක් නිදාගන්නවාද කියාත් ඔබ ගන්නා ආහාර ගැනත් මාසයක් නිරීක්ෂණය කර වෙනස්කම් කළ යුතුයි කියා සිතෙනවා නම් අවශ්‍ය වෙනස්කම් කරන්න.

“මං ඇවිදින්න පටන්ගද්දී සමහර දවස්වලට හරි කම්මැළියි. ඒත් ඇවිද්දට පස්සේ ඇඟට පණක් එනවා.”—නවසීලන්තයේ ජේසන්.

“දෙවි ආහාර දීලා තියෙන්නේ අපේ ශරීරය පෝෂණය කරන්න. මං කැමති පෝෂණ ගුණයෙන් වැඩිම ආහාර කන්නයි.”—ඇමරිකාවේ ජිල්.

“මම සතියට දවස් තුනක් දුවනවා. දවස් දෙකක් බයිසිකල් පදිනවා නැත්නම් ඇවිදින්න යනවා. ව්‍යායාම් කරද්දී මානසික පීඩනය අඩු වෙනවා වගේම ක්‍රියාශීලී වෙනවා.”—ඕස්ට්‍රේලියාවේ ග්‍රේස්.

^ 9 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොතේ 10වෙනි පරිච්ඡේදය බලන්න.